Showing posts with label ළමා රෝහල. Show all posts
Showing posts with label ළමා රෝහල. Show all posts

Wednesday, November 6, 2013

බෝඩ් ගහගන්න

මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා.

දවසක් අපේ මහාචාර්යතුමා කඩිසර ගමනින් රෝහලේ කොරිඩෝවක් දිගේ යද්දී ටිකක් උස මහත මිනිහෙක්ගේ ඇඟේ හැපෙනවා. ටිකක් රිදුණ නිසාත්, කල්පනා කරමින් ගිය සිතිවිලි දාමය බිඳී යාම නිසාත් මහාචාර්යතුමා යක්ෂාවේශ වෙනවා.
"ඔහේ මොකඩ්ක ඇඟේ හැපෙන්නේ?" මහාචාර්යතුමා අහනවා. උඩ බලාගෙන ගියේ මහාචාර්යතුමා වුණාට අර මනුස්සයා යටහත් පහත්ව කියනවා "සමාවෙන්න මහත්මයා" කියල.
"තමුසේ දන්නවද, මම තමයි මහාචාර්ය ....... එහෙම ඇඟේ හැපෙන්න බෑ" මහාචාර්යතුමා ගුගුරනවා.
ආයෙත් පොඩ්ඩක් නැමිලා එහෙම අර මනුස්සයා කියනවා "සමාවෙන්න සර්, මම දන්නේ නෑ නෙ. ඊලඟ දවසේ ඔබතුමා නම ගහල බෝඩ් එකක් පිටේ එල්ලන් යන්න. මම එතකොට අයින් වෙලා යන්නම්" කියල. මහාචාර්යතුමා ගෙම්බෙක් වගේ පිම්බෙනවා, හොරෙන් බලා ඉන්න අපේ බඩවල් කොර වෙනවා හිනා වෙලා!

Monday, July 29, 2013

අන්න බබෝ ඇතින්නියා

බඩා ඇතුළු කණ්ඩායම මගින් කළ අති සාර්ථක නම් තැබීමක් වුණු කොණ්ඩයා ගැන කියවන පිරිසට මතකයි කියල හිතනවා. කොණ්ඩයා යකඩ උස්සලා ඇඟ පුම්බ ගත්තට මොකද කලාවට බර, සින්දු කියන්න පුළුවන් බොහොම මෘදු මනුස්සයෙක්. ඒ කාලේ ඉඳලාම ළමයින්ට දැක්කුවේ පුදුම ලෙන්ගතු කමක්. මේ අපි ළමා වාට්ටුවේ වැඩ කරද්දී වුණු රස කතා කීපයක්.

සාමාන්‍යයෙන් සැත්කමකට කලින් රෝගියෙක්ව පැය හයක් විතර නිරාහාරව තබනවා. වතුර බොන්න දෙන්නෙත් නැහැ. එහෙම කරන්නේ සිහි නැති කරන ඖෂධ වමනයත් ඇති කරවන නිසා අමාශයේ හිස්ව තබා ගැනීම වැදගත්. ඔය විදියට සැත්කමකට මුහුණ දෙන්න හිටපු අවුරුදු හයක විතර පොඩි එකෙක් වාට්ටුවේ හිටියා. හැබැයි මේ පොඩි එකා බත් කන්නේ නෑ. කන්නේ පාන්, රස්ක්ස්, සීරියල් වගේ ජාති විතරයි. බත් කවා ගන්න බැරුව පොඩි එකාගේ අම්මා හිටියේ සෑහෙන්න මුසුප්පුවෙන්. කොහොම හරි දන් කොල්ලා පැය හතක් විතර බඩගින්නේ . කොණ්ඩයා රෝගියා ගැන විස්තර දරුවාගේ මවගෙන් ලබා ගත්තට පස්සේ, බත් නොකන විත්තිය දැන ගත්හ ගමන්, "පුතා බත් හරි රහයිනෙ" කියල කිව්වලු. මේ වෙද්දිම එහා පැත්තේ ඇඳේ දරුවට එයාගේ අම්මා බත් කවනවා. අපෙ මේ කොලුවා අම්මා එහා මෙහා වෙනකම් ඉඳලා එහ පැත්තේ ළමයගේ අම්මගෙන් ඉල්ලගෙන මෙන්න හොඳට බත් කනවා! සැත්කම පමා වෙලා කොණ්ඩයා ජ්‍යෙෂ්ට වෛද්‍යතුමන්ලගෙන් බලු බැණුම් අහපු එක වෙනම දෙයක්, හැබැයි එදා ඉදන් කොල්ලා බත් කන්නේ පොර කකා!

ළමා රෝහලේ 01 වාට්ටුව පිටිපස්සේ ලොකු කළු ගල් ගොඩක් ඒ දවස් වල දාලා තිබුණා. එක ඇඳක ළමයෙක් අඬනවා, අම්මටවත් නළව ගන්න බෑ. කොණ්ඩයාට ලස්සන කටහඬක් හා ගායන හැකියාවක් තියෙනවා. "කෝ දෙන්න, මම කවියක් කියන්නම්" කියල ළමයා නැලවිල්ල කොණ්ඩයා බාර ගත්තා. එතකොට අපිට පේන්වා අර ගල් ගොඩ උඩට නැගපු අතිශය තරබාරු කාන්තාවක් රෙදි වනනවා. කොණ්ඩයා මෙන්න මෙහෙම නැලවිලි ගීතයක් කියනව අර කාන්තාව දිහාවට අත දික්කරගෙන.

"අන්න බබෝ ඇතින්නියා
ගල් ගොඩ උඩ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පැන පැන රෙදි වනන්නියා"

ළමයා නැලවුණාද කියල නම් බඩාට මතක නැහැ. ඒත් වටේ හිටපු අම්මලා ගේ බඩවල් නෑ හිනා වෙලාම.