Thursday, October 18, 2012

මගුල් ගෙදර ජරමරය (18+)

බඩා වැඩ කරන රෝහලේම වැඩකරන වෛද්‍යතුමෙක් තමයි පියා. පියා කියන්නේ සුරතලේට කියන නම. හැබැයි වයස 35 පැන්නුවත් පියා කට ඇරියොත් කියන්නෙ කුණුහරුප. ඒ වුණත් ඉඳල හිටල නියම සිද්ධි වලට පියා පැටලෙනවා. උදේ දහයට විතර තේ එකක් බොන්න 520 කැන්ටිම වෙත යන්න ආපු බඩාට පියා ප්ලග් වුණා. මේ ගමන යැවෙන්නේ හදිසි අනතුරු අංශය මැදින්. එතෙන්ට මහ සෙනගක් විත්, ලස්සන ලස්සන ඇඳුම් ඇඳගෙන, මගුල් ගෙදරක් වගේ. 

ඒ අතරේ ඉන්නවා හොඳ පදමට ගුටි කාපු අවුරුදු 14ක විතර මෝඩ පහේ කොල්ලෙක්. කතාවේ හැටියට මේ කොල්ලා කට රියොත් කට කැඩුණු කතාවක්ම කියන එකෙක්. ඉතින් බඩායි, පියායි, දෙන්න පොඩ්ඩක් ඕපදූප ටික හාරලා බැලුවා. කොල්ල නම් අම්බානකටයි, තව ටිකකටයි ගුටි කාලා. බලද්දී මේ කොල්ලගේ අක්කගේ මගුල් ගෙදර අද! ඔක්කොම වැඩ ඉවර වෙලා මගුල් ගෙදරින් ජෝඩුව පිට වෙන්න හදද්දී කොල්ලගේ අක්කයි, අම්මයි බදාගෙන අඬනවලු (සාමාන්‍ය මගුල් ගෙදරක වගේ). කොල්ල මේක දැකල කියනවලු, "අම්මටත් *කයි, අක්කටත් *කයි" කියල. (තරුව වෙනුවට අකුරක් දාගන්න!). 

මෙහෙව් දවසකත් මූට කට පියන් ඉන්න බැරිද කියල කේන්ති ගත්තු මනාලයාගේ කට්ටිය කොල්ලට හොඳටම නෙලලා. බඩාත්, පියාත් කොල්ලට කතා කලාම උත්තර හම්බවුනේ අමුතු අඬකින්. කට ඇරලා බලුවම, කොල්ලට තියෙන්නේ පැළුණු තල්ලක්. (cleft palate) "අම්මටත් දුකයි, අක්කටත් දුකයි" කියන එක තමයි අර විදියට ඇහිල තියෙන්නේ.

Cleft Palate කියන රෝගී තත්වය කුඩා කාලයේදීම ශල්‍යකර්මයක් මගින් හරි ගස්සන්න ඕන. නැත්නම් කිරි ඉස්මොල්ලේ යාම ඉඳන් කථන දුර්වලතා වෙනකම් බෝහෝ ප්‍රශ්න ති වෙනවා. බොහෝ වෙලාවට පැළුණු තොලක් (Cleft Lip) එක්ක පිහිටියාම කැතට පේන නිසා ශල්‍යකර්මයට යොමු වීම වැඩියි. නමුත් තල්ලේ පමණක් ප්‍රශ්නය තියෙද්දී ඒක මග ඇරෙන්න පුළුවන්. 

ප.ලි. මේකටම සමාන වෙච්ච "සනීප නෑ ඩෝ" කතාව සහ ගොළු කොල්ලා ආච්චිගේ මුද්ද නැතිවීම ගැන කියන කතාව අහලා ඇති බවට උපකල්පනය කරනවා.

Friday, October 12, 2012

කිං කොං


බඩාගේ කට අන්තිම සවුත්තු බව දන් මේ "ළමා" කතන්දර පිටුව කියවන ඔක්කොම අය දන්නවානෙ. මේ සවුත්තු කට හින්දා නිතරම පීඩාවට පත්වෙච්ච කෙනෙක් තමයි අපේ භෞතික විද්‍යා ටියුෂන් ගුරුතුමා වෙච්ච ග්‍රේරෝ මහත්මයා. බඩා පන්තියේ ඉඳන් කියන පොඩි පොඩි කතා කෑලි, අනික් අය අහුලන් ලොකු රණ්ඩු ඇති කර ගන්න නිසා ග්‍රේරෝ ගුරුතුමා බඩා ගැන හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයේ. මේ කතාව සිද්ධ වුණේ 1995දී. ඒ කාලේ සිරිතක් තමයි කවුරු හරි ගොඩ් එන්න බැරි ගාණට බයිට් උණහම අත උස්සගෙන එතනින් මාරු වෙන එක.

