Showing posts with label මහාචාර්ය. Show all posts
Showing posts with label මහාචාර්ය. Show all posts

Sunday, October 23, 2016

පරංගි

පරංගි ගැන මේ කතාව මතක් වුනේ කතන්දරකාරයාගේ පෝස්ටුවක් දැකීමෙන්. පරංගි කියලා හඳුන්වන්නේ පෘතුගීසීන්ව. මේ වචනය හින්දියේ එන "ෆිරංගි" කියන වචනයෙන් බිඳී ආ එකක් බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර කතන්දරගේ පෝස්ටුවේ කොමෙන්ටු හැටියට ඇති.

පරංගි කියල හඳුවන හමේ රෝගයකුත් තියෙනවා. මේ රෝගය ස්පයිරොකීට් නම් බැක්ටීරියා වර්ගයෙන් හටගන්නේ. තද බද වූ සහ අපිරිසිඳු ප්‍රදේශ ස්ථාන වල තමයි මේ රෝගය බහුල. මේ රෝගයට දැන් කියන්නේ "yaws / pinta" කියල. වැඩිපුරම තියෙන්නේ අප්‍රිකානු රටවල සහ ඉන්දියාවේ. ලංකාවේත් 19 වෙනි ශතවර්ශය වෙන තෙක් තිබුණු බවට සාක්ෂි ඇතත් දැන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.




මේ කතාවේ වෙන්නේ 2000 ගණන් වල මුල. ඉංගිරිසි මහාචාර්යතුමෙක් (සමේ රෝග පිළිබඳව) ඇවිත් දේශනයක් කරනවා. මාතෘකාව ස්පයිරොකීට සමේ රෝගයන්. සමේ රෝග සහ ප්‍රතිකාර ගැන මහාචාර්යතුමා සිත් ගන්නා දේශනයක් කළා. අපේ මහාචාර්යවරුන්ගෙන් ඒ ගාණට ලස්සනට දේශනයක් කරන්න පුළුවන් කිහිප දෙනෙක්ට පමණයි.

"මේ සමේ රෝග දැනට ලෝකයේ පවතින්නේ අප්‍රිකානු සහ ආසියානු කලාප වල අපිරිසිඳු භාවය නිසා" බවට ප්‍රකාශයක් එතුමා විසින් නිකුත් කරනු ලැබුවා. බඩාගේ කණ්ඩායමේ හිටපු පොඩි විජේට මේ කතාව ඇල්ලුවේ නැති බව කියන්න ඕන. විජේ ඉතිහාසය ගැන සෑහෙන්න දන්න මනුස්සයෙක්. ප්‍රධාන ධාරාවේ ඉතිහාසය නැතුව විකල්ප ඉතිහාස මූලාශ්‍ර ගැනත් විජේ ගේ දැනුම අන්තිම ඉහළයි.

දේශනය අවසානයේ ප්‍රශ්න අහන වාරය උදා වුණා. පොඩි විජේ ප්‍රශ්නය යොමු කලා. "ඔබතුමා කියනවා මේ රෝගය තුරන් කරන්න බැරි ආසියානු සහ අප්‍රිකානු කලාප වල අපිරිසිඳු කම නිසා කියල. නමුත් මේ රෝගය අපේ කලාප වලට හඳුන්වා දුන්නේ ආක්‍රමණික්යන් වන ඔබේ මුතුන්මිත්තන් විසින්. ඔවුන් මේ රෝගය අරන් නො ආවා නම් මේ වෙනකොට ඔය රෝගය අපේ කලාපයේ නෑ".

මහාචාර්යතුමා අරින්නෙත් නෑ. "ඔබේ මූලාශ්‍ර මොනවද?"

පොඩි විජේ ආසම කෑල්ල මේක තමයි. "අවුරුදු 4000ක් පරණ ආයුර්වේද පොත් වල මේක සඳ
න් වෙන්නේ බටහිරින් එන වෙළෙදුන්ගේ රෝගයක් විදියට මිසක් දේශීය රෝගයක් විදියට නෙවෙයි. ඒ මදිවට මේ රෝගයට සිංහලෙන් කියන්නේ "පරංගි", ඒ කියන්නේ "පෘතුගීසියා / විදේශිකයා" කියල. ඒ නමෙනුත් මේක එන්නේ කොහෙන්ද කියන එක ගැන පැහැදිලියි"

මහාචාර්යතුමාගේ මූණ රතු වෙලා. "මට ඔබ කියන දේ පිළිගන්න බෑ". පොඩි විජේ කියනවා "පිළිගන්න කියන්නේ නෑ. ඒත් ඔය විදියටම තමයි ඔබේ මුතු
න් මිත්තෝ රතු ඉන්දියානුවන්ට සහ ඇබොරිජිනීලට වසූරිය සහ පැපොල ලබා දීලා ඒ ශිෂ්ටාචාර අවසන් කලේ. වාසනාවකට අපේ කලාපය වසූරිය තිබුණු කලාපයක් වුණේ"

මහාචාර්යතුමාට දාඩිය දාලා. ප්‍රශ්න අහන වෙලාව එතනින්ම අවසන් කරන්න මූලාසනාරූඪ ලාංකික මහාචාර්යතුමා පියවර ගත්තා. සුද්දාව පච කරපු එකට පොඩි විජේට අවවාද කරන්න තරම් අපේ ඇතැම් තුමාලා පරගැතිභාවයේ පතුලටම කිමිදිලා හිටි බවත් නොකියාම බෑ. 

