Friday, December 30, 2011

වද නොදී බලනවකො


රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල පාසලක්. රීඩ් මාවතේ ඉඳලා විශ්ව විද්‍යාල මාවත වෙනකම් මේ පාසල විශාලයි. කොටින්ම කොළඹ නගර සීමාව ඇතුලේ තියෙන විශාලම ඉඩම් වලින් එකක්. බඩා ගේ උසස් පෙළ පන්ති තිබුණේ රීඩ් මාවතට මූණලා තියෙන පුරාණ ගොඩනැගිල්ලේ. පන්තියේ කවුළුවෙන් එළිය බැලුවාම කෙලින්ම පේන්නේ රීඩ් මාවත සහ තුරඟ තරඟ පිටිය (දැන් නම් රේස් කෝස් එක අයින් කරලා). උසස් පෙළ ගොඩනැගිල්ලට කෙළින්ම පහළින් තියෙන්නේ පැසිපන්දු පිටි. එක වර තරඟ තුනක් ක්‍රීඩා කරන්න පුළුවන් විදියේ පැසි පන්දු පිටි තුනක් එතන තිබුණා. (ඔය පින්තූරේ පේන වේදිකාව හදල තියෙන්නේ පැසි පන්දු පිටියේ. ඔය පේන ගොඩනැගිල්ලේ උඩු මාලයේ තමයි අපේ පන්ති තිබුණේ) මේ කතාවට සම්බන්ධ කාලය එන කොට අපි උසස් පෙළ අවසන් වසරේ. ඒ කාලෙම පැසි පන්දු ශූරතාවක් පැවැත්වුණා. ඒකට විවිධ කණ්ඩායම් රට වටෙන්ම ඇඉත් හිටපු අතර කාන්තා පාසල් කණ්ඩායම් සෑහෙන ගාණකුත් සහභාගි වුණා. තරඟාවලියේ විශාල කම නිසාම උදේ වරුවේ ඉඳන් තරඟ පැවැත්වුණා.

පැසි පන්දු ක්‍රීඩා කරන්නේ කොට කලිසම් ඇඳගෙන බව ආයෙත් කියන්න ඕන නෑනේ. ඒ නිසාම ගුරුවරු පොඩක් එහා මෙහා වෙච්ච ගමන්ම අපි කලේ ජනේලය ගාවට වෙලා කෙල්ලන්ගේ "ගල්" බලන එක. අපේ කතාවේ කතා නායකයා ඇනා (ඉබෝලා ඇනාම තමා). උදේ 7.00 වෙද්දී පාසලට එන අපි, උදේ 7 - 7.30 ඇතුලේ කට්ටිය ඇඟ උණුසුම් වීමේ ව්‍යායාම කරනවා බල බල උණුසුම් වෙනවා.

අපිට උද්භි
විද්‍යාව ඉගැන්නුවේ මාලතී ප්‍රනාන්දු කියල හඳුන්වන ප්‍රසිද්ධ ගුරුතුමිය. පන්තියේ ඉගෙන ගන්න ළමයින්ට තම්න්ගේ ටියුෂන් පන්තියට ඒන එකේ ඕන කමක් නෑ කියන තරමටම ඇය උනන්දුවෙන් ඉගැන්නුවා. ඒ වගේම අපේ වයසට කිට්ටු වයසේ දරුවන් දෙදෙනෙක්ගේ මවක් විදියට අපි කරන දේවල් හිනා වෙලා ඉවසා ගෙන හිටියේ "කොල්ලෝ ඔහොම තමයි" කියල කියන ගමන්. ඔන්න ඉතින් මාලතී ගුරුතුමියත් පන්තියට හෙමින්ම ආවේ පාඩම පටන් ගන්න. ඇය එනවා දැකපු අපි දඩි බිඩියේ අපේ පුටු වලට දුවලා ගියත් ඇනා තවමත් බඩු බල බල කොණ්ඩේ පීරනවා. අපි පුටු වලට දුවල ගිහිපු සද්දෙවත් ඇනාට ඇහුණේ නෑ. අපේ ගුරුතුමියත් හෙමින්ම ඇනා ලඟට ගිහින් පිටට පොඩි තට්ටුවක් දැම්ම. "වද නොදී බලන එකක් බලනවකො, තට්ටු දාල ආතල් කඩන්නෙ නැතුව" කියල ඇනා කිව්වේ අපි තට්ටුවක් දැම්ම කියල හිතාගෙන. "ආ එහෙනම් බලල ඉවර වෙලාම එන්ඩකෝ" කියාගෙන ගුරුතුමිය ගුරු මේසේ ගාවට ගියේ පාඩම පටන් ගන්න. අපිට හිනා වෙලාම ඇප නෑ.

Thursday, December 29, 2011

මැඩම් බය ද?


බඩා ගේ උසස් පෙළ පන්තිය ගැන දැනටමත් කීප දෙනක් දන්නව ඇති. මේ පන්තියට "සූ" එක කියල කියපු බවත්, පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයන් කියල කියන අයත් "කීකරු සිසුන්" නොවෙන බවත් පාඨකයන්ට මතක ඇති. රාජකීය විද්‍යාලයේ උසස් පෙළ එක විෂයයක් ගුරුවරුන් දෙන්නෙක් උගන්නනවා. සත්ත්ව විද්‍යාව උගන්නපු එක ගුරුතුමියක් "සෛලිකා" බව මම කලින් කිවුවා. අනික් ගුරුතුමිය බොබ් කට් කපපු, උස, කෙට්ටු, තළෙලු කාන්තාවක්. ඉස්සරහ දත් අතර පොඩ්ඩක් ඉඩ තිබුණ වගේ මතකයි. ඒ එක්කම හැප්ස්බර්ග් යටිහණුවකුත් (උඩු හණුවට වඩා දිග යටි හණුව) ඇයට තිබුණා. මේ හැඩ හුරුකමත්, සත්ත්ව විද්‍යාව උගැන්නීමත් කාරණා කොටගෙන අපි ගුරුතුමියට කිව්වේ "කැරපොත්ති" කියල. ගුරුතුමියගේ වයස 10ක් වෙච්ච පුතාට කිව්වේ "ශිශුවා" කියල.

