Monday, July 29, 2013

අන්න බබෝ ඇතින්නියා

බඩා ඇතුළු කණ්ඩායම මගින් කළ අති සාර්ථක නම් තැබීමක් වුණු කොණ්ඩයා ගැන කියවන පිරිසට මතකයි කියල හිතනවා. කොණ්ඩයා යකඩ උස්සලා ඇඟ පුම්බ ගත්තට මොකද කලාවට බර, සින්දු කියන්න පුළුවන් බොහොම මෘදු මනුස්සයෙක්. ඒ කාලේ ඉඳලාම ළමයින්ට දැක්කුවේ පුදුම ලෙන්ගතු කමක්. මේ අපි ළමා වාට්ටුවේ වැඩ කරද්දී වුණු රස කතා කීපයක්.

සාමාන්‍යයෙන් සැත්කමකට කලින් රෝගියෙක්ව පැය හයක් විතර නිරාහාරව තබනවා. වතුර බොන්න දෙන්නෙත් නැහැ. එහෙම කරන්නේ සිහි නැති කරන ඖෂධ වමනයත් ඇති කරවන නිසා අමාශයේ හිස්ව තබා ගැනීම වැදගත්. ඔය විදියට සැත්කමකට මුහුණ දෙන්න හිටපු අවුරුදු හයක විතර පොඩි එකෙක් වාට්ටුවේ හිටියා. හැබැයි මේ පොඩි එකා බත් කන්නේ නෑ. කන්නේ පාන්, රස්ක්ස්, සීරියල් වගේ ජාති විතරයි. බත් කවා ගන්න බැරුව පොඩි එකාගේ අම්මා හිටියේ සෑහෙන්න මුසුප්පුවෙන්. කොහොම හරි දන් කොල්ලා පැය හතක් විතර බඩගින්නේ . කොණ්ඩයා රෝගියා ගැන විස්තර දරුවාගේ මවගෙන් ලබා ගත්තට පස්සේ, බත් නොකන විත්තිය දැන ගත්හ ගමන්, "පුතා බත් හරි රහයිනෙ" කියල කිව්වලු. මේ වෙද්දිම එහා පැත්තේ ඇඳේ දරුවට එයාගේ අම්මා බත් කවනවා. අපෙ මේ කොලුවා අම්මා එහා මෙහා වෙනකම් ඉඳලා එහ පැත්තේ ළමයගේ අම්මගෙන් ඉල්ලගෙන මෙන්න හොඳට බත් කනවා! සැත්කම පමා වෙලා කොණ්ඩයා ජ්‍යෙෂ්ට වෛද්‍යතුමන්ලගෙන් බලු බැණුම් අහපු එක වෙනම දෙයක්, හැබැයි එදා ඉදන් කොල්ලා බත් කන්නේ පොර කකා!

ළමා රෝහලේ 01 වාට්ටුව පිටිපස්සේ ලොකු කළු ගල් ගොඩක් ඒ දවස් වල දාලා තිබුණා. එක ඇඳක ළමයෙක් අඬනවා, අම්මටවත් නළව ගන්න බෑ. කොණ්ඩයාට ලස්සන කටහඬක් හා ගායන හැකියාවක් තියෙනවා. "කෝ දෙන්න, මම කවියක් කියන්නම්" කියල ළමයා නැලවිල්ල කොණ්ඩයා බාර ගත්තා. එතකොට අපිට පේන්වා අර ගල් ගොඩ උඩට නැගපු අතිශය තරබාරු කාන්තාවක් රෙදි වනනවා. කොණ්ඩයා මෙන්න මෙහෙම නැලවිලි ගීතයක් කියනව අර කාන්තාව දිහාවට අත දික්කරගෙන.

"අන්න බබෝ ඇතින්නියා
ගල් ගොඩ උඩ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පැන පැන රෙදි වනන්නියා"

ළමයා නැලවුණාද කියල නම් බඩාට මතක නැහැ. ඒත් වටේ හිටපු අම්මලා ගේ බඩවල් නෑ හිනා වෙලාම.

