Thursday, May 12, 2016

සෙම අදින ඩොක්ට

සාමාන්‍යයෙන් රෝහලක් වගේ එකකදී සියළුම දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන වෙලාවල් අඩුයි. විවිධ ශ්‍රේණි අතර තියෙන හිත් නොහොඳකම් විටින් විට මතු වෙනවා. ලංකාව වගේ රෝහල් කාර්ය මණ්ඩලය අඩු රටවල් වල මේ තත්වය තවත් උග්‍රයි. බොහොම වෙලාවට මේ ගැටුම එන්නේ වැටුප් පරිමාණය එක්ක. යම් කිසි හේතුවකට වැටුප වැඩිනම් රජයේ සේවයේ ඉහළින් ඉන්නේ කියන මතවාදයක් හෝ සම්ප්‍රදායක් ඇති වෙලා තියෙනවා. මේ නිසා වැටුප් පරිමාණ අතිපිහිත වෙන ශ්‍රේණි අතර ගැටුම් බහුලයි.

මේ විදිය ගැටුම් බහුල තැනක් තමයි හෙදි පාලිකාවන් (nursing matron) සහ ශ්‍රේණි වෛද්‍යවරුන් අතර. සාමාන්‍යයෙන් හෙදි පාලිකාව කියන්නේ ඉහළම නිළයක්. වැටුප් සමහර වෛද්‍යවරුන්ටත් වඩා වැඩියි. හැබැයි, වෛද්‍යවරුන්ට ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන් නිසාත්, හෙද පාලිකාව ඉන්නේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි යටතේ නිසාත්, කාරණය එතරම් පැහැදිලි නෑ.

මේ විදියට තවත් ගැටුම් බහුල ශ්‍රේණි දෙකක් තමයි හෙදියන් සහ භෞත චිකිත්සකයන් (physiotherapist) අතර. භෞත චිකිත්සකයන් කියන්නෙ රෝගී සත්කාරයට අත්‍යවශ්‍ය සේවාවක්. අත පය වල මාංශපේශි වල සවිමත් භාවය පවත්වා ගැන්මේ සිට ශ්වසන පද්ධතිය පිරිසිඳුව තබා ගැන්මට අවශ්‍ය ව්‍යායාම කියාදීමත් ඔවුන් විසින් සිදු කෙරෙනවා. බඩා වැඩකරපු රෝහලක හිටියා භෞතචිකිත්ස්කයෙක්, තමන් "වෛද්‍ය" විදියට හඳුන්වා ගන්න. බඩාට ලැබුණ ආරංචි හැටියට හීනියට ලෙඩ්ඩු බැලිල්ලකුත් කරනවලු. මනුස්සයට මුදල් එහෙමත් යහමින් තියෙනවා වෙන්න ඕන. වෛද්‍යවරුන් මේ ගැන නොදැන හිටියට හෙදියන් මේ ගැන ගාණට දැනගෙන හිටියා. ඒ අය බලන් හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයෙන්.

ඔන්න එක දවසක් මේ මනුස්සයා වාට්ටුවට ඇවිත් පළවෙනි ලෙඩාට ෆිසියෝ පාර දීලා එහෙම දිගටම වැඩ කරන් යනවා. වාට්ටුවේ අන්තිම කෙළවරේ වගේ ලෙඩා ගාවට යනකොට රෝගියෙක් ඇවිත් අහනවා "අර දොස්තර මහත්තයාව හමබ වෙන්න පුළුවන් කොහේදිද?" කියල. රෝගියා මේ කතාව අහන්නෙත් නියම කටර් එකකින්. නර්ස් නෝනා වාට්ටුවටම ඇහෙන්න කියනවා "ආ ඒ බේත් දෙන ඩොක්ට නෙවීනේ, එයා සෙම අදින ඩොක්ට" කියල.

අපේ ෆිසියෝ මිත්‍රයා සද්ද නැතුව මාරු වෙනවා!