ඒ කාලේ සත්ත්ව විද්‍යාවේ පළමුවෙනි පාඩම කැරපොත්තා. (අර නම දාන්න තවත් හේතුවක්). ප්‍රායෝගික පරීක්ෂණ වලට අපිට කැරපොත්තා විච්ඡේදනය අනිවාර්ය අංගයක් වුණා. අදාල ප්‍රායෝගික කාලය වෙනුවෙන් කැරපොත්තා විච්ඡේදනයට කැරපොත්තන් අල්ලන් එන්න කියල "කැරපොත්ති" කලින් දවසේ අපට කියල තිබුණ. අද වගේම එදාත්, බඩා කම්මැලියා. කාණු අස්සේ බඩ  ගගා, අල්මාරි ගස ගස, කැරපොත්තෝ හොයන්න කම්මැලි නිසා බඩා හිස් අතින්ම පාසැල් ගියා. හිතපු විදියටම "කැරපොත්ති" බඩාව බෙල්ල මුලින්ම අල්ල ගත්තේ කැරපොත්තෝ නොගෙනාවට. මේ වෙලාවේ බඩාට ගණ දෙවි නුවණ පහළ වුණා. කැරපොත්තන් ගෙනාවේ නැත්තේ උන්ට බය නිසා බවට බඩා අලි පතාර් ටොම් පචයක් ඇද බෑවේ ඒ නිසා. "අපෝ ඔච්චර ඇඟක් තියාගෙනත් කැරපොත්තන්ට බය ද" කියල කැත ඔලොක්කුවක් බඩාට ගුරුතුමිය දැම්මා. "මැඩම් කැරපොත්තන්ට බය නැත්ද?", ඒ ප්‍රශ්නය බඩා ගෙන්. "අපෝ නෑ" කියපු කැරපොත්තී, "ඔය බඩ දැක්කම කැරපොත්තෝ දුවනව කියලයි මම හිතුවෙ" කියල ආයෙත් ඔලොක්කුවක් දැම්මේ බඩා පන්තියේ "ලාෆින් ස්ටොක්" එක බවට පත් කරමින්.

වෙච්ච නව නිංගිරාව ගැන හිත හිත යන බඩාගේ ඔළුවට සැලසුමක් දැම්මේ එස්ටරයා. එස්ටරයා පහුවෙනිදා කැරපොත්තෝ පාර්සලයක් අරන් ආවා (20ක් විතර! ඌ එච්චර කොහොම ඇල්ලුවද මන්දා!). සත්ත්ව විද්‍යාව පාඩමට එදා ද්විත්ව කාලඡේදයක්. එක කාල ඡේදයක් ඉවර කරල කැරපොත්ති පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් කැරපොත්තො පාර්සලේ ගුරුතුමියගේ බෑගයට එබුවේ බඩයි, එස්ටරයයි. පුරුදු විදියට දෙවනි කාලඡේදයත් කරපු ගුරුතුමිය අන්තිමට බෑගය ගනිද්දී එතන අළුත් පාර්සලයක් තියෙනව දැක්ක. කලබලෙන් ඒක ඇරියා විතරයි, කැරපොත්තෝ හතර අතේ දුවන්න ගත්ත. කැරපොත්ති "ඊක්" ගාලා උඩ පැන්න පැනිල්ලට තව පොඩ්ඩෙන් වහළෙ ඔළුව වදිනවා. පන්තියටම මර කැඩෙන්න හිනා. කැරපොත්තෝ එහෙ මෙහෙ ගිය ගමන් ගුරුතුමී ඇවිත් බඩාගේ කණින්ම අල්ල ගත්තේ එතකොටත් ඇයට මේක කළේ කවුද කියල ඉව තීබුණු නිසා. "තමුසේ මොකද එහෙම කුපාඩි වැඩක් කලේ?" ගුරුතුමී අහපි. "මැඩම් කැරපොත්තන්ට බය නෑ කිව්වනෙ?" බඩා කියපු ගමන් බඩාගේ කම්මුල හරහා පාරක් දීපු කැරපොත්තී මාරු වුණේ ආයෙත් පන්තියේ හිනා හඬ මැද්දෙම. තමන් දීපු ලොකු ටෝක් එක අතේ පත්තු වෙච්ච කැරපොත්ති ගැන ගුරු කාමරයේ බොහොම කාලයක් ඉන් පස්සෙ කතා වුණා.

Saturday, December 24, 2011

ෂොට් මචං!


වෛද්‍ය පීඨයේ ඉන්න කාලේ අපි නිතරම කරන වැඩක් තමයි කැරම් ගහන එක. බොහොම හොඳට නඩත්තු වෙන කැරම් බෝඩ් තුනක් පීඨයේ තිබුණ. බෝරික් පව්ඩර් හෙම ගෙනාවේ කිලෝ ගාණට. මේ හින්දම හොඳ කැරම් ක්‍රීඩකයෝ ටිකකුත් බිහිවෙලා හිටියා. කොටින්ම විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් 90%ක්ම හිටියේ වෛද්‍ය පීඨයෙන්. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් භාගයකට වැඩිය හිටියෙත් කොළඹ මෙඩ්ඩොම තමා. මේ කැරම් බෝඩ් එක කියන්නේ රස කතා උපද්දන තැනක්. මෙතන "පොර ටෝක්ස්" දීම ජයට කෙරෙන තැනක්. තමන් ඊලඟට ගහන්න යන පාර ගැන "ටෝක්ස්" දෙන අය බොහොම හිටියා. පාර වැරදුණොත් ඉතින් කිචේ තමා. ඒත් හරිගියොත් නයි යන්නේ හතර වටේ. බඩා පීඨයට ආවේ කැරම් ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව. ඒත් හතර වෙනි වසරට එන කොට පීඨයේ "Top 20" කැරම් ක්‍රීඩකයන් අතරට බඩාට එන්න පුළුවන් වුණා. කැරම් කියන්නේ වෛද්‍ය පීඨය ඇතුලේ උන්මාදයක්. රෑ 12.00 පහු වෙලත් කැරම් ගහන කට්ටිය එමට හිටියා.

