Showing posts with label කැරපොත්ති. Show all posts
Showing posts with label කැරපොත්ති. Show all posts

Thursday, December 29, 2011

මැඩම් බය ද?


බඩා ගේ උසස් පෙළ පන්තිය ගැන දැනටමත් කීප දෙනක් දන්නව ඇති. මේ පන්තියට "සූ" එක කියල කියපු බවත්, පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයන් කියල කියන අයත් "කීකරු සිසුන්" නොවෙන බවත් පාඨකයන්ට මතක ඇති. රාජකීය විද්‍යාලයේ උසස් පෙළ එක විෂයයක් ගුරුවරුන් දෙන්නෙක් උගන්නනවා. සත්ත්ව විද්‍යාව උගන්නපු එක ගුරුතුමියක් "සෛලිකා" බව මම කලින් කිවුවා. අනික් ගුරුතුමිය බොබ් කට් කපපු, උස, කෙට්ටු, තළෙලු කාන්තාවක්. ඉස්සරහ දත් අතර පොඩ්ඩක් ඉඩ තිබුණ වගේ මතකයි. ඒ එක්කම හැප්ස්බර්ග් යටිහණුවකුත් (උඩු හණුවට වඩා දිග යටි හණුව) ඇයට තිබුණා. මේ හැඩ හුරුකමත්, සත්ත්ව විද්‍යාව උගැන්නීමත් කාරණා කොටගෙන අපි ගුරුතුමියට කිව්වේ "කැරපොත්ති" කියල. ගුරුතුමියගේ වයස 10ක් වෙච්ච පුතාට කිව්වේ "ශිශුවා" කියල.

ඒ කාලේ සත්ත්ව විද්‍යාවේ පළමුවෙනි පාඩම කැරපොත්තා. (අර නම දාන්න තවත් හේතුවක්). ප්‍රායෝගික පරීක්ෂණ වලට අපිට කැරපොත්තා විච්ඡේදනය අනිවාර්ය අංගයක් වුණා. අදාල ප්‍රායෝගික කාලය වෙනුවෙන් කැරපොත්තා විච්ඡේදනයට කැරපොත්තන් අල්ලන් එන්න කියල "කැරපොත්ති" කලින් දවසේ අපට කියල තිබුණ. අද වගේම එදාත්, බඩා කම්මැලියා. කාණු අස්සේ බඩ  ගගා, අල්මාරි ගස ගස, කැරපොත්තෝ හොයන්න කම්මැලි නිසා බඩා හිස් අතින්ම පාසැල් ගියා. හිතපු විදියටම "කැරපොත්ති" බඩාව බෙල්ල මුලින්ම අල්ල ගත්තේ කැරපොත්තෝ නොගෙනාවට. මේ වෙලාවේ බඩාට ගණ දෙවි නුවණ පහළ වුණා. කැරපොත්තන් ගෙනාවේ නැත්තේ උන්ට බය නිසා බවට බඩා අලි පතාර් ටොම් පචයක් ඇද බෑවේ ඒ නිසා. "අපෝ ඔච්චර ඇඟක් තියාගෙනත් කැරපොත්තන්ට බය ද" කියල කැත ඔලොක්කුවක් බඩාට ගුරුතුමිය දැම්මා. "මැඩම් කැරපොත්තන්ට බය නැත්ද?", ඒ ප්‍රශ්නය බඩා ගෙන්. "අපෝ නෑ" කියපු කැරපොත්තී, "ඔය බඩ දැක්කම කැරපොත්තෝ දුවනව කියලයි මම හිතුවෙ" කියල ආයෙත් ඔලොක්කුවක් දැම්මේ බඩා පන්තියේ "ලාෆින් ස්ටොක්" එක බවට පත් කරමින්.

වෙච්ච නව නිංගිරාව ගැන හිත හිත යන බඩාගේ ඔළුවට සැලසුමක් දැම්මේ එස්ටරයා. එස්ටරයා පහුවෙනිදා කැරපොත්තෝ පාර්සලයක් අරන් ආවා (20ක් විතර! ඌ එච්චර කොහොම ඇල්ලුවද මන්දා!). සත්ත්ව විද්‍යාව පාඩමට එදා ද්විත්ව කාලඡේදයක්. එක කාල ඡේදයක් ඉවර කරල කැරපොත්ති පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් කැරපොත්තො පාර්සලේ ගුරුතුමියගේ බෑගයට එබුවේ බඩයි, එස්ටරයයි. පුරුදු විදියට දෙවනි කාලඡේදයත් කරපු ගුරුතුමිය අන්තිමට බෑගය ගනිද්දී එතන අළුත් පාර්සලයක් තියෙනව දැක්ක. කලබලෙන් ඒක ඇරියා විතරයි, කැරපොත්තෝ හතර අතේ දුවන්න ගත්ත. කැරපොත්ති "ඊක්" ගාලා උඩ පැන්න පැනිල්ලට තව පොඩ්ඩෙන් වහළෙ ඔළුව වදිනවා. පන්තියටම මර කැඩෙන්න හිනා. කැරපොත්තෝ එහෙ මෙහෙ ගිය ගමන් ගුරුතුමී ඇවිත් බඩාගේ කණින්ම අල්ල ගත්තේ එතකොටත් ඇයට මේක කළේ කවුද කියල ඉව තීබුණු නිසා. "තමුසේ මොකද එහෙම කුපාඩි වැඩක් කලේ?" ගුරුතුමී අහපි. "මැඩම් කැරපොත්තන්ට බය නෑ කිව්වනෙ?" බඩා කියපු ගමන් බඩාගේ කම්මුල හරහා පාරක් දීපු කැරපොත්තී මාරු වුණේ ආයෙත් පන්තියේ හිනා හඬ මැද්දෙම. තමන් දීපු ලොකු ටෝක් එක අතේ පත්තු වෙච්ච කැරපොත්ති ගැන ගුරු කාමරයේ බොහොම කාලයක් ඉන් පස්සෙ කතා වුණා.