Thursday, October 18, 2012

මගුල් ගෙදර ජරමරය (18+)

බඩා වැඩ කරන රෝහලේම වැඩකරන වෛද්‍යතුමෙක් තමයි පියා. පියා කියන්නේ සුරතලේට කියන නම. හැබැයි වයස 35 පැන්නුවත් පියා කට ඇරියොත් කියන්නෙ කුණුහරුප. ඒ වුණත් ඉඳල හිටල නියම සිද්ධි වලට පියා පැටලෙනවා. උදේ දහයට විතර තේ එකක් බොන්න 520 කැන්ටිම වෙත යන්න ආපු බඩාට පියා ප්ලග් වුණා. මේ ගමන යැවෙන්නේ හදිසි අනතුරු අංශය මැදින්. එතෙන්ට මහ සෙනගක් විත්, ලස්සන ලස්සන ඇඳුම් ඇඳගෙන, මගුල් ගෙදරක් වගේ. 

ඒ අතරේ ඉන්නවා හොඳ පදමට ගුටි කාපු අවුරුදු 14ක විතර මෝඩ පහේ කොල්ලෙක්. කතාවේ හැටියට මේ කොල්ලා කට රියොත් කට කැඩුණු කතාවක්ම කියන එකෙක්. ඉතින් බඩායි, පියායි, දෙන්න පොඩ්ඩක් ඕපදූප ටික හාරලා බැලුවා. කොල්ල නම් අම්බානකටයි, තව ටිකකටයි ගුටි කාලා. බලද්දී මේ කොල්ලගේ අක්කගේ මගුල් ගෙදර අද! ඔක්කොම වැඩ ඉවර වෙලා මගුල් ගෙදරින් ජෝඩුව පිට වෙන්න හදද්දී කොල්ලගේ අක්කයි, අම්මයි බදාගෙන අඬනවලු (සාමාන්‍ය මගුල් ගෙදරක වගේ). කොල්ල මේක දැකල කියනවලු, "අම්මටත් *කයි, අක්කටත් *කයි" කියල. (තරුව වෙනුවට අකුරක් දාගන්න!). 

මෙහෙව් දවසකත් මූට කට පියන් ඉන්න බැරිද කියල කේන්ති ගත්තු මනාලයාගේ කට්ටිය කොල්ලට හොඳටම නෙලලා. බඩාත්, පියාත් කොල්ලට කතා කලාම උත්තර හම්බවුනේ අමුතු අඬකින්. කට ඇරලා බලුවම, කොල්ලට තියෙන්නේ පැළුණු තල්ලක්. (cleft palate) "අම්මටත් දුකයි, අක්කටත් දුකයි" කියන එක තමයි අර විදියට ඇහිල තියෙන්නේ.

Cleft Palate කියන රෝගී තත්වය කුඩා කාලයේදීම ශල්‍යකර්මයක් මගින් හරි ගස්සන්න ඕන. නැත්නම් කිරි ඉස්මොල්ලේ යාම ඉඳන් කථන දුර්වලතා වෙනකම් බෝහෝ ප්‍රශ්න ති වෙනවා. බොහෝ වෙලාවට පැළුණු තොලක් (Cleft Lip) එක්ක පිහිටියාම කැතට පේන නිසා ශල්‍යකර්මයට යොමු වීම වැඩියි. නමුත් තල්ලේ පමණක් ප්‍රශ්නය තියෙද්දී ඒක මග ඇරෙන්න පුළුවන්. 

ප.ලි. මේකටම සමාන වෙච්ච "සනීප නෑ ඩෝ" කතාව සහ ගොළු කොල්ලා ආච්චිගේ මුද්ද නැතිවීම ගැන කියන කතාව අහලා ඇති බවට උපකල්පනය කරනවා.

Friday, October 12, 2012

කිං කොං


බඩාගේ කට අන්තිම සවුත්තු බව දන් මේ "ළමා" කතන්දර පිටුව කියවන ඔක්කොම අය දන්නවානෙ. මේ සවුත්තු කට හින්දා නිතරම පීඩාවට පත්වෙච්ච කෙනෙක් තමයි අපේ භෞතික විද්‍යා ටියුෂන් ගුරුතුමා වෙච්ච ග්‍රේරෝ මහත්මයා. බඩා පන්තියේ ඉඳන් කියන පොඩි පොඩි කතා කෑලි, අනික් අය අහුලන් ලොකු රණ්ඩු ඇති කර ගන්න නිසා ග්‍රේරෝ ගුරුතුමා බඩා ගැන හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයේ. මේ කතාව සිද්ධ වුණේ 1995දී. ඒ කාලේ සිරිතක් තමයි කවුරු හරි ගොඩ් එන්න බැරි ගාණට බයිට් උණහම අත උස්සගෙන එතනින් මාරු වෙන එක.

බඩා එක්ක ඒ දවස් වල ගෑණු ලමයෙක් බොහොම හිතවත් කමක් තිබුණා. මේ කෙල්ල හරිම උනන්දුයි වැඩ වලට. බඩා ගේ උනදුව ගැන නම් කියන්න ඕනේ නැහැනෙ. කෙල්ලත් වැඩි පෙනුමක් එහෙම නැති අතිශයින්ම සාමාන්‍ය කෙල්ලෙක්. ඒ වුනාට අතිශය අසාමාන්‍ය නිරීක්ෂණ ශක්තියක් තියෙන ග්‍රේරෝ ගුරුතුමා මේක සති ගාණක් හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. පාඨක පිරිස නොදන්නවා නම්, බඩා ඒ කාලේත් අද වගේම මහතයි. කාලයක් තිස්සේ යගුලිය වීසි කරපු නිසා ඒ කාලේ ශරීරයේ මස්පිඩු එහෙම හොඳට හැදිලා තිබුණා. බඩා කොහොමත් කළුයි. දිග කොණ්ඩයක් වවාගෙන හිටියේ ශිෂ්‍ය නායකයන් එක්ක ගේමට බහින්නමයි. බඩා මාමා හිතන්නේ දැන් කට්ටියට චිත්‍රයක් මැවිල ඇති කියල.

ග්‍රේරෝ ගුරුතුමා බඩා ගේ මිත්‍ර කෙල්ලගෙන් අහනවා "ඔය ළමය කිං කොං චිත්‍ර පටිය බළල තියෙනවද?" කියල. ග්‍රේරෝ ගුරුතුමා ඊලඟට පටන්ගන්නවා කිං කොං ගැන චූර්ණිකාව. "ඒ චිත්‍රපටියෙ ඉන්න නිළියත් ඔය ළමය වගේ. කිං කොං ට කවුරුවත් කැමති නෑ, හැබැයි අන්තිමේදී කැමති වෙනවා එක කෙල්ලෙක්. කිං කොං කළුයි, මහතයි, ගොඩක්ම ශක්තමත්. හැබැයි ඉතින් කිසිම ලස්සනක් නෑ". එතකොටම පස්සෙ ඉඳගෙන ෆරීඩ් කාරයා අහනවා "සර්, කිං කොං කියන්නේ කවුද? " කියල. පරන ඉංග්‍රීසි පත්තරයක් අතින් අතට යන්න ග්‍රේරෝ ගුරුතුමා පාස් කලා. ප්‍රහාරය එන්නේ කොහාටද කියල තේරුම් ගන්න බඩාට මිනිත්තුවක්වත් ගියේ නෑ. එතකොට පත්තරේ බඩා ඉන්න පේළියට ඇවිත් වත් නෑ. කිං කොං කියන්නේ කවුද කියල බඩා නං දැනගෙන හිටිය. සාමාන්‍යයෙන් කාටවත් බයිට් කරන්න බැරි, "බයිට් පෲෆ්" බඩා මාමාට එදා නම් ඇප කැන්සල්. කරන්න දෙයක් නැති කමට බඩා අත උස්සගෙනම් ඊලඟ ගාණ හදන්න පටන් ගත්තා. මෙන්න මේ පහළ රූපේ ඉන්නේ කිං කොං.


අපේ හිටපු පාප මිත්‍රයෝ ඊලඟට කිං කොං කියන එක බඩාට කාඩ් කලේ හැරෙන තැපෑලෙන්.

ප.ලි. කිං කොං කියන්නේ 1933 දී තිරගත වෙච්ච, 2005 දී නැවත හදාපු චිත්‍රපටියක්.

33 කාමරය

බොහොම දවසකට පස්සේ බඩාට කතාවක් ලියන්න අවස්ථාවක් හම්බ වුණා. කථාවක් කිව්වට මේක කථා සමුදායක්.

ලිංගාශ්‍රිත රෝග (Venereal Diseases) කියන්නේ වෛද්‍ය විද්‍යාවේ වැදගත් කොටසක්. දැන් ලිංගාශ්‍රිත රෝග ඒකකය විදියට වෙනම ගොඩනැගිල්ලක, සාමාන්‍ය වාට්ටු වලින් දුරස්ව පිහිටුවලා තියෙන්නේ රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න. නමුත් මීට දශකයකට කලින් මේ ගොඩනැගිල්ල එතන තිබුණේ නෑ. ඒ වෙනුවට, බාහිර රෝගී අංශයේ, 33 කාමරයේ තමයි මේ සායනය තිබුණේ. රෝගීන් පරීක්ෂාව කලේ රෙදි තිර වලින් වෙන්කරපු කාමර ඇතුලෙ. මේ නිසා එක තැනක ඉඳන් හයියෙන් කියන දෙයක් අනික් කාමර වලටත් ඇහෙනවා.

මේ සායන වලට එක එක ජාතියේ කට්ටිය එනවා. විශ්වාස කළත් නොකළත් පූජ්‍ය / පූජක පක්ෂයේ අයත් එනවා! මේ අතරම මේ සායනය රස කතා උපද්දන තැනක්. මොකද මෙතන හිටපු කණිෂ්ට සේවකයන්ට තිබුණෙත් එක විදියක කටවල්.

අපේ පළමුවෙනි කතාවේ කථා නායකයා හාමුදුරු කෙනෙක්. ප්‍රශ්නය තමයි හාමුදුරුවන්ගේ ලිංගයේ තුවාලයක් මතුවීම. මේක "සිෆිලිස්" (syphillis) හෙවත් උපදංශය කියන රෝගය බව ඕනම
වෛද්‍ය දැනුමක් ඇති කෙනෙක්ට තේරෙනවා. එහෙම ලෙඩක් හදාගන්න නම් හාමුදුරුවෝ කොටුවක් පැනලා තියෙනවා ම යි. ඒත් හාමුදුරුවන්ගේ හේතු දැක්වීම වෙනස්. "මම නාද්දී ගලකින් ඇතුල්ලුවා" හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. කතාව අහගෙන ඉන්න බැරි තැන විශේෂඥ වෛද්‍යතුමිය අහනවා, "අවසර හාමුදුරුවනේ, ඔය ගලට අත් දෙකකුයි කකුල් දෙකකුයිත් තිබුනද?" කියල. හාමුදුරුවන්ට ඇප නෑ.

දෙවනි කතාවට සම්බන්ධ වෙන්නේ කන්‍යා සොහොයුරියක්. රෝගය "හර්පීස් (Herpes)". හර්පීස් රෝගයේදී ලිංග ප්‍රදේශය ආශ්‍රිතව වේදනා සහගත් තුවාල පොකුරු පොකුරු ඇතිවෙනවා. මෙහෙම බලද්දී අපේ කතා නායිකාව "කන්‍යා" කෑල්ල හැලිච්ච නිකම්ම සොහොයුරියක්. රෝගියාව පරික්ෂාවට සාමාන්‍යයෙන් ලැහැස්ති කරන්නේ කණිෂ්ට සේවිකාවක්. මේ ගෑණිට තියෙන්නෙත් ජරාම කටක්. අපට ඇහෙන්න කෑ ගහනවා "ආ, සර්, මෙන්න සතුටු උයනට ලයිට් දාපු එකක්"

එක දවසක් තවත මනුස්සයෙක් එනවා ආයෙත් පිරිමි ඇඟේ තුවාල හදාගෙන. ඒත් මේ තුවාල වල පෙනුම හරිම අමුතුයි. වෙනදාට තුවාලය දැක්ක ගමන් රෝග විනිශ්චය කරන්න පුළුවන් උණාට මේක එහෙම බෑ. විස්තරාත්මක රෝග නිදාන සෙවීමක් කරන්න ඕනේ කියල නියම වුණා. අපේ
වෛද්‍යතුමෙක් අහනවා " දැන් ඔය මහත්තය බිරිඳ නොවන ගෑණු කෙනෙක් එක්ක හිටියද?" උත්තරේ "නෑ". "එහෙනම් තව මිනිහෙක් එක්ක හිටියද?" ආයෙත් උත්තරේ "නෑ". "එහෙනම් ඕයි තමුසේ මොකෙක් එක්කද හිටියේ? මී හරකෙක් එක්කද?" තද වෙච්ච වෛද්‍යතුමා අහනවා. උත්තරේ "ඔවු සර්!"

හතරව්නි කතා නායකයා කොටියා. අපි බ්ලොම් නේවාසිකාගාරයේ ඉඳන් අදාල සායනයට එන කොට හැඩ කෙල්ලෙක් දැකලා කොටියා කියනවා "අරක නම් ගෙම්බෙක් මචන්, මම ටෝක් කරලා එන්නම්" කියල. කොටියගෙ පොතුයි, උගේ නවාපු සුදු කබායයි, මගේ අඩුම කුඩුමයි ඔක්කොම කර ගහගෙන බඩා අමාරුවෙන් ඉන්නවා. හැබැයි මේ කාන්තාව අතුරුදහන් වුනේ ඇසිල්ලකින්. කොටියා පලාතේ කෙටි මාර්ග ගැන හොඳට දන්නවා. බඩාට පස්සෙන් එන්න නියම කරලා, කොටියා කඩපිල් අස්සෙන්, මුඩුක්කු අස්සෙන් අර කාන්තාව පස්සෙන් යනවා. ඒත් වැඩේ හරි ගියේ නෑ. කොටියට සෑහෙන්න අප්සට්. "මෙහෙම කවදාවත් වුණේ නෑ" කොටියා කියනව. ඒ අස්සේ හයියෙන් ඇවිදලා දාඩිය දානවා. ඒ මදිවට පරක්කුත් වෙලා. කොටියට හිතින් බැණ බැණ කොටියත් එක්කම බඩා 33 කාමරේ දිහාවට ආවා. 33 කාමරේට අතුළු වෙනකොටම දැක්ක දෙයින් කොටියගෙ බොක්ක හෝ මොකක් හරි දෙයක් සීතල වෙලා හිරි වැටිලා යන්න ඇති. මෙන්න අර කාන්තාව ඉන්නවා ලිංගාශ්‍රිත රෝගයකට බෙහෙත් ගන්න ඇවිත්!

Wednesday, August 15, 2012

ස්පෝර්ටි මදි

පසා කියල කියන්නේ බඩාලත් එක්ක උසස් පෙළ පන්ති වලට සහභාගී වෙච්ච කොලුවෙක්. කොළඹ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ පාසලකට තමයි පසා ගියේ. උසස් පෙළත් ඉහළින්ම සමත් වුණා. පසා එක විදියක අදහස් තියෙන එකෙක් බව අපි දන්නවා. ඒ නිසාම බඩාලා සෙට් එක කොළඹ වෛද්‍ය පීඨය තෝරා ගනිද්දී පසා තෝරා ගත්තේ පේරාදෙණිය. පසාට ඒ පැත්තේ ස්ත්‍රී සම්බන්ධයක් තිබුණා කියලත් කණින් කොණින් කියවුණා. ඔන්න කොහොම හරි පසා පේරාදෙණි ගියා! 

බඩාලාගේ සෙට් එකේ කොයි කොයි එකාත් ටෝකස් මරුවෝ කියල කියන්න ඕනේ නෑ නේ! පසා අපට දෙනවා පේරාදෙණියේ පුදුම හත, මල්පාර සහ කාළගුණය වගේ එව්ව ගැන ලොකු කතා. බඩා ඉතින් පසුපස භාගයෙනුත් මේවට හිනාවෙවී හිටියේ ඊට අවුරුද්දකට කලින් බඩා පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ (PGIS) රැකියාවක් කරල, පේරාදෙණිය ගැන හොඳටම දැනන් හිටපු නිසා. අපේ කාලයේ දී සරසවි ශිෂ්‍යයන්ට වාහන තිබුණේම නැති තරම්. තිබුණා නම් ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට විතරක්ම වගේ. පේරාදෙණියේදී මේ තත්ත්වය තවත් දරුණුයි!. ඉතින්, පොඩි කහපාට ස්පෝට්ස් කාර් එකක් තියෙන පසා කැපිලා පේන එක අහන්න දෙයක් නෙවෙයිනෙ! හැබැයි පසාත් පසාගේ තාත්තා වගේම කුණු ලෝබයා. (පසාගේ තාත්තගේ වැඩ වෙනම ලිපියකින්). කාර් එක බෝඩිමේ තියලා, බස් එකේ තමයි පසා යන්නෙ එන්නේ. 

උසස් පෙළ කරද්දී හීන්දෑරිව හිටපු පසා, තුන්වෙනි අවුරුද්ද වෙනකොට බඩදාලා මහත්වෙලා හෙම හිටියා. අඩි දහයක් ඇවිද්දත් මූ හති දානවා. මූ කාර් එකට නගින්නේ ගැරෙජ් එකේ වහලෙන් දාපු කඹයක එල්ලිල්ලා කියලයි පේරාදෙණියේ හිටපු අපේ යාළුවෝ නම් කිව්වේ. පසා තමන්ගේ කාර් එක විකුණන්න තීරණය කලේ ඔය අතරදී. එක එක ගැනුම් කාරයෝ ආවට පස්සේ ටිකක් නාකි පොරක් ඇවිල්ලා හොඳ ගාණකට වාහනේ ඉල්ලුවා. ඒත පසා ගේ ලෝබ කම නිසා ඒ ගාණට දෙන්න කැමති වෙලා නෑ. ටික දවසකට පස්සේ අපි පසා ගෙන් ඇහුව අර නාකි පොරට වාහනේ දුන්නේ නැත්තේ මොකද කියල. ධවල පර්වතයක් වගේ ඉන්න පසා කියනවා "ඌ මචං මේ වාහනේට ස්පෝර්ටි මදි වගේ නිසා මම දුන්නේ නෑ" කියල.

Wednesday, August 8, 2012

ඔට්ටුව

 බඩා හිතන්නේ සසා ගැන කට්ටියට මතක ඇති කියල. මේකත් සසාගේ තවත් වික්‍රමයක්. සසා එක්ක නිතරම කියුම් කියාගන්න කෙනෙක් තමයි කොටියා. සසාගේ කොටු සිද්ධිය අතේ මාට්ටු වුණාට පස්සේ සසා නිතරම බලන්නේ කොටියට ගුලියක් අඹරන්න. මොකද කොටු සිද්ධියේදී කට හඬ වෙනස් කරලා ඇමතුම දුන්නේ කොටියනෙ. 

දවසක් සසායි, කොටියයි කොටු පැනිල්ල ගැන වාදයක්. සසා නොදැන හිටියට කොටියත් කොටු ශිල්පයේ කෙළ පැමිනියෙක්. සසා නෝන්ඩි වේගෙන යද්දී එක පාරටම කියනවා "උඹ, උඹලයි බැචියෙක් එක්ක කාමරේක ඉඳන් එළියට ආවොත් මම බ්ලොම් එකේ ඉඳන් ෆැකල්ටියට හෙළුවෙන් දුවනවා" කියල. පොර වගේ මේ කතාව සසා කිව්වේ කොටියගේ වැඩ කණින් කොණින් බැචියන්ට ආරංචි වෙලා තිබුණු නිසා මේක සිද්ධ නොවෙන වැඩක් කියල හිතාගෙන. හැබැයි සසා දන්නේ නෑ කොටියා ලෝක අණ්ඩපාලයා බව. කොටියත් අභියෝගේ භාර ගත්තා. 

කොටියා අපේ බැචියක් වෙච්චි ටිකිරි ලියාට සිද්ධිය කියලා. ටිකිරි ලියා කොල්ලෙක් වගේ ඇඟ පත තියෙන, ක්‍රීඩා කරන එක විදියක චරිතයක්. ආ, මේ එක්කම ටිකිරි ලියාගේ වැඩකුත් කියල දාන්නම්. වකුගඩු රෝග වලදී වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මනින්න සහ ප්‍රෝටීන පිට වෙන ප්‍රමාණය මනින්න පැය 24ක් මුත්‍රා එකතු කරල කරන පරීක්ෂණයක් තියෙනවා (creatinine clearence & 24 hour urine protein excretion). ඔන්න ඔය ගැන අපට අපේ ගුරුතුමෙක් උගන්නනවා. ගුරුතුමා මුත්‍රා එකතු කරන්න ගන්න ගැලුම එහෙම අපිට පෙන්නුවා. මේ ගැලුමට තියෙන්නේ අඟල් 2-3 විතර පළල කටක්. ටිකිරි ලියා අහනවා "සර් දැන් ඔක්කොම පිරිමි අයට ඕකේ කට ඇතිද?" කියල. පන්තිය හිනා කනවා. වෘක්ක වේදය පිළිබඳ උගන්වන ගුරුතුමා හොල්මන්ද පොල්කොල. ඊලඟට ටිකිරි ලියා අහනවා "සර්, ගෑණු කට්ටියට ඔය ගැලුම එක්ක පුනීලෙකුත් දෙනවද?" කියල. අපි ආයෙත් බිම පෙරළෙමින් සිනා. ගුරුතුමා ආයෙත් හොල්මන්ද පොල් කොල. එහෙම කියලා මේ දෙන්නා හවස් යාමෙක වහල තිබුණු ටියුට් කාමරේක ඉඳන් සසාට පේන්න එළියට ඇවිල්ලා. දැන සසාට ඇප නෑ! 

සසා හෙළුවෙන් දිව්වද කියල නම් දන්නේ නෑ, ඒත් හෙළුවෙන් දුවපු "ශෝ මෑන්" කෙනෙක් ඇඟේ හැපිලා බය වෙච්ච පාරට ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙක්ට උණ ගැනිලා කියන ආරංචිය නම් අපට හම්බ වුණා.

Tuesday, August 7, 2012

බෞද්ධ පූසා

අපේ ගෙවල් බොහොමයක පුසෝ ඇති කරනවනෙ. බඩා මාමාත් තද "පූස් ලෝලියෙක්". කාලෙන් කාලෙට එක එක පූසෝ ගෙදර ඇති කරන්න බඩා මාමා උනන්දු වුණේ ඒ නිසා. 



ඔන්න ඔය පින්තූරේ ඉන් පූස් තඩියා තමයි අන්තිමට හිටියේ. බොහොම සංවර විදියට හැදුණ හුරතල් පූසෙක්. හැබැයි අකාලයේ මළා. බඩා මාමා පූස් ලෝලියෙක් හින්ද පූසෝ ගැන සංවාද වලට නිතර සහභාගී වෙනවා. අපේ ඇනාට පාසල් කාලයේ හිටපු පූසා ගැනයි මේ කතාව. 

ඇනා එක විදියක එකෙක් කියල දැන් කවුරුත් දන්නව ඇතිනේ. ඒකට ඇනාගේ පූසා! මස් මාළු කන්නේ නෑ. වට්ටක්කා ඇටයි, මුරුංගා පොතුයි තමයි මුගේ ජාතික ආහාරය. මස් මාළු කන්න ඕන පූසෙක් වට්ටක්කා ඇට කද්දී ඒකාගේ පෙණුම ගැන අටුවා ටීකා අවශ්‍ය නෑ නෙ. ඇනාගේ පූසා ගේ පෙනුම තිබුණේ බොහොම අසතුටුදායක මට්ටමක. මේ ගැන තැන් තැන් වලින් ඇහලා බැරිම තැන වෙට් (veterinary surgeon) කෙනෙක් ගාවට ඇනා ගියේ උත්තරයක් ගන්න. පූස් කෑම ටිකක් පූසාට දෙන්න වෙට් නියම කරල තියෙනවා.



පූසාට අවශ්‍ය විටමින් වර්ග එහෙම දෙන්න අවශ්‍ය නිසා ඇනා යූනියන් කෙමිස්ට් එකෙන් "විස්කස් (whiskas)" කියල අඳුන්වන පූස් කෑම ටින් එකක් රුපියල් 175කට අරන් තිබුණා. 1993 දී විතර රුපියල් 175ක් කියන්නේ මහ විශාල මුදලක්. විස්කස් වල තියෙන්නේ මාළු වලට විටමින් සහ වෙනත් පෝෂක දාලා හදපු කුට්ටි ගහපු තලපයක්. අවාසනාවක මහත කියන්නේඅ මස් මාළු නොකන ඇනාගේ පූසා "විස්කස්" උයල දුන්නට කන්නෙත් නෑලු! නප්පියට තද වෙච්ච ඇනාගේ තාත්තා ඇනාට බණිනවලු, "පූස කන්නෙ නැත්නම්, උඹම කාපිය, අපරාදේ සල්ලි" කියල!

Sunday, July 29, 2012

මරාගෙන කාපන්!


අපේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ හිටි සසා තුන්වෙනි වසරේ ඉදල ම පුද්ගලික "වෛද්‍ය" සේවයේ  (locum) නියුතු වෙච්ච කෙනෙක්. මේ විදියට පුද්ගලික වෛද්‍ය සේවයේ වැඩ කරන වෙලාවට සසා අපි කොතරම් කතා කලත්. දුරකථනය ගන්නේ නෑ. ගන්නේ අදාල පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය අයිති වෛද්‍යතුමා කතා කළොත් විතරයි. මේ දුරකථනය නිසා සසා ගේ හොඳ හොඳ වැඩ එළි වෙලා තියෙනවා. සසා කොහොමත් රස සාගරයක්. 

ඔන්න ඔය විදියට සසා දවසේ වැඩි වෙලාවක් සම්බන්ධ කර ගන්න බැරි එක අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. දවසට පැය හත අටක් සසා පොල් කඩනවා වෙන්න නම් බැහැ. (පුද්ගලික සේවයේ යෙදෙනවාට කියන්නේ පොල් කඩනවා කියල!). වෙන මොනවා හරි ජල්තරයකට සසා අර අඳින බව අපිට හොඳින්ම තේරුණා. ඒත් කොහොමද, මේකව අල්ල ගන්නම බෑනේ! අපිට මේකට ස්වර්ණමය අවස්ථාවක් උදා වුණා. 

සසාට අදාල මුදල් වගයක් දෙන්න බ්ලොම් නේවාසිකාගාරයට පැමිණි අර වෛද්‍යවරයා තමන්ගේ අත් බණුව (hand phone) දමා ගොස් තිබුණා. අපිට කතා කරපු අදාල වෛද්‍යතුමා තමන් දවස් දෙකකින් එන නිසා අත් බණුව කොටියා (අර මූදු හත්ත සම්බන්ධ කොටියා, චීටා නෙවෙයි!) භාරයේ තබා ගන්න යයි කියලා තිබුණා. (මේ දවස් වල කොටියත් පොල් කඩමින් හිටියේ). හදිස්සියෙම සසා කරන්නේ මොනවද කියල බලන්න හිතුණු අපි, සසාට අර වෛද්‍යතුමගේ අත් බණුවෙන් ඇමතුමක් ගත්තා. "ඇයි . . . අයියා . . . ?" සසා හති දම දමා කතා කරනවා. ඒ එක්කම කාන්තා කට හඬක් ඇහෙනවා "අනේ කොල්ලොහ්! . . . මාව මරාගෙන කාපන්!" කියල. කට්ටියට වැඩේ මීටර්! බඩ අල්ලන් හිනා, බිම පෙරළෙමින් සිනා! සසා පහුවෙනිදා බ්ලොම් එකට එනකොට සසාගේ කාමරේ දොරේ මේ සින්දුව ලියලා තියෙනවා.

"තොටිල්ලෙ කොටු වැටෙන් එහා
තව තව කොටු ගොඩක් ඇතේ
තොටිලි කොටුව පනින සසා
ඒ හැම කොටු පණිනු ඇතේ"

Wednesday, July 25, 2012

Landminner


වෛද්‍ය පීඨයේ අවසන් වසරේ දී අපට සායනික ක්‍රියාකාරකම් උපරිමව තියෙන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇතුලත මහාචාර්ය ඒකක පහක (ශල්‍ය, කායික වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරි වේද සහ මානසික රෝග) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කාලය ඇතුලත අදාල ශිෂ්‍යයාට භාර වෙන රෝගීන් සියල්ලක්ගේම තොරතුරු එක් රැස් කරලා තියා ගන්න ඕන. මේක සෑහෙන්න අමාරු වැඩක් කියල ආයෙමත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ. ඉතින් ගොඩ දෙනෙක් කලේ "ෂේප් න්‍යායෙන්" මේ වැඩේ කරන එක. හැබැයි අහු වුණොත් නම් ඉතින් ජල බැණුම් තමයි. 

අපේ කණ්ඩායමේ කලා කාමී කොල්ලෙක් හිටියා. පිරිත් මණ්ඩප ගනන්න, වෙසක් කූඩු හදන්න, කැටයම් කපන්න වගේ දේවල් වලට මේකා හරිම සූරයා. ඒ වගේම තමයි දෙකක් දාගත්තම නියමෙට ආතල් සැපයීමත් සිද්ධ කරනවා. මේ සිද්ධිය වුනේ ළමා රෝග වාට්ටූ පැත්තේ. බඩා අර මුලින් කිවු විදියට රෝගීන් ගේ තොරතුරු තියාගෙන ඉන්න කියන්නේ හදිස්සියෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් සායනික පන්තියක් (clinical class / ward class) පවත්වන්න ඒක පහසුවක් නිසා. එක දවසක් ළමා රෝග වාටුවේ මහචාර්යතුමෙක් අපේ කලාකාමියාට කතා කරලා රෝගියෙක් පෙන්නලා, හෙට මේ රෝගියා සායනික පන්තියකට ගන්න නිසා, විස්තර හොයාගෙන ලෑස්ති වෙලා ඉන්න කියලා දන්වලා තියෙනවා. වෙනදට හරියටම එකොලහ මාර වෙද්දී පණින මිනිහා හවස් වෙනක්ම්ම මෙන්න වාට්ටුවේ! රතු ඉර ගහන්න කලින් දුවන් එනවා වගේ හරියටම උදේ අටට එන මිනිහා මෙන්න උදේ හතට වාට්ටුවේ! 

ඊළඟට එළඹුනේ සායනික පන්තිය. කලාකාමියගේ රෝගී විස්තරය (history) නියමයි. කොටින්ම මහාචාර්ය තුමාට පවා පුදුමයි. රෝගී විස්තරය ඉදිරිපත් කරන කොට රෝගියාගේ සමාජ තත්වය ගැනත් සඳහනක් කරනවා. Social history කියන්නේ ඒකට. සමාජ තත්වය කියද්දී මෙන්න කලාකාමියා ගොත ගහනවා. "His father is a . . . a . .  Landminner!" කියල කියාපි. කට්ටියටම බඩ අල්ලන් හිනා වුණාට වෙන්නේ මොකද කියන එක ගැන හරි තේරුමක් නැහැ. වුණේ මොකද්ද කියල හරියට තේරුණේ සූර පප්පට විතරයි, මොකද කලාකාමියාගේ පොත කෙලින්ම පෙණුනු නිසා. "Father - මැණික් පතල් හාරනවා" කියල ඒකේ ලියල තිබුණා!

Tuesday, July 24, 2012

මූදු හත්ත

බඩා ගේ උසස් පෙළ කාලයේ ඉඳලා මිත්‍රයෙක් තමයි ජොරා කියන්නේ. ජොරා ඉගෙන ගත්තේ බඩා ඉගෙන ගත්තු පාසලේ නොවුනට, අමතර පංති වලට ගියේ එකටමයි. කොහොම කොහොම හරි දෙන්නම වෛද්‍ය විද්‍යාලයටත් තේරුණා. ජොරා වැඩිය උස නැති, පැහැපත් හැඩ කොල්ලෙක්. ඒ වගේම තමයි පෙනුම ගැනත් බොහොම උනන්දුයි. ජොරාගේ කාමර සගයා වුණේ කොටියා. කොටියත් හැඩ කොල්ලෙක්, ඒත් කොටියගෙ තිබුණේ වෙනම ආතල්. ගාණට මූණ හෝදලා (ෆේස් වොෂ් එහෙම දාලා) පොන්ටින් කට් තියලා රැවුල කපලා, කලිසම් කමිස වල ක්‍රීස් එක ඇද නැතුව හිටින්න තිය අඳින පළඳින කෙනෙක් ජොරා කියන්නෙ.

කොහොමෙන් කොහොමෙන් හරි, කවුරුහරි කෙනෙක් ජොරාට මූදු හත්තක් ගෙනත් දීලා තියෙනවා. මූදු හත්ත වතුරේ දාලා තියලා ඒ වතුර බිව්වම පැහැපත් වෙනවා කියලයි කියල තියෙන්නේ. ඔන්න ජොරාත් හත්ත වතුරේ දාලා වතුර බොනවා. පළවෙනි දෙවෙනි දවස් වල කිසි අවුලක් නොවුනත්, තුන් වෙනි දවස වෙනකොට මූදු හත්ත කුණු වෙලා ගඳ ගහන්න අරගෙන. කොටියට හුස්ම ගන්නත් අමාරුයිලු. ඒත් ජොරා නෙවෙයි මේක විසි කරන්නේ. කොහොම හරි ටික දවසකින් අපට පේනවා ජොරා කුණුහරුපෙන් බැණ බැණ මූදු හත්ත වීසි කරනවා. ඇහුවම ඇයි කියල උත්තර දෙන්නේ නෑ. ආයෙත් සැරෙන් ඇහුවම කියන්නේ රස අන්තිමයි කියල. ඇත්ත සිද්ධිය දැනගත්තේ ටික දවසකට පස්සේ. ගඳ උහුලගන්න බැරිවෙච්ච කොටියා හෙමින්ම මූදු හත්ත තියෙන භාජනේට කොටි දිය පුරවලා!

Friday, July 20, 2012

හරක් දැක්කිල්ල

බොහෝ වැඩ, රෝගීන් ගේ කටයුතු සහ අධ්‍යයන කටයුතු කරන්න තිබුණු නිසාවෙන් බඩාට අළුත් කතා ලිවිල්ල ටිකකට මග හරුණා. ඒ ගැන බඩා මුලින්ම සහෘද පිරිසෙන් සමාව භජනය කර සිටිනවා.
බඩා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ නාරි සහ ප්‍රසව විද්‍යාව උගන්නන්න මහාචාර්යතුමෙක් හිටියා. උස, මහත, කළු, වලහෙක් වගේ මයිල් තියෙන, දරදඬු පෙනුමක් තමයි මේ මහැදුරුතුමාට තිබුණේ. ඒ වුණත්, ඉතාම කාරුණික, රෝගී සේවයට ලැදි, අති දක්ෂ ප්‍රසව හා නාරි වේදී වෛද්‍යතුමෙක් එතුමා තුල සිටියා. ඒ වගේම මෙතුමාගේ හැම වැඩක්ම ඉතාමත් වේගවත්. සොයිසා රෝහලේ පළමු තට්ටුවේ ඉඳන් දෙවනි තට්ටුවට විදුලි සෝපානය එන ටිකට මෙතුමා පඩි පෙළ නැගලා වාට්ටුවටත් එනවා! ඒ වගේම තමයි සැත්කම් කරන වේගය. අනික් වෛද්‍යවරු විහිළුවට වගේ කියන්නේ ලෙඩාට රිදෙන්නව තරම් ත් වෙලාවක් යන්නේ නෑ කියල. ඒ වගේම තමයි, ප්‍රශ්න අහන වේගයත්. ඒ  ප්‍රශ්න අහන වේගෙට උත්තර දෙන්න මෙලෝ මිනිහෙකුට බෑ. කොටින්ම ළමයා හදන එක ඇරෙන්න අනික් ඔක්කොටම මෙතුමාට තියෙන්නේ පුදුම හදිස්සියක් කියලයි හැම දෙනාම කිව්වේ.

වැඩට දක්ෂයා වගේම තමයි මෙතුමා කියුම් මරුවා. ඕනම වෛද්‍ය ශිෂ්‍යයෙක් එන්නේ මොකාටද කියලා මොහොතින් තේරෙන අතරම, අපි අවුරුදු ගාණක් තිස්සේ දැනගත්තු යහළුවන්ගේ චරිත ලක්ෂණ මෙතුමා ඇසිල්ලකින් හොයා ගෙන ඒ ගැන කියුම් කියනවා. දැන් නයි ඇරිල්ල පැත්තකින් තියලා කතාව කියන්නම්. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි කියුම් එකතුවක්.

ප්‍රසවවේදයේ දී ගර්භයක් පරීක්ෂා කරලා කළලයේ බර අනුමාන කරන්න අපිට උගන්වනවා. ඔය විදියට සති 28 ක කළලයක බර අනුමාන කරන්න බඩාට භාර වුණා.

"කිලෝ 1.9යි" බඩා කිව්වා (ඒක ඒ කාලෙට ගොඩක් වැඩි ගාණක්, අනික උත්තරේ දුන්නේ කඩ්ඩෙන්). බඩා දිහා කින්ඩියට බලාපු මහාචාර්යතුමා "තමුසේ හිතන්නේ මේකේ ඉන්නේ තමුසේ වගේ අලි පැටියෙක් කියලද?" අර බඩ දරු අම්මටත් බඩ අල්ලන් හිනා. ආ කියන්න බරි වුණා, බඩා ඒ කාලේ කිලෝ 104ක් බරයි!

අපේ කණ්ඩායමේ හිටපු හා හෝවක් නැති එකෙක් සමයි විකී. දවසක විකීට ප්‍රශ්නයක් යොමු වුණා. නිකනුත් කතා නොකරන විකී ඉතින් ගොත ගහනවා, මේක දකින මහදුරුතුමා කට හදලා කියනවා "තමුසෙලගෙන් උත්තරයක් ගන්න එක හරක් දක්කනව වගේ වැඩක්නෙ. අර බෝන් ලීය උඩ ඉඳන් "චක්, චක්" කිය කිය බිජ්ජට තට්ටු කරනවා වගේ දක්ක
න්න එපායැ" එහෙම කියන ගමන් කකුලෙන් හරකාගේ අර අහවල් අවයවට තට්ටු කරන හැටිත් මෙතුමා ලස්සනට පෙන්නනව. අපේ බඩවල් නෑ එව්ව දැකල. අපේ විතර නම් කමක් නෑ, අර බඩ දරු අම්මලටත් එහෙමයි.

තවත් දවසක අපේ හංස කොළුවට රෝගී විස්තරයක් (history) ඉදිරිපත් කරන්න සිද්ද වුණා. රෝගී කාන්තාවට යෝනි ස්‍රාවයක් තියෙන බව හංස කොළුවා කිව්වේ හර බර කරල බැරෑරුම් විදියට. ඔළුව කස කස හිටපු මහාචාර්ය තුමා "Is it offensive?"(ඒක ගඳ ගහන එකක්ද?), "Is it itchy?" (ඒක කසන එකක්ද?) කියල ඇහුවා. හංස කොලුවගේ උත්තරේ නෑ කියන එක. "ලියුකෝරියා නේ ඕයි" (leukorrheaයනු සාමාන්‍ය තත්වයක්). "තමුසේ හොඳයි ගෑණු බය කරන්න. පාස් අවුට් උණාම ක්ලිනික් එකක් දා ගන්නව "කන්සල්ටන්ට් ඩි සුදයාම" කියල". හංස කොලුවා හොල්මන්ද පොල් කොල!

අපේ කණ්ඩායමේ නොවුණත් තවත් කොළුවෙක් හිටියා ඩැනා කියල. ඩැනා ගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වුණාම කෝපාවිෂ්ට වෙච්ච මහැදුරුතුමා බණිනනවා "තමුසෙට වැඩ බැරි පාඩම් කරන්නෙ නැති නිසා. අර බ්ලොම් එකේ හතරවෙනි තට්ටුවට වෙලා, පාරේ යන ගෑණුන්ගේ පු
වල් බල බලා, "හොහ්! හොහ්!" ගගා ඉන්නව ඇරෙන්න තමුසෙට වෙන වැඩක් නෑනේ. දැන්වත් හැදෙන්න බලනවා!"

මහාචාර්යතුමා ඩැනාගේ කාමරේ හැංගිලා හිටියද කියලත් සැක හිතෙනවා!

මෙතුමාගේ කතා බොහොමයි. තවත් කියුම් ටිකකටත් ඉඩ තියා ගන්න එපායැ!

Saturday, May 5, 2012

වෙසක් කූඩුව


මේක ඉතින් වෙසක් කාලෙනේ. අද කට්ටිය එච්චර වෙසක් කූඩු අදන්න උනන්දු නැති වුණාට අපි පාසල් කාලේ වෙසක් කුඩු හැදුවේ තරඟෙට වගේ. හදල ඉවර වෙලා ඒ ගැන පොර ටෝක් දෙන්නත් අමතක කලේ නම් නෑ! කූඩු හදන කොට අමාරුම ඒවා තමයි පැටව් කූඩු හදන එක. ඒ දවස් වල පැටව් හතරේ කූඩුවක් හදන එක අපිට මහ කජ්ජක් උණේ නම් නෑ. සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලෙත් ඔන්න ඉතින් වෙසක් උදා වුණා. පොර ටෝක් දෙන්න අවශ්‍ය නිසා බඩාත් කලින්ම කූඩු හදන්න පටන් ගත්ත. බඩා හැදුවේ පැටවු හයක් සහිත නෙළුම් මලක්. නෙලුම් මල හදන එක අමාරු බව වෙසක් කූඩු හදාපු අය දන්නව ඇති. නොදන්න අය ඉන්නව නම්; නෙළුම් මලට දිග බට පතුරු කපන්න ඕන. ඒ වගෙම හැඩය ලස්සනට ගන්න නම් හැම බට පතුරක්ම එකම තරමට එන්න ඕන. නැත්නම් නෙළුමේ බඩ වගේ පිම්බෙන කොටස එකම තැනකින් නැතුව තැන් තැන් වලින් පිම්බෙනවා. කොහොම හරි වෙසක් දවසට කලින් කූඩුව ඉවර කරපු බඩා ඒ ගැන පන්තියේදි ලොකු පොර ටෝක් එකක් දුන්න. පන්තියේ උණුත් කතාව ඇත්තද බලන්න බඩා ගේ ගෙදර එන්න ලෑස්තිය. 

හදිස්සියෙන්ම මෙතෙන්ට පහත් වුණේ ඇනා. (අර තන පටයේ සිද්ධියට, ඉබෝලා සිද්ධියට සම්බන්ධ ඇනා). "ඕව මොකද්ද, මම හදල තියෙනව පැටවු දස ලක්ෂෙක කූඩුවක්!" එහෙම කිව්වේ ඇනා. අපිට මේක විශ්වාස නෑ. ඇයි හත් දෙයියනේ පැටවු සීයක් කිව්ව නම් හිතන්න පුළුවන්, ඒත් ලක්ෂයක්? ඒ නිසා බඩාගේ කූඩුව බලන එක පැත්තක තියල ඇනාගේ කූඩුව බලන්න ඔක්කොම තීරණය කලා. වෙසක් දවසේ ඔන්න අපි ඇනාගේ ගෙදර ගියා. කූඩුවක් තියා බකට් එකක්වත් පත්තු කරල නෑ. අපි ඇහුව කෝ කූඩුව කියල. ඇනා කියාපි මඩුවේ කියල. එහෙම කියපු ඇනා, අපිව තරමක් ලොකු මඩුවකට එක්ක ගිහින් විදුලි බුබුළු දල්වලා පැටවු දසලක්ෂෙ කූඩුව පෙන්නුවා. ඇනාගේ පරණ සරමක් වහලේ එල්ලලා ඒකට බල්බ් එකක දාලා! අපිට බඩ අල්ලන් හිනා!

Tuesday, May 1, 2012

චීටා සහ ගෙම්බා


බඩා මාමගේ කතන්දර පිටුවට නිතරම යන එන කෙනෙක් නෙ චීටා කියන්නේ. චීටා මුල්වෙච්ච කතා කීපෙකුත් තියෙනව. බඩා සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න ගියේ පන්නිපිටිය පැත්තේ තියෙන පොඩි පන්තියකට. චීට ආවෙත් ඕකටමයි. බස් රථයෙන් බැහැලා ටික දුරක් පයින් ගිහින් තමයි මේ පන්තියට යන්න තිබුණේ. පන්තියට යන පාර අතර මග රඹුටන් ගහක් එහෙමත් තිබුණ. කොල්ලො රෑන රඹුටන් හැදෙන කාලෙට එන්නේ වටින් පිටින් අහුල ගත්තු පොලු කෑලිත් අතේ අරන්. 

අපේ කතාව සිද්ධ වෙන දවසෙත් අපි ඔය විදියට පොලු කෑලි ටිකකුත් අරගෙන ආවේ රඹුටන් කාලම පන්තියට යන්න හිතාගෙන. කොහොම උණත් කලින් දවසේ බලාපු වේදිකා නාට්‍යයක් ගැන බඩා පොර ටෝකක් දීගෙන ආවේ ඒ නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟ පාන ගමන්. නට්‍යයේ නම අමතක උණත් "ගම්බිරතේ දෑතෙ කොන්ස්තන්-තීනු පුරේ  කොන්ස්තන්-තීනු පුරේ, පුර වර්ධන කරන අග - නිරිඳා මෙමං" කියන සින්දුව නම් තිබුණේ ඒකෙ. ඔය සින්දුවේ තාලයටම බඩා අතේ තුබුණු කෝටුව කඩුවක් විදියට පෙන්න පෙන්න හිටියේ. හදිස්සියෙන්ම චීටා කියාපි "මොනවද බං ඔහොමද කඩු හොලවන්නේ?" කියල. හරි විදියට කරල පෙන්නන්න කියල බඩා චීටට අභියෝගයක් කලා. චීට බිම වැටිල තිබුණු කෝටුවක් අරගෙන හෙලිකොප්ටරේ බමන පෙත්ත වගේ මහ හයියෙන් කරකව කරකව පන්තිය දිහාවටම ගියා. බඩාට එච්චර හයියෙන් කරකවන්න බැරි බව දන්න නිසා බඩා පොර ටෝක් දීම නවත්තලා හෙමින්ම පන්තියට ඇදුණා. චීට ඔළුව වටේ කරකවමින් ආපු කෝටුව පන්තියේ මුල්ලක බිත්තියට හේත්තු කරල තිබ්බා. දැන් අපි පාඩමට සූදානම්. 

ගුරුතුමිය සත්ත්ව විද්‍යාව උගන්නනවා. අපි අහන් ඉන්නවා. හදිස්සියෙන ගුරුතුමිය සහ කෙල්ලන් කීප දෙනෙක් "ඊයා . . . !" කියල මහ හයියෙන් කෑ ගහගෙන එහෙ මෙහෙ දුවන්න ගත්ත. කලබලේ මොකද්ද කියල බලන කොට තඩි ගස් ගෙම්බෙක් ගුරුතුමියගේ මේසය උඩට පැනලා! පන්තියට එද්දී පන්තියේ ගෙම්බෙක් නොහිටි බවට (චීටා ඇරෙන්න, චීටට ගෙම්බා කියල කාඩ් එකකුත් තිබුණා) අපිට හොඳටම මතකයි. එහෙනම් ගෙම්බා ආවේ කොහොමද? අනික මේ ගෙම්බා හරිම ආතල් එකෙක්. සාමාන්‍යයෙන් ගස් ගෙම්බෙකුට පිම්මක් වරදින්නේ නෑ. ඒත් මූ පණින දිහාවේ නෙවෙයි යන්නේ. බිත්තියට පැන්නම වදින්නේ ජනේලේ! බිත්තියට අඩි කීපයක් මෙහා තියල "දොක්!" ගාල බිම වැටෙනව. කොහොම හරි ගෙඹි ආතල් එක පැය භාගයක් විතර පුරා අපි ගත්ත. 

අපිට වැඩේ මීටර් උණේ ටිකක් වෙලා ගියාම. ගෙම්බා හිටියේ කොතනද? අපිට තේරුණ විදියට ගෙම්බා හිටියේ චීටා අහුල ගත්තු කෝටුවේ. යමයා වගේ චීටා ඒක ඔලුව වටේ කරකවද්දි අර අසරණ ගෙම්බා පරාණ බයට කෝටුවම අල්ලන් ඉන්න ඇති. ගෙම්බටත් අපිට වගේම අභ්‍යන්තර කණක් තියෙනවා. ඒකේ අර්ධ චක්‍රාකාර නාල නැති වුණාට සමබරතාවය ගැන ක්‍රියාකරන කොටසක් ඌටත් තියෙනවා. යමයා වගේ චීටා කෝටුව කරකවද්දී ගෙම්බට කැරකිල්ල හැදිලා. අපිටත් කැරකිල්ල හැදුණම අඩිය තියන තැනට නෙමෙයි වෙන තැන් වලට යනවා වගේ තමයි ගෙම්බටත්. ඌ ජනේලෙට පැන්නම ගිහින් නතර උණේ ගුරුතුමියගේ මේසේ උඩ!

Saturday, March 31, 2012

ඉටිපන්දම


මෙකත් ටියුෂන් කතාවක්ම යි. හැබැයි මෙදා සැරේ චරිතය බඩා ගේ එකම සහෝදරයා. බඩා ගේ මල්ලී බඩාට වඩා උස, කැරළි කොණ්ඩේ තියෙන බඩා වගේ කළු නැති එකෙක්. ඒ වුණාට මූණේ මොකක් හෝ අවුලක් තියෙන නිසාදෝ, මලයගේ යාළුවෝ ඌට කිව්වේ "ලොරියා" කියල. තව සමහර එවුන් "බාප්පා" කියලත් කිව්වා. ඒ නිසාම බඩා සමහර විට "මහ ලොරියා" කියලත් "මහප්පා" කියලත් හැඳින්වුණා. බඩා ජීව විද්‍යාව කළාට බඩා තමයි පවුලේ වෙනස් සාමාජිකයා. බඩාගේ අම්මා, තාත්තා දෙන්නාම කලා උපාධිධාරීන්. මල්ලී ගියෙත් ඒ පාරෙමයි. ඉතින් වාණිජ අංශයෙන් මනුස්සයා උසස් පෙළට ඇතුළු වුණා. බඩා වගේම බඩාගේ මල්ලීගේත් කට අන්තිම නරක බව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ? වාණිජ අංශයෙන් වාණිජ්‍යය සහ ගිණුම්, සංඛ්‍යානය, තර්ක ශාස්ත්‍රය කියන ඒව තමයි මතක විදියට මලයා උසස් පෙළට කලේ. "ලොජික් මැජික් , ස්ටැට්ස් ඇලර්ජික්" කියල මිනිහා ඒ දවස් වල කිව්වේ. 

තර්ක ශාස්ත්‍රය උගන්නන බොහොම ප්‍රසිද්ධ ගුරුතුමෙක් ගාවට තමයි මලයා ටියුෂන් ගියේ. එතුමාගේ නම එම්. මික්ඩාඩ්. මේ කතාව සිද්ධ වෙන්නේ 1996 අග භාගයේ. මුළු රටම නියඟෙකට අහු වෙලා දවසට පැය 10-12 විදුලි කප්පාදුවක් ඒ කාලේ තිබුණු බව මතක ඇතිනෙ. ඉතින් ටියුෂන් පන්ති මේ කප්පාදුවෙන් සෑහෙන්න බැට කෑව. කොටින්ම, ඉටිපන්දම් ගහගෙන තමයි සමහර පන්ති වල වැඩ කලේ. ඔන්න ඔය විදියට විදුලිය කප්පාදු කරපු දවසක බඩාගේ මලයා තර්ක ශාස්ත්‍රය පන්තියට ගිහින්. සුපුරුදු පරිදි මික්ඩාඩ් මහත්මයා ළමයින්ට ඉටිපන්දම් බෙදල දුන්නේ මේසයේ ගහගෙන සටහන් ලියා ගන්න. හැබැයි මේ මොනවා කලත් කළු ලෑල්ල පේන්නේ නෑ. මේක බඩාගේ මල්ලීට ප්‍රශ්නයක් වුණා.

"සර්, බෝඩ් එක පේන්නේ නෑ, බෝඩ් එකෙත් ඉටිපන්දමක් ගහන්න" කියල අපේ මලයා කියල. "මෝඩ කතා කියන්න එපා ළමයෝ, ඉටිපන්දම් කොහොමද හරහට ගහන්නේ?" කියල මික්ඩාඩ් මහත්මයා කියල තියෙනව. කියන්න අමතක වුණා, මික්ඩාඩ් මහත්තයට පුර සඳ වගේ ඔප දමපු තට්ටයක් තියෙනවා. එතකොට බඩාගේ මලයා කියනවලු "එහෙනම් සර්, ඉටිපන්දම ඔලුව උඩ ගහගන්න" කියල. සර් හොල්මන්ද පොල් කොල! ඊට පස්සේ බඩාගේ මලයා ඒ පන්තියට ගියාද කියල නම් බඩා දන්නෙ නෑ.

තමුසේ නෙවෙයි


උසස් පෙළ කරන කොට ටියුෂන් යන්න සිද්ධ වීම අද විතරක් නෙවෙයි, බඩා ගේ කාලයේත් සිදු වුණු දෙයක්. "පතිරූප දේස වාසෝච" කියල බුදුන් වහන්සේ මංගල කරුණක් විදියට වදාරල තියෙන යහපත් පදිංචිය නිසාද කොහෙද බඩාට ඒ කාලේ රටේ හිටපු ප්‍රසිද්ධතම ගුරුවරුන් ගාවට ටියුෂන් වලට යන්න හැකි වුණා. මේ ගුරුවරුන් අතරින් අවිවාදයෙන්ම දක්ෂතමයා තමයි මොහාන් ලාල් ග්‍රේරෝ මහතා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ කතා සිද්ධ වුණේ එතුමා මන්ත්‍රීවරයෙක් වෙන්න තුන් හිතකින්වත් නොහිතපු කාලයේ කියලයි බඩා හිතන්නේ.

ග්‍රේරෝ මහත්මාට ඉංජිනේරු පීඨයේ භාවිතා වෙච්ච නම වුනේ "මීයා" කියන එක. (අර චීස් කාපු මීයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ!) කල් යද්දී විශේෂණත් එකතු වෙලා මේක "කාණු මීයා" බවට පත් වෙලා තියෙනවා. ඒ දවස් වල රේල් වේ ඇවනියු එකේ ග්‍රේරෝ මහත්මයා විශාල පන්තියක් කලා. මේකට ඇවිත් හිටියා වල් කොල්ලො රංචුවක්. උන් කරන්නේ ගුරුතුමා කළු ලෑල්ලේ ගැටළුවක් විසඳන්න අනික් අතට හැරුණු ගමන් මියෝ කෑ ගහනවා වගේ "චීක්, චීක්" ගාන එක. මේ නිසා ඔහු ඉන්නේ කොයි වෙලෙත් මළ පැනීමේ සීමාවට ඇවිල්ලා. බඩා ඔය පන්තියේ හිටියේ පහළොස්වෙනි පේළියේ විතර. මේ පන්තියේ ඉස්
ම පේලියේ හිටියා ටිකක් කට වැඩි කෙල්ලෙක්. කට වැඩි නම් කමක් නෑ, මේකිට මහ පුදුම උනන්දුවක් තිබුණේ. ග්‍රේරෝ මහතා කළු ලෑල්ලේ ලිය්ද්දී බඩා කලේ කඩදහි කාක්කෙක් අර ගෑණු ළමයාගේ ඇඟට වැදෙන්න රපු එක. නමුත් නොහිතූ විදියට ඉලක්කය වැරදිලා, එහෙම නැත්නම් කාක්කා තැනීමේ දෝෂයක් නිසා, එල්ලය වැරදිලා කාක්කා නතර වුණේ ග්‍රේරෝ මහතාගේ ඔළුවටම ටොක්කක් ඇණගෙන.

ග්‍රේරෝ මහතා බොහොම පැහැපත් කෙනෙක්. නමුත් කේන්ති ගිය විට නහය වටේත්, කන් දෙකත් රතු වෙනවා. එදා නම් කන් දෙක බීට් අලයක පාටට කිට්ටුයි.

"කාක්කා ගහපු එකා නැගිටපිය!" එහෙම කීවේ ග්‍රේරෝ මහතා. බඩා ගල් ගිලලා වගේ ඉන්නවා.

"ඔය කොළ පාට කොටු කමිසේ ඇඳන් ඉන්න එකා නැගිට
ලා පොත් ටිකත් අරන් බහිනවා එළියට"

දැන් කරන්න දෙයක් නෑ. බඩා ඇඳන් ඉන්නේ කොළ කොටු තියෙන කමිසයක්. පොත් ටිකත් අරන් බඩා නැගිට්ටේ බඩු මාට්ටු බව තේරුණු නිසයි. එතකොටම උණේ නොහිතූ දෙයක්.

"උඹ නෙමෙයි මිනිහෝ, උඹට පස්සෙන් ඉන්න එකා!" බඩා හැරිලා බලද්දී මෙන්න මූත් කොළ කොටු කමිසයක් ඇඳගෙන! හැබැයි මූ නම් කාක්කෝ යැව්වේ නැති බව බඩාට ෂුවර්! කරන්න දෙයක් නැති නිසා මට පස්සෙන් හිටි එකා යන්න ගියා. 

ටික දවසකට පස්සේ ග්‍රේරෝ මහතා බඩාට කෙළින්ම කතා කරල, කණ්ඩායම් පන්තියට එන්න කිව්වේ, "තමුසේ මෙතන හිටියොත් මට අනික් කොල්ලො ටිකත් හදා ගන්න බැරි වෙනවා" කියාගෙනම.
ඒ වගේම අර එළවපු එකා වැඩ මුකුත්ම නොකරන එකෙක්ලු. අපේ භෞතික විද්‍යා ගුරුතුමා මේකව එළවන්න වෙලාවක් හොය හොය ඉඳල තියෙන්නේ.

Friday, March 23, 2012

සර්ලගෙ බඩුවක්

රෝහලේ සේවයේ යෙදෙන කොට අපට නිතර දකින්න හම්බ වෙන අවස්ථාවක් තමයි හුස්ම ගන්න අමාරු ලෙඩුන්. මෙයින් බහුතරයක් ඇදුම රෝගීන්. සුළු පිරිසක් වෙනත් හේතූන් නිසා හුස්ම ගන්න බැරුව එනවා. හුස්ම ගන්න අමාරුකම එක්කෝ පෙණහල්ලේ හෝ උරස් කුහරයේ ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් හුස්ම ගනීව ස්වයංක්‍රීයව සිදුවන මොළයේ පාලක මධ්‍යස්ථානයේ අවුලක්. ඔන්න ඔය දෙවනියට කියපු වර්ගයේ හුස්ම ගැනිමේ අපහසුකම් විෂ වර්ග නිසා ඇතිවෙනව. ඖෂධ නියම මාත්‍රා වලින් නොගැනීම්, කෘෂි රසායන සහ මද්‍යසාර මේකට අයත් වෙනවා. එහෙම හුස්ම ගන්න අමාරු වෙන රෝගියෙක්ට මුලින්ම කරන්නේ ඔක්සිජන් සපයන එක. ඒත් හරියන්නේ නැත්නම් ශ්වාස නාලය තුළට කටින් බටයක් (endotracheal tube) දාලා ඒකෙ කෙලවරට මැෂිමක් හයි කරනවා. මැෂිම නැති වෙලාවට කරන්නේ විශේෂිත බෑගයක් (ඇම්බු බෑග් - ambu Bag) පොම්පයක් විදියට භාවිත කිරීම. මේ වගේ රෝගීන් කොහොම හරි දැඩි සත්කාර ඒකකයට තුළු කරන්න ඕන. නමුත් අපේ රටේ තියෙන තත්වය අනුව සමහර විට දවසක් දෙකක් යනතුරුත් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගන්න බැරි වෙනවා. ඒ මුළු කාලයම රෝහලේ සේවකයන් ඇම්බු බෑගය මිරිකමින් රෝගියාට කෘත්‍රිම ශවසනය ලබාදෙනවා.


දවසක් බඩා සේවය කරන වාට්ටුවට මේ විදිය රෝගියෙක් අරන් ආවා රෑ දෙගොඩහරි ජාමේ. කණිෂ්ට වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කළාට පස්සේ බඩාට ඇමතුමක් ආවේ රෝගියාව බලන්න. මේ මිනිහා හොඳටම බීලා. හුස්මේ තියෙන ඇල්කොහොල් වලටත් අපි වෙරි වෙන ගානටම බීලා. හුස්ම ගැනීමේ රිද්මය සවුත්තු නිසා අර කලින් කිව්ව විදියට බටයක් බඩා විසින් දමනු ලැබුවා. "බට දැම්ම නම් අයි.සී.යූ. හොයපන්" කියන එක වෛද්‍යවරුන් අතර ආප්තෝපදේශයක්. ඉතින් බඩාත් පැය කීපයක් තිස්සේ දැඩි සත්කාර ඒකක හෙව්වත් වැඩේ හරිගියේ නෑ. මේ අතර රෝගියාගේ යාළුවෙක් ලඟ ඉඳන් ඇම්බු බෑගය මිකිකනවා. මිනිහත් බැලූ බැල්මට ලෙඩාට වගේම බමර පදම්. දැඩි සත්කාර ඒකක සෙවීම පැය කීපයකට කල් තියපු බඩා ආයෙත් කාමරේට ගියේ පැයක් දෙකක් වත් නිදා ගන්න. 


පහු වෙනිදා උදේ වෝඩ් රවුන්ඩ් එක බඩා කරද්දී අර බටයක් දාගෙන බෑගය මිරිකන ලෙඩෙක් පේනතෙක් මානෙක වත් නෑ. ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී (ළග ඉන්න කෙනා උත්තර දෙයිනෙ!)  වාට්ටුවේ කොනක "ඉන්නවා" සදදයක් ඇහෙනව. බට දාපු එකා කතා කරන්නෙ කොහොමද බලන්න බඩා ඒ පැත්තට ගියා. රෝගියා බිම් පැදුරක ඉඳගෙන, බටේ ගලවන් අතේ තියාගෙන (සාමාන්‍යයෙන් මේ බටේ ගලවන්නේ විශෙෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ), ඇම්බු බෑගය මිරිකන්න දාපු එකා අල්ප දයන්න වගේ ගුලි වෙලා බිම බුදි. බඩා එනව දැක්කම අර රෝගියා කියනව "සර්, මේ බටේ මගේ කටේ දාල තිබුණ. මේක සර්ලගේ නිසා මම විසි නොකර තියා ගත්ත" කියල. ඔය පින්තූර දැක්කම පේනව ඇති නේද ඔය බටේ ගලවන එක කොච්චර අමාරුද කියල? ඔන්න අපේ රටේ ලෙඩ්ඩුන්ගේ හැටි!

Thursday, March 22, 2012

මව් ගුණ

පාසල් යන කාලේ බඩා ගේ කට හොඳ නැති බව ඔය කට්ටිය දන්නවනෙ. බඩා වගේම කට හොඳ නැති තවත් කීප දෙනෙක් හිටියා. ඉන් එක්කෙනෙක් තමා "තකී". තකී ජොලියට බර, ජීවිතේ ආතල් එකෙන්ම ගෙවන සොමිබර කොල්ලෙක්. තකී ගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච නිසාත්, ජීවිතේ බරක් නොදැනුණා වෙන්න පුළුවන්.

එක පැත්තකින් තකී එහෙම ඉන්දැද්දී සාමාන්‍ය පෙල පන්ති වල හිටපු විනය පාලක තමයි රත්නේ සර්. උස, මහත, මවිල් වැවිච්ච රත්නේ සර්ට හැමෝම බයයි. හැබැයි කාටවත් ගහනවා නම් බඩා දැකල නෑ. කොටින්ම රත්නෙ සර් අපිව බය කරන් හිටියේ පෙනුමිනුයි, කටිනුයි.

එකමත් එක දවසක, තකී, බඩා ගේ බයිට් එක බවට පත් වුණා. සාමාන්‍යයෙන් සොමියෙන් ඉන්න තකීට මළ පැනලා බඩා ගේ මව් පාර්ශවය සමග ලිංගික සම්බන්ධතාවයක විස්තරය දක්වන කුණුහරුපයක් මහා හඬින් බඩා වෙත එල්ල වුණා. අවාසනාවකට වගේ, මේ කතාව එහා පන්තියේ උගන්නපු රත්නේ සර්ට ඇහිලා. දැන් මිනිහ ඇවිත් අපේ පන්තිය ඇතුලේ. කොල්ලෝ මීයට පිම්බා වගේ. තව ටිකකින් තකියා අම්බානකට කන බවක් අපට පෙනී ගියා.

"කවුද ඒ කෑ ගැහුවේ? " රත්නේ සර් අහපි.

"මම". තකී උත්තර දුන්නේ බයෙන්.

"යකෝ, මව් ගුණ කියනව නම් අනික් පන්තියට ඇහෙන්නේ නැති වෙන්න හෙමින් කියාපිය" කියල තකීට ඔරවලා රත්නේ සර් හැරිල ගියා. අපි හොල්මන්ද පොල් කොල!

Wednesday, March 21, 2012

අද නෙවෙයි හෙට

බඩාගේ අධ්‍යයන කණ්ඩායමේ හිටියා කෙට්ටු, මිටි කොල්ලෙක්. සයිස් එක පොඩි වුණාට මූට තිබ්බේ ලොකු ලොකු දේවල්. නැව් ටෝක් දෙන්න රුසියා. ඒ වගෙම තමයි මේකා අර නර්ඩ් (nerd) කියල ඉංග්‍රීසියෙන් කියන ජාතියේ අති විශිෂ්ට බුද්ධිමතෙක්. පොරට අපි කිව්වේ පාප ලාල් කියලයි. කොලඹ වෛද්‍ය පීඨයේ වසර පහමාරට විභාග 100ක් විතර තියෙනවා. නමුත් මේ කිසිම විභාගයකය පාප ලාල් හෙවත් පාපයා සති දෙකකට වඩා පාඩම් කරන්නේ නෑ. ඉතිරි කාලේ ගත වෙන්නේ ක්‍රිකට් තරඟ නරඹමින්, කැරම් ගහමින් සහ බිලියර්ඩ් ගහමින්. ඒ වගේම පාපයාට පුදුමාකාර මතක ශක්තියක් තිබුණ. බලන ඕනම ක්‍රිකට් තරඟයක පන්දුවෙන් පන්දුව වෙච්ච දේ පොතක් දිග අරින්නා වගේ පාපයාට කියන්න පුළුවන්. ඉතින් මෙහෙම මතකයක් තියෙන නිසාත් වඩිපුර පාඩම් නොකරන නිසාත්, මැරීගෙන පාඩම් කරන් ආයට පාපයා කාමරයට එන එක මහ වදයක්. ඒ නිසාම පාප මිත්‍රයෙක් බව හැඟෙන්න කාඩ් එක පාප ලාල් බවට පත් වුණා. මගේ රූමා, නිගන්ටයා මින් කෙනෙක්. නිගන්ටයා කියන්නේ දවල් රූ පාඩම් කරන කෙනෙක්. නමුත් පාපයා බඩා එක්ක නිතර සෙට් වෙන්නට ඒම නිගන්ටයාට ප්‍රශ්නයක් වුණා. දවසක් නිගන්ටයා බඩාට කතා කරල කියනවා, බඩෝ, මම කියන එක දොරේ ලියපන් කියල. (බඩා පෝස්ටර් ඇඳීමට දක්ෂ නිසා ඔය වගේ වැඩ නිතරම ලැබෙනවා). දොරේ ලියපු එක දැකපු පාපයා, මාසයක් විතර කාමරේ පැත්තේ ආවේ නෑ.

"පාප ලාල් අද නෙවෙයි හෙට" කියල දොරේ ලියල තිබුණ.

Saturday, February 18, 2012

කවුද පිස්සා?

වෛද්‍ය පීඨය කියන්නේ බොහොම දරුණු විදියට අධ්‍යාපනය ගැන වෙහෙසෙන තැනක්. ඒ නිසාම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සමහර දෙනෙක් මේ මානසික ආතතය දරා ගන්න බැරි වෙලා මානසික රෝගීන් බවට පත් වෙනවා. මෙයින් බහුතර දෙනෙක් සුවය ලැබුවත්, හොඳ කරන්න බැරි ගානටම ලෙඩ වෙන කිහිප දෙනෙකුත් ඉන්නවා. මාරේ අයියත් අන්න ඒ විදිය කෙනෙක්. අවුරුදු ගාණක් භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙලෙන මාරේ අයියා දර්ශීය මානසික රෝගියෙක්.

වෛද්‍යවරු විදියට කිසිම රෝගියෙක් පිස්සෙක් කියල අපි හඳුන්වන්නේ නෑ. ඒත් ඉතින් සමහර වෙලාවට වචනෙ යොදන්න වෙනවනේ. බ්ලොම් නේවාසිකාගාරේදී මාරෙට කිව්වේ පිස්සු මාරේ කියලයි. මාරේ පිස්සා වුණාට අමු වලත්තයා. මොකුත් කර ගන්න බැරිතරම් දුප්පත් පවුලකින් ආවට මූ අතේ තියෙන සත පහ වියදම් කලෙත් ගණිකාවො පස්සේ යන්න. භින්නෝන්මාදයට දෙන බෙහෙත් වලින් ලිංගික බෙලහීනතාවය ඇති වෙන එක ප්‍රකට කාරණයක්. ලිංගික බෙලහීනතාව ආවම අර කලින් කී වැඩේ බැරි නිසා මාරේ කලේ බෙහෙත් නොබී ඉන්න එක. එතකොට ඉතින් ලෙඩේට වෙන දේ ගැන කියන්න ඕනේ නෑ නෙ? අනික මේ රෝගීන්ට විවිධ දේවල් මැවිල පේනවා සහ දැනෙනවා. ඒකට හැලුසිනේශන් (hallucination) කියල කියනවා. "අඩෝ උඹ ඊයේ මගේ පුක මිරිකුවේ ඇයි?" ඔන්න මාරේ ගේ දර්ශීය
hallucination එකක්.

භින්නෝන්මාදය තියෙන ලෙඩෙක්ට තමන් ලෙඩෙක් කියල දැනෙන්නේ නෑ. තමුන් කරන දේ බරපතල කම දන්නෙනෙත් නෑ (අපි ඒකට ඉ
න්සයිට් (insight) කියල කියනවා). ඒ නිසා මේ වගේ රෝගියෙක් ගෙන් වෙන අනතුරක් වුණත් ඉවසා