බඩා ගේ ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ හිටපු "බල්ලා" මේ විදියටම තද කැරම් ලෝලියෙක්. අපි හතර වෙනි වසරේ විභාග ඉවර කරද්දී බල්ලා අවසාන විභාගයට ලෑස්ති වෙනවා. ඒත් පාඩම් කරන කොටත් බල්ලගෙ හිත තියෙන්නෙ කැරම් බෝඩ් එක ගාව. කොහොමෙන් කොහොමෙන් හරි දවසක බල්ලා බඩා එක්ක සෙට් වුණා කැරමක් ගහන්න. බඩයි, බල්ලයි එක පැත්තෙ. අනික් පැත්තෙ හිටියේ සුදු පුතයි, ගිණි කූරයි.

කැරම් ගහන අතර තුරේ බල්ලට දුරකථන ඇමතුමක් එනව කෙල්ලගෙන්. "ඔවු මෙයා, මම පාඩම් කරනව" කියල බල්ල කියන්නේ රෙඩා වළට කපන ගමන්මයි. කොහොම හරි බල්ලට රෙඩා දාගන්න බැරුව බඩාගේ පැත්තේ නවතින්නේ බඩාට අතේ හිටිය ඉත්තෙකුත් ගහන්න බැරි තැනකට තල්ලු කරගෙන. බල්ලා තවමත් කෙල්ල එක්ක කතාව. රෙඩා දා ගෙන හිර වුණ ඉත්තා ගහ ගත්තොත් තරඟය ඉවර බව බඩාට තේරුණු නිසාත්, ගිණි කූරට තරඟය ඉවර කරන්න බැරි විදියට ඉත්තො තියෙන නිසාත්, අවදානම් පාරක් (එහෙම නැතිනම් අපේ භාෂාවෙන් "එම්බ්‍රොයිඩර්" පාරක්) ගහන්න බඩා තීරණය කලා. ඒ රෙඩා වළට යන ගමන් ඩිස්ක් එක වැදිලා බඩා ගේ ඉත්තා ගහන්න පුළුවන් තැනකට ගන්න. ඔන්න ඉතින් බඩත් එහෙම ක්‍රීඩා කලා. පොට්ටෙට වගේ ගහපු පාර හරියටම හරි ගියා. කෙල්ල එක්ක දුරකථනයෙන් කතා කර කර ඉන්න බල්ලට කියවුණා "ෂොට් මචං, ෂොට්!" කියල.

එදායින් පස්සේ සතියක් විතර අපි බල්ලව දැක්කෙ නෑ!

Friday, December 23, 2011

බම්බා


මේ බම්බා බූ බම්බා නම් නෙමෙයි. බම්බා කිව්වෙ අපේ කෘෂිකර්ම ගුරුතුමාට. ආසලේ හිටපු ජ්‍යේෂ්ඨතම ගුරුතුමෙක්. කොච්චර ජ්‍යේෂ්ඨ ද කියල කියනව නම් (කට කහන දුමී ගෙ කිංචා වගේ) බඩා ගේ නැන්දා පළමු පත්වීම අරන් පාසලට එද්දිත් (අවුරුදු 40කට විතර ඉස්සර මයෙ හිතේ), බම්බ අම්බානක ජ්‍යේෂ්ඨයි. හැබැයි කෘෂිකර්මය උගන්නන්න කියාපු ගුරුතුමා. හැම දේම මූලධර්මය විතරක් නෙවෙයි, ඒක කරන හැටි හිටන් කියල දුන්න. මේ හින්ද අපට බොහොම ලස්සන කෘෂිකර්ම ඉඩමක්, එහෙම නැත්නම් ගෙවත්තක් තිබුණ. හැබැයි බම්බ නම් කොහොමටවත් කැමති නෑ මනුස්සයට බම්බ කියනවට. බම්බ තරමක් ස්ථූල ශරීරයක් තියෙන අලස විදියට ඇවිදින, රවුල උඩට කරකවල ඉන්න චරිතයක්. හැබැයි ජේ.ඕ.සී. එකේ බෝම්බෙ පිපුරුණු දවසෙ නම් බම්බ කකුල් දෙකට වැඳ වැඳ දිව්වෙ බෙන් ජොන්සන්ටත් වඩා හයියෙන්. මේ කතාව සිද්ධ වුණේ බඩා දහවැනි වසරේ ඉන්දැද්දී. පියරත්න කියන්නේ බම්බගේ අග්‍ර ගෝලයා. (බඩා එක්ක බම්බ ෂේප්, ඒත් වත්තේ වැඩට හොර නිසාත්, හොර කුරුම්බ කඩපු බවට පැමිණිලි තිබුණු නිසාත් බම්බ එච්චර බඩාව ළඟට ගත්තෙ නෑ). පියරත්න උස මහත දැවන්ත ශරීරයක් තියෙන කෙනෙක්. රාජකීය විද්‍යාලයේ බොහොම සුප්‍රසිද්ධ නේවාසිකාගාර වාසියෙක්.

