Showing posts with label ජොරා. Show all posts
Showing posts with label ජොරා. Show all posts

Tuesday, April 14, 2015

දිව, මුද්දර හා අපස්මාරය


මාතලන් කාලෙකට කලින් දිව ගැන සහ දිවාකර ගැන ලියල තියෙන කතවක් නිසා කතා කීපයක්ම මතක් වුණා. බඩාගේ කණ්ඩායමේ හිටියා හොඳ ජැන්ඩි කොල්ලෙක්. මූ නර්තනයට අති දක්ෂයෙක්. හැබැයි කෙල්ලෙක් දැක්කම ඇඹලයා වගේ කදේ දා ගන්නේ. ඒ වෙලාවට අනික් කොල්ලන්ට කිණ්ඩි දාන එක තමයි මේකගේ කැතම පුරුද්ද. මොන එක ඉවසන් හිටියත් අර අන්තිම එක ඉවසන් ඉන්න අමාරුනේ. කෙල්ලෝ ගොඩක් මැද නිසා වෙනදාට වගේ හොඳට කට දිග ඇරලා කියන්නත් බැහැනේ!

බඩාලට මහපොළ ශිෂ්‍යාධාර ගන්න යන්න තිබුනේ තුන්මුල්ලේ ප්‍රධාන විශ්වවිද්‍යාල සංකීර්ණයට. එතන තිබුණු ලංකා බැංකු ශාඛාවෙන් තමයි අපි සල්ලි අර ගත්තේ. මහපොළ ගන්න කොට මුද්දරයක් එහෙම ගහන්න ඕන. ඒකට අර "පරිම
න්දකය" ද මොකද්ද කියන එක තිබුණා. හැබැයි ඒවා වේළිලා හැමෝම දිවේ ගාලා තමයි මුද්දර ඇලෙව්වේ. ඔන්න අපේ ප්‍රධාන නළුවා (අපි ලේසියට බට්ටා කියමු.), පැණි හලාගෙන, කයි දීගෙන ඉන්නවා. බඩාත් පෝළිමේ ඉන්න ගමන් සුදු පුතයි, පාප ලාලුයි එක්ක ක්‍රිකට් තරඟයක් ගැන කතා කරනවා. බට්ටාට ක්‍රිකට් දිරවන්නේම නෑ. කෙල්ලෝ ගොඩේ ඉන්න නිසා සිංහයා වෙච්ච බට්ටා බඩා දිහාවට හැරිලා කට හරහට ඇඟිල්ලක් තියල "ෂ්!!" කියල කිව්වේ කටේ සද්දේ වැඩි නිසා. හරහට ඇඟිල්ල තියන්න ඕනේ කොහෙද කියන එක ගැන කියන්න බඩාගේ කටට ආවත් අවස්ථාව නොවෙන නිසා "බට්ටෝ උඹට වැඩක් නැත්ද?" කියල ඇහුව. "නෑනේ, ඇයි උඹ මට  මොනව හරි වැඩක් දෙන්නද?" මූ මගෙන් අහනවා. "ඔයින් ජංගියක් තම්බගෙන බීල අපට අපේ කතාවක් කරගෙන ඉන්න දීපන්" කියන්න කටට ආවත් බඩා කිව්වේ වෙන එකක්. "මේ බට්ටෝ, වැඩක් නැත්නම් ඔය ක්ලාර්ක් ගාවට වෙලා දිව එළියට දාගෙන හිටපන්. එතකොට උඹේ පැනි වල ගගා බැච් එකටම බැරියැ මුද්දර අලවන්න" කියල. දෙපැත්ත කැපෙන කතාවක් බඩා කියයි කියල හිතන් කන් දෙකේ ඇඟිලි ගහගන්න ලෑස්ති වෙච්ච බඩාගේ බැචියෝ ටික බඩවල් අල්ලගෙන හිනා. බට්ටා එතනින් යන්න ගියේ බඩාට ඔරොව ඔරොවා.

