Saturday, March 28, 2015

යුරිනල්


ඕනෙම පොදු ස්ථානයක තියෙන වැසිකිළියක සාමාන්‍යයෙන් මුත්‍රා කරන්න පෝච්චි තියෙනවා. මේවට කියන්නේ "යුරිනල්ස්" කියල. හැබැයි බඩා පාසල් යන කාලේ මේ යුරිනල් තිබුණේ ඉහළ පන්තියේ හෝටල් වල වගේ සුවිශේෂී ස්ථාන වල විතරයි. බොහෝ තැන් වල තිබුණේ පිඟන් ගඩොල් ඇල්ලු බිතියක් සහ පහළින් කාණුවක්. මුත්‍රා කරන්න වුවමනා වුණාම කෙළින්ම අල්ලන්නේ පිඟන් ගඩොල් බිත්තියට. වැඩේ බොහොම සරල වුණාට මුත්‍රා ගඳ තමා ඉවසන්න අමාරු.

බඩා වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලේ ආහාර ගත්තේ රෝහලේ ආපනශාලාවෙන්. ඒකේ සෞඛ්‍යාරක්ෂිත බව නම් ඉස්තරම්. ඉස්තරම් බව කොහොමද කියනව නම්, මැස්සෝ යන්නේ මල නොතලා රොන් අරගෙන. ඔතනින් කෑම ගත්තු බඩාට හිසරදය කෑම අරුචිය සහ ඇඟට පණ නැති ගතිය වගේ සතියක් විතර තිබුණා. බඩා හිතුවේ වයිරස් උණක් කියලා. නමුත් වෛද්‍ය පීඨයේ තියෙන අර පිඟන් ගඩොල් අල්ලපු කැසිකිළියට මුත්‍රා කරද්දී බඩා දැක්කා තමගේම මුත්‍රා වල වෙනසක්. පිඟන් ගඩොල් අතරට දාන "ග්‍රවුට්" එක බඩා මුත්‍රා කරද්දී කහපාට වෙනවා. අන්තිමට බලද්දී ටයිපොයිඩ් හැදිලා, ඒක අක්මාවටත් බලපාලා, ඒ හින්දා මුත්‍රා විතරක් නෙවෙයි, ඇසුත් කහපාට වෙලා. සති දෙකක් ගේමක් නැතුව ඉස්පිරිතාලේ තැපලා තමයි බඩා සුවය ලැබුවේ.

වෛද්‍ය පීඨයේ විතරක් නෙවෙයි, රාජකීය විද්‍යාලයේත් තිබුණේ මේ විදිය කැසිකිලි. හැබැයි බඩා 10 වසර ඉන්න කොට, එක වැසිකිලියක ඔය කියන යුරිනල්ස් ඇල්ලුවා. මේ කොටස බොහොම පිරිසිඳුයි. අතිශය පිරිසිඳු ලෙස ඉන්න සෙට් එක ගියේ මේ කැසිකිළියට විතරයි. බඩා නම් ඉතින් ඕන එකකට යනවා. දවසක් මේ අති සුපිරිසිඳු සෙට් එක මූණ නරක් කරගෙන පිඟන් ගඩොල් බිත්තියට අල්ලනවා. ඇයි කියල ඇහුවම කියන්නේ නෑ. සිද්ධිය තේරුණේ ගිහින් බැලුවම. මොකෙක් හරි මහා අසමජ්ජාතියෙක් කැසිකිළියේ යුරිනල් එක වැසිකිළියක් කරගෙන, අඩි එකහමාරක විතර රීබට් එකක් දීලා ගිහින්!

මේ "පොෂ්" කැසිකිලියට යන්නේ නැති තව එකෙක් තමයි ගොට්ටා. ගොට්ටා හෙණම ලමා පෙනුමක් තියෙන එකෙක්. මුගේ ළමා පෙනුම කොච්චරද කියනව නම්, මූ කැම්පස් ගිය අළුත යාළුවෝ එක්ක "ගෙම්බෙක්" අල්ලන්න ගිහින් තියෙනවා, ගෙඹි පොට් එකකට. පොඩි ළමයි මේකට අරන් අපට හිරේ යන්න බෑ කියල මූව එළියට දාලා අනික් එවුන්ව ඇතුලට අරගෙනලු!