ඉස්සර පාසල් වල ගුරුවරුන්ගේ ඉගැන්වීම් පරීක්ෂා කරන්න අධ්‍යාපන නිළධාරීන් එනව. සුපුරුදු විදියට බම්බගේ වැඩ බලන්නක් කෙනෙක් ඇවිත්. (අධ්‍යාපන නිළධාරීතුමාත් බම්බගෙ ගෝලයෙක් කියල කවුද කිවුව!). ගෝලයෝ රොත්තම පිරිවරා ගත්තු බම්බත් ආඩම්බරයෙන් අපි හදපු පාත්ති එහෙම පෙන්නනව. හදිස්සියෙම නිළධාරී තුමා අහපි "පශු පාලනේ එහෙම කරනවද?" කියල. බම්බා උජාරුවෙන් කියනවා, "අපි හොස්ටල් එකේ හරකෙකුත් හදනවනෙ" කියල. ඒ එක්කම බම්බ කියපි "මේ පියරත්න, පොඩ්ඩක් මෙහාට එනවකො" කියල.

අධ්‍යාපන නිලධාරීතුමා, අනෙකුත් නිළධාරීන් අතින් කටවල් වහගෙන හිනා ගිල ගද්දී, අපේ බඩවල් නෑ හිනා වෙලාම.

Friday, December 16, 2011

මීයා ඇල්ලීම


මේක සිද්ධ වුණේ අපි සරසවියට ආ අළුතම වගේ. ඔය සමහර කට්ටියට වගේ නෙවෙයි, වෛද්‍ය සිසුන්ට නේවාසිකාගාර හම්බ වෙන්නේ ජ්‍යෙෂ්ටත්ව අනුපිළිවෙල අනුව. ඒ නිසා ෆ්‍රෙෂාලා කාලේ අපි නතර වෙලා හිටියේ පුද්ගලික නවාතැන් පොළවල්වල. මේ බෝඩිම් ජ්‍යෙෂ්ටයන්ගෙන් කණිෂ්ටයින්ට යන විදියට තමයි තියෙන්නේ. ඒත්, ජ්‍යෙෂ්ට (උත්තම) යින්ට නේවාසිකාගාර හම්බ වීමත්, අපේ කණ්ඩායම පටන් ගැනීමත් අතර මාසයක් හමාරක් විතර ඉඩ තියෙනව. මේ කාලෙට ඔය බෝඩිම් වහල තියෙන්නේ. සමහරක් ඒවා අළුත්වැඩියා කරන්නත් ඔය කාලෙට.

කොහොමහරි හොරණ පැත්තේ ඉඳල එන අපේ මිත්‍රයාත් ගියේ කාලයක් වහල තිබුණු බෝඩිමකට. හැබැයි අපේ මිත්‍රයාට කලින් කෙනෙක් ඒකේ පදිංචි වෙලා. එසේ මෙසේ එකෙක් නෙවෙයි, මේකා මහ අමාරුකාර  මීයෙක්. මූ කන්නෙම වෛද්‍ය පොත් පත්ම තමයි. (ගිය ආත්මේ දොස්තරෙක්ද මන්දා?). ලොකු පත්තර කොල ගොඩක් ඌටම කන්න වෙන් කරල තියල තිබුණත් මේකා කන්නෙම් කනිංහැම්, ලිපින්කොට්, කුමාර් ඇන්ඩ් ක්ලාක්, බේලි ඇන්ඩ් ලව් වගේ පොත්මයි. පොත් කාලා නිකම් හිටිය නම් ඇති, කාපු තැනම පහරලා යන්නත් මූ රුසියා. (කාව හරි මතක් වෙනවා නේද?) මේ මීයා දවසක් අපේ මිත්‍රයාගේ කකුලේ නියපොත්තකුත් කාලා! ඔතෙන්දි තමයි අපේ මිත්‍රයා හිතුවේ මීයා ගැන "පියවරක්" ගන්න. (අර සමහර හාමුදුරුවරු ඇබිත්තයට කියනව වගේ, "කොලුවෝ ඔය මීය ගැන මොනව හරි කරල දාපං")

අපේ මිත්‍රයා ඉතින් කඩේ ගිහින් ලොකු මී කතුරක් අරන් ආවේ මීයට දෙන්නම් ජම්බු කියාගෙන. මීයා මී කතුරට බෙල්ල දීලා සිරිසඟබෝ වෙන්නේ නැති බව අපේ මිත්‍රයට මතක් වුණේ ටික වෙලාවක් ගිහින්. ඒ නිසා ඇමට මොනව හරි තියන්න කල්පනා කළාලු (ජම්බු දුන්නට කන එකකුත් නෑ). මේ මීයා සුද්දන්ගෙම පොත් කන නිසා, මූ සුද්දන්ගෙ කෑමත් කනව ඇතියි කියල හිතපු අපේ මිත්‍රයා කඩෙන් චීස් පෙත්තක් ගෙනාවේ හරි හිතේ අමාරුවෙන්. (අපේ මිත්‍රයා කුණු ලෝබයා). උදේ ගෙනාපු චීස් පෙත්ත පරිස්සමින් ඔතල තියල මිත්‍රයා දේශන වලට ආවේ රෑට මීයට දෙන්නම් කියල හිතාගෙනම.

දෙශන ඉවර වෙලා බෝඩිමට ගිය අපේ මිත්‍රයාගේ අස් උඩ ගියේ වෙච්ච සංගෙඩිය දැකලා. වෙනදට කනිංහැම් එක කන මීයා මේ සැරේ ඇමට තියන්න ගෙනා චීස් පෙත්තටම වැඩේ දීලා තඩි බෙට්ටකුත් මේසේ උඩ දාල ගිහින්!

ඔය මීයට පිං සිද්ධ වෙන්න අපිට අපේ මිත්‍රයාට ගහන්න නොමිළේම කාඩ් එකකුත් හම්බ වුණා.