(විජේ කිව්වේ ඇත්තද බොරුද කියල කියන්න නම් බඩා දන්නේ නෑ)

Sunday, December 20, 2015

එපිසියෝටොමි (Episiotomy)

බඩා මාමා වෛද්‍ය විද්‍යාවේ අකමැතිම කොටස් තමයි නාරි හා ප්‍රසව වේදය (gynecology and obstetrics) සහ ළමා රෝග (pediatrics) කියන කොටස් දෙක. වෛද්‍ය පීඨයේදී මේ විෂයයන් දෙක ඉගෙන ගත්තෙ ආඳා මාළු ඉරටෙන් කනවා වගේ අපුලකින්. ඊටත් වඩා අපුල දනවන කාරණය වුණේ සායනික පුහුණුව. ළමා රෝග වලට බඩා අකමැති වුණේ දරුවන් ගැන නොදැනීම. දරුවන් ඉන්න නිසා දැන් නම් ඊට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් නාරි හා ප්‍රසව වේදයට අකමැති වුණේ දකින දේවල් නිසා කාන්තාවන් එපා වේය යන බයක් තිබුණ නිසා.

නාරි හා ප්‍රසව වේදය කියන්නේ කාන්තා රෝග සහ දරු උපත ගැන හැදෑරීම. දරු උපතක් එක්කෝ උපත් මාර්ගය හරහා සාමාන්‍ය විදියට සිදු වෙන්න පුළුවන්. නැත්නම් යම් යම් උපකරණ වලින් උදවු කිරීමකින් සිදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිසේරියානු සැත්කමකින් කෘතිමව සිද්ධ වෙන්නත් පුළුවන්.

සාමාන්‍ය දරු උපතකදී දරුවාගේ හිස එළියට එන කොටස (crowning) තමයි වැදගත්ම වෙන්නේ. මෙහිදී දරුවාගේ හිස එක්වරම උපත් මාර්ගයෙන් එළියට පැනීමෙන්, උපත් මාර්ගය ඉරී යාමක් සිදු වෙන්න පුළුවන්. එය වළක්වන්න යෝනි මාර්ගයේ එක් පසෙකින් කැපුමක් දමනවා. මේකට කියන්නේ එපිසියෝටොමි (Episiotomy) කියලයි. දරුවා බිහි වූ පසු වෛද්‍යවරයා / වෛද්‍ය ශිෂ්‍යයන් විසින් මේ කැපුම මැසීම සිදු කරනවා.

මෙන්න මේ මැසීම එපාම කරපු වැඩ වලින් එකක්. ලේ සහ ස්‍රාවයන් සහිත අහවල් එකට මූණ ලං කරගෙන කරන්න ඕන මේ වැඩේ බඩාට නම් එපාම කරපු වැඩක්. ඒ වගේම බඩාගේ අත් ඉතාම විශාලයි. ප්‍රමාණය 8 අත් වැසුම් අවශ්‍යයි. අත්වැසුම් හොයන්න යන වෙලාවේ බඩා සාමන්‍යයෙන් ඉන්නේ හෙදි සොහොයුරියගේ හත්මුතු පරම්පරාවම මතක් කර කර. නමුත් කරුමයකට වගේ මේ මැසීම තිතට, නූලටම කරන්න දක්ෂයා වුණේ බඩා. ඉතින් අහන්න දෙයක් නෑ නේ, මුළු වාට්ටුවේම එපිසියෝටොමි මහන්න වුණේ බඩාට. අර අපි කලින් කියපු මහැදුරුතුමා එහෙම බඩා දැක්ක ගමන් "ඔය එපිසියෝටොමි මහන එකාට ඕක මහන්න කියනවා" කියල කිණ්ඩි හිනාවක් දාලා යනවා.

ඔන්න එක කාන්තාවක් එනවා හතර වෙනි ළමයා බිහි කරන්න. ප්‍රසව වේදනාවට අනික් කාන්තාවන් කරන්නේ කෙඳිරි ගාන එක වුණත් මේ කාන්තාව විශේෂයි. මිනිහට බණිනවා පතුරු යන්න. "අනේ මහත්තයෝ, බලන්න මේ විල්මොන් මට කල හදිය, අනෙ අම්මෝ ඉවසන්න බැරියෝ!". තව ටි
කින් "විල්මනෝ, බල්ලෝ, උඹ මට මේ කළ දේට තොට හෙණ ගහනවා, අපෙ අප්පෝ!" තවත් ටිකින් "විල්මනෝ, වල් පරයෝ, තෝව නම් මම ආයේ ඇඳට ගන්නේ නැතෝ!"

කොහොම හරි දරුවා බිහිවුණා, කිසි අවුලක් නෑ. දැන් එපිසියෝටොමිය මහන වෙලාව. බඩා මහනවා, ඔළුවට උඩින් කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනෙනවා. බලනකොට අර වලහෙක් වගේ මවිල් තියෙන මහැදුරුතුමා. "මේ, කොල්ලෝ, ඕක සම්පූර්ණයෙන්ම මහල දාපං, ආයේ විල්මොන්ට මේ මනුස්සයාට කරදර කරන්න බැරි වෙන්න" ඇහැක් ගහගෙන මහැදුරුතුමා යනවා. "අනේ සර්, මම බැන්නට විල්මොන් හොඳ එකා. ඌටත් ටිකක් ඉඩ තියන්න" අර කාන්තාව බඩාට කියනවා!

එපිසියෝටොමි මහනකොට වෙන තවත් එපාම කරපු වැඩක් තමයි නූල හමට ඇලවෙන එක (රුධිරය සහ වෙනත් ස්‍රාවයන් නිසා). එහෙම ඇළුණාම අතින් ගන්න බෑ. මොකද කැච් (catch) එක (ලොකු ට්වීසරයක් වගේ) සහ නීඩල් හෝල්ඩර් (needle holder) එක (ඉඳිකටුව අල්ලා ගන්නා අඬුව අත් දෙකේ නිසා. එක්කෝ නූල අල්ලන්න වෙන්නේ කැච් එකෙන්, නැත්නම්  නීඩල් හෝල්ඩරෙන්. ප්‍රශ්නේ වෙන්නේ මෙහෙම අල්ලන කොට හමෙන් කෑල්ලක් අහුවුණොත් රෝගියා යන්නේ හඳට, ඒ නිසා නූලේ කොණට තට්ටු කරලා හොල්ලලා තමයි අල්ල ගන්න ඕන. ඒ අතර කුටු කුටු ගගා බඩා බැණ බැණ ඉන්නේ. "දොස්තර මහත්තයා හොඳට මහනවා කියල අනික් අම්මල මට කිව්ව". ලෙඩා මට බටර් ගානවා. බඩා මේ විදියට නූල අල්ල ගන්න ද
ලන දැඟලිල්ල දැකපු කොටියා කියනවා "ඕක දිවෙන් ගණින් බං" කියල. බඩා හිටියේ මළ අතට අරන්. "උඹ නම් ඉතින් නීඩල් එකත් දිවෙන් අල්ලලා ගැටේකුත් ගහයිනෙ" කියල මහ හයියෙන් කිව්වා. මේක බලන් හිටපු ලවණයා මට උදවු කරන හෙදියට කියනවා "ඕකට අපි කියන්නේ දිව්දාස් කියලනේ". අර දරුවා ප්‍රසූත කරපු අම්මටයි, නර්ස් නෝනටයි හිටු කියල හිනා!