දිවාකර කියන්නේ කාටද කියල මාතලන් කියලා තිබුණා. හැබයි දිවාකර කියන නම බුදු හාමුදුරුවන්ටත් යොදන නිසා වෙන නමක් දාමු කියල යෝජනා කලේ ජොරා. දේව් දාස් අළුත් චිත්‍රපටිය ආවේ ඔය කාලෙම තමයි. දිවාකරලා දෙන්නම චිත්‍රපටියේ දේව්දාස් වගේම කරටි කැඩෙන්නම ගහනවා. ඒ අනුව අපේ කණ්ඩායමේ හිටිය දිවාකරලා දෙන්නාට කිව්වේ "දිව් දාස්" කියලා. පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් බඩු හොරකම් කරන එකෙක් හිටියා. ඒකාට කිව්වේ "සුද්දෝදන" කියල. කොහේ හරි වත්තක් දැක්කොත් හොර කුරුම්බා කඩන කොල්ලෙක් අපේ ගමේ හිටියා. ඌට කිව්වේ "වතු සුද්ද" කියල. නිතරම යතුරු හිලෙන් නිදන කාමර බලන එවුන්ට කියන්නේ "හිල්මන්" කියල. කොළඹ විශ්ව විද්‍යාලයේ කපල් ආතල් ගන්නා කොරිඩෝ හොරෙන් බලන්න මෙහෙම තැන් තියෙනවා. ඒ කොරිඩෝවට කියන්නේ "හිල්මන් කොරිඩෝව" කියලා.

ටිකිරි ලියා කියන්නේ නියම රෙකෝඩ් තියපු කෙල්ලෙක්. මේ සිද්ධිය වෙනකොට අපට ඉගැන්වෙමින් තිබුණේ ස්නායු විද්‍යාව පාඩම. අපස්මාරය ඇති වෙන කොට දත-කට පූට්ටු වෙන එක ගැන එහෙම පාඩමේ කියලා දෙනවා. හිතට තැති ගැන්මක් හෝ කලබලයක් ඇති වුණොත් ඖෂධ ගන්නා කෙනෙක්ට උණත් අපස්මාරය ඇතිවෙන්න පුළුවන් බව අදාල විශේෂඥ වෛද්‍යතුමිය පැහැදිලි කරලා දුන්නා. නිවෙන පත්තු වෙන එළි නිසාත් ඒක වෙන්න පුළුවන් බව එතුමිය පැහැදිලි කලා. ටිකිරි ලියා බය වෙලා වගේ බලන් ඉන්නවා.

"මොකද බන් තක්බීර් වෙලා?" බඩා පාඩමෙන් පස්සේ ටිකිරි ලියාගෙන් ඇහුව. "අඩේ, තොලක් දාන වෙලාවට එහෙම කොල්ලට එපිලෙප්සි හැදුණොත් කට ඉවරනේ බං?" ටිකිරි ලියාගේ ප්‍රශ්නය මේකයි එහෙනම්! "ඔය වෙලාවට කලබල ගතිය එහෙමත් වැඩියිනෙ" මේ කෙල්ලටත් හිතෙන ඒවා.
"ටිකිරි ලියා උඹ දන්නවද, ෆිල්ම් හෝල් එකකදී කොල්ලගේ අහවල් එක ඔහොම තියන් ඉන්න කොට කෙල්ලට එපිලෙප්සි හැදුණ කතාව". 
"අම්මට සිරි, එහෙනම් ෆිල්ම් හෝල් වලට යන්න නරකයි" ටිකිරි ලියා කලබලෙන් කියනවා!

Tuesday, July 24, 2012

මූදු හත්ත

බඩා ගේ උසස් පෙළ කාලයේ ඉඳලා මිත්‍රයෙක් තමයි ජොරා කියන්නේ. ජොරා ඉගෙන ගත්තේ බඩා ඉගෙන ගත්තු පාසලේ නොවුනට, අමතර පංති වලට ගියේ එකටමයි. කොහොම කොහොම හරි දෙන්නම වෛද්‍ය විද්‍යාලයටත් තේරුණා. ජොරා වැඩිය උස නැති, පැහැපත් හැඩ කොල්ලෙක්. ඒ වගේම තමයි පෙනුම ගැනත් බොහොම උනන්දුයි. ජොරාගේ කාමර සගයා වුණේ කොටියා. කොටියත් හැඩ කොල්ලෙක්, ඒත් කොටියගෙ තිබුණේ වෙනම ආතල්. ගාණට මූණ හෝදලා (ෆේස් වොෂ් එහෙම දාලා) පොන්ටින් කට් තියලා රැවුල කපලා, කලිසම් කමිස වල ක්‍රීස් එක ඇද නැතුව හිටින්න තිය අඳින පළඳින කෙනෙක් ජොරා කියන්නෙ.

කොහොමෙන් කොහොමෙන් හරි, කවුරුහරි කෙනෙක් ජොරාට මූදු හත්තක් ගෙනත් දීලා තියෙනවා. මූදු හත්ත වතුරේ දාලා තියලා ඒ වතුර බිව්වම පැහැපත් වෙනවා කියලයි කියල තියෙන්නේ. ඔන්න ජොරාත් හත්ත වතුරේ දාලා වතුර බොනවා. පළවෙනි දෙවෙනි දවස් වල කිසි අවුලක් නොවුනත්, තුන් වෙනි දවස වෙනකොට මූදු හත්ත කුණු වෙලා ගඳ ගහන්න අරගෙන. කොටියට හුස්ම ගන්නත් අමාරුයිලු. ඒත් ජොරා නෙවෙයි මේක විසි කරන්නේ. කොහොම හරි ටික දවසකින් අපට පේනවා ජොරා කුණුහරුපෙන් බැණ බැණ මූදු හත්ත වීසි කරනවා. ඇහුවම ඇයි කියල උත්තර දෙන්නේ නෑ. ආයෙත් සැරෙන් ඇහුවම කියන්නේ රස අන්තිමයි කියල. ඇත්ත සිද්ධිය දැනගත්තේ ටික දවසකට පස්සේ. ගඳ උහුලගන්න බැරිවෙච්ච කොටියා හෙමින්ම මූදු හත්ත තියෙන භාජනේට කොටි දිය පුරවලා!

Friday, December 9, 2011

මරූටිය

මේක විශ්ව විද්‍යාල සන්දියේ වෙච්ච අකරතැබ්බයක්. කොලඹ වෛද්‍ය පීඨය තියෙන්නෙ කින්සි පාරේ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය කිට්ටුවම තමයි අපේ පිරිමි නේවාසිකාගාරය වෙච්ච බ්ලොම්ෆොන්ටේන් එහෙම නැත්නම් බ්ලොම් එක තියෙන්නෙ. වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපිට පාඩම් වැඩ බොහොම තිබුණ. ඒ නිසා ජනේරුවට අපි හිටියෙත් නේවාසිකාගාරයේමයි. දෙසම්බර් 31 වෙනිදා රෑට බ්ලොම් එකේ හොඳ හොඳ සෙල්ලම් කෙරෙනවා. බ්ලොම් එකට මීටර 500 විතර දුරින් තියෙන්නේ හමුදාවේ කාන්තා නේවාසිකාගාරයක්. එතන කෙල්ලෝ එක්කත් ලස්සන වැඩ වෙනවා. හැබැයි මේ කතාව වෙන එකක්.

දෙසැම්බර් 31 දවසේ රාත්‍රිය අපි පාටියක් දාන තීරණය කලා. මමයි, කොටියයි, ජොරයි, නිගණ්ටයයි කියන හතර දෙනා තමයි පාටියේ හවුල් කාරයෝ. කින්සි පාර දිගේ ඇවිදගෙන අපි බොරැල්ලට යන්න ගත්තේ ඊ.ඒ.පී. බාර් එකට. මෙන්න හදිස්සියෙන්ම අපි දිහාවට බුරාගෙන පණිනවා දඩෝරියෙක්! මූ එසේ මෙසේ දඩොරියෙක් නෙවී, ආච් බිෂොප් ගේ බල්ලා! (ආච් බිෂොප් නිල නිවස තියෙන්නේ කින්සි පාරේ). මූ ආච් බිෂොප් ගේ හයිය අරන් ද කොහෙද හැමදාම අපි ලඟින් ගියත් බුරනවා. බඩාට මේ වෙලාවේදී විශේෂයෙන් ම මල මේ බල්ලා ගැන. ඉතින් තරහින් පුපුර පුපුර යන බඩාට බොරැල්ල හන්දියේ චීන පටස් වගයක් විකුණන්න තියෙනවා දැකලා එයින් කීපයක් ගන්න හිතුනේ "නින්ජා ගේමක" සටහනකුත් හිතේ ඇඳගෙන.

ඔන්න ඉතින් අපි ඊ.ඒ.පී. ගිහින් ඇඟ රත් කරගෙන කෑම කාලා එහෙම එන්න ලෑස්ති වුණා. ජොරා බොන්නේ නෑ. ඌ බයිට් ඉවර කරනවා (ඒ ගැනත් කතා තියෙනව!) විතරයි. කොටියටයි, නිගන්ටයටයි දැන් පදම්. මට මද පමණට. වැනෙන කට්ටිය වැනි වැනී, පැද්දෙන කට්ටිය පැද්දි පැද්දී අපි ආයෙත් ගමන ආවා. ඊ.ඒ.පී. හන්දියේදී මෙන්න නිගන්ටය කියනව "යකෝ මට චූ බරයි" කියල. මේ පාර් මද්දේ කොහෙන් වැසිකිළි හොයන්නද? ටිකක් ඉවසලා ඉන්න කිවුවත් මූ ඉන්නේ නෑ. කොහොම හරි නිගන්ටයයි, කොටියයි දැන් මූණට මූණ බලන් පාර මැද ඉඳන් මුත්‍රා කරනව. වෙලාව රෑ 12.30. පාරේ බලු බල්ලෙක් නෑ (වැරදුණා! ආච් බිෂොප් ගේ එකා ඇරෙන්න). මේක දැකපු බඩාට ආයෙත් නින්ජා කල්පනාවක් එනවා. හෙමින් සැරෙ චීන පටස් එකක් අරගත්තු බඩා මූණු බලන් මුත්‍රා කරන දෙන්න අතර මැදින් පාරේ දමල ගහනව. චීන පටස් එක පුපුරද්දී කලබල වෙන නිගන්ටයයි, කොටියයි චූ යද්දීම අහවල් එක කලිසම ඇතුලට දමා ගන්න දරන උත්සාහයේදී කලිසමේම මුත්‍රා පහ කර ගන්නව.

කොහොම වුණත් තමන්ට මේ සන්තෑසිය කලේ බඩා කියල දැන ගත්තු දෙන්නම එනවා බඩාට ගහන්න. (මුන් දෙන්නා සිහියෙන් හිටියා නම් බඩාට ගහන්න තුන් හිතකින් හිතන්නේ නෑ. ඒත් මුන්ට වෙරිනේ). ගහන්න එන්නෙත් යාළුවෝ, උන්ට ගහන්නත් බැරි නිසා බඩා කලේ කකුල් දෙකට වැඳලා දුවන්න ගත්තු එක. ඒත් මීටර් කීපයක් දුවද්දී පාරේ සිමෙන්ති ගැට්ටක කකුල හප්ප ගන්න බඩා බිම වැටෙනව. කකුලේ නියපොත්තක් බාගෙට ගැලවිලා එල්ලෙනවා. ලේ හෝ ගාල ගලනවා. පුරුෂ ධෛර්ය හිතට ගත්තු බඩා ලේන්සුවෙන් තුවාලය ගැට ගහගෙන කොර ගගහ කින්සි පාර දිගේ එනව. බඩාට ආයෙත් මල පන්නවමින් ආච් බිෂොප් ගේ බල්ලා බුරාගෙන පණිනවා. බඩත් ඉතින් චීන පටස් එකක් ඇදල අරන් බල්ල ඉස්සරහ ගහන්නේ බල්ලගේ අම්ම මතක් කර කර. චීන පටස් එකට බය වෙන දඩෝරියා කූඩුවේ හැංගිලා වෙවුලනව පෙනෙද්දී අමාරුවෙන් අපි හිනා වුණා. දැන් කට්ටියගෙ වෙරි හිඳිලා, මොකද බඩාට තුවාල නිසා. හදිසි අනතුරු අංශෙට ගිහින් නියපොත්ත ගලවලා බෙහෙත් දාගෙන බඩා බ්ලොම් එකට ඇවිත් නිදා ගත්තා. බඩා පහුවෙනිද උදේ ඇහැරෙන කොටත් නිගන්ටයයි කොටියයි නිදි. ඇඳ පැලඳගෙන දේශන වලට ගියාම මට කෙල්ලෙක් චිට් එකක් දෙනවා. "ඔයා මොකද මරූටි වලට පයින් ගහලා තුවාල කරගන්නෙ?" කියල ඒකේ තියෙනව. ජොරා හෙමින් සැරේම ඇවිත්, බඩාට වෙරි වැඩිවෙලා ගිණි පෙට්ටියක් කියල මරූටියකට පයින් ගැහුවාය කියල බැච් එකම ගිණි තියල!