Monday, December 12, 2011

බටයක් දෙන්න

බඩා ගේ උසස් පෙළ පන්තියේ කොට කොල්ලෙක් හිටිය. බොහොම පැහැපත්, පොඩි දරුවෙකුගේ පෙනුම තියෙන, හිනා වෙනකොට කම්මුල් දෙපැත්ත වල ගැහෙන (සංගීතා වීරරත්නගෙ වගේ!) කොලුවෙක්. මේකා ඉගෙනීමටත් හරි දක්ෂයා. බොහොම තැන්පත් විදියට තමයි පාසලේ හිටියෙත්. කොහොම කොහොම හරි මේ තැන්පත් කොලුවා (අපි ක්‍රිෂා කියල කියමු), ඇවිත් වැටුනේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ තිබිච්ච "අන්තිම" කියල සම්මත පන්තියට. ටික කාලයක් යද්දී මූට ඉලන්දාරි විසේ ගැහුවේ වටේ පිටේ වෙන දේවල් දැක්කම.

ඔන්න කොහොම හොහොම හරි අපි පන්තියෙන් වින්නෝද චාරිකාවක් සංවිධානය කළා. ගමන වුණේ බදුල්ල, නුවර එළිය වගේ සීතල පලාතක්. අපෙත් තිච්ච මොකද්දෝ දහ මහ දෝසයකටදෝ කොහෙද ඇල්ලෙදී බස් රථය ක්‍රියා විරහිත වුණේ අපිව පාරේ රස්තියාදි කරමින්. පන්තියේ කට්ටිය එක්කහු වෙලා මේ අවස්ථාවෙදි කලේත් ෆන් එකක් ගන්න එක. මේ දවසේ බයිටය බවට පත් වුනේ ක්‍රිෂා. ක්‍රිෂාගේ ළමා පෙනුමට ඉතින් දාහක් කතන්දර මේ වෙලාවේදී කියවුණා. මෙන්න හදිස්සියෙම ක්‍රිෂා කියාපි "මගේ පෙනුම ඔහොම වුණාට වැඩ ගැන උඹල දන්නේ නෑනෙ" කියල. මේක අහපු අපේ ඇනා (ඔවු, ඔවු, අර ඉබෝලා ඇනාම තමා) ක්‍රිෂාට අභියෝගයක් ඉදිරිපත් කළා. පුළුවන්නම් ගිහින් අර පේන කඩෙන් සිගැරට් එකක් අරන් වරෙන් කියල. ක්‍රිෂත් අභියෝගේ බාර අරන් කඩේට ගියා. රොමයි, එස්ටරයයි දෙන්න හෙමින්ම ක්‍රිෂා පස්සෙ ගියේ වෙන්නේ මොනවද කියල බලා ගන්න.

මෙන්න ටික වෙලාවකින් ක්‍රිෂා මූණ නරක් කරන් එනව. "ඒකේ සිගැරට් නෑ බං" කියාගෙන. ඒත් රොමයි, එස්ටරයයි තවමත් නෑ. මුන්ට වුණේ මොකද්ද කියල බලන්න යද්දී මුන් දෙන්න බඩවල් අල්ලන් හිනා වෙනව පේනව. ඉතින් අමාරුවෙන් හිනාව නවත්තගෙන අපි ඇහුව වුණේ මොකද්ද කියල. ක්‍රිෂා ගිහින් පොර වගේ අහල, "අක්කේ, මට බටයක් දෙනවද?" කියල. කඩේ අක්ක ගත්තු කටටම කියල, "මල්ලි එස්ලෝන් බට තියෙන්නේ අල්ලපු කඩේ, ඒත් මුදලාලි අසනීප නිසා කඩේ වහල" කියල!

Friday, December 9, 2011

මරූටිය

මේක විශ්ව විද්‍යාල සන්දියේ වෙච්ච අකරතැබ්බයක්. කොලඹ වෛද්‍ය පීඨය තියෙන්නෙ කින්සි පාරේ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය කිට්ටුවම තමයි අපේ පිරිමි නේවාසිකාගාරය වෙච්ච බ්ලොම්ෆොන්ටේන් එහෙම නැත්නම් බ්ලොම් එක තියෙන්නෙ. වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපිට පාඩම් වැඩ බොහොම තිබුණ. ඒ නිසා ජනේරුවට අපි හිටියෙත් නේවාසිකාගාරයේමයි. දෙසම්බර් 31 වෙනිදා රෑට බ්ලොම් එකේ හොඳ හොඳ සෙල්ලම් කෙරෙනවා. බ්ලොම් එකට මීටර 500 විතර දුරින් තියෙන්නේ හමුදාවේ කාන්තා නේවාසිකාගාරයක්. එතන කෙල්ලෝ එක්කත් ලස්සන වැඩ වෙනවා. හැබැයි මේ කතාව වෙන එකක්.

දෙසැම්බර් 31 දවසේ රාත්‍රිය අපි පාටියක් දාන තීරණය කලා. මමයි, කොටියයි, ජොරයි, නිගණ්ටයයි කියන හතර දෙනා තමයි පාටියේ හවුල් කාරයෝ. කින්සි පාර දිගේ ඇවිදගෙන අපි බොරැල්ලට යන්න ගත්තේ ඊ.ඒ.පී. බාර් එකට. මෙන්න හදිස්සියෙන්ම අපි දිහාවට බුරාගෙන පණිනවා දඩෝරියෙක්! මූ එසේ මෙසේ දඩොරියෙක් නෙවී, ආච් බිෂොප් ගේ බල්ලා! (ආච් බිෂොප් නිල නිවස තියෙන්නේ කින්සි පාරේ). මූ ආච් බිෂොප් ගේ හයිය අරන් ද කොහෙද හැමදාම අපි ලඟින් ගියත් බුරනවා. බඩාට මේ වෙලාවේදී විශේෂයෙන් ම මල මේ බල්ලා ගැන. ඉතින් තරහින් පුපුර පුපුර යන බඩාට බොරැල්ල හන්දියේ චීන පටස් වගයක් විකුණන්න තියෙනවා දැකලා එයින් කීපයක් ගන්න හිතුනේ "නින්ජා ගේමක" සටහනකුත් හිතේ ඇඳගෙන.