පොෂ් කැසිකිළියට ගොට්ටා නොයන හේතුව අපි දැනගත්තේ උත්සවයකට ගලධාරී හෝටලයට ගිය දවසකදීයි. එදා මූ ලස්සනට යුරිනල් තියෙන කැසිකිලියට ගිහින් එනවා. ගොට්ටා ළමා පෙනුම වගේම හරිම මිටියි. උඩින් අල්ලපු යුරිනල් එකට මූට මුත්‍රා කරන්න බෑ! ගලධාරී එකේ ළමයින්ට මුත්‍රා කරන්න වෙනම පහළින් අල්ලපු යුරිනල් එකක් තියෙන නිසා මෙන්න මූ වීරයා වගේ එකට අල්ලනවා! උත්සවය පැත්තක තියෙද්දී බඩාටයි, යාළුවෝ සෙට් එකටයි පණ යන්න හිනා!

Sunday, March 15, 2015

සින්නරාසා

බඩාගේ විශේෂඥතාවය තියෙන්නේ වකුගඩු රෝග වලට ප්‍රතිකාර කිරීම කියල දන්නවනේ. ඒ වගේම අවුරුදු 30ක යුද්ධයක ප්‍රතිඵල රෝහලේදී දැක්ක කෙනෙක් තමයි බඩා. සොල්දාදුවන්ට වගේම, කොටි සාමාජිකයන්ටත්, (ඇතැම් විට ජිහාඩ් කාරයින්ටත්), බඩා ප්‍රතිකාර කර තිබෙනවා. මේ එවන් එක් කතාවක්. දේශපාලනය තුළ මියැදී ගිය තරුණයෙක්ගේ කතාවක්.

ඔහුට අපි කියමු සින්නරාසා කියල. ගම මාන්කුලම. වයස අවුරුදු 28යි. බඩා හමුවට එන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා. ඒ වෙනකොට ඔහු නඩු නැතිව අවුරුද්දක් සිරගත කර තබාගෙන ඉඳලා තිබෙනවා. සින්නරාසා පරීක්ෂා කරන කොට පෙනී ගිය දෙයක් තමයි සිරුරේ තිබූ ශ්‍රැප්නල් (shrapnel) තුවාල. ඔහු කීවේ හමුදාව ෂෙල් ගහන කොට තුවාල වූ බවයි. අවශ්‍ය පරීක්ෂණ කර, රුධිර කාන්දුකරන (Dialysis) ප්‍රතිකාරය කිහිපවිටක්ම කළ පසු ඔහු ඉතා හොඳ තත්වයට හැරුණා. ඒ වගේම මා සමග හොඳින්ම කුළුපග වුණා. "මම මිත්‍ර වුණු පළමු සිංහලයා ඔබ" සින්නරාසා කීවේ එහෙමයි. "නමුත් මගෙන් බෙදුම්වාදීන්ට සමාවක් නැහැ. ඒ ගැන මතක තියාගෙන මාව ආශ්‍රය කරන්න" එහෙම කිව්වේ මම. සින්නරාසාගේ සිරුරේ තිබූ තුවාල අනුව ඔහු වසර 10ක් පමණ තිස්සේ විවිධ පිපුරුම් 10කට පමණ ගොදුරු වෙලා තිබුණු බව බඩාට වෛද්‍ය විද්‍යාත්මක දැනුම නිසා තේරුම් ගියා.

"සින්න රාසා, බොරු කියන්න එපා. අවුරුදු කීයක් කොටින් වෙනුවෙන් සටන් කළාද?" බඩා දවසක් ඇහුවේ ගහෙන් ගෙඩි එනවා වගේ. "මට බොරු කියන්න හදන්න එපා, මොකද ඔය තුවාල වල කතාව ලියවෙලා තියෙනවා"

තව දුරටත් බොරු කිරීමෙන් වැඩක් නොවෙන බව දැනගත් සින්නරාසා ඔහු කොටි හමුදාවේ ජ්‍යේෂ්ඨ අණ දෙන්නෙක් බව හෙළි කලා. 

