Sunday, December 22, 2013

ගෝනි බිල්ලා

පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.

බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ලස්සනට, ව්‍යාකරණානුකූලව සිංහලෙනුත් කතා කරන්න අයට හැකියාව තිබුණා.

නමුත් කණිෂ්ඨ කණ්ඩායම් වල නම් මේ ලෝගුව ඇඳගත්තු කීප දෙනෙක් හිටියා. මේ සිද්ධිය වෙන්නේ අන්න ඒ අයගෙන් කෙනෙක් සම්බන්ධව. ඒ දවස් වල බඩා හිටියේ ළමා වාටුව පැත්තේ, අවසන් වසර සායනික පන්ති වල. කණිෂ්ඨ කණ්ඩායම් සඳහා වන පළමු සායනික පන්ති වලට යොමු කරවීමේ වැඩසටහනකට අදාලව ඒ සිසු-සිසුවියනුත් පැමිණ සිටියා. මේ අතර හිටියා ලෝගුව ඇඳගත්තු කෙනෙක්. ළමුන් සමග කතා කර "රැපෝ" (rapport) එක හදා ගැනීම ළමයකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙනවා. අපේ අදාල ලෝගුදාරී සිසුවියත් ළමයෙකුට ලං වුණා. මේ ශිෂ්‍යාව නිකාබ් ඇඳගෙන සිටියේ. අපිට ඒක ලොකු ප්‍රශනයක් නොවුනට ළමයා ට නම් ප්‍රශ්නයක් වෙලා! "බිල්ලෙක්! බිල්ලෙක්!" කිය කිය මහ සද්දෙට ළමයා අඬනවා. එකෙක් අඬන්න ගත්තම වාටුවම නළාව ගහන්න ගන්න එක ළමා වාට්ටු වල සිරිතක්. එදත් එහෙම වුණා! අන්තිමට ෆර්දාව ගලවලා රෝග විස්තර අහන්න අදාල සිසුවියට සිද්ධ වුණා.

දෙවැනි සිද්ධිය වෙන්නේ බඩා වෛද්‍යවරයෙක් විදියට සෙවය කරද්දී. තවත් කණිෂ්ඨ කණ්ඩායමක මේ විදියම වෛද්‍යවරියක් හිටියා. මේ අය ආවේ විභාගයක් සඳහා රෝගීන් පරීක්ෂා කර පුරුද්ද ලබා ගැනීමට. ඇය ඇන්දේත් නිකාබය. මේ වගේ වෙලාවට විභාග වලට ගන්න විදියෙ රෝගීන් අපි ලැයිස්තුගත කරලා තියෙනවා පිටින් එන වෛද්‍යවරුන්ගේ පහසුවට. මෙයින් එක් රෝගියෙක් පෙර කී වෛද්‍යවරියට ඔහුව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ. "ලෝගුව ඇඳගෙන මෙතෙන්ට සිය ගාණක් එනවා. දොස්තර කවුද, බිල්ලා කවුද කියල මම කොහොමද දන්නේ?" රෝග්යාගේ ප්‍රතිචාරය වුණේ ඒක.

මේ සිද්ධි වෙනකොට අදාල අංශවල මුස්ලිම් වෛද්‍යවරු සහ මහාචාර්යතුමලා පවා සිටියා. ඒත් අපේ සමහර අන්තර්ජාල වීරයෝ වගේ එතුමලා රෙදි උස්සන් කෑ ගැහුවේ නැහැ. "රෝගියාගේ අයිතිය පරම අයිතිය" නිසා මුහුණු වැසුම් පාවිච්චි නොකර සිටීම වඩා යෝග්‍ය බව ඔවුන් කලකට පෙර නිර්දේශ කරනු ලබුවා.

Sunday, December 8, 2013

දඩයමේ යනවද?

මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම පටන් ගත්තේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පන්තියක්.

බඩා ගේ කණ්ඩායමේ සිසුවියන් කිහිප දෙනෙක් හිටියා. එයින් බොහොමයක් දෙනා ශරීරයෙන් කුඩා, ඒත් කට සැර (බෝම්බ ගහන්නා වාගේ!) කෙල්ලෝ ටිකක්. මුල්ම සතියේදීම අපට සිද්ධ වුණා හයිඩ්‍රෝසීල් (hydrocele) එකක් එහෙම නැත්නම් වෘෂණ කෝෂයේ වතුර ගෙඩියක් ඇති රෝගියෙක් පරීක්ෂා කරන්න. විශේෂඥ වෛද්‍යතුමා රෝගියාගෙන් විස්තර අහන්නේ අපට ඒ ගැන විමසිල්ලෙන් අහගෙන ඉන්න කියලයි. කොහොම කොහොම හරි රෝග විස්තරය අවසන් වුනා. 

ඊලඟට එළඹෙන්නේ පරීක්ෂා කිරීම. ඒකත් පියවරෙන් පියවර එතුමා පැහැදිලි කරනවා. හදිසියේම රෝගියාගේ ශිෂ්ණයේ සුවවෙච්ච තුවාලයක් දැකපු වෛද්‍යතුමා කටහඬ බොහොම බාල කරලා අහනවා "සීයා, දඩයමේ ගියාද?" කියල. සීයත් ඔළුව වනනවා. බඩාට, කොටියට, කොණ්ඩයට එහෙම මේක ලේසියෙන්ම මීටරේට වැටුණට කෙල්ලන්ගෙන් බහුතරයකට එහෙම වුණේ නෑ. පන්තිය අවසානයේ එක කොට ජීවිත කෙල්ලෙක් අහනවා "බඩා, අර දඩයමේ යනවා කියන්නේ මොකද්ද?" කියල. බඩාත් ඉතින් පැහැදිලි කරලා දුන්නා විස්තර ඇතුවම.

ඊලඟ දවසේ අර කෙල්ල රෝගියෙක්ගෙන් විස්තර අහනවා, රෝගියාගේ ඇඳ ගාව ඉඳගෙන. කට සද්ද නිසා අහන ප්‍රශ්න අනික් අයටත් ඇහෙනවා. එක සැරේම අපට ඇහෙනවා "ආ, දඩයමේ යනවද?" කියල. ලෙඩා ඇඹරෙනවා, අපි බඩවල් අල්ලන් හිනා වෙනවා!