ඔන්න ඉතින් අපි ඊ.ඒ.පී. ගිහින් ඇඟ රත් කරගෙන කෑම කාලා එහෙම එන්න ලෑස්ති වුණා. ජොරා බොන්නේ නෑ. ඌ බයිට් ඉවර කරනවා (ඒ ගැනත් කතා තියෙනව!) විතරයි. කොටියටයි, නිගන්ටයටයි දැන් පදම්. මට මද පමණට. වැනෙන කට්ටිය වැනි වැනී, පැද්දෙන කට්ටිය පැද්දි පැද්දී අපි ආයෙත් ගමන ආවා. ඊ.ඒ.පී. හන්දියේදී මෙන්න නිගන්ටය කියනව "යකෝ මට චූ බරයි" කියල. මේ පාර් මද්දේ කොහෙන් වැසිකිළි හොයන්නද? ටිකක් ඉවසලා ඉන්න කිවුවත් මූ ඉන්නේ නෑ. කොහොම හරි නිගන්ටයයි, කොටියයි දැන් මූණට මූණ බලන් පාර මැද ඉඳන් මුත්‍රා කරනව. වෙලාව රෑ 12.30. පාරේ බලු බල්ලෙක් නෑ (වැරදුණා! ආච් බිෂොප් ගේ එකා ඇරෙන්න). මේක දැකපු බඩාට ආයෙත් නින්ජා කල්පනාවක් එනවා. හෙමින් සැරෙ චීන පටස් එකක් අරගත්තු බඩා මූණු බලන් මුත්‍රා කරන දෙන්න අතර මැදින් පාරේ දමල ගහනව. චීන පටස් එක පුපුරද්දී කලබල වෙන නිගන්ටයයි, කොටියයි චූ යද්දීම අහවල් එක කලිසම ඇතුලට දමා ගන්න දරන උත්සාහයේදී කලිසමේම මුත්‍රා පහ කර ගන්නව.

කොහොම වුණත් තමන්ට මේ සන්තෑසිය කලේ බඩා කියල දැන ගත්තු දෙන්නම එනවා බඩාට ගහන්න. (මුන් දෙන්නා සිහියෙන් හිටියා නම් බඩාට ගහන්න තුන් හිතකින් හිතන්නේ නෑ. ඒත් මුන්ට වෙරිනේ). ගහන්න එන්නෙත් යාළුවෝ, උන්ට ගහන්නත් බැරි නිසා බඩා කලේ කකුල් දෙකට වැඳලා දුවන්න ගත්තු එක. ඒත් මීටර් කීපයක් දුවද්දී පාරේ සිමෙන්ති ගැට්ටක කකුල හප්ප ගන්න බඩා බිම වැටෙනව. කකුලේ නියපොත්තක් බාගෙට ගැලවිලා එල්ලෙනවා. ලේ හෝ ගාල ගලනවා. පුරුෂ ධෛර්ය හිතට ගත්තු බඩා ලේන්සුවෙන් තුවාලය ගැට ගහගෙන කොර ගගහ කින්සි පාර දිගේ එනව. බඩාට ආයෙත් මල පන්නවමින් ආච් බිෂොප් ගේ බල්ලා බුරාගෙන පණිනවා. බඩත් ඉතින් චීන පටස් එකක් ඇදල අරන් බල්ල ඉස්සරහ ගහන්නේ බල්ලගේ අම්ම මතක් කර කර. චීන පටස් එකට බය වෙන දඩෝරියා කූඩුවේ හැංගිලා වෙවුලනව පෙනෙද්දී අමාරුවෙන් අපි හිනා වුණා. දැන් කට්ටියගෙ වෙරි හිඳිලා, මොකද බඩාට තුවාල නිසා. හදිසි අනතුරු අංශෙට ගිහින් නියපොත්ත ගලවලා බෙහෙත් දාගෙන බඩා බ්ලොම් එකට ඇවිත් නිදා ගත්තා. බඩා පහුවෙනිද උදේ ඇහැරෙන කොටත් නිගන්ටයයි කොටියයි නිදි. ඇඳ පැලඳගෙන දේශන වලට ගියාම මට කෙල්ලෙක් චිට් එකක් දෙනවා. "ඔයා මොකද මරූටි වලට පයින් ගහලා තුවාල කරගන්නෙ?" කියල ඒකේ තියෙනව. ජොරා හෙමින් සැරේම ඇවිත්, බඩාට වෙරි වැඩිවෙලා ගිණි පෙට්ටියක් කියල මරූටියකට පයින් ගැහුවාය කියල බැච් එකම ගිණි තියල!

