අපේ ගෙවල් බොහොමයක පුසෝ ඇති කරනවනෙ. බඩා මාමාත් තද "පූස් ලෝලියෙක්". කාලෙන් කාලෙට එක එක පූසෝ ගෙදර ඇති කරන්න බඩා මාමා උනන්දු වුණේ ඒ නිසා.
ඔන්න ඔය පින්තූරේ ඉන් පූස් තඩියා තමයි අන්තිමට හිටියේ. බොහොම සංවර විදියට හැදුණ හුරතල් පූසෙක්. හැබැයි අකාලයේ මළා. බඩා මාමා පූස් ලෝලියෙක් හින්ද පූසෝ ගැන සංවාද වලට නිතර සහභාගී වෙනවා. අපේ ඇනාට පාසල් කාලයේ හිටපු පූසා ගැනයි මේ කතාව.
ඇනා එක විදියක එකෙක් කියල දැන් කවුරුත් දන්නව ඇතිනේ. ඒකට ඇනාගේ පූසා! මස් මාළු කන්නේ නෑ. වට්ටක්කා ඇටයි, මුරුංගා පොතුයි තමයි මුගේ ජාතික ආහාරය. මස් මාළු කන්න ඕන පූසෙක් වට්ටක්කා ඇට කද්දී ඒකාගේ පෙණුම ගැන අටුවා ටීකා අවශ්‍ය නෑ නෙ. ඇනාගේ පූසා ගේ පෙනුම තිබුණේ බොහොම අසතුටුදායක මට්ටමක. මේ ගැන තැන් තැන් වලින් ඇහලා බැරිම තැන වෙට් (veterinary surgeon) කෙනෙක් ගාවට ඇනා ගියේ උත්තරයක් ගන්න. පූස් කෑම ටිකක් පූසාට දෙන්න වෙට් නියම කරල තියෙනවා.
පූසාට අවශ්‍ය විටමින් වර්ග එහෙම දෙන්න අවශ්‍ය නිසා ඇනා යූනියන් කෙමිස්ට් එකෙන් "විස්කස් (whiskas)" කියල අඳුන්වන පූස් කෑම ටින් එකක් රුපියල් 175කට අරන් තිබුණා. 1993 දී විතර රුපියල් 175ක් කියන්නේ මහ විශාල මුදලක්. විස්කස් වල තියෙන්නේ මාළු වලට විටමින් සහ වෙනත් පෝෂක දාලා හදපු කුට්ටි ගහපු තලපයක්. අවාසනාවක මහත කියන්නේඅ මස් මාළු නොකන ඇනාගේ පූසා "විස්කස්" උයල දුන්නට කන්නෙත් නෑලු! නප්පියට තද වෙච්ච ඇනාගේ තාත්තා ඇනාට බණිනවලු, "පූස කන්නෙ නැත්නම්, උඹම කාපිය, අපරාදේ සල්ලි" කියල!