Saturday, July 27, 2013

ඡන්දේ

1990 ගණන් වල මැද හරියේ උසස් පෙළ පන්ති වල තිබුන තවත් ලස්සන වැඩක් තමයි පෝස්ටර් ගැහිල්ල. තමන්ගේ ප්‍රතිවාදියෙකුට මඩ සහිත අපහාසාත්මක පෝස්ටරයක් ගහලා විනෝද වීම ඒ දවස් වල බහුලව වෙච්ච වැඩක්. දැන් වගේ මූණු පොතෙන්, අරහෙන් මෙහෙන් කෙනෙක්ගේ ඡායාරූප හොයා ගන්න බැරි කාලෙක මේ පෝස්ටර් වැදුනේ කාගේ හරි ඇල්බම් එකකින් පින්තූරයක් හොරකම් කර ගත්තාම. එහෙම නැත්නම් කියනෙන කවුද කියලා ඇඟවෙන විදියට ලස්සනට වචනයෙන් කියවෙන්න ඕනේ. කවදත් ඔය වගේ වැඩ වලට බඩා එක පයින්. 

පාසැලේ සහ ටියුෂන් පන්ති වල හොඳ නමක් දිනාගෙන හිටපු තක්කාලි බමුණට පෝස්ටරයක් ගහන්න බඩා තීරණය කලේ ඔය අතරෙදී. 1995 කියන කාලේ පරිගණක තිබුණේ බොහොම අඩුවෙන්. බඩාට නම් පරිගණකයක් තිබුණ වගේ කොරල් ඩ්‍රෝ 4 කියන උපාංගයත් ඒ දවස් වල තිබුණා. මේ නිසා පත්තරේ ගිය කාටූනයක් වෙනස් කරලා පෝස්ටරයට ඇතුළු කරලා බොහොම ලස්සනට මුද්‍රිතවම වැඩේ සිද්ධ කලා. ඒ දවස් වල මහ මැතිවරණයක් තිබුණ වගේ මතකයි. ඒ නිසාම මැතිවරණ පොරොන්දු පත්‍රිකාවක් විදියටයි පෝස්ටරය් නිමැවුණේ. මේ පෝස්ටරය එළි දැක්වුණේ ග්‍රේරෝ ගුරුතුමාගේ පන්තියේදී. බමුණත් ඒ පන්තියට එන බව කියන්න ඕන නෑ නේ! කොහොමෙන් කොහොමෙන් හරි බමුණට ඇඬෙන්නම පෝස්ටරය නැගලා ගියා. 

පෝස්ටරයේ විහිළු හුවමාරු වෙන අතර වාක්‍යනාදන් අහනවා "සර් ඡන්දෙ ඉල්ලන්නේ නැත්ද?" කියල. වාක්‍යනාදන් කවදත් දෙන්නේ කරමල් කැඩෙන වාක්‍යම බව මතක ඇතිනේ. ඔන්න ඉතින් ගේරෝ ගුරුතුමා පටන් ගන්නවා චූර්ණිකාව. 
"අපෝ කවදාවත්ම නෑ! මොකද දන්නවද? ළමයි මම ඡන්දේ ඉල්ලුවොත් මට මේ රස්සාව දාල මන්ත්‍රී පඩියක් විතරක් ගන්න වෙනවා". 
කොල්ලෝ "සූ!" ගානවා. 
"ළමයි, මට මගේ බෙන්ස් එක විකුණලා මයිනර් එකක් ගන්න වෙනවා. මොකද මම ආදර්ශමත් නායකයෙක් වෙන්න ඕනෙනේ?" සූව තවත් වැඩියි! 
"ඒ වගෙම මට දැන් ඉන්න ගෙයින් අයින් වෙලා මන්ත්‍රී නිවාසෙක අඩු පහසුකම් යටතේ ඉන්න වෙනවා". සූව තවත් දරුණුයි. 
"එහෙම කළොත් ළමයි මට මායියගෙන් ජල ගුටි තමා". 

මීට කලින් වතාවක කිං කොං කියලා බඩාව චාටර් කරපු එක බඩා මතක තියාගෙන හිටියේ ගලේ කොටපු අකුරක් වගේ. අර අන්තිම ප්‍රකාශය එක්කම පොළීත් එක්ක දෙන්න නියම අවස්ථාවක් බව වැටහෙන්න බඩාට ගියේ තත්පරයෙන් දහයෙන් පංගුවයි. 
"සර්, දැනුයි කියල වෙනසක් නෑ නේද?" කියල බඩා ඇහුවෙ පන්තිය මීයට පිම්බ වගේ නිශ්ශබ්ද වෙනකම් ඉදල. කොල්ලෝ කෙල්ලෝ බඩවල් අල්ල ගෙන හිනා. ග්‍රේරෝ ගුරුතුමා අත උස්සගෙනම ඊලඟ ගණන හදන්න පටන් ගත්තා!