"ඒකෙන් කමක් නෑ. සින්නරාසා මොකෙක් වුණත්, දැන් රෝගියෙක්, ඒ නිසා බය වෙන්න එපා"

මගේ ඉල්ලිම පිට ඔහුගේ මාංචු ඉවත් කලේ, පළා ගියහොත් රුධිර කාන්දුකරණය නොමැතිව ඔහුට සතියකට වඩා ජීවත් විය නොහැකි බව පෙන්වා දීමෙන් පසුව. සින්නරාසාත් එය දැන සිටියා. "පැනල ගියොත් මම මැරෙනවා. එ නිසා පැනලා යන්නේ නෑ"

බඩා සින්නරාසාගේ පවුලේ අය සමග සාකච්ඡා කලේ ඔහුට වකුගඩුවක් පිරිනැමීමට කෙනෙක් ඉදිරිපත් වෙනවාදැයි දැන ගැනීමට. මාන්කුලම් වලින් පැමිණි පොඩි පහේ හමුදාවක් මා හමුවට පැමිණියේ ඔවුන් නෑදෑයන් බව සැළ කරමින්. ඒ අතර සිංහල හොඳින් කතා කළ හැකි දෙමළ නළුවකුද සිටියා!

බඩාගේ විස්තරය අසා සිට සින්න රාසාගේ මව වකුගඩුව පිරිනැමීමට ඉදිරිපත් වුණා. අවශ්‍ය රුධිර සාම්පල එදාම ලබා ගත්තේ මාන්කුලම් සිට යාමට ඒමට අපහසු නිසා. නමුත් සින්නරාසාට වකුගඩුවක් බද්ධ කරන්නට පෙර කළ යුතු බොහෝ දේ තිබුණා.

පළමුව ඔහු සිටියේ සිර මැදිරියක, රෝග වාහකයින් මැද්දේ. වකුගඩුවක් බද්ධ කළ අයෙකුගේ ප්‍රතිශක්තිය ලබා දෙන ඖෂධ නිසා බොහෝ අඩපණ වී රෝගයන්ට ගොදුරු වීමේ සම්භාවීතාවය බොහෝ වැඩියි. ඒ නිසා සින්නරාසා හිරෙන් නිදහස් කර ගැනීම අවශ්‍ය බව මම පෙන්වා දුන්නා. ඉන් පසුව මගේ මහාචාර්යතුමා හරහා, බන්ධනාගාර කොමසාරිස්ට, සහ ආරක්ෂක ලේකම්ට සින්නරාසාට වකුගඩුවක් බද්ධ කිරීම අවශ්‍ය බව දන්වන ලිපි දෙකක් සකස් කර දුන්නා. "ඔබ ගිහින් ආරක්ෂක ලේකම් හමුවී මේ ලියුම පෙන්වන්න. එතකොට ඔහු මොනවා හරි කරාවි. සින්නරාසාව හිරෙන් නිදහස් කර ගැනීම මගේ විෂය පථයේ තිබෙන එකක් නෙවෙයි. පුළුවන්නම් ඔබේ මන්ත්‍රී එක්ක යන්න. ජනාධිපති හම්බ වුනත් මට කමක් නැහැ" බඩා පැහැදිලි කරලා දුන්නා. "සමහරවිට, ආරක්ෂක අමාත්‍යංශයෙන් මේ දේ උත්සවයක් තියලා එහෙම කරන්නත් පුළුවන් දේශපාලන වාසියක් ගන්න. නමුත් සින්නරාසා නිදහස් කරගන්න නම් මේ විදියට කරන්න වෙයි" මම පැහැදිලි කරලා දුන්නා.

ඔවුන් ආරක්ෂක ලේකම් හමුවේ යයි බඩා බලාපොරොත්තු වුණා. නමුත් සිදුවුණේ නොසිතූ දෙයක්.

අදාල ලිපි දෙකත් රැගෙන රාජ්‍ය නොවන සංවිධානයක් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැශනල් වෙත ගොස් සින්නරාසා ගේ දඬුවම ඉවත් කර ගන්නා ලෙස කවරෙක් හෝ උපදෙස් දී තිබුණා. ඒ අනුව රෝහල විසින් ඔහුගේ රුධිර කාන්දුකරණය නොකඩවා කළයුතු බවට නියෝගයක් ලැබුණා.

