Showing posts with label ග්‍රේරෝ. Show all posts
Showing posts with label ග්‍රේරෝ. Show all posts

Saturday, July 27, 2013

ඡන්දේ

1990 ගණන් වල මැද හරියේ උසස් පෙළ පන්ති වල තිබුන තවත් ලස්සන වැඩක් තමයි පෝස්ටර් ගැහිල්ල. තමන්ගේ ප්‍රතිවාදියෙකුට මඩ සහිත අපහාසාත්මක පෝස්ටරයක් ගහලා විනෝද වීම ඒ දවස් වල බහුලව වෙච්ච වැඩක්. දැන් වගේ මූණු පොතෙන්, අරහෙන් මෙහෙන් කෙනෙක්ගේ ඡායාරූප හොයා ගන්න බැරි කාලෙක මේ පෝස්ටර් වැදුනේ කාගේ හරි ඇල්බම් එකකින් පින්තූරයක් හොරකම් කර ගත්තාම. එහෙම නැත්නම් කියනෙන කවුද කියලා ඇඟවෙන විදියට ලස්සනට වචනයෙන් කියවෙන්න ඕනේ. කවදත් ඔය වගේ වැඩ වලට බඩා එක පයින්. 

පාසැලේ සහ ටියුෂන් පන්ති වල හොඳ නමක් දිනාගෙන හිටපු තක්කාලි බමුණට පෝස්ටරයක් ගහන්න බඩා තීරණය කලේ ඔය අතරෙදී. 1995 කියන කාලේ පරිගණක තිබුණේ බොහොම අඩුවෙන්. බඩාට නම් පරිගණකයක් තිබුණ වගේ කොරල් ඩ්‍රෝ 4 කියන උපාංගයත් ඒ දවස් වල තිබුණා. මේ නිසා පත්තරේ ගිය කාටූනයක් වෙනස් කරලා පෝස්ටරයට ඇතුළු කරලා බොහොම ලස්සනට මුද්‍රිතවම වැඩේ සිද්ධ කලා. ඒ දවස් වල මහ මැතිවරණයක් තිබුණ වගේ මතකයි. ඒ නිසාම මැතිවරණ පොරොන්දු පත්‍රිකාවක් විදියටයි පෝස්ටරය් නිමැවුණේ. මේ පෝස්ටරය එළි දැක්වුණේ ග්‍රේරෝ ගුරුතුමාගේ පන්තියේදී. බමුණත් ඒ පන්තියට එන බව කියන්න ඕන නෑ නේ! කොහොමෙන් කොහොමෙන් හරි බමුණට ඇඬෙන්නම පෝස්ටරය නැගලා ගියා. 

පෝස්ටරයේ විහිළු හුවමාරු වෙන අතර වාක්‍යනාදන් අහනවා "සර් ඡන්දෙ ඉල්ලන්නේ නැත්ද?" කියල. වාක්‍යනාදන් කවදත් දෙන්නේ කරමල් කැඩෙන වාක්‍යම බව මතක ඇතිනේ. ඔන්න ඉතින් ගේරෝ ගුරුතුමා පටන් ගන්නවා චූර්ණිකාව. 
"අපෝ කවදාවත්ම නෑ! මොකද දන්නවද? ළමයි මම ඡන්දේ ඉල්ලුවොත් මට මේ රස්සාව දාල මන්ත්‍රී පඩියක් විතරක් ගන්න වෙනවා". 
කොල්ලෝ "සූ!" ගානවා. 
"ළමයි, මට මගේ බෙන්ස් එක විකුණලා මයිනර් එකක් ගන්න වෙනවා. මොකද මම ආදර්ශමත් නායකයෙක් වෙන්න ඕනෙනේ?" සූව තවත් වැඩියි! 
"ඒ වගෙම මට දැන් ඉන්න ගෙයින් අයින් වෙලා මන්ත්‍රී නිවාසෙක අඩු පහසුකම් යටතේ ඉන්න වෙනවා". සූව තවත් දරුණුයි. 
"එහෙම කළොත් ළමයි මට මායියගෙන් ජල ගුටි තමා". 

මීට කලින් වතාවක කිං කොං කියලා බඩාව චාටර් කරපු එක බඩා මතක තියාගෙන හිටියේ ගලේ කොටපු අකුරක් වගේ. අර අන්තිම ප්‍රකාශය එක්කම පොළීත් එක්ක දෙන්න නියම අවස්ථාවක් බව වැටහෙන්න බඩාට ගියේ තත්පරයෙන් දහයෙන් පංගුවයි. 
"සර්, දැනුයි කියල වෙනසක් නෑ නේද?" කියල බඩා ඇහුවෙ පන්තිය මීයට පිම්බ වගේ නිශ්ශබ්ද වෙනකම් ඉදල. කොල්ලෝ කෙල්ලෝ බඩවල් අල්ල ගෙන හිනා. ග්‍රේරෝ ගුරුතුමා අත උස්සගෙනම ඊලඟ ගණන හදන්න පටන් ගත්තා!

(අපිට මුලින් දීපු පොරොන්දුව කඩ කරමින් පස්සෙ කාලෙක ග්‍රේරෝ මහත්මයා දේශපාලනයට ආවා)

Friday, October 12, 2012

කිං කොං


බඩාගේ කට අන්තිම සවුත්තු බව දන් මේ "ළමා" කතන්දර පිටුව කියවන ඔක්කොම අය දන්නවානෙ. මේ සවුත්තු කට හින්දා නිතරම පීඩාවට පත්වෙච්ච කෙනෙක් තමයි අපේ භෞතික විද්‍යා ටියුෂන් ගුරුතුමා වෙච්ච ග්‍රේරෝ මහත්මයා. බඩා පන්තියේ ඉඳන් කියන පොඩි පොඩි කතා කෑලි, අනික් අය අහුලන් ලොකු රණ්ඩු ඇති කර ගන්න නිසා ග්‍රේරෝ ගුරුතුමා බඩා ගැන හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයේ. මේ කතාව සිද්ධ වුණේ 1995දී. ඒ කාලේ සිරිතක් තමයි කවුරු හරි ගොඩ් එන්න බැරි ගාණට බයිට් උණහම අත උස්සගෙන එතනින් මාරු වෙන එක.

බඩා එක්ක ඒ දවස් වල ගෑණු ලමයෙක් බොහොම හිතවත් කමක් තිබුණා. මේ කෙල්ල හරිම උනන්දුයි වැඩ වලට. බඩා ගේ උනදුව ගැන නම් කියන්න ඕනේ නැහැනෙ. කෙල්ලත් වැඩි පෙනුමක් එහෙම නැති අතිශයින්ම සාමාන්‍ය කෙල්ලෙක්. ඒ වුනාට අතිශය අසාමාන්‍ය නිරීක්ෂණ ශක්තියක් තියෙන ග්‍රේරෝ ගුරුතුමා මේක සති ගාණක් හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. පාඨක පිරිස නොදන්නවා නම්, බඩා ඒ කාලේත් අද වගේම මහතයි. කාලයක් තිස්සේ යගුලිය වීසි කරපු නිසා ඒ කාලේ ශරීරයේ මස්පිඩු එහෙම හොඳට හැදිලා තිබුණා. බඩා කොහොමත් කළුයි. දිග කොණ්ඩයක් වවාගෙන හිටියේ ශිෂ්‍ය නායකයන් එක්ක ගේමට බහින්නමයි. බඩා මාමා හිතන්නේ දැන් කට්ටියට චිත්‍රයක් මැවිල ඇති කියල.

ග්‍රේරෝ ගුරුතුමා බඩා ගේ මිත්‍ර කෙල්ලගෙන් අහනවා "ඔය ළමය කිං කොං චිත්‍ර පටිය බළල තියෙනවද?" කියල. ග්‍රේරෝ ගුරුතුමා ඊලඟට පටන්ගන්නවා කිං කොං ගැන චූර්ණිකාව. "ඒ චිත්‍රපටියෙ ඉන්න නිළියත් ඔය ළමය වගේ. කිං කොං ට කවුරුවත් කැමති නෑ, හැබැයි අන්තිමේදී කැමති වෙනවා එක කෙල්ලෙක්. කිං කොං කළුයි, මහතයි, ගොඩක්ම ශක්තමත්. හැබැයි ඉතින් කිසිම ලස්සනක් නෑ". එතකොටම පස්සෙ ඉඳගෙන ෆරීඩ් කාරයා අහනවා "සර්, කිං කොං කියන්නේ කවුද? " කියල. පරන ඉංග්‍රීසි පත්තරයක් අතින් අතට යන්න ග්‍රේරෝ ගුරුතුමා පාස් කලා. ප්‍රහාරය එන්නේ කොහාටද කියල තේරුම් ගන්න බඩාට මිනිත්තුවක්වත් ගියේ නෑ. එතකොට පත්තරේ බඩා ඉන්න පේළියට ඇවිත් වත් නෑ. කිං කොං කියන්නේ කවුද කියල බඩා නං දැනගෙන හිටිය. සාමාන්‍යයෙන් කාටවත් බයිට් කරන්න බැරි, "බයිට් පෲෆ්" බඩා මාමාට එදා නම් ඇප කැන්සල්. කරන්න දෙයක් නැති කමට බඩා අත උස්සගෙනම් ඊලඟ ගාණ හදන්න පටන් ගත්තා. මෙන්න මේ පහළ රූපේ ඉන්නේ කිං කොං.


අපේ හිටපු පාප මිත්‍රයෝ ඊලඟට කිං කොං කියන එක බඩාට කාඩ් කලේ හැරෙන තැපෑලෙන්.

ප.ලි. කිං කොං කියන්නේ 1933 දී තිරගත වෙච්ච, 2005 දී නැවත හදාපු චිත්‍රපටියක්.

Saturday, March 31, 2012

තමුසේ නෙවෙයි


උසස් පෙළ කරන කොට ටියුෂන් යන්න සිද්ධ වීම අද විතරක් නෙවෙයි, බඩා ගේ කාලයේත් සිදු වුණු දෙයක්. "පතිරූප දේස වාසෝච" කියල බුදුන් වහන්සේ මංගල කරුණක් විදියට වදාරල තියෙන යහපත් පදිංචිය නිසාද කොහෙද බඩාට ඒ කාලේ රටේ හිටපු ප්‍රසිද්ධතම ගුරුවරුන් ගාවට ටියුෂන් වලට යන්න හැකි වුණා. මේ ගුරුවරුන් අතරින් අවිවාදයෙන්ම දක්ෂතමයා තමයි මොහාන් ලාල් ග්‍රේරෝ මහතා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ කතා සිද්ධ වුණේ එතුමා මන්ත්‍රීවරයෙක් වෙන්න තුන් හිතකින්වත් නොහිතපු කාලයේ කියලයි බඩා හිතන්නේ.

ග්‍රේරෝ මහත්මාට ඉංජිනේරු පීඨයේ භාවිතා වෙච්ච නම වුනේ "මීයා" කියන එක. (අර චීස් කාපු මීයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ!) කල් යද්දී විශේෂණත් එකතු වෙලා මේක "කාණු මීයා" බවට පත් වෙලා තියෙනවා. ඒ දවස් වල රේල් වේ ඇවනියු එකේ ග්‍රේරෝ මහත්මයා විශාල පන්තියක් කලා. මේකට ඇවිත් හිටියා වල් කොල්ලො රංචුවක්. උන් කරන්නේ ගුරුතුමා කළු ලෑල්ලේ ගැටළුවක් විසඳන්න අනික් අතට හැරුණු ගමන් මියෝ කෑ ගහනවා වගේ "චීක්, චීක්" ගාන එක. මේ නිසා ඔහු ඉන්නේ කොයි වෙලෙත් මළ පැනීමේ සීමාවට ඇවිල්ලා. බඩා ඔය පන්තියේ හිටියේ පහළොස්වෙනි පේළියේ විතර. මේ පන්තියේ ඉස්
ම පේලියේ හිටියා ටිකක් කට වැඩි කෙල්ලෙක්. කට වැඩි නම් කමක් නෑ, මේකිට මහ පුදුම උනන්දුවක් තිබුණේ. ග්‍රේරෝ මහතා කළු ලෑල්ලේ ලිය්ද්දී බඩා කලේ කඩදහි කාක්කෙක් අර ගෑණු ළමයාගේ ඇඟට වැදෙන්න රපු එක. නමුත් නොහිතූ විදියට ඉලක්කය වැරදිලා, එහෙම නැත්නම් කාක්කා තැනීමේ දෝෂයක් නිසා, එල්ලය වැරදිලා කාක්කා නතර වුණේ ග්‍රේරෝ මහතාගේ ඔළුවටම ටොක්කක් ඇණගෙන.

ග්‍රේරෝ මහතා බොහොම පැහැපත් කෙනෙක්. නමුත් කේන්ති ගිය විට නහය වටේත්, කන් දෙකත් රතු වෙනවා. එදා නම් කන් දෙක බීට් අලයක පාටට කිට්ටුයි.

"කාක්කා ගහපු එකා නැගිටපිය!" එහෙම කීවේ ග්‍රේරෝ මහතා. බඩා ගල් ගිලලා වගේ ඉන්නවා.

"ඔය කොළ පාට කොටු කමිසේ ඇඳන් ඉන්න එකා නැගිට
ලා පොත් ටිකත් අරන් බහිනවා එළියට"

දැන් කරන්න දෙයක් නෑ. බඩා ඇඳන් ඉන්නේ කොළ කොටු තියෙන කමිසයක්. පොත් ටිකත් අරන් බඩා නැගිට්ටේ බඩු මාට්ටු බව තේරුණු නිසයි. එතකොටම උණේ නොහිතූ දෙයක්.

"උඹ නෙමෙයි මිනිහෝ, උඹට පස්සෙන් ඉන්න එකා!" බඩා හැරිලා බලද්දී මෙන්න මූත් කොළ කොටු කමිසයක් ඇඳගෙන! හැබැයි මූ නම් කාක්කෝ යැව්වේ නැති බව බඩාට ෂුවර්! කරන්න දෙයක් නැති නිසා මට පස්සෙන් හිටි එකා යන්න ගියා. 

ටික දවසකට පස්සේ ග්‍රේරෝ මහතා බඩාට කෙළින්ම කතා කරල, කණ්ඩායම් පන්තියට එන්න කිව්වේ, "තමුසේ මෙතන හිටියොත් මට අනික් කොල්ලො ටිකත් හදා ගන්න බැරි වෙනවා" කියාගෙනම.
ඒ වගේම අර එළවපු එකා වැඩ මුකුත්ම නොකරන එකෙක්ලු. අපේ භෞතික විද්‍යා ගුරුතුමා මේකව එළවන්න වෙලාවක් හොය හොය ඉඳල තියෙන්නේ.