(අපිට මුලින් දීපු පොරොන්දුව කඩ කරමින් පස්සෙ කාලෙක ග්‍රේරෝ මහත්මයා දේශපාලනයට ආවා)

Thursday, July 25, 2013

නම් තැබීම

ලංකාවේ විශ්වවිද්‍යාල කියන්නේ උප සංස්කෘතියක්. මේ උප සංස්කෘතිය ඇතුලේ සමාජයීය, පුද්ගලික සහ භාෂාමය වෙනස්කම් පවා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට, සහ එකම විශ්වවිද්‍යාලයේ පීඨ අතර පවා මේ වෙනස්කම් තියෙනවා. පළමු වසරට සිසුන් ඇතුලත් උණාම ලබා දෙන "කාඩ්" එක එහෙම නැත්නම් අන්වර්ථ නාමය ඒ වගේ එකක්. පේරාදෙණියේදී නම් පළමුවෙනි වසරේදීම මේ නම් ලබා දෙනවා. පෙනුම, කතා විලාසය, නම, ගම වගේ දේවල් පදනම් කරගෙනයි මේ නම් වටෙන්නේ. බඩාගේ සමාන්තර වෛද්‍ය පීඨ කණ්ඩායමේ මේ විදියට තෙලා, පරතරයා, බ්‍රහ්මදත්ත, චව්වා, ටිකිරා වගේ නම් තියෙන අය හිටියා. ඒ අතරම රයි පාල, බයි පාස්, කයි පාල, කොයි පාටියා වගේ නමුත් තිබුණ!

හැබැයි කොළඹ වෛද්‍ය පීඨයේ කාඩ් වදින්නේ කාලයත් එක්ක. දැනටමත් කොටියා, ජොරා, මීයා, බල්ලා, පාප ලාල් ගැන එහෙම දැනටමත් දන්නව ඇති. පුදුමෙ කියන්නේ ඇනාට කාඩ් එකක් වැදුනේ නැති එක. අනික් අතට ඇනා කිවුවම ආයේ කාඩ් මොකටද කියලත් හිතෙනව.

ඔන්න අපේ කණ්ඩායමේ හිටියා එකම නම තියෙන සෙට් පහක් විතර. සෙට් තුනක් කෙල්ලෝ. සෙට් දෙකක් කොල්ලෝ. මේ එක සෙට් එකකට සමන් කියල අපි කියමු. එක සමනෙක් හිටියා හරිම ක්‍රීඩාශීලී, හැබැයි කට්ට කළු. හොඳ කොණ්ඩයක් එහෙම තිබුණා. අනික් සමනා බර උස්සලා මස්පිඩු පුම්බ ගත්තු තට්ටයෙක්. ඌත් කළුයි හැබැයි අනිකා තරම් නෑ. මුලටම අපි මේ අයව අඳින්නුවේ කලු සමන්, සුදු සමන් කියල. මේකට කලු සමනා විරෝධය දැක්කුවේ සුදු සමනගේ සුදු, දත් ටිකයි සුදු ඉංගිරියාවයි විතරක් ය කියල. ඒ හින්ද කලු සමන් සහ ලා කලු සමන් කියමුය කියල යෝජනා වුණත්, ඒක කටට හරි නෑ. එහෙම නම් තට්ට සමන් සහ කලු සමන් කියමුය ඒයල යෝජනා කලේ පාප ලාල්. ඒ වුණාට මිනිස්සුන්ගේ අඩුපාඩු නම් වලට යොදන්න හොඳ නැති බව තමයි බහුතර මතය වුණේ. ඒ නිසා කලුම කලු සමන්ට අපි නමක් දැම්මා "සුද්දා" කියල. තට්ටය තියෙන අනික් එකාට නම දැම්මා "කොණ්ඩයා" කියල.

අපේ සින්දු කියන මිත්‍රයාට කාඩ් වෙලා තිබුණේ "කොකයි" කියල. කොකයි (cocci) කියන්නේ වටකුරු හැඩය ගන්නා බැක්ටීරියාවන්ට. එක දවසක් පටකවේද පන්තියක් අස්සෙදී අණ්වීක්ෂයෙන් පේන්නේ මොනවද ඇහුවම මූ කියාපි "පරණ කොකයි වගයක් බං" කියල.

