Saturday, March 12, 2016

චූං පාන්

බඩා මාමා ලඟදී දැක්කා මූණු පොතේ සමූහයක්, "චූං පාන් විරෝධීන්ගේ සංගමය" කියල. හැබැයි ඒ සමූහයෙන් දොස් නගලා තුබුණේ චූං පාන් වාහන ඉතා වේගයෙන් ගමන් කිරීම ගැන. නමුත් මේ සිද්ධි ඊට වඩා ටිකක් වෙනස්. අම්පහ පැත්තේ ඉන්න බඩා මාමාගේ යාළුවෙක්ගේ ගෙදර තියෙන්නේ පටු පාරක අන්තිම කොණේ. හිමිදිරි පාන්දරම එන චූං පාන් මල්ලී, ත්‍රී වීලරය නතර කරන් පාන් බෙදන්නේ මිත්‍රයාගේ ගේ ඉස්සරහ ඉඳන්. අපි මේ මිත්‍රයට චරිත් කියල කියමු. චරිත් මහ ඇඟ හොරා. දවල් වෙනකම් නිදියන්නයි හිත. ඒ මදිවට චූං පාන් මල්ලී අර චූං පාන් හෝන් එක, ඇම්ප්ලිෆයරයක් හරහා බෆල් දෙකකට හයි කරලා, මර උදෙන් ඇවිත් පාන් බෙදනවා. මළ පැනපු චරිත දවස් කීපයක්ම චූං පාන් මල්ලීට කියලා ඔය හෝන් එකේ සද්දේ අඩු කර ගන්න කියලා. හැබැයි නහයට අහන්නේ නැති චූං පාන් මල්ලී එක දවක් චරිත්ට කියනවා "මේ මහත්තයා, ලෙඩ දා ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල. චරිත්ගේ කටුව පැනලා තියෙන්නේ ඔතනදී. මොකුත් වෙනසක් නොපෙන්නපු චරිත් ගේ ඇතුලට ගිහින් තඩි බාල්දියකින් මොනවද චූං පාන් එකට ගැහුවා. මුළු පළාතම අසූචි ගඳින් පිරිලා ගියේ මොහොතින්. චූං පාන් මල්ලීට ගහලා මොකුත් කරන්න බැරි බව දන්න චරියා කලේ බිස්නස් නවත්තන්න චූං පාන් එකට ගූ ගහපු එක. අර චූං පාන් මල්ලී ආයේ ආත්මෙකට ඒ ත්‍රීවීල් එකෙන් කෑම විකුණන්න කියලද? චරියා ප්ලෑන් කරලම දවස් කීපයක් තිස්සේ බෑග් එකකට බොක එකතු කරලා, අන්තිමට බාල්දියකට දාලා, ඒකට මුත්‍රා සහ වතුර දාලා, දියාරු වෙන්න හදලා තමයි වැඩේ දුන්නේ. චූං පාන් මල්ලී ප්‍රදේශයෙන් එර්දි වුණා කියලයි ආරංචිය.

චූං පාන් එන්න කලින් වගේම, දැනුත් තියෙන වසංගතයක් තමයි අර ලොකු සද්දෙට දුවන මෝටර් බයිසිකල්. සයිලන්සරයේ මොකක් හෝ වෙනස්කමක් කළාම කන් බිහිරි වෙන තරම් ලොකු සද්දයක් එනවා. සද්දෙ දාන බයිසිකල් යන්නෙත් ඉගිල්ලිලා වගෙ. දෙහිවල පැත්තේ හිටපු බඩාගේ මිත්‍රයාගේ ගේ තියෙන්නේ පටු මගක. මේ පටුමග මැද හරියෙන් අංශක 120ක විතර වංගුවක් තියෙනවා. වේගයෙන් එන බයිසිකලයක වේගය තරමක් අඩු කරන් වංගුව ගන්න පුළුවන්. සාමාන්යෙන් 90 ගණන් වල මුල් කාලයේ මේ පාරවල් ඉතාම පාළුයි. ඔය පාරේ ඇරලා යන, සද්දේ දාන මෝටර් සයිකල් කරුවෙක් හිටියා. මේ වංගුවේ ඇතුළු දාරේ ගෙදර හිටියේ අවුරුදු 70 විතර සීයා කෙනෙක්. මේ මනුස්සයා නිතරම අපස්මාරය හැදෙන අවුරුදු 12ක විතර මන්ද මානසික දරුවෙක් බලා ගන්නවා. අර
මෝටර් සයිකලේ සද්දේ කොතරම්ද කියනව නම්, ඒකට මේ ළමයට අපස්මාර සන්නිය (හෙවත් ෆිට්) හැදෙනවා. මේ මහළු මනුස්සයා බයිසිකල්කරුගෙන් ඉල්ලලා තියෙනවා, දරුවාගේ තත්ත්වය නිසා වැඩිපුර ශබ්ද කරන්න එපාය කියලත්. බයිසිකල්කරු මේක කිව්වම සීයට තගක් දාලා මාරු වෙලා. සීයාත් එසේ මෙසේ එකෙක් නෙවෙයි. මෝටර් සයිකල් කාරයා යනකම් ඉඳලා වංගුවේ නොපෙනෙන පැත්තෙන් පාර හරහට ලොකු කොටයක් දාපු සීයා, වංගුවේ ඉස්සරහ පැත්තෙන් බලන් ඉන්නවා. වෙනත් බයිසිකල් කරුවන් ආවොත් ඔවුන්ට අනතුරු හඟවන්න. වෙනදා වගේම පියාඹගෙන ආපු අදාල පුද්ගලයා කොටයෙ හැපී කරණම් කීපයක් ගහලා, තාප්පෙකටත් උඩින් විසිවෙලා ගියාට පස්සේ සීයා හෙමින්ම කොටේ උස්සගෙන ගිහින් වෙන තැනකට දාලා. අත්, කකුල් කඩා ගත්තු බයිසිකල් කරුවා සෑහෙන කාලයක් දුක් වින්දලු.