මුළු තත්වයම දෙබරයට ගල් ගැසුවා වගේ වුණේ මින් පස්සේ. අපේ රෝගීන්ගෙන් බහුතරය රුධිර කාන්දුකරණය කරන්නේ මුදල් ගෙවමින්. ඔවුන්ට නොලැබෙන අයිතිවාසිකම් සිරකරුවකුට ලැබීම ගැන තදින් කිපුණ ඔවුන් විසින් අදාල රාජ්‍ය නොවන ආයතන ඔවුන්ගේ පෙත්සම් ඉවත් කර නොගන්නේ නම් සම අයිතිවාසිකම් ඉල්ලා නඩුමගට බහින බවට ලිපියක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඇම්නෙස්ටි ඉන්ටර්නැශනලයට ඔවුන් ඉතිහාසය ලද දරුණුම පරාජය ලබමින් නිහඬ වීමට සිදුවුණා. රුධිර කාන්දුකරණය ලබා දීමේ අනු පිළිවෙල (priority) පිළිබඳව අනෙකුත් පාර්ශව අත ගැසීම තමන් නොරුස්සන බවත්, තව දුරටත් බලපෑම් සිදු කළහොත් අදාල සේවාවෙන් ඉවත් වන බවටත්, අදාල විශේෂඥ වෛද්‍යවරුන් අවසාන නිවේදනයත් ලබා දුන්න.

මේ සිද්ධි සියල්ලම සිද්ධ වුණේ සති දෙකක් ඇතුලත. සින්නරාසාට තව දුරටත් අදාල ප්‍රතිකර්මය ලබා දිය හැකිවන්නේ පොරොත්තු ලේඛණයකට අනුව පමණක් බව ඔහුට සහ නෑදෑයන්ට දන්වා සිටින්නට සිදු වුණා. රෝගීන් සංඛ්‍යාව අනුව එවන් අවස්ථා ලැබෙන්නේ සති හතරකට වරක්. නමුත් රුධිර කාන්දුකරණය සතියට දෙවරක් වත් කළ යුතු ප්‍රතිකර්මයක්. මේ තීරණයෙන් දවස් 13කට පසු සින්නරාසා මොළයේ සිදුවූ රුධිර වහනයකින් මිය ගියා.

පොඩි මිනිසුන්ගේ ප්‍රශ්න දේශපාලනීකරණය කළ විට, එය විසඳා ගත නොහැකි අවුල් ජාලාවක් වන බවට මේ එක අනුවේදනීය උදාහරණයක්. මේ නූගත් ගැමියන්ට, තම මහන්තත්ත කම පෙරදැරි කරගෙන ඇම්නෙස්ටිය වෙත යන්නට කී පුද්ගලයාව බඩා කලක් සෙවූවත් හම්බ වුණේ නැහැ. සින්නරාසාගේ ලේ තැවරී ඇත්තේ අන්න ඒ දෑතේ බව බඩා අදත් විශ්වාස කරනවා.

Saturday, March 14, 2015

ගුරුවරු (?ගුරුහොරු)

දැන් වගේ නෙවෙයි 1990 ගණන්වල ළමයින් හැදුනේ දැඩි ගුරු භක්තියකින්ය කියල මතයක් තියෙනව. ඒක තරමක් දුරට හරි. ගුරුවරු වැරදි කරන කොට අපි බොහෝ වෙලාවට කට වහගෙන හිටියා. නමුත් මතක හිටින වැඩ කීපෙකුත් ඒ අතරම සිද්ධ වුණා. බඩා කරපු වැඩ වගෙම අනෙක් අය කරපු වැඩ ත් තියෙනවා.

