Showing posts with label සිෆිලිස්. Show all posts
Showing posts with label සිෆිලිස්. Show all posts

Friday, October 12, 2012

33 කාමරය

බොහොම දවසකට පස්සේ බඩාට කතාවක් ලියන්න අවස්ථාවක් හම්බ වුණා. කථාවක් කිව්වට මේක කථා සමුදායක්.

ලිංගාශ්‍රිත රෝග (Venereal Diseases) කියන්නේ වෛද්‍ය විද්‍යාවේ වැදගත් කොටසක්. දැන් ලිංගාශ්‍රිත රෝග ඒකකය විදියට වෙනම ගොඩනැගිල්ලක, සාමාන්‍ය වාට්ටු වලින් දුරස්ව පිහිටුවලා තියෙන්නේ රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න. නමුත් මීට දශකයකට කලින් මේ ගොඩනැගිල්ල එතන තිබුණේ නෑ. ඒ වෙනුවට, බාහිර රෝගී අංශයේ, 33 කාමරයේ තමයි මේ සායනය තිබුණේ. රෝගීන් පරීක්ෂාව කලේ රෙදි තිර වලින් වෙන්කරපු කාමර ඇතුලෙ. මේ නිසා එක තැනක ඉඳන් හයියෙන් කියන දෙයක් අනික් කාමර වලටත් ඇහෙනවා.

මේ සායන වලට එක එක ජාතියේ කට්ටිය එනවා. විශ්වාස කළත් නොකළත් පූජ්‍ය / පූජක පක්ෂයේ අයත් එනවා! මේ අතරම මේ සායනය රස කතා උපද්දන තැනක්. මොකද මෙතන හිටපු කණිෂ්ට සේවකයන්ට තිබුණෙත් එක විදියක කටවල්.

අපේ පළමුවෙනි කතාවේ කථා නායකයා හාමුදුරු කෙනෙක්. ප්‍රශ්නය තමයි හාමුදුරුවන්ගේ ලිංගයේ තුවාලයක් මතුවීම. මේක "සිෆිලිස්" (syphillis) හෙවත් උපදංශය කියන රෝගය බව ඕනම
වෛද්‍ය දැනුමක් ඇති කෙනෙක්ට තේරෙනවා. එහෙම ලෙඩක් හදාගන්න නම් හාමුදුරුවෝ කොටුවක් පැනලා තියෙනවා ම යි. ඒත් හාමුදුරුවන්ගේ හේතු දැක්වීම වෙනස්. "මම නාද්දී ගලකින් ඇතුල්ලුවා" හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. කතාව අහගෙන ඉන්න බැරි තැන විශේෂඥ වෛද්‍යතුමිය අහනවා, "අවසර හාමුදුරුවනේ, ඔය ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනද?" කියල. හාමුදුරුවන්ට ඇප නෑ.

දෙවනි කතාවට සම්බන්ධ වෙන්නේ කන්‍යා සොහොයුරියක්. රෝගය "හර්පීස් (Herpes)". හර්පීස් රෝගයේදී ලිංග ප්‍රදේශය ආශ්‍රිතව වේදනා සහගත් තුවාල පොකුරු පොකුරු ඇතිවෙනවා. මෙහෙම බලද්දී අපේ කතා නායිකාව "කන්‍යා" කෑල්ල හැලිච්ච නිකම්ම සොහොයුරියක්. රෝගියාව පරික්ෂාවට සාමාන්‍යයෙන් ලැහැස්ති කරන්නේ කණිෂ්ට සේවිකාවක්. මේ ගෑණිට තියෙන්නෙත් ජරාම කටක්. අපට ඇහෙන්න කෑ ගහනවා "ආ, සර්, මෙන්න සතුටු උයනට ලයිට් දාපු එකක්"

එක දවසක් තවත මනුස්සයෙක් එනවා ආයෙත් පිරිමි ඇඟේ තුවාල හදාගෙන. ඒත් මේ තුවාල වල පෙනුම හරිම අමුතුයි. වෙනදාට තුවාලය දැක්ක ගමන් රෝග විනිශ්චය කරන්න පුළුවන් උණාට මේක එහෙම බෑ. විස්තරාත්මක රෝග නිදාන සෙවීමක් කරන්න ඕනේ කියල නියම වුණා. අපේ
වෛද්‍යතුමෙක් අහනවා " දැන් ඔය මහත්තය බිරිඳ නොවන ගෑණු කෙනෙක් එක්ක හිටියද?" උත්තරේ "නෑ". "එහෙනම් තව මිනිහෙක් එක්ක හිටියද?" ආයෙත් උත්තරේ "නෑ". "එහෙනම් ඕයි තමුසේ මොකෙක් එක්කද හිටියේ? මී හරකෙක් එක්කද?" තද වෙච්ච වෛද්‍යතුමා අහනවා. උත්තරේ "ඔවු සර්!"

හතරව්නි කතා නායකයා කොටියා. අපි බ්ලොම් නේවාසිකාගාරයේ ඉඳන් අදාල සායනයට එන කොට හැඩ කෙල්ලෙක් දැකලා කොටියා කියනවා "අරක නම් ගෙම්බෙක් මචන්, මම ටෝක් කරලා එන්නම්" කියල. කොටියගෙ පොතුයි, උගේ නවාපු සුදු කබායයි, මගේ අඩුම කුඩුමයි ඔක්කොම කර ගහගෙන බඩා අමාරුවෙන් ඉන්නවා. හැබැයි මේ කාන්තාව අතුරුදහන් වුනේ ඇසිල්ලකින්. කොටියා පලාතේ කෙටි මාර්ග ගැන හොඳට දන්නවා. බඩාට පස්සෙන් එන්න නියම කරලා, කොටියා කඩපිල් අස්සෙන්, මුඩුක්කු අස්සෙන් අර කාන්තාව පස්සෙන් යනවා. ඒත් වැඩේ හරි ගියේ නෑ. කොටියට සෑහෙන්න අප්සට්. "මෙහෙම කවදාවත් වුණේ නෑ" කොටියා කියනව. ඒ අස්සේ හයියෙන් ඇවිදලා දාඩිය දානවා. ඒ මදිවට පරක්කුත් වෙලා. කොටියට හිතින් බැණ බැණ කොටියත් එක්කම බඩා 33 කාමරේ දිහාවට ආවා. 33 කාමරේට අතුළු වෙනකොටම දැක්ක දෙයින් කොටියගෙ බොක්ක හෝ මොකක් හරි දෙයක් සීතල වෙලා හිරි වැටිලා යන්න ඇති. මෙන්න අර කාන්තාව ඉන්නවා ලිංගාශ්‍රිත රෝගයකට බෙහෙත් ගන්න ඇවිත්!