Wednesday, August 13, 2014

කාර් ගැන කතා නොවේ!

වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා.

පළමුවෙන්ම කෙරෙන්නේ නිරීක්ෂණය (inspection). උදාහරණයක් ලෙස කීවොත් රෝගියෙකුගේ පපුවේ යම් කොටසක් අඩුවෙන් චලනය වීම පෙණහැල්ලේ එම කොටසේ රෝගයක් අති බවට සාක්ශි සපයනවා. දෙවව කරන්නේ අල්ලා බැලීම (palpation). මතු පිට සමේ සහ සමට එතරම් නොගැඹුරුව පිහිටන අවයව (උදා. හෘදය වස්තුව, අක්මාව සහ ප්ලිහාව) ගැන යම් තොරතුරු දැන ගන්නට පුළුවන්. තෙවනුව එන්නේ තට්ටු කර බැලීම (percussion). මෙහිදී වෛද්‍යවරයා තමන්ගේ ඇඟිලි විහිහිදවූ අත රෝගියාගේ උරස හෝ උදරය මත තබා එහි මැද ඇඟිල්ලට අනෙක් අතෙ ඇඟිල්ලකින් තට්ටු කිරීම සිදු කරනවා. එයින් නැගෙන ශබ්දයෙන් යම් යම් කාරණා දැන ගන්න පුළුවන්. අවසනයේ කරන්නේ වෙද නළාවෙන් පරීක්ෂා කිරීම (auscultation).

සාමාන්‍යෙන් මේ මූලධර්ම යෙදෙන්නේ රෝගියකු පරීක්ෂාවට වුණත්, මේ විදියට කාර් පරීක්ෂා කරන බැචෙකුත් බඩාගේ විශ්ව විද්‍යාල සමයේ සිටියා! මුලින්ම මේ බැචා ගැන කියනවා නම්, මනුස්සයා බොහොම සිහින් සිරුරක් තියෙන මිටි පුද්ගලයෙක්. මෙයට සමාන නමක් තියෙන උස මහත බිත්තරයාගෙන් වෙන් කරලා අඳුනා ගන්න කොල්ලට කිව්වේ "ඇට්‍රොපියා" කියල. "Atropy" කියල ලතින් භාෂාවෙන් කියන්නේ යම් ඉන්ද්‍රියක් හෝ පටකයන් හායනය වීම එහෙම නැත්න කුඩාවීමට. ඒ නිසා අපේ මිතුරාට "හායනයා" හෙවත් "ඇට්‍රොපියා" යන්නයි භාවිතා වුණේ.

ඇට්‍රොපියාට තිබුණේ පරණ 11 ශ්‍රී ලාන්සර් කාර් එකක්. සතිය පුරා නේවාසිකාගාරයේ ඉන්න ඇට්‍රොපියා, සති අන්තයේ ගෙදර යන්නේ කාර් එකෙන්. සෙනසුරාදා දවල්ට. ඇට්‍රොපියාගේ කාර් පරීක්ෂාව අපට සතියකට සැරයක් බලන්න හම්බ වෙන්නේ එහෙමයි.

ඇට්‍රොපියා මුලින්ම කරන්නේ කාර් එක වටේ රවුම් තුනක් යන එක (inspection). ඊට පස්සේ කාර් එකේ බොඩිය අත ගගා තව රවුමක් යනවා (palpation). ඊට පස්සේ රෝද හතරට අතින් ගහල බලනවා (percussion), ඊට පස්සේ එන්ජිම පණ ගන්වලා මිනිත්තුවක් පමණ කන්දීගෙන ඉන්නවා (auscultation). හැම සති අන්තයකම ක්‍රියාව ඔය විදියයි.

මේ වගේම නොවුණත් කාර් එකට පණ හා සමාන ලෙස ආදරය කරන මහාචාර්යතුමෙක් පෙරාදෙණිය සරසවියේ හිටියා. මේ මහාචාර්යතුමා සති අන්තයේ පැය හතරක් වාහනය හෝදලා, වැකුම් ක්ලීන් කරලා, කාපට් හෝදලා ඇතුලට පත්තර එහෙම දානවා. ඊට පස්සේ කාර් එක ගෙනත් පේරාදෙණිය සරසවියේ රථ නැවතුමේ නවත්තලා තියෙනවා. වහින දවසට මහාචාර්යතුමා වාහනෙන් යන්නේ නෑ! යනෙන ත්‍රී වීලරයෙන්! වැස්ස නැති දාට හෙමින් සැරේ වාහනය ලඟට එන මහාචාර්ය තුමා, මුලින්ම වාහනය වටේ වටයක් යනවා. ඊටපස්සේ ඩිකිය ඇරලා සෙරෙප්පු දෙකක් එළියට ගන්නවා. ඉස්සරහ සීට් එකට ගිහින් ඉඳ ගන්නවා, ඒත් කකුල් දෙක එළියේ හිටින්න. සපත්තු ගලවල්ල කකුල් අතුලට ගන්න මහාචර්යතුමා සෙරෙප්පු පැලඳ ගන්නවා. ගලවපු සපත්තු දෙක සෙරෙප්පු දාපු කවරෙට දාලා ඇතුලෙන් තියා ගන්නවා!

කාර් ගැන ගොන් පාට් ලියපු සරසවි ආචාර්යවරුත් නැතුවා නොවේයි. තමන්ගේ කෙටිකතාවක සරසවි ඇදුරන්ගේ ජීවිත විසංයෝජනය කරන ශිෂ්‍ය මුරකරුවෙක් ගැත කතාවක් තියෙනවා. අදාල මහාචාර්යතුමාට එක වගේ කාර් දෙකක් තිය්නවාලු. විසංයෝජකයා කරනෙන ඒවායේ කීටැග් මාරු කිරීම. විසංයෝජකයාගේ ගෘහ භාණ්ඩ විසංයෝජනය නිසා තුවාල වෙන පීඨාධිපතිව රෝහලට ගෙනියන්න බැරි වෙනවා මොකද කාර් දෙකම පණ ගැන්වෙන්නේ නැති නිසා. හැබැයි අමරකීර්ති උන්නැහේට අමතක වෙන්න ඇති වැරදි යතුරෙන් වැරදි කාර් එකේ දොර ඇරෙන්නේත් නැති විත්තිය! ඒවගෙම "unlock" බොත්තම තද කළාම අදාල කාර් රථයේ විදුලි පහන් දැල්වී නිවෙන බව. හැබයි අමරකීර්ති මහත්තයාගේ ගෝලයන්ට නම්, 1992 කාලය ගැන කියන චිත්‍රපටියක වන ජයන්ත චන්ද්‍රසිරිගේ සමණල සංධවනියේ මෝටර් සයිකලයක ඉංගිරිසි අකුරු නොම්මර තියෙන එක නම් මහම ලොකු දොසක්!