Showing posts with label දහම් පාසල. Show all posts
Showing posts with label දහම් පාසල. Show all posts

Tuesday, December 22, 2015

ඩොක්ට මර්වින් | Doctor Mervyn

බඩා පොඩි කාලේ ගියේ ගෙවල් ලඟ දහම් පාසලට. පොඩි කාලේ කිව්වට ධර්මාචාර්ය විභාගය වෙනකම්ම ඉගෙන ගත්තා. බඩාගේ ප්‍රාථමික අධ්‍යාපනය වගෙම, ද්විතීයික අධ්‍යාපනය සිදු වුනෙත් පිරිමි පාසල් වලනෙ. ඉතින් ශිෂ්‍යාවන් එක්ක කටයුතු කරන්න ලැබුණ සීමිත අවස්ථා වලින් එකක් තමයි දහම් පාසල. පොඩි පන්ති වලදී වෙන වෙනම ඉඳ ගත්තට, දහයේ පන්තියට එනකොට අපි ඔක්කොම ඉඳගන්නේ ගැහැණු පිරිමි බේදයක් නැතුව. අන්තිමට පන්සලේ ලොකු හාමුදුරුවෝ "ගින්දරයි, පුළුනුයි එක ලඟ තියන්න හොඳ නෑ" කියමින් පන්තියේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් දෙපසට වෙන් කළා. අපේ පන්තියේ හිටපු ඉන්දිකයා ඔය ගින්දර කතාවට කිව්වේ "ලොක්කගේ දෙකේ පුළුන් තමයි ගිණි ගන්නේ" කියල. කෙසේ හෝ කාන්තාවන්ට ගරු සරු ඇතුව සලකන්න බඩා පුරුදු වුණේ දහම් පාසලෙන් කීවොත් නිවැරදියි. 

අපේ පන්තියට පහළ පන්තියේ තරමක කටකාර සහ හැඩ කාර කෙල්ලක් හිටියා. එයාට අපි ලක්මිණි කියමු. අපි දන්න තරමට ඇගේ පියා වෛද්‍යවරයෙක්. අපේ දහම් පාසල් භක්ති ගීත කණ්ඩායමේ පුහුණු කිරීම් කරන්න දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච, බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වෙච්ච "පබ්ලික් අයියා" පැමිණියා. පබ්ලික් ට තියෙන්නේ කැත කටක්. බඩා පබ්ලික් එක්ක සෙට් වුණේ පටිගත කරපු භක්ති ගීත හුවමාරු කල නිසා. පබ්ලික් අයියා ලක්මිණි එක්ක පොඩි "ජිගි ජිගියක්" තියෙන බව බඩා ගේ මීටරේට වැටිලයි තිබුනේ. පබ්ලික් අයියා දවසක් කියනවා "මල්ලි, ලක්මිණිගේ තාත්තා හම්බවෙන්න යමුද?, පොර අපිට ෆ්ලූට් එකක් දෙනවලු" කියල. බඩාත් එකඟ වුණා. කළුබෝවිල රෝහලට බඩා එක්ක පබ්ලික් ගියා. අදාල වාට්ටුවට ගිහින් පබ්ලික් අහනවා "මිසී, ඩොක්ට මර්වින් කොහෙද ඉන්නේ?" කියල. මූණට කිණ්ඩි හිනාවක් දාගත්තු නර්ස් නෝනා අත දික් කරලා පෙන්නන ගමන් කියනවා "ඔය එන්නේ, ට්‍රොලී තල්ලු කර ගෙන" කියල.

ලක්මිණී එක්ක පබ්ලික් තිබ්බ ජිගි ජිගිය එතනින්ම ඉවරයි.