ඉබෝලා

මේ සිද්ධිය වුණේ 1995 දී. ඒ දවස් වල ඉබෝලා වසංගතයක් අප්‍රිකාවේ පැතිරෙමින් තිබුණා. ඉබෝලා කියන්නේ වයිරස් රෝගයක්, අවසානයේ මස් දියවීම ඇති කරවන. ඔය දවස් වලම තමයි අපේ උසස් පෙළ පන්තියට අළුත් ගුරුතුමියක් ආවෙත්. "ආසියාවේ රිදී සීනුව" විශ්‍රාම ගත්තට පස්සේ ආපු මේ ගුරුතුමියගේ පළමු පත්වීම තමයි මේ! ඇයට වයස 27ක් බව තමයි ඒ දවස් වල කිවුවේ. බොහොම මිටියි, කෙට්ටුයි. ඒකට හරියන්නම පන්තියේ හිටපු කොල්ලොන්ගෙන් බහුතරයක් හෙන උස මහත අය. (බඩා ගේ උස 5' 8". හැබැයි 28ක් හිටපු පන්තියේ බඩාට වඩා කොට කොල්ලො හිටියේ 7 - 8 විතර!) මේ ගුරුතුමිය එක්ක අපේ මව් පාර්ශවය තවත් හොඳ රෙකෝඩ් එකක් තිබ්බා (ඒක පසුවට). ඕනේ නම් කොල්ලොන්ට ගුරුතුමියව උස්සලා සාක්කුවේ දා ගන්නත් පුළුවන්. කොහොම වුණත් "සූ" එක කියල හඳුන්වපු පන්තිය හීලෑ කර ගන්න මේ ගුරුතුමියට වැඩි කාලයක් ගියේ නෑ. "ආසියාවේ රිදී සීනුව" බොහොම සැර පරුෂ ගුරුතුමියක් වුණාට කොල්ලෝ ඈ කියන දේවල් තඹයකට ගණන් ගත්තෙ නෑ. අළුතින් ආපු ගුරුතුමියට එහෙම නැත්නම් "සෛලිකාවට" (කියන්න බැරි වුණා, සත්ත්ව විද්‍යාව උගන්නන ගුරුතුමියක්) රැග් එකක් විදියට තමයි අංශ භාර ගුරුතුමා අපේ පන්තිය බාර දීල තියෙන්නේ!

කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ඉතින් අපි අළුත් ගුරුතුමී එක්ක හොඳටම හිතවත් වුණා. අපේ පන්තියේ වැඩ්ඩා පෙත්තා. මූ හැම දාම පළ වෙනියා. මමත් ඉතින් අමාරුවෙන් හරි දෙවනි තැනට එනවා. අළුත් ගුරුතුමියගේ ප්‍රියතම ගෝලයෝ දෙන්නා අපි. ඇනා අපේ පන්තියේ සුවිශේෂී සාමාජිකයෙක්. "දැකුම්" කලු, කොන්ඩේ ජෙල්, තෙල් ඔක්කොම ගාල පීරන, පිහිය වගේ මුවාතට "ක්‍රීස්" එක තියල කලිසම මදින ජැන්ඩි පහේ කොල්ලෙක්. ජැන්ඩියට අඳිනවා විතරක් නෙවෙයි, මේකා කරාටිකාරයා. සාක් තරඟ වල තේරීම් තරඟ වලට ඉදිරිපත් වෙච්ච ඇනාගේ අසවල් ප්‍රදේශයට වැදුණු පහරක් නිසා රෝහල් ගත වෙලා හිටිය. අපේ අළුත් ගුරුතුමියට ඇනා නැති බව දැන ගන්න ලැබුණේ මේ අතර.

ඇනා නැත්තෙ ඇයි කියල ගුරුතුමිය බඩා ගෙන් අහපි. පෙත්තා බඩා දිහා බලල ඇහැක් ගැහුවේ ගුරුතුමියට ගුලියක් අඹරමු කියන්න වගේ. "ආ මැඩම්, ඇනාට ඉබෝලා හදිල අක්මාව දිය වෙන්න අරන්, දැන් ඉස්පිරිතාලේ" මම කිවුවා. පෙත්තා කතාවට පෝර දාලා ඇනාට අන්තිම බව කියා හිටිය. ගුරුතුමියත් ඉතින් අග්‍ර ගෝලයින් දෙන්නගෙ කතාව හිස් මුදුණින් පිළි අරගෙන මේක ගිහින් ගුරු මණ්ඩල කාමරේදී කියල.

අපේ රසායන විද්‍යා ගුරුතුමා තමයි "ශ්‍රී වික්‍රම රාජසිංහ".  එයත් මේ වෙලාවෙදි එතන ඉඳලා තියෙනව. ඉතින් රාජසිංහ ගුරුතුමා අපේ සෛලිකාවගෙන් අහල ඕක කිව්වෙ කවුද කියල. ඉතින් තමන්ගේ අග්‍ර ගෝලයෝ දෙන්නගේ නම් එතෙන්දී එළියට ඇවිත් තියෙනව. කට කොණට කින්ඩි හිනාව දාගත්තු රාජසිංහ කියනවලු "ඕකුන් දෙන්න දෙන නින්ජා ගේම් ගැන තාම දන්නේ නැත්ද කියල" ඊට පස්සේ අග්‍ර ගෝලයෝ දෙන්න ගෙන්නලා රාජසිංහ ගුරුතුමා නඩුව ඇහුවා. සෛලිකාවට වස නෝන්ඩිය! හැබැයි අන්තිමේදී රාජසිංහ ගුරුතුමා කියනවා "ඇනාගේ අර අක්මාව දිය වෙනවා කිව්ව කතාව නම් ඇත්ත වෙන්න ඇති. හැබැයි ඉබෝල හින්ද නම් නෙවෙයි!" කියල. කතාවේ ඇත්ත දැන ගත්තේ අපි ටික කාලෙකට පස්සේ. ඇනයි, රාජසිංහයි දන්නෙම නැතුව බාර් එකේ එක මේසෙ ඉඳගෙන අඩියක් ගහලලු!