තව නම් කීපයක්ම තිබුණත් අදාල අයගේ හරි නම් සහ විස්තර නොකියා ඒ නම්වල උපහාසය අරගන්න බෑ. ඒ නිසා දැනට නවතිනවා.


ප.ලි.: කෙල්ලො එක්කම කදේ දාගෙන ඉන්න කොල්ලෙකුත් අපේ කණ්ඩායමේ හිටියා. ඒ වගේ එවුන්ට සාමාන්‍යයෙන් කියන නම "ජංගියා". හැබැයි මේකා එසේ මෙසේ ජංගියෙක් නෙවෙයි රාජ සයිස් එකෙක්. 12 වෙනි සියවසේ ලෝකේ ලොකුම අධිරාජ්‍යය බිහි කලේ ජෙංගිස් ඛාන් රජතුමා. ජංගියන් අතර අධිරාජයා කියල අඳුන්වන්න අපේ බැචාට අපි දැම්මා නමක්, "ජංගිස් කාන්" කියල.

Wednesday, July 24, 2013

වැලා

දරු සම්පත් එහෙම ලබලා පියෙක් වුණ නිසා බඩා මාමා පහු ගිය මාස 10ක් විතර කාලයකට බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න හම්බ වුණේ නෑ. හදිස්සියෙම මෙහෙම බ්ලොගක් ලිව්වාය කියලා මතක් වෙච්ච නිසා ආයෙත් ආවා. වැඩිය කතා නැතුව කතාවකටම බහිමු.

බඩා වෛද්‍ය පීඨයට ආපු අළුතම (ඒ කියන්නේ 1998 දී - යකෝ මම නාකියි!) වෙච්ච සිද්ධියක් තමයි මේක. අපේ කතා නායකයා මොරටුව පැත්තෙන් ආපු, කලු, කෙට්ටු, පොඩි කොල්ලෙක්. කොල්ලා පොඩි වුණාට ශරීරයේ බරේ කිලෝග්‍රෑමයකට සාපේක්ෂව වැඩියෙන්ම බොන්නෙත් අපේ මිත්‍රයම තමයි. 

වෛද්‍ය පීඨයේ පළමු වසරේදී අපිට නේවාසිකාගාර නෑ. පුද්ගලික නේවාසිකාගාර වල මුදල් ගෙවාගෙන තමයි ඉන්නේ. මෙන්න මේ වගේ තැනකට ගායන හැකියාව තිබුණු මිත්‍රයෙකුත්, චිත්‍ර අඳින මිතරයෙකුත්, උයන්න දක්ෂ මිත්‍රයෙකුත් එක්ක අපේ කතා නායකයා සෙට් වුණා. අපේ සින්දු කියන මිත්‍රයාත් නියම බඩුවක්. කුළු හරකෙක් වගේ ඇඟ පත හයිය, සෑහෙන උස මහත, හැබයි හරිම අහිංසක කොල්ලෙක්. උදේ පාන්දරම මූ දත් මදින්නේ නැතුවම "මල් පිබිදී ගෙනැ එන්නේ - මඳ මඳ හිමිදිරි යාමේ" වගේ සින්දු කියනවා. සින්දු නම් ලස්සනට කියනවා, ඒත් අර කටේ කුණු කෙළ ගඳට පිබිදුණු මලුත් පර වෙනව කියලයි රට්ටු කිව්වේ. මල් පිබිදීගෙන එන්නේ කියද්දී අපේ චිත්‍ර මිත්‍රයාට ලෝකය කොළ පාටට පේන්න ගන්නවා කියලයි කියන්නෙත්. 

කොහොම හරි මේ පුද්ගලික නෙවාසිකාගාරයට ගිහින් සතියක් ඇතුලත අපේ කතා නායකයාට කාඩ් එකක් වැදුනා. කාඩ් එක "වැලා". මේ කාඩ් එක ඇහෙද්දී එක එක අය එක එක කතා කියනවා. සමහරු පත්තර ගැන කියනවා. සමහරු පලතුරු ගැන කියනවා. සමහරු කාන්තාවන් සහ ඔවුන්ගේ අඟපසඟ ගැන කියනවා. පෙබරවාරි 14 වෙනිදා වෙච්ච වැලන්ටයින් සිද්ධියක් ගැන සමහරු කියනවා. කතා ලෝකයයි. ඒත් නමට හේතුව දැනගත්තේ ටිකක් පහුවෙලා. අපේ මිත්‍රයා වැසිකිළිය ඇතුලේ රෙදි වැලක් බැඳලා!