මාමා කියන්නේ අපේ රසායන විද්‍යා ගුරුතුමා. රාජකීය විද්‍යාලයේ එක විෂයයක් දෙකට බෙදාගෙන ගුරුවරුන් දෙදෙනෙක් උගන්නනවා. මාමා කියන්නේ අමු කම්මැලියෙක්. 7.30 පීරියඩ් එකට එන්නේ 7.45ට. එන කොට එන්නේ කලිසම දෙපැත්තෙන් උස්ස උස්ස. ඇවිල්ලා ගුරු පුටුව ගසලා වාඩි වෙලා කොලර් එකයි කමිස අත් නැමිච්ච ඒවයි හරිද බලනවා. ඊට පස්සේ හුණු කූර දෙකට කඩලා එක කෑල්ලක් උඩ දදා අල්ලනවා. පළවෙනි පාඩමේදී පොර කියනවා "ළමයි මේ පාඩම සම්පත් රසායනය යයතේ විස්තර ඇතුව කරනවා. දැනට පොත කියව ගන්නකෝ ඈ" කියල මාරු වෙනවා. අපේ කරුමෙට අනික් රසායන විද්‍යා ගුරුවරයත් ඊට නොදෙවෙනි අයිස් කඳක්. නිදි කිර කිර ඉන්න නිසා කියන්නේ "බස්සා" කියල. නමේ කෑල්ලත් ඒකට සම්බන්ධයි. බස්සා සම්පත් රසායනය කරද්දී කියනවා "මාමා සර් මේක විස්තර ඇතුව මුල් පාඩමේ කළානේ, එහෙනම් පොත කියව ගන්න". එහෙම කියල මිනිහ මාරු. අපේ රසායන විද්‍යාවට අබ සරණ බව ආයෙත් කියන්න ඕනිද? අපි යන්තම් ගොඩ ගියේ මාමා විශ්‍රාම ගිහින් ශ්‍රී වික්‍රම රාජසිංහ උගන්නන්න ආවම තමයි.

මාමගේ කෙරුවාව එසේ වුවත්, කාර් තිබුණු ගුරුවරු කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි මාමා. දරා ගන්න බැරි තැන මොකෙක් හරි එකෙක් මාමාගේ කාර් එකේ හුලං ඇරලා, ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. වෙලාවට හුළං ඇරපු දවසේ බඩා පාසල් ආවේ නෑ. නැත්නම් ඉතින් මොකා ඇරියත් මාට්ටු වෙන්නේ බඩා තමයි. කතාවේ හැටියට එසේ මෙසේ එකෙක් නෙවෙයිලු! පන්තියේ අග්‍ර ශිෂ්‍යයෙක්ලු!

මාමා, බස්සා වගේ කම්මැලි නැති, ඒත් උගන්නන කොට මෙලො හ
ත්තිලව්වක් තේරෙන්නේ නැති, ගුරුවරුත් හිටියා. ආසියාවේ රිදී සීනුව එහෙම ගුරුතුමියක්. උගන්නන්න බෑ වගේම තමා පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් බැනුම් සාගරයයි. ආලෝකය පාඩම කරද්දී අවතල දර්පණයක නාභි දුර හොයන්න සම්පාත ක්‍රමය පාවිච්චි කරනවා. මේකේදී සම්පාත කරන්න තියෙන්නේ අල්පෙනෙත්තක්. කරුමෙට පෙත්තට හම්බ වෙච්ච අවතල දර්පනයේ නාභිදුර හෙන ලොකුයි. අල්පෙනෙත්ත පේන්නේ නැති තැන මල පැනපු පෙත්තා එස්ලෝන් බටයක් අරන් ඇවිත් සම්පාත කරනවා. මේක දැකපු රිදී සීනුව යක්ෂාවේශ වෙනවා. "ඔය මොකද්ද සම්පාත කරන්නේ, ඔයිට හොඳයි තමුසෙගේ ඔළු ගෙඩිය සම්පාත කර ගන්නවා". පෙත්තා ඩිම් වෙලා, හොල්මන්ද පොල් කොල වෙලා. පස්සේ පෙත්තා අපට ගණන් හදලා පෙන්නුවා එස්ලෝන් බටේ ප්‍රතිබිම්බය ගන්න නිරවද්‍යතාවය අර පොඩි නාභි දුර තියෙන එකේ අල්පෙනෙත්තෙන් ගන්න එකටත් වඩා නිවැරදියි කියල. රිදී සීනුවට ඕව අහගන්න වුවමනාවක් නෑ.

