Saturday, May 5, 2012

වෙසක් කූඩුව


මේක ඉතින් වෙසක් කාලෙනේ. අද කට්ටිය එච්චර වෙසක් කූඩු අදන්න උනන්දු නැති වුණාට අපි පාසල් කාලේ වෙසක් කුඩු හැදුවේ තරඟෙට වගේ. හදල ඉවර වෙලා ඒ ගැන පොර ටෝක් දෙන්නත් අමතක කලේ නම් නෑ! කූඩු හදන කොට අමාරුම ඒවා තමයි පැටව් කූඩු හදන එක. ඒ දවස් වල පැටව් හතරේ කූඩුවක් හදන එක අපිට මහ කජ්ජක් උණේ නම් නෑ. සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලෙත් ඔන්න ඉතින් වෙසක් උදා වුණා. පොර ටෝක් දෙන්න අවශ්‍ය නිසා බඩාත් කලින්ම කූඩු හදන්න පටන් ගත්ත. බඩා හැදුවේ පැටවු හයක් සහිත නෙළුම් මලක්. නෙලුම් මල හදන එක අමාරු බව වෙසක් කූඩු හදාපු අය දන්නව ඇති. නොදන්න අය ඉන්නව නම්; නෙළුම් මලට දිග බට පතුරු කපන්න ඕන. ඒ වගෙම හැඩය ලස්සනට ගන්න නම් හැම බට පතුරක්ම එකම තරමට එන්න ඕන. නැත්නම් නෙළුමේ බඩ වගේ පිම්බෙන කොටස එකම තැනකින් නැතුව තැන් තැන් වලින් පිම්බෙනවා. කොහොම හරි වෙසක් දවසට කලින් කූඩුව ඉවර කරපු බඩා ඒ ගැන පන්තියේදි ලොකු පොර ටෝක් එකක් දුන්න. පන්තියේ උණුත් කතාව ඇත්තද බලන්න බඩා ගේ ගෙදර එන්න ලෑස්තිය. 

හදිස්සියෙන්ම මෙතෙන්ට පහත් වුණේ ඇනා. (අර තන පටයේ සිද්ධියට, ඉබෝලා සිද්ධියට සම්බන්ධ ඇනා). "ඕව මොකද්ද, මම හදල තියෙනව පැටවු දස ලක්ෂෙක කූඩුවක්!" එහෙම කිව්වේ ඇනා. අපිට මේක විශ්වාස නෑ. ඇයි හත් දෙයියනේ පැටවු සීයක් කිව්ව නම් හිතන්න පුළුවන්, ඒත් ලක්ෂයක්? ඒ නිසා බඩාගේ කූඩුව බලන එක පැත්තක තියල ඇනාගේ කූඩුව බලන්න ඔක්කොම තීරණය කලා. වෙසක් දවසේ ඔන්න අපි ඇනාගේ ගෙදර ගියා. කූඩුවක් තියා බකට් එකක්වත් පත්තු කරල නෑ. අපි ඇහුව කෝ කූඩුව කියල. ඇනා කියාපි මඩුවේ කියල. එහෙම කියපු ඇනා, අපිව තරමක් ලොකු මඩුවකට එක්ක ගිහින් විදුලි බුබුළු දල්වලා පැටවු දසලක්ෂෙ කූඩුව පෙන්නුවා. ඇනාගේ පරණ සරමක් වහලේ එල්ලලා ඒකට බල්බ් එකක දාලා! අපිට බඩ අල්ලන් හිනා!

Tuesday, May 1, 2012

චීටා සහ ගෙම්බා


බඩා මාමගේ කතන්දර පිටුවට නිතරම යන එන කෙනෙක් නෙ චීටා කියන්නේ. චීටා මුල්වෙච්ච කතා කීපෙකුත් තියෙනව. බඩා සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න ගියේ පන්නිපිටිය පැත්තේ තියෙන පොඩි පන්තියකට. චීට ආවෙත් ඕකටමයි. බස් රථයෙන් බැහැලා ටික දුරක් පයින් ගිහින් තමයි මේ පන්තියට යන්න තිබුණේ. පන්තියට යන පාර අතර මග රඹුටන් ගහක් එහෙමත් තිබුණ. කොල්ලො රෑන රඹුටන් හැදෙන කාලෙට එන්නේ වටින් පිටින් අහුල ගත්තු පොලු කෑලිත් අතේ අරන්. 