Thursday, December 8, 2011

සුදෙන් තන්ඩර්

මේ කතාව සිද්ද උණේ මම දහය වසරේ විතර ඉන්න කාලේ. අපේ පන්තියේ හිටිය පැණියයි, මමයි, පොඩි උවමනාවකට බොරැල්ලට ආ ගමන්. (උවමනාව පස්සෙ දවසක!)  රිට්ස් සිනමා හල ඉස්සරහින් බස් එකට නගින්න ඉන්දැද්දී පැණියා බෙල්ල කරකව කරකව මොකද්ද එකක් බලනවා. මමත් ඉතින් පැණියගෙන් ඇහුව බලන්නෙ මොකද්ද කියල. "බඩෝ, උඹට ඉංග්‍රීසි ටිකක් ඇහැක්නෙ, මොකද්ද බන් අර බෝඩ් එකේ ගහල තියෙන්නේ "සුදෙන් තන්ඩර්" කියල?" පැණිය අහපි. මම බෙල්ල හරවලා රිට්ස් එකේ ප්‍රධාන් දැන්වීම් පුවරුව දිහා බලද්දී මෙන්න මෙහෙම තියෙනවා!
Sudden Thunder

පැණියගේ කතා එතනින් ඉවර නෑ. ටවුන් හෝල් කිට්ටු වෙද්දී තියෙන බාටා කඩයක් දිහාත් මූ අමුතු බැල්මක් දගෙන ඉන්නවා. බැල්මේ හැටියට තවත් ආතල් එකක් ලඟ එන බව මට තේරුණා. "මොකද්ද බන් අර "සැලේ, සැලේ" කියල ගහල තියෙන්නේ? උගෙ අහවල් එක සැලෙනවද දන්නේ නෑ නේද?" කඩේ දිහා බලපු මට ආයෙත් හිනාව නවත්ත ගන්න බැරි උණා. කඩේ ගහල තියෙන්නේ Sale, Sale (සේල්, සේල්) කියල!

ඉංගිරිසි වැරදියට කියවන අපේ තවත් යාලුවෝ හිටිය. සිසිර එහෙම එක පොරක්. විශ්ව විද්‍යාලේ පටන් ගන්න කලින් තියෙන ඉංග්‍රීසි පන්ති වලදී අපි පොඩි විනෝද ගමනක් ගියා. ගමන දකුණු වෙරළ තීරෙට. ඉතින් රා බෝතල් කීපයක් එහෙ මෙහෙ ගිය බව කියන්න ඕනේ නැතුව ඇති මම හිතන්නෙ. ඉඳුරුව හරියෙදී
සිසිරයා අහනව "මොකද්ද බන් අර ඉඳුරුව බීච් "රොසෙට්" කියන්නෙ?" (රොසෙට්, Rosette = මල් පොකුර, අහුර) කියල. රා මත උඩ "ඉඳුරුව බීච් රිසෝට්" (Resort) සිසිරයට පෙනිල තියෙන්නේ එහෙම!

ඇරඹුම . . .

කාලෙකට කලින් මම බ්ලොග් වල ලිවුව බව ඔය අය දන්නව ඇති. ජීවිතේ දශක තුනහමාරක් විතර ජීවත් වෙලා, වසර දහතුනක පාසල් අත්දැකීම්, වසර හයක විශ්ව විද්‍යාල අත්දැකීම් සහ වසර හයක් වෛද්‍යවරයෙක් විදියට ලබපු අත් දැකීම් ගැන ලියන්න හිතුණා. අන්න ඒ කතා වලට ඉඩක් දෙන්න තමයි මේ අඩවිය වෙන් වෙන්නේ.

මේ කතා වල එන බොහොමයක් අය අද වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්ව විද්‍යාල ආචාර්යවරු, විධායක නිළධාරීන් වගේ අය. සමහර සිද්ධි ඒ අයගේ කලත්‍රයන්ට (=සැමියා / බිරිඳ ) පවා රහසක් වෙලා තියෙන්නට පුළුවන්. අන්න ඒ හින්දා ඔක්කොම චරිත අන්වර්ථ නාම වලින් තමයි එළියට එන්නේ.

මේ ක බඩා මාමාගේ ළමා කතන්දර පිටුව වුණේ කොහොමද? මේ බ්ලොග් රචකයාගේ පාසල් කාලයේ අන්වර්ථ නාමය තමයි "වල් බඩා" කියන එක. නිකම්ම බඩා නොකියා වල් බඩා කිව්වේ "වල්" කටක් තියෙන නිසාලු! මේ ඇරෙන්න ගල් බඩා හෙවත් රොක් ෆොස්පේට්, චීස් බඩා, හුළං බඩා සහ රා බඩා වගේ වෙනත් බඩාලත් හිටිය. මේ බඩාලා අතරින් මෝරපුම පෙනුම තිබුණු මම "බඩා මාමා" වුණා.

හරි, ළමා කතන්දර මේකට ගෑවුණේ කොහොමද? ඉස්සර නිදහස් කාල ඡේද වලදී අපි කතා කියනව. එක එක ජාතියේ කතා, හින්ට්, යාන්ස්, කුණුහරුප, අව කැපෙන කතා, විහිළු ආදී නොයෙක් දේ ඔය වෙලාවේදී කියවෙනවා. කියවෙන කතා වල සාරාංශය කොහෙත්ම ළමයින්ට සුදුසු එකක් නෙවෙයි. ඒ නිසාම උත්ප්‍රාසාත්මක (=අයිරනි ) විදියට "ළමා කතා" විදියට නම් කෙරුණා. මේ නම දුන්නේ "ගොමා", මගේ පන්ති සහ විශ්ව විද්‍යාල සගයෙක්.

ඔන්න අපි ඉදිරියට මේ රස කතා එක්ක හම්බ වෙමු. මේ කතා අවුරුදු 16න් පහළ අයට නම් සුදුසු නෑ. සමහර කතා ලිංගිකත්වය උපහාසයට ලක් කරන අතර, පූජ්‍ය / පූජක පක්ෂය උපහාසයට ලක්වෙන එවත් තියෙනව. මම ආගම් වාදියෙක් විදියට හංවඩු ගැහෙන්න කලිනුයි ඔන්න ඕක කියල දැම්මේ.