රිදී සීනුවේ වැඩ ඉවසන්න බැරුව හිටපු එකෙක් තමා එහා පන්තියේ තිලකයා. තිලකයා දවසක් රිදී සීනුවට පල් කැහි පාරක් දාලා, වැඩේ නතර වුණේ විදුහල්පති ගාව. අඟහරුවාදා එසෙම්බ්ලියේදී විදුහල්පති චූර්ණිකාව පටන් ගන්නවා. "ළමයි, ගුරුවරු දෙමාපියන් වගේ. මහන්සි වෙලා උගන්නනවා. එහෙම උගන්නන සමහර ගුරුවරුන්ට සමහර ළමයි සලකන්නේ කොහොමද? පල් කැහි පාරකින්" එහෙම කියන කොටම තිලකයාගේ පන්තිය හිටි පේළියෙන් ආවා පල් කැහි පාරක් ආයෙත්! කැහි පාර එනකොට බඩා හිටියේ ගුරුතුමියක් එක්ක කදයක් දාගෙන. (බඩාගේ ආගිය කතා වලට සහ ඕප මල්ලට ගුරුතුමියන් බොහොම කැමතියි.)  කැස්ස එකා බඩා දැක්කා. කරුමෙටම බඩා ඉඳගෙන හිටියෙත් ඒ කිට්ටුවමයි. බඩාට තිබුණු "කීර්තිය" නිසා 10.00ට විදුහල්පති කාමරයේ නතර වෙන්න සිද්ධ වුණා.

පිනාගේ හිතේ කැස්සේ බඩා කියලමයි. හොඳට බණින්න දීලා එහෙම ඇරලා බඩා කිව්වා "සර්, අර අහවල් මැඩම්ට කතා කලා නම් ඇත්ත නැත්ත දැන ගන්න තිබුණා" විදුහල්පති අදාල ගුරුතුමිය ගෙන්නාගෙන බැලුවම වැඩේ ඇත්ත. කහින වෙලාවේ බඩා ඉඳලා තියෙන්නේ ගුරුතුමිය එක්ක කතා කර කර. ඒ මදිවට බඩාගේ ඕප මල්ලට අදාල ගුරුතුමිය එක්කහු වීම ගැ
ගුරු කාමරයේත් කතා ඇතිවෙලා! විදුහල්පතිගේ තටු දැන් ඇකිලිලා. හැබයි කැහැපු එකා බඩා දැක්ක බව ගුරුතුමිය අතින් කරුමෙට වගේ කියැවුණා. දැන් පිනා අහන්නේ "කැස්සේ කවුද?" කියල. විනාඩි 15 විතර තර්ජන, ගර්ජන ව්ලට යොමු වුණාට පස්සේ බඩාට මළ අතට ආවා. "මේ සර්, කැහැපු එකා හොයා ගන්න බැරි නම් ඕන කුදයක් ගහගන්නවා. මම කැස්සේ නෑ නේ? තව අවුරුද්දක් කැහැපු එකා ඇහුවත් මම කියන්නේ නෑ. පුලුවන් මගුලක් කරලා බලනවා" බඩා කෙළින්ම විදුහල්පතිගේ ඇඟට ගොඩ වුණේ විදුහල්පති කෑගහපු තරන් සද්දෙටමයි. මෙතන මහා විනාසයක් වෙන බව තේරිච්ච නිසා අර ගුරුතුමිය බඩාව එතනින් ඇදගෙන එක්කන් ගියා. නැත්නම් සමහරවිට විදුහල්පති තුමා අම්බානකට කන්නත්, බඩාගේ පාසල් ජීවිතය එතනින් කෙළවර වෙන්නත් ඉඩ තිබුණා. ගුරු මණ්ඩලය එක්කහු වෙලා පස්සේ වැඩේ ෂේප් කලා. බඩා විදුහල්පතිගේ ප්‍රියතම ශිෂ්‍යයෙක් වුණේ ඔයින් පස්සේ. ප්‍රියතම ශිෂ්‍යයෙක් වෙන්න හේතුව නම් වැරද්දට කතා කිරීම කියලා නම් බඩා හිතන්නේ නෑ! බඩාගේ අධ්‍යාපන දක්ෂතා සහ බඩාගේ පියා ඒ කාලයේ පීඨාධිපති කෙනෙක් වීම තමයි ඕකට බලපාන්න ඇත්තේ. අපි නොදන්න ප්‍රින්සිපල් ලා!