Sunday, September 27, 2015

අයියා

ලංකාවට ගොඩ බැස්සට පස්සේ ඔන්න නමෝ විත්තියෙන්ම එකක් ලියන්න හිතුවා. ටික කලක් නොලිවුවාම, හිතට අදහස් ගලාගෙන එන එක අඩු වෙනවා. හැබැයි පහු ගිය දවසක දීප්ති අයියාහ් (අයියා නොවේ) ගැන කෙරුණු කතා බහක් නිසා කතාවක් මතක් වුණා.

අනූවේ දශකයේ අග භාගයේ ආපු අළුත් මෝස්තරයක් තමයි පෙම්වතාව "අයියා" වශයෙන් හඳුන්වලා දීම. ඒ දවස් වල කෙල්ලෙක් "මම එන්නේ අයියා එක්ක" කිව්වොත් අපි දන්නවා ඒකට ට්‍රයි කරලා වැඩක් නැති විත්තිය. අයියා විසින් පොර යන පදය විස්ථාපනය කරලයි ඒකාලේ තිබුණේ. 

බඩා වෛද්‍ය පීඨයට ගිය කාලයේ එහි හිටපු සුප්‍රසිද්ධ මහාචාර්ය තුමෙක් ගැනයි මේ කතාව. කථනයට ඉතාම චතුර මෙතුමා ලියන වෛද්‍ය හමුව ප්‍රශ්න - උත්තර පිටුව ඉතා ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම කියන්න ඕන දෙය හුරතල් නොකර කරටිය කැඩෙන්නම කියල දාන නිසා. 

වෛද්‍ය පීඨයට යන හැම සිසුවෙකුටම අදාල ආචාර්ය වරයෙක් / වරියක් ඉන්නවා ප්‍රශ්න තිබේ නම් සාකච්ඡා කර ගන්න. බඩාට අහුවුණේ කණිෂ්ඨ කථිකාචාර්යවරියක්. බඩාගේ මිත්‍ර කපල් එකකට (අයියා - නංගී) අහුවුනේ අර මහාචාර්යතුමා. පළමු දවසෙම බඩා බඩාගේ ආචාර්යතුමිය හමු වෙන්න යනකොට මෙන්න එයා මහැදුරුතුමා එක්ක කයියක්. (එතුමියගේ ගුරුවරයෙක්ලු). අපේ අදාල කපල් එක හෙමින් ඇවිත් ඔවුන්ව අඳුන්වලා දෙනවා. නම් ගම් අහගත්තු මහාචාර්යතුමා කෙල්ලගෙන් එකපාරටම අහපි "මෙයා තමුන්ගේ කවුද?" කියල. "ආ සර්, ඒ මගේ අයියා" කියල අපේ බැචිය කිව්ව.

පොර දිහා හොඳට බලලා මහාචාර්යතුමා කෙල්ලගෙන් අහනවා "එක බඩවැල කඩාගෙන ආපු අයියද, පඳුරු අස්සේ ලගින අයියද?" කියල. අරුන් දෙන්නට ඇප නෑ. උන්ගේ කරුමෙටම බඩා හිටියේ මේ ඔක්කොම බලාගෙන . එදා ඉඳන් උන්ට කියන්නේ "පඳුරා / පඳුරී" කියල. 

Wednesday, August 13, 2014

කාර් ගැන කතා නොවේ!

වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා.

පළමුවෙන්ම කෙරෙන්නේ නිරීක්ෂණය (inspection). උදාහරණයක් ලෙස කීවොත් රෝගියෙකුගේ පපුවේ යම් කොටසක් අඩුවෙන් චලනය වීම පෙණහැල්ලේ එම කොටසේ රෝගයක් අති බවට සාක්ශි සපයනවා. දෙවව කරන්නේ අල්ලා බැලීම (palpation). මතු පිට සමේ සහ සමට එතරම් නොගැඹුරුව පිහිටන අවයව (උදා. හෘදය වස්තුව, අක්මාව සහ ප්ලිහාව) ගැන යම් තොරතුරු දැන ගන්නට පුළුවන්. තෙවනුව එන්නේ තට්ටු කර බැලීම (percussion). මෙහිදී වෛද්‍යවරයා තමන්ගේ ඇඟිලි විහිහිදවූ අත රෝගියාගේ උරස හෝ උදරය මත තබා එහි මැද ඇඟිල්ලට අනෙක් අතෙ ඇඟිල්ලකින් තට්ටු කිරීම සිදු කරනවා. එයින් නැගෙන ශබ්දයෙන් යම් යම් කාරණා දැන ගන්න පුළුවන්. අවසනයේ කරන්නේ වෙද නළාවෙන් පරීක්ෂා කිරීම (auscultation).