බඩා එක්ක ඒ දවස් වල ගෑණු ලමයෙක් බොහොම හිතවත් කමක් තිබුණා. මේ කෙල්ල හරිම උනන්දුයි වැඩ වලට. බඩා ගේ උනදුව ගැන නම් කියන්න ඕනේ නැහැනෙ. කෙල්ලත් වැඩි පෙනුමක් එහෙම නැති අතිශයින්ම සාමාන්‍ය කෙල්ලෙක්. ඒ වුනාට අතිශය අසාමාන්‍ය නිරීක්ෂණ ශක්තියක් තියෙන ග්‍රේරෝ ගුරුතුමා මේක සති ගාණක් හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. පාඨක පිරිස නොදන්නවා නම්, බඩා ඒ කාලේත් අද වගේම මහතයි. කාලයක් තිස්සේ යගුලිය වීසි කරපු නිසා ඒ කාලේ ශරීරයේ මස්පිඩු එහෙම හොඳට හැදිලා තිබුණා. බඩා කොහොමත් කළුයි. දිග කොණ්ඩයක් වවාගෙන හිටියේ ශිෂ්‍ය නායකයන් එක්ක ගේමට බහින්නමයි. බඩා මාමා හිතන්නේ දැන් කට්ටියට චිත්‍රයක් මැවිල ඇති කියල.

ග්‍රේරෝ ගුරුතුමා බඩා ගේ මිත්‍ර කෙල්ලගෙන් අහනවා "ඔය ළමය කිං කොං චිත්‍ර පටිය බළල තියෙනවද?" කියල. ග්‍රේරෝ ගුරුතුමා ඊලඟට පටන්ගන්නවා කිං කොං ගැන චූර්ණිකාව. "ඒ චිත්‍රපටියෙ ඉන්න නිළියත් ඔය ළමය වගේ. කිං කොං ට කවුරුවත් කැමති නෑ, හැබැයි අන්තිමේදී කැමති වෙනවා එක කෙල්ලෙක්. කිං කොං කළුයි, මහතයි, ගොඩක්ම ශක්තමත්. හැබැයි ඉතින් කිසිම ලස්සනක් නෑ". එතකොටම පස්සෙ ඉඳගෙන ෆරීඩ් කාරයා අහනවා "සර්, කිං කොං කියන්නේ කවුද? " කියල. පරන ඉංග්‍රීසි පත්තරයක් අතින් අතට යන්න ග්‍රේරෝ ගුරුතුමා පාස් කලා. ප්‍රහාරය එන්නේ කොහාටද කියල තේරුම් ගන්න බඩාට මිනිත්තුවක්වත් ගියේ නෑ. එතකොට පත්තරේ බඩා ඉන්න පේළියට ඇවිත් වත් නෑ. කිං කොං කියන්නේ කවුද කියල බඩා නං දැනගෙන හිටිය. සාමාන්‍යයෙන් කාටවත් බයිට් කරන්න බැරි, "බයිට් පෲෆ්" බඩා මාමාට එදා නම් ඇප කැන්සල්. කරන්න දෙයක් නැති කමට බඩා අත උස්සගෙනම් ඊලඟ ගාණ හදන්න පටන් ගත්තා. මෙන්න මේ පහළ රූපේ ඉන්නේ කිං කොං.


අපේ හිටපු පාප මිත්‍රයෝ ඊලඟට කිං කොං කියන එක බඩාට කාඩ් කලේ හැරෙන තැපෑලෙන්.

ප.ලි. කිං කොං කියන්නේ 1933 දී තිරගත වෙච්ච, 2005 දී නැවත හදාපු චිත්‍රපටියක්.

33 කාමරය

බොහොම දවසකට පස්සේ බඩාට කතාවක් ලියන්න අවස්ථාවක් හම්බ වුණා. කථාවක් කිව්වට මේක කථා සමුදායක්.

ලිංගාශ්‍රිත රෝග (Venereal Diseases) කියන්නේ වෛද්‍ය විද්‍යාවේ වැදගත් කොටසක්. දැන් ලිංගාශ්‍රිත රෝග ඒකකය විදියට වෙනම ගොඩනැගිල්ලක, සාමාන්‍ය වාට්ටු වලින් දුරස්ව පිහිටුවලා තියෙන්නේ රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න. නමුත් මීට දශකයකට කලින් මේ ගොඩනැගිල්ල එතන තිබුණේ නෑ. ඒ වෙනුවට, බාහිර රෝගී අංශයේ, 33 කාමරයේ තමයි මේ සායනය තිබුණේ. රෝගීන් පරීක්ෂාව කලේ රෙදි තිර වලින් වෙන්කරපු කාමර ඇතුලෙ. මේ නිසා එක තැනක ඉඳන් හයියෙන් කියන දෙයක් අනික් කාමර වලටත් ඇහෙනවා.

මේ සායන වලට එක එක ජාතියේ කට්ටිය එනවා. විශ්වාස කළත් නොකළත් පූජ්‍ය / පූජක පක්ෂයේ අයත් එනවා! මේ අතරම මේ සායනය රස කතා උපද්දන තැනක්. මොකද මෙතන හිටපු කණිෂ්ට සේවකයන්ට තිබුණෙත් එක විදියක කටවල්.