අපේ කතාව සිද්ධ වෙන දවසෙත් අපි ඔය විදියට පොලු කෑලි ටිකකුත් අරගෙන ආවේ රඹුටන් කාලම පන්තියට යන්න හිතාගෙන. කොහොම උණත් කලින් දවසේ බලාපු වේදිකා නාට්‍යයක් ගැන බඩා පොර ටෝකක් දීගෙන ආවේ ඒ නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟ පාන ගමන්. නට්‍යයේ නම අමතක උණත් "ගම්බිරතේ දෑතෙ කොන්ස්තන්-තීනු පුරේ  කොන්ස්තන්-තීනු පුරේ, පුර වර්ධන කරන අග - නිරිඳා මෙමං" කියන සින්දුව නම් තිබුණේ ඒකෙ. ඔය සින්දුවේ තාලයටම බඩා අතේ තුබුණු කෝටුව කඩුවක් විදියට පෙන්න පෙන්න හිටියේ. හදිස්සියෙන්ම චීටා කියාපි "මොනවද බං ඔහොමද කඩු හොලවන්නේ?" කියල. හරි විදියට කරල පෙන්නන්න කියල බඩා චීටට අභියෝගයක් කලා. චීට බිම වැටිල තිබුණු කෝටුවක් අරගෙන හෙලිකොප්ටරේ බමන පෙත්ත වගේ මහ හයියෙන් කරකව කරකව පන්තිය දිහාවටම ගියා. බඩාට එච්චර හයියෙන් කරකවන්න බැරි බව දන්න නිසා බඩා පොර ටෝක් දීම නවත්තලා හෙමින්ම පන්තියට ඇදුණා. චීට ඔළුව වටේ කරකවමින් ආපු කෝටුව පන්තියේ මුල්ලක බිත්තියට හේත්තු කරල තිබ්බා. දැන් අපි පාඩමට සූදානම්. 

ගුරුතුමිය සත්ත්ව විද්‍යාව උගන්නනවා. අපි අහන් ඉන්නවා. හදිස්සියෙන ගුරුතුමිය සහ කෙල්ලන් කීප දෙනෙක් "ඊයා . . . !" කියල මහ හයියෙන් කෑ ගහගෙන එහෙ මෙහෙ දුවන්න ගත්ත. කලබලේ මොකද්ද කියල බලන කොට තඩි ගස් ගෙම්බෙක් ගුරුතුමියගේ මේසය උඩට පැනලා! පන්තියට එද්දී පන්තියේ ගෙම්බෙක් නොහිටි බවට (චීටා ඇරෙන්න, චීටට ගෙම්බා කියල කාඩ් එකකුත් තිබුණා) අපිට හොඳටම මතකයි. එහෙනම් ගෙම්බා ආවේ කොහොමද? අනික මේ ගෙම්බා හරිම ආතල් එකෙක්. සාමාන්‍යයෙන් ගස් ගෙම්බෙකුට පිම්මක් වරදින්නේ නෑ. ඒත් මූ පණින දිහාවේ නෙවෙයි යන්නේ. බිත්තියට පැන්නම වදින්නේ ජනේලේ! බිත්තියට අඩි කීපයක් මෙහා තියල "දොක්!" ගාල බිම වැටෙනව. කොහොම හරි ගෙඹි ආතල් එක පැය භාගයක් විතර පුරා අපි ගත්ත. 

අපිට වැඩේ මීටර් උණේ ටිකක් වෙලා ගියාම. ගෙම්බා හිටියේ කොතනද? අපිට තේරුණ විදියට ගෙම්බා හිටියේ චීටා අහුල ගත්තු කෝටුවේ. යමයා වගේ චීටා ඒක ඔලුව වටේ කරකවද්දි අර අසරණ ගෙම්බා පරාණ බයට කෝටුවම අල්ලන් ඉන්න ඇති. ගෙම්බටත් අපිට වගේම අභ්‍යන්තර කණක් තියෙනවා. ඒකේ අර්ධ චක්‍රාකාර නාල නැති වුණාට සමබරතාවය ගැන ක්‍රියාකරන කොටසක් ඌටත් තියෙනවා. යමයා වගේ චීටා කෝටුව කරකවද්දී ගෙම්බට කැරකිල්ල හැදිලා. අපිටත් කැරකිල්ල හැදුණම අඩිය තියන තැනට නෙමෙයි වෙන තැන් වලට යනවා වගේ තමයි ගෙම්බටත්. ඌ ජනේලෙට පැන්නම ගිහින් නතර උණේ ගුරුතුමියගේ මේසේ උඩ!