Friday, December 9, 2011

ඉබෝලා

මේ සිද්ධිය වුණේ 1995 දී. ඒ දවස් වල ඉබෝලා වසංගතයක් අප්‍රිකාවේ පැතිරෙමින් තිබුණා. ඉබෝලා කියන්නේ වයිරස් රෝගයක්, අවසානයේ මස් දියවීම ඇති කරවන. ඔය දවස් වලම තමයි අපේ උසස් පෙළ පන්තියට අළුත් ගුරුතුමියක් ආවෙත්. "ආසියාවේ රිදී සීනුව" විශ්‍රාම ගත්තට පස්සේ ආපු මේ ගුරුතුමියගේ පළමු පත්වීම තමයි මේ! ඇයට වයස 27ක් බව තමයි ඒ දවස් වල කිවුවේ. බොහොම මිටියි, කෙට්ටුයි. ඒකට හරියන්නම පන්තියේ හිටපු කොල්ලොන්ගෙන් බහුතරයක් හෙන උස මහත අය. (බඩා ගේ උස 5' 8". හැබැයි 28ක් හිටපු පන්තියේ බඩාට වඩා කොට කොල්ලො හිටියේ 7 - 8 විතර!) මේ ගුරුතුමිය එක්ක අපේ මව් පාර්ශවය තවත් හොඳ රෙකෝඩ් එකක් තිබ්බා (ඒක පසුවට). ඕනේ නම් කොල්ලොන්ට ගුරුතුමියව උස්සලා සාක්කුවේ දා ගන්නත් පුළුවන්. කොහොම වුණත් "සූ" එක කියල හඳුන්වපු පන්තිය හීලෑ කර ගන්න මේ ගුරුතුමියට වැඩි කාලයක් ගියේ නෑ. "ආසියාවේ රිදී සීනුව" බොහොම සැර පරුෂ ගුරුතුමියක් වුණාට කොල්ලෝ ඈ කියන දේවල් තඹයකට ගණන් ගත්තෙ නෑ. අළුතින් ආපු ගුරුතුමියට එහෙම නැත්නම් "සෛලිකාවට" (කියන්න බැරි වුණා, සත්ත්ව විද්‍යාව උගන්නන ගුරුතුමියක්) රැග් එකක් විදියට තමයි අංශ භාර ගුරුතුමා අපේ පන්තිය බාර දීල තියෙන්නේ!

කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ඉතින් අපි අළුත් ගුරුතුමී එක්ක හොඳටම හිතවත් වුණා. අපේ පන්තියේ වැඩ්ඩා පෙත්තා. මූ හැම දාම පළ වෙනියා. මමත් ඉතින් අමාරුවෙන් හරි දෙවනි තැනට එනවා. අළුත් ගුරුතුමියගේ ප්‍රියතම ගෝලයෝ දෙන්නා අපි. ඇනා අපේ පන්තියේ සුවිශේෂී සාමාජිකයෙක්. "දැකුම්" කලු, කොන්ඩේ ජෙල්, තෙල් ඔක්කොම ගාල පීරන, පිහිය වගේ මුවාතට "ක්‍රීස්" එක තියල කලිසම මදින ජැන්ඩි පහේ කොල්ලෙක්. ජැන්ඩියට අඳිනවා විතරක් නෙවෙයි, මේකා කරාටිකාරයා. සාක් තරඟ වල තේරීම් තරඟ වලට ඉදිරිපත් වෙච්ච ඇනාගේ අසවල් ප්‍රදේශයට වැදුණු පහරක් නිසා රෝහල් ගත වෙලා හිටිය. අපේ අළුත් ගුරුතුමියට ඇනා නැති බව දැන ගන්න ලැබුණේ මේ අතර.

ඇනා නැත්තෙ ඇයි කියල ගුරුතුමිය බඩා ගෙන් අහපි. පෙත්තා බඩා දිහා බලල ඇහැක් ගැහුවේ ගුරුතුමියට ගුලියක් අඹරමු කියන්න වගේ. "ආ මැඩම්, ඇනාට ඉබෝලා හදිල අක්මාව දිය වෙන්න අරන්, දැන් ඉස්පිරිතාලේ" මම කිවුවා. පෙත්තා කතාවට පෝර දාලා ඇනාට අන්තිම බව කියා හිටිය. ගුරුතුමියත් ඉතින් අග්‍ර ගෝලයින් දෙන්නගෙ කතාව හිස් මුදුණින් පිළි අරගෙන මේක ගිහින් ගුරු මණ්ඩල කාමරේදී කියල.

අපේ රසායන විද්‍යා ගුරුතුමා තමයි "ශ්‍රී වික්‍රම රාජසිංහ".  එයත් මේ වෙලාවෙදි එතන ඉඳලා තියෙනව. ඉතින් රාජසිංහ ගුරුතුමා අපේ සෛලිකාවගෙන් අහල ඕක කිව්වෙ කවුද කියල. ඉතින් තමන්ගේ අග්‍ර ගෝලයෝ දෙන්නගේ නම් එතෙන්දී එළියට ඇවිත් තියෙනව. කට කොණට කින්ඩි හිනාව දාගත්තු රාජසිංහ කියනවලු "ඕකුන් දෙන්න දෙන නින්ජා ගේම් ගැන තාම දන්නේ නැත්ද කියල" ඊට පස්සේ අග්‍ර ගෝලයෝ දෙන්න ගෙන්නලා රාජසිංහ ගුරුතුමා නඩුව ඇහුවා. සෛලිකාවට වස නෝන්ඩිය! හැබැයි අන්තිමේදී රාජසිංහ ගුරුතුමා කියනවා "ඇනාගේ අර අක්මාව දිය වෙනවා කිව්ව කතාව නම් ඇත්ත වෙන්න ඇති. හැබැයි ඉබෝල හින්ද නම් නෙවෙයි!" කියල. කතාවේ ඇත්ත දැන ගත්තේ අපි ටික කාලෙකට පස්සේ. ඇනයි, රාජසිංහයි දන්නෙම නැතුව බාර් එකේ එක මේසෙ ඉඳගෙන අඩියක් ගහලලු!

5 comments:

  1. අපේ සඳරුවත් එක පාරක් ඔය ගුරු ගෝල සම්බන්ධතාවය ඔප් නැන්වීමක් කරලා තිබුනා...

    අපේ හිටියා ගුරුවරියක් නම "සෝමාලියා" හිතා ගත්තැකිනේ ඇගේ තරම... පන්තිය ගාවට ආවම කොල්ලෝ පිම්බත් කෙල්ල එළියට යනවා... කරුමෙට ඉගැන්නුවෙත් සමාජ අධ්‍යයනය හා ඉතිහාසය..මේ ලෝකේ විදියකින් සිතියම්නං උගන්වන්න දෙන්නේ නැහැ..අපේ අත නවතින්නේ ‍සෝමාලියාව ළගම තමා...

    ReplyDelete
  2. ආදරණීය බඩෝ...උඹ මඩ ගහනකොට කාටද ගහන්නේ කියල අඳුරගන්න බැරි නමක් දැම්මොත් හොඳයි. තමන්ගේම ක්ලාස්මේට් සහ බැචා වෙච්ච කැනා ට ඔහොම බොරු මඩ ගහනකොට ඌ අඳුනගන්න පුළුවන් එවුන් මේක බලද්දී උගේ චරිතෙට මොකෑ වෙන්නේ? මොනවා උනත් ඉස්සර ඉස්කෝලේ කාලේ වගේම උඹේ නිර්මානශීලීත්වය නම් ඉහලයි.

    ReplyDelete
  3. කැනා ට කිසිම මඩක් නෑ මෙතන...හෙහ්...හෙහ්...නොදැනුවත්ව හරි ගුරුතුමා එක්ක බිව්ව කියන්නෙ ලේසි කෙලියක්ද?

    @ මාරයා,
    සඳරුව ගුරුතුමා එක්ක බීල තියෙන්නෙ ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ, මට මතක විදියට.

    ReplyDelete
  4. සඳරුවා බීලා තියෙන්නෙ පාසල හැර යෑමෙන් පසු!! ඒකත් මරු කතාව!!

    ReplyDelete
  5. අන්න වැදගත් කරුණක්...
    "ඇනයි, රාජසිංහයි දන්නෙම නැතුව බාර් එකේ එක මේසෙ ඉඳගෙන අඩියක් ගහලලු!"

    ReplyDelete