අපේ පළමුවෙනි කතාවේ කථා නායකයා හාමුදුරු කෙනෙක්. ප්‍රශ්නය තමයි හාමුදුරුවන්ගේ ලිංගයේ තුවාලයක් මතුවීම. මේක "සිෆිලිස්" (syphillis) හෙවත් උපදංශය කියන රෝගය බව ඕනම
වෛද්‍ය දැනුමක් ඇති කෙනෙක්ට තේරෙනවා. එහෙම ලෙඩක් හදාගන්න නම් හාමුදුරුවෝ කොටුවක් පැනලා තියෙනවා ම යි. ඒත් හාමුදුරුවන්ගේ හේතු දැක්වීම වෙනස්. "මම නාද්දී ගලකින් ඇතුල්ලුවා" හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. කතාව අහගෙන ඉන්න බැරි තැන විශේෂඥ වෛද්‍යතුමිය අහනවා, "අවසර හාමුදුරුවනේ, ඔය ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනද?" කියල. හාමුදුරුවන්ට ඇප නෑ.

දෙවනි කතාවට සම්බන්ධ වෙන්නේ කන්‍යා සොහොයුරියක්. රෝගය "හර්පීස් (Herpes)". හර්පීස් රෝගයේදී ලිංග ප්‍රදේශය ආශ්‍රිතව වේදනා සහගත් තුවාල පොකුරු පොකුරු ඇතිවෙනවා. මෙහෙම බලද්දී අපේ කතා නායිකාව "කන්‍යා" කෑල්ල හැලිච්ච නිකම්ම සොහොයුරියක්. රෝගියාව පරික්ෂාවට සාමාන්‍යයෙන් ලැහැස්ති කරන්නේ කණිෂ්ට සේවිකාවක්. මේ ගෑණිට තියෙන්නෙත් ජරාම කටක්. අපට ඇහෙන්න කෑ ගහනවා "ආ, සර්, මෙන්න සතුටු උයනට ලයිට් දාපු එකක්"

එක දවසක් තවත මනුස්සයෙක් එනවා ආයෙත් පිරිමි ඇඟේ තුවාල හදාගෙන. ඒත් මේ තුවාල වල පෙනුම හරිම අමුතුයි. වෙනදාට තුවාලය දැක්ක ගමන් රෝග විනිශ්චය කරන්න පුළුවන් උණාට මේක එහෙම බෑ. විස්තරාත්මක රෝග නිදාන සෙවීමක් කරන්න ඕනේ කියල නියම වුණා. අපේ
වෛද්‍යතුමෙක් අහනවා " දැන් ඔය මහත්තය බිරිඳ නොවන ගෑණු කෙනෙක් එක්ක හිටියද?" උත්තරේ "නෑ". "එහෙනම් තව මිනිහෙක් එක්ක හිටියද?" ආයෙත් උත්තරේ "නෑ". "එහෙනම් ඕයි තමුසේ මොකෙක් එක්කද හිටියේ? මී හරකෙක් එක්කද?" තද වෙච්ච වෛද්‍යතුමා අහනවා. උත්තරේ "ඔවු සර්!"

හතරව්නි කතා නායකයා කොටියා. අපි බ්ලොම් නේවාසිකාගාරයේ ඉඳන් අදාල සායනයට එන කොට හැඩ කෙල්ලෙක් දැකලා කොටියා කියනවා "අරක නම් ගෙම්බෙක් මචන්, මම ටෝක් කරලා එන්නම්" කියල. කොටියගෙ පොතුයි, උගේ නවාපු සුදු කබායයි, මගේ අඩුම කුඩුමයි ඔක්කොම කර ගහගෙන බඩා අමාරුවෙන් ඉන්නවා. හැබැයි මේ කාන්තාව අතුරුදහන් වුනේ ඇසිල්ලකින්. කොටියා පලාතේ කෙටි මාර්ග ගැන හොඳට දන්නවා. බඩාට පස්සෙන් එන්න නියම කරලා, කොටියා කඩපිල් අස්සෙන්, මුඩුක්කු අස්සෙන් අර කාන්තාව පස්සෙන් යනවා. ඒත් වැඩේ හරි ගියේ නෑ. කොටියට සෑහෙන්න අප්සට්. "මෙහෙම කවදාවත් වුණේ නෑ" කොටියා කියනව. ඒ අස්සේ හයියෙන් ඇවිදලා දාඩිය දානවා. ඒ මදිවට පරක්කුත් වෙලා. කොටියට හිතින් බැණ බැණ කොටියත් එක්කම බඩා 33 කාමරේ දිහාවට ආවා. 33 කාමරේට අතුළු වෙනකොටම දැක්ක දෙයින් කොටියගෙ බොක්ක හෝ මොකක් හරි දෙයක් සීතල වෙලා හිරි වැටිලා යන්න ඇති. මෙන්න අර කාන්තාව ඉන්නවා ලිංගාශ්‍රිත රෝගයකට බෙහෙත් ගන්න ඇවිත්!