Showing posts with label රොමා. Show all posts
Showing posts with label රොමා. Show all posts

Monday, December 12, 2011

බටයක් දෙන්න

බඩා ගේ උසස් පෙළ පන්තියේ කොට කොල්ලෙක් හිටිය. බොහොම පැහැපත්, පොඩි දරුවෙකුගේ පෙනුම තියෙන, හිනා වෙනකොට කම්මුල් දෙපැත්ත වල ගැහෙන (සංගීතා වීරරත්නගෙ වගේ!) කොලුවෙක්. මේකා ඉගෙනීමටත් හරි දක්ෂයා. බොහොම තැන්පත් විදියට තමයි පාසලේ හිටියෙත්. කොහොම කොහොම හරි මේ තැන්පත් කොලුවා (අපි ක්‍රිෂා කියල කියමු), ඇවිත් වැටුනේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ තිබිච්ච "අන්තිම" කියල සම්මත පන්තියට. ටික කාලයක් යද්දී මූට ඉලන්දාරි විසේ ගැහුවේ වටේ පිටේ වෙන දේවල් දැක්කම.

ඔන්න කොහොම හොහොම හරි අපි පන්තියෙන් වින්නෝද චාරිකාවක් සංවිධානය කළා. ගමන වුණේ බදුල්ල, නුවර එළිය වගේ සීතල පලාතක්. අපෙත් තිච්ච මොකද්දෝ දහ මහ දෝසයකටදෝ කොහෙද ඇල්ලෙදී බස් රථය ක්‍රියා විරහිත වුණේ අපිව පාරේ රස්තියාදි කරමින්. පන්තියේ කට්ටිය එක්කහු වෙලා මේ අවස්ථාවෙදි කලේත් ෆන් එකක් ගන්න එක. මේ දවසේ බයිටය බවට පත් වුනේ ක්‍රිෂා. ක්‍රිෂාගේ ළමා පෙනුමට ඉතින් දාහක් කතන්දර මේ වෙලාවේදී කියවුණා. මෙන්න හදිස්සියෙම ක්‍රිෂා කියාපි "මගේ පෙනුම ඔහොම වුණාට වැඩ ගැන උඹල දන්නේ නෑනෙ" කියල. මේක අහපු අපේ ඇනා (ඔවු, ඔවු, අර ඉබෝලා ඇනාම තමා) ක්‍රිෂාට අභියෝගයක් ඉදිරිපත් කළා. පුළුවන්නම් ගිහින් අර පේන කඩෙන් සිගැරට් එකක් අරන් වරෙන් කියල. ක්‍රිෂත් අභියෝගේ බාර අරන් කඩේට ගියා. රොමයි, එස්ටරයයි දෙන්න හෙමින්ම ක්‍රිෂා පස්සෙ ගියේ වෙන්නේ මොනවද කියල බලා ගන්න.

මෙන්න ටික වෙලාවකින් ක්‍රිෂා මූණ නරක් කරන් එනව. "ඒකේ සිගැරට් නෑ බං" කියාගෙන. ඒත් රොමයි, එස්ටරයයි තවමත් නෑ. මුන්ට වුණේ මොකද්ද කියල බලන්න යද්දී මුන් දෙන්න බඩවල් අල්ලන් හිනා වෙනව පේනව. ඉතින් අමාරුවෙන් හිනාව නවත්තගෙන අපි ඇහුව වුණේ මොකද්ද කියල. ක්‍රිෂා ගිහින් පොර වගේ අහල, "අක්කේ, මට බටයක් දෙනවද?" කියල. කඩේ අක්ක ගත්තු කටටම කියල, "මල්ලි එස්ලෝන් බට තියෙන්නේ අල්ලපු කඩේ, ඒත් මුදලාලි අසනීප නිසා කඩේ වහල" කියල!