සාමාන්‍යෙන් මේ මූලධර්ම යෙදෙන්නේ රෝගියකු පරීක්ෂාවට වුණත්, මේ විදියට කාර් පරීක්ෂා කරන බැචෙකුත් බඩාගේ විශ්ව විද්‍යාල සමයේ සිටියා! මුලින්ම මේ බැචා ගැන කියනවා නම්, මනුස්සයා බොහොම සිහින් සිරුරක් තියෙන මිටි පුද්ගලයෙක්. මෙයට සමාන නමක් තියෙන උස මහත බිත්තරයාගෙන් වෙන් කරලා අඳුනා ගන්න කොල්ලට කිව්වේ "ඇට්‍රොපියා" කියල. "Atropy" කියල ලතින් භාෂාවෙන් කියන්නේ යම් ඉන්ද්‍රියක් හෝ පටකයන් හායනය වීම එහෙම නැත්න කුඩාවීමට. ඒ නිසා අපේ මිතුරාට "හායනයා" හෙවත් "ඇට්‍රොපියා" යන්නයි භාවිතා වුණේ.

ඇට්‍රොපියාට තිබුණේ පරණ 11 ශ්‍රී ලාන්සර් කාර් එකක්. සතිය පුරා නේවාසිකාගාරයේ ඉන්න ඇට්‍රොපියා, සති අන්තයේ ගෙදර යන්නේ කාර් එකෙන්. සෙනසුරාදා දවල්ට. ඇට්‍රොපියාගේ කාර් පරීක්ෂාව අපට සතියකට සැරයක් බලන්න හම්බ වෙන්නේ එහෙමයි.

ඇට්‍රොපියා මුලින්ම කරන්නේ කාර් එක වටේ රවුම් තුනක් යන එක (inspection). ඊට පස්සේ කාර් එකේ බොඩිය අත ගගා තව රවුමක් යනවා (palpation). ඊට පස්සේ රෝද හතරට අතින් ගහල බලනවා (percussion), ඊට පස්සේ එන්ජිම පණ ගන්වලා මිනිත්තුවක් පමණ කන්දීගෙන ඉන්නවා (auscultation). හැම සති අන්තයකම ක්‍රියාව ඔය විදියයි.

මේ වගේම නොවුණත් කාර් එකට පණ හා සමාන ලෙස ආදරය කරන මහාචාර්යතුමෙක් පෙරාදෙණිය සරසවියේ හිටියා. මේ මහාචාර්යතුමා සති අන්තයේ පැය හතරක් වාහනය හෝදලා, වැකුම් ක්ලීන් කරලා, කාපට් හෝදලා ඇතුලට පත්තර එහෙම දානවා. ඊට පස්සේ කාර් එක ගෙනත් පේරාදෙණිය සරසවියේ රථ නැවතුමේ නවත්තලා තියෙනවා. වහින දවසට මහාචාර්යතුමා වාහනෙන් යන්නේ නෑ! යනෙන ත්‍රී වීලරයෙන්! වැස්ස නැති දාට හෙමින් සැරේ වාහනය ලඟට එන මහාචාර්ය තුමා, මුලින්ම වාහනය වටේ වටයක් යනවා. ඊටපස්සේ ඩිකිය ඇරලා සෙරෙප්පු දෙකක් එළියට ගන්නවා. ඉස්සරහ සීට් එකට ගිහින් ඉඳ ගන්නවා, ඒත් කකුල් දෙක එළියේ හිටින්න. සපත්තු ගලවල්ල කකුල් අතුලට ගන්න මහාචර්යතුමා සෙරෙප්පු පැලඳ ගන්නවා. ගලවපු සපත්තු දෙක සෙරෙප්පු දාපු කවරෙට දාලා ඇතුලෙන් තියා ගන්නවා!

කාර් ගැන ගොන් පාට් ලියපු සරසවි ආචාර්යවරුත් නැතුවා නොවේයි. තමන්ගේ කෙටිකතාවක සරසවි ඇදුරන්ගේ ජීවිත විසංයෝජනය කරන ශිෂ්‍ය මුරකරුවෙක් ගැත කතාවක් තියෙනවා. අදාල මහාචාර්යතුමාට එක වගේ කාර් දෙකක් තිය්නවාලු. විසංයෝජකයා කරනෙන ඒවායේ කීටැග් මාරු කිරීම. විසංයෝජකයාගේ ගෘහ භාණ්ඩ විසංයෝජනය නිසා තුවාල වෙන පීඨාධිපතිව රෝහලට ගෙනියන්න බැරි වෙනවා මොකද කාර් දෙකම පණ ගැන්වෙන්නේ නැති නිසා. හැබැයි අමරකීර්ති උන්නැහේට අමතක වෙන්න ඇති වැරදි යතුරෙන් වැරදි කාර් එකේ දොර ඇරෙන්නේත් නැති විත්තිය! ඒවගෙම "unlock" බොත්තම තද කළාම අදාල කාර් රථයේ විදුලි පහන් දැල්වී නිවෙන බව. හැබයි අමරකීර්ති මහත්තයාගේ ගෝලයන්ට නම්, 1992 කාලය ගැන කියන චිත්‍රපටියක වන ජයන්ත චන්ද්‍රසිරිගේ සමණල සංධවනියේ මෝටර් සයිකලයක ඉංගිරිසි අකුරු නොම්මර තියෙන එක නම් මහම ලොකු දොසක්!

Wednesday, April 9, 2014

පච්ච කෙටීම (18+)

කතා පණහකට පස්සේ ටික දවසක් විවේකයක් ගත්තේ ආයෙත් කතා ටිකක් එක්කහු කර ගන්න. ඔන්න ඉතින් බඩා මාමා ආයෙත් ආවා.





බඩා මාමාගේ රස්සාවේ හැටියට පච්චයක් කියන්නේ වැදගත් පණිවුඩයක් ලබා දෙන දෙයක්. පච්චයක් තිබීම තුලින් ම, අදාල රෝගියා රුධිරය මගින් බෝවන රෝග වැලඳීමට වැඩි අවදානමක් ඇති අයෙකු වශයෙන් වටගා ගැනෙනවා. ඒ වගේම පච්චයේ අඩංගු දේවල් සමහර වෙලාවට රෝගියාගේ මානසික තත්වය කියාපානවා. සමහර ශූර වෛද්‍යවරු පච්චය කෙටුවේ ලංකාවේ ද, පිටරට ද කියන්න තරමට පච්ච දැකලා තියෙනවා. අද කතාව පච්ච ගැන.

පච්ච කොටන්න ගිහින් වුණු "මරුවා බුදු වේවා" අවුල වගේ ඒවා අහලා අැති බවට විශ්වාස කරනවා. අපේ පරම්පරාවට කලින් පරම්පරාවේ වෛද්‍යතුමෙක්ට හම්බ වෙලා තියෙනවා ඇඟ පුරාම පච්ච කොටාපු මිනිහෙක්. පච්ච කොටලා තියෙන්නේ චිත්‍රපටි වල නම්. "නොම්මර 17", "සාමා", "චණ්ඩි මල්ලි", "චන්නයි කෙල්ලො දෙන්නයි" වගේ ඒවා හැමතැනම. ඒ වුණාට එක තැනක ගහල තියෙනවා "මසින්" කියල. මේ මොකද්ද කියල ඇහුවම ලෙඩා කියනවලු "ඕක සමහර වෙලාවට "මල්දෙණියේ සිමියොන්" වෙනවා. දැන් පේන්නේ ඔච්චරයි" කියල. පච්චය ගහපු තැන හිතා ගන්නකො බලන්න!

බඩා මාමා සීමාවාසික පුහුණුව ලබන කාලේ වාට්ටුවට ඇතුළු වුණා අඩි හයහමාරක් විතර උස මහ දැවැන්ත මිනිහෙක්. අරක්කු බීල වැඩිවෙලා අක්මාව නරක් වෙලා, කකුලේ තුවාලයක් හැදිලා. මිනිහගේ කලවා වල තියෙනවා ගැහැණු රූප දෙකක් පච්ච කොටලා, මිනිහගේ අහවල් එකට වැඳගෙන ඉන්නවා!

යොමු කිරීමේ ලියුම් ගැන ප්‍රසිද්ධ මහාචාර්යතුමා මේ දවස් වල විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවාලු. මහාචාර්යතුමා විශ්‍රාම ගත්තට උන්නැහේගේ කට නම් විශ්‍රාම අරන් නැහැ. ගුරුතුමා බැහැ දකින්න ගිය ගෝලයෙකුට මහාචාර්යතුමා කතාවක් කියල තියෙනවා. මේ ගෝලයා ගිහින් තියෙන්නේ ලංකාව T20 ලෝක කුසලානය දිනුවට පස්සේ. මහාචාර්යතුමා අහනවා "අර ක්‍රිකට් ලෝලී ගණිකාවගේ කතාව දන්නවද?" කියල. ගෝලය කියනවලු "නෑ" කියල. රැල් බුරුල් ඇරලා මහාචාර්යතුමා කිණ්ඩි හිනාවකුත් මූණට දාගෙන කතාව පටන් ගන්නවා.


 "ඔන්න ක්‍රිකට් ලෝලී ගණිකාවක් හිටියා. මෙයා කැමැති ලංකාවේ ටීම් එකට. අපේ මනුසසයෙක් දවස්ක ඔය කෙනා ගාවට ගිහින් තියෙනවා සැපක් ගන්න. වැඩේට සෙට් වෙන කොට අපේ යාළුවා දැකල තියෙනව කලවා දෙකේ පිරිමි රූප දෙකක් කොටල තියෙනවා. "ඔයා ක්‍රිකට් වලට ආසද?" ගණිකාව අපේ මිත්‍රයාගෙන අහනව. "ඔවු" කියල අපේ මිත්‍රයා කියනව. "එහෙනම් මේ කවුද කියන්න බලන්න කියල කලවා දෙක පෙන්නුවලු"  අපේ මිනිහ කියනව "දන්නේ නෑ" කියල. "මේ ඉන්නේ සංගක්කාර, මේ මහේල". අපේ මිනිහා හොඳට ඒ දිහා බලන් ඉඳල කියනවලු "ඒ දෙන්න නම් මට කියනකන්ම අඳුන ගන්න බැරි වුණා. ඒත් අර මැදින් ඉන්න, කොණ්ඩේ කැරලි තියෙන, තොල් මහත, කරාබුව දාපු කෙනා නම් මාලිංග කියල ටක් ගාල අඳුන ගත්ත". මහාචාර්යතුමා ඇහැක් ගහගෙනම කතාව ඉවර කරනවා. ගෝලයා හොල්මන්ද පොල්කොල.

Saturday, November 23, 2013

Referral

වෛද්‍යවරුන් අතර තියෙන සිරිතක් තමයි තම විෂය පථයෙන් එහා ගිය ප්‍රශ්නයක් රෝගියෙකුට තියෙනකොට, ඒ ප්‍රශ්නය විසඳන්නට හැකි වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන එක. මේකට යොමුව නැත්නම් referral එකක් කියල කියනවා. උදාහරණයක් විදියට බඩා ප්‍රතිකාර කරන වකුගඩු රෝගියෙකුට කකුලේ සැරව ගෙඩියක් මතු වීමක් වුණොත් ඒ රෝගියාව ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. ඔන්න පහතින් තියෙන්නේ බඩා ඒ විදියට විශේෂඥ වාහිණික ශල්‍ය වෛද්‍යතුමෙකුට ලියාපු යොමුවක්. මේ යොමු තනිකරම රාජකාරි මට්ටමෙන් කෙරෙන ඒවා බව පැහැදිලි වෙන්න ඕන.



සුද්දන්ට තෙල බෙදන්න ගිහින් අනා ගැනීම කල මහාචාර්යතුමා කට්ටියට මතක ඇති. එතුමාට හිටියා ගෝලයෝ දෙන්නෙක්. එක්කෙනෙක් ආන්ත්‍රික ශල්‍යකර්ම ගැනත්, අනෙකා ගුදමාර්ගය සහ අධෝ මුඛය සම්බන්ධ රෝග වලත් ශල්‍ය
විශේෂඥයින් හා පසුව මහාචාර්යවරුන් බවත් පත් වුණා. ආන්ත්‍රික රෝග ගැන උනන්දු වුණේ G. අනෙක් කෙනා D. මහාචාර්යතුමා හෙණම සීරියස් වුණාට ගෝලයෝ දෙන්නා නම් ජොලියට බර සොමි පොරවල් දෙකක්. එක දවසක් අධෝ මාර්ගයේ නිදන්ගත සැරව ගෙඩියක් තියෙන රෝගියෙක් වෛද්‍ය G ගාවට එනවා. තම මිත්‍රයා මේ පිලිබඳ උන්දු නිසා ඔහු මිත්‍රයාට මෙහෙම ලියනවා.

Dr. D,
Consultant Surgeon,
Ado machan D,
Here is a puk case for you. See and take over.
Thanks
G

හැබැයි මේ ලියමන නොසිතූ විදියට මහාචාර්යතුමා අතට පත් වෙනවා. දෙන්නම කන් ඈත් වෙන්නම අහගත්ත බවයි තතු දන්නෝ පවසන්නේ

Wednesday, November 20, 2013

පෙට්ටිය කැඩුණොත් . . .


හැම පාසලකම කලා සංගමයක් තියෙනවා. රාජකීය විද්‍යාලයේත් ඒ වගේමයි. මේ සංගමය 1990 ගණන වල මැද හරියේදී තිබුණේ බොහොම උසස් මට්ටමක බව බෝහෝ දෙනාගේ මතය වුණා. සිංහල සාහිත්‍ය දිනය සහ කලා උළෙල කියන උත්සව දෙක තමයි සිසුන්ගේ දක්ෂතා එළි දක්වන්න තියෙන අවස්ථා. ඒ නිසාම මේ උත්සව ජයට පැවත්වුනා. ඒ වගේම පාසලේ නම නිසාම බොහෝ ආධාර උපකාර ලැබුණු නිසා කලා උළෙල ගත්තේ මංගල සිරියක්. මේ කළා උළෙලට වෙනත් පාසල් වලටත් අංග ඉදිරිපත් කරන්න ලැබෙනවා. උත්සවය වර්ණවත් වෙන්නේ බාලිකා පාසල් වල අංග වලින්.

ඔය විදියට තියපු කලා උළෙලක ප්‍රධාන ආරාධිතයා වුනේ සුප්‍රකට, ගීත ලියන, සිංහල පිළිබඳ මහාචාර්යතුමෙක්. ඒ දවස් වල නම් එතුමා ජ්‍යේෂ්ට කථිකාචාර්ය කෙනෙක් වෙන්න ඕන. අවිවාහකව සිටි මෙතුමා කාන්තාවන් දැලේ දමා ගැනීමට ප්‍රකට පුද්ගලයෙක්.

ප්‍රකට බාලිකා පාසලකින් අංගයක් ඉදිරිපත් වුණේ මේ අතර. රතු හැට්ටකාරී නාට්‍යයේ "දීකිරි දීකිරි" ගීතය තමයි ඉදිරිපත් වුණේ. එක්කෝ ෂෝ එකට, එහෙම නැත්නම් ඒ ළමයාගේ හැටිද මන්දා මේ කෙල්ල පුදුම නැටවීමක් නටවන්නේ. අනුලා බුලත්සිංහල මහත්මිය ඒ නැටවිල්ල දැක්ක නම් කලන්තේ දානවා! අංගය තවත් රසවත් කිරීමටද කොහෙද, අර කෙල්ල වේදිකාවෙන් බැහැලා අපේ මහාචාර්යතුමා ඉදිරියෙත් රඟනවා.

"අත මගෙ වෙවුලයි - දෙපා රුදාවයි
රෑ වෙන්නට පෙර - නිවසට යන්නයි
පනමේ කිරි ගෙන - පිහිටක් වන්නයි"

කියල ගීතය යනවා. ඊලඟ පදය වෙන්නේ "මුට්ටිය බිඳුණොත් ඔක්කොම ඉවරයි" කියන එක. මේ නැටුම බලන් හිටි බඩා සහ මිතුරන් කීප දෙනෙක් මූණට මූණ බලා ගත්තා. අර අන්තිම පදයට එනකොටම කට්ටිය මහ හඬින් එකාවන්ව කියාපි "පෙට්ටිය කැඩුණොත් - ඔක්කොම ඉවරයි" කියල.

කෙල්ලට උන්හිටි තැන් අමතක වෙච්චි! මහාචාර්යතුමා පස්ස බල බලා කියපු එවුන් හොයනවා. විදුහල්පතිගේ මූණට අබ දැම්මොත් එව්ව පුපුරන්නේ ග්‍රෙනේඩ් වගේ. සිංහල ගුරුතුමා පැලෙන්න ඔන්න මෙන්න. හැබැයි බලන්න ආපු බහුතරයකට බඩ අල්ලන් හිනා!

Wednesday, November 6, 2013

බෝඩ් ගහගන්න

මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා.

දවසක් අපේ මහාචාර්යතුමා කඩිසර ගමනින් රෝහලේ කොරිඩෝවක් දිගේ යද්දී ටිකක් උස මහත මිනිහෙක්ගේ ඇඟේ හැපෙනවා. ටිකක් රිදුණ නිසාත්, කල්පනා කරමින් ගිය සිතිවිලි දාමය බිඳී යාම නිසාත් මහාචාර්යතුමා යක්ෂාවේශ වෙනවා.
"ඔහේ මොකඩ්ක ඇඟේ හැපෙන්නේ?" මහාචාර්යතුමා අහනවා. උඩ බලාගෙන ගියේ මහාචාර්යතුමා වුණාට අර මනුස්සයා යටහත් පහත්ව කියනවා "සමාවෙන්න මහත්මයා" කියල.
"තමුසේ දන්නවද, මම තමයි මහාචාර්ය ....... එහෙම ඇඟේ හැපෙන්න බෑ" මහාචාර්යතුමා ගුගුරනවා.
ආයෙත් පොඩ්ඩක් නැමිලා එහෙම අර මනුස්සයා කියනවා "සමාවෙන්න සර්, මම දන්නේ නෑ නෙ. ඊලඟ දවසේ ඔබතුමා නම ගහල බෝඩ් එකක් පිටේ එල්ලන් යන්න. මම එතකොට අයින් වෙලා යන්නම්" කියල. මහාචාර්යතුමා ගෙම්බෙක් වගේ පිම්බෙනවා, හොරෙන් බලා ඉන්න අපේ බඩවල් කොර වෙනවා හිනා වෙලා!

Sunday, November 3, 2013

සුද්ද නිසා බේරුණා

මේ කතාව සිද්ධ වෙන්නේ 2001 අවුරුද්දේ. ඒ වෙනකොට අපි හතර වන වසර ශිෂ්‍යයෝ. මේ සිද්ධියට පාදක වෙන්නේ අපේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම, මහාචාර්ය සායනික ඒකක වල වැඩ කරපු කාලය. මහාචාර්ය ඒකක වල ප්‍රධානියා බොහෝ විට ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් බව ඔබ දන්නවා ඇති. මේ මහාචාර්ය තුමාත් එහෙමයි. උසස් පාසලකින් ඉගෙන ගත්තු, උසට සරිලන මහත තියෙන බොහොම තේජවන්ත මහාචාර්යතුමෙක්. තරුණ කාලයේදී වෙඩි උණ්ඩ වගේ වේගයෙන් පන්දු යවන්න පුළුවන් වූ බවටත් ප්‍රසිද්ධයි. ඒ වගේම තමන්ගේ විෂයයේ ලෝක පූජිත මහචාර්යතුමෙක්. මේ නිසාම දේශීය සිසුන් විතරක් නෙවෙයි, කෙටි කාලීන අධ්‍යාපන පැවරුම් (clinical appointments) සඳහා විදේශීය සිසුන් පවා මහාචාර්යතුමා ගාවට එනවා. බොහෝ මහැදුරන් වගේම මෙතුමාටත් ඉතාම තදින් කේන්ති යන කෙනෙක්. ඒ වගෙම තමන් ඉතා කැපවීමෙන් වැඩ කරන නිසා සියළු  දෙනාගෙන්ම ඒ ආකාරයේ වැඩ කිරීමකුත් එතුමා බලාපොරොත්තු වුණා.

මහාචාර්ය ඒකකයක සාමාන්‍යයෙන් සිසුන් 25ක පමණ කණ්ඩායමක් ඉන්නවා. මේ අතරට සුද්දෝ පස් දෙනෙකුත් ඉන්නවා. වෝඩ් රවුන්ඩ් කරද්දී මහැදුරු තුමා පිටිපස්සෙන් මහ සෙනගක්  එනවා. කලින් කතාවකත් කියලා තියෙන විදියට අපි රෝගීන්ගේ රෝග ඉතිහාසය, ඔවුන් පරීක්ෂා කිරීම සහ වෙනත් අදාල කරුණු සටහන් කරගෙන වෝඩ් රවුන්ඩ් එකට ලෑස්තියෙන් ඉන්න ඕන. කොහොමෙන් කොහොමෙන් හරි, මේ විදියට ලෑස්ති නොවූ කෙනෙක්ව මහැදුරුතුමා අතටම අල්ලා ගත්තා. එහෙම කරගත්තම නිකම් ඉන්නේ නෑ, මිනිත්තු පහළොවක් විතර ලුණු ඇඹුල් ඇතුව අහගන්නත් සිද්ධ වුණා. තමන් කරපු වැඩේ හරි බව අපට පෙන්නනත් එක්ක මහැදුරුතුමා සුද්දන්ගෙන් අහනවා "What will your Professor do if you've done something like this?" (මෙහෙම වැඩ නොකරන කෙනෙක් අහු වුණොත්, ඔයගොල්ලන්ගේ මහාචාර්
තුමා කරන්නේ මොනවද?) කියල. 

කිණ්ඩි හිනාවක් මූණට දාගත්තු සුද්දා කියාපි "He will utilize that quarter an hour to teach rather than wasting on scolding (ඔය බණින්න නාස්ති කල පැය කාලෙත් ඔහු අපට උගන්නාවි)  කියල. අපේ මහැදුරුතුමාට මළ පැණගෙන එන කොට නහයේ කොණ රෝස පාට වෙලා කන් දෙකත් රෝස පාට වෙනවා. එදා තිබුණු පැහැය වඩා කිට්ටු බීට් අලයකට කිව්වොත් වඩා නිවැරදියි. ඔළුව්ට උඩින් දුම් විසිවෙන්න ඔන්න මෙන්න ගානට තද වෙලා. කවදාවත් සිසුන් එක්ක ඉංග්‍රීසියෙන් ඇරෙන්න වෙන භාෂාවකින් කතා නොකරන මහැදුරුතුමා අපේ යාළුවා දිහාවට හැරිලා කියනවලු "මතක තියා ගණින්, උඹ සුද්ද නිසා බේරුණා කියල"

Wednesday, February 8, 2012

සුචරිතවාදී මහැදුරු

වෛද්‍ය විද්‍යාලය කියන්නේ අනික් පීඨ වලට වඩා තරමක් අමුතු තැනක්. මෙතන දී අතිශය බුද්ධිමතුන් (nerds) දකින්නට පුළුවන් වෙන තැනක්. නමුත් මේ නර්ඩ්ස්ලා අතර හොඳට බොන, කන, ජීවිතේ විඳින කොටසකුත් හිටියා. වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරය හඳුන්වන්නේ බ්ලොම්ෆොන්ටේන් කියල. එහෙම නගරයක් දකුණු අප්‍රිකාවේ තියෙන බවත්, ඒකේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තියෙන බවත් බඩා දන්නවා. ඒ වුණාට මොන එහෙකට ඒ නේවාසිකාගාරෙට ඒ නම දැම්මද කියල බඩා දන්නේ නෑ. මේ කතාව සිද්ධ වුණේ බඩා පළමු වසරේ ඉන්දැද්දී.

ඉස්සර දවස් වල ටැබූ කියල බ්ලොග් කාරයෙක් හිටියා ඔය අයට මතක ඇති. ටැබූ එක ලිපියක් "වෛද්‍යවරුන් සිය සරසවි ජීවිත තුල ලිංගික අත්දැකීම් ලබන්නේ සුළු වශයෙනි" කියල කියපු දේකට මම උපහාසෙන් හිනා වුණා මතක ඇති. ඔන්න ඒ උපහාසයට හේතු වුණේ මේ කතාවේ කියන්න යන කාරණා. බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාරය තියෙන්නේ කේරි විදුහල කිට්ටුවෙන්. කේරි විදුහලට ළමයින් ඇරලන්න එන්න මව්වරුන් සමහර විට වෛද්‍ය ශිෂ්‍යයන් එක්ක මිත්‍ර වෙනවා. මේ මිත්‍ර කම බොහෝ දුරට කෙළවර වෙන්නේ බ්ලොම්ෆොන්ටේන් එකේ කාමරයකට දෙදෙනාම යන එකෙන්. සමහරවිට ගණිකාවන් හෝ වෙනත් කාන්තාවන් ද මේ විදියට අරන් ගිය අවස්ථා නැතුවා නෙවෙයි.

හැබැයි මේ නිදහසට තිත තිබ්බේ එක්තරා සුප්‍රසිද්ධ මහාචාර්යතුමෙක්. එතුමා 1990 ගනන් වල මුල රූපවාහිනියේ ජනප්‍රිය චරිතයක්. අතිශය සුචරිතවාදී හින්ද ද එහෙම නැත්නම් කොල්ලන් ගන්න ආතල් එකට ඉරිසියාවේද කොහෙ ද අපේ මහචාර්යතුමා මේ වැඩේට විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නෙවෙයි, නේවාසිකාගායටේ උප ශාලාධිපති එක්ක කාමරෙන් කාමරේ බල බල "රවුන්ඩ්" එකක් හිටන් යන්න අමතක කලේ නෑ.

ඒත් වෛද්‍ය ශිෂ්‍යයෝ කියන්නෙත් ලේසි පාසු බඩු නෙවෙයි. මහාචාර්යතුමා ගේට්ටුවෙන් ඇතුලු වෙනකොටම ඔත්තු බලන්න එකෙක් තියල තියනවා. ඔත්තුකාරයා කරන්නේ මහාචාර්ය තුමා ඇතුල් වෙච්ච ගමන්ම ශාලා තුනටම ඇහෙන්න මහ හයියෙන් "කාක්, කාක්" ගාන එක. එතකොට කට්ටිය අදාල කාන්තාවන්ව හොරෙන්ම ශාලාවේ පසු පස දොරෙන් පිට කරල දානවා. 

ඔන්න අපේ ජ්‍යෙෂ්ඨ මිත්‍රයකුත් මේ විදියට කාන්තාවක් එක්ක කාමරේක් වැඩ. හදිස්සියෙම "කාක්" නාදය ඇහුණත් උපරිම අවස්ථාවේ හිටපු අපේ මිත්‍රයා නවත්තන්නේම නැතුව වඩේ කරගෙන ගිහින්. වැඩේ නවත්තන කොට මහාචාර්යතුමා ශාලාවට ඇතුල් වෙලත් ඉවරයි. දැන් කෙල්ලව පන්නන එක බොරු. කරන්න දෙයක් නතුව හිටපු අපේ මිත්‍රයට පහළ වුණේ ගණ දෙවි නුවන. මේ කාමරේ අයිති කාටද කියල කවුරුහරි ඇහුවොත් මේ නම කියන්න කියල, අපේ මිත්‍රයා කාන්තාවට මහාචාර්යතුමාගේ මුල් නම කියාපි. එහෙම කියල ජනේලෙකින් සර්කස් පාරක් දාලා අනික් කාමරේට මාරු වෙච්ච අපේ මිත්‍රයා (මේ හතර වෙනි තට්ටුවේ!) එහා කාමරේ දොර ඇරගෙන මීයා වගේ බලා ඉන්නවා. මහාචාර්යතුමා ශාලාධිපති එක්ක ඇවිත් අපේ මිත්‍රයගේ කාමරේ දොරට ගහනවා. මහාචාර්යතුමා හිතපු විදියටම කාමරේ හිටියේ කාන්තාවක්. "මේ කාමරේ කාගෙ ද?" කියල අහපු මහාචාර්යතුමාට අහන්න ලැබුනේ කමුන්ගෙම නම! ඒත් වෙන කවුරුවත් ඒකෙ ඉන්නව ද බලන්න මහාචාර්යතුමා ඇතුලට ගිය ගමන් එක පාරටම අල්ලපු කාමරෙන් එළියට පැන්න අපේ මිත්‍රයා කලේ අතේ තිබුණු එහා කාමරේ ඉබ්බා දාලා අර කාමරේ දොර වහන එක. දැන් මහාචාර්යතුමා අර කාන්තාව එක්ක කාමරේ ඇතුලේ! "මෙන්න ප්‍රොෆෙසර් . . . . ගෑණියෙක් එක්ක කාමරේක ඉන්නවෝ" කියල ශාලාව දෙවනත් වෙන්න අපේ මිත්‍රයා කෑ ගහන්න ගත්තේ ඊට පස්සේ. මුළු බ්ලොම් එකේම කොල්ලෝ ශාලාවට පිරෙනකල්ම අපේ මිත්‍රය කෑගැහුවලු!

ඊට පස්සේ නම් මහාචාර්යතුමා රවුන්ඩ් කරන්න එහෙ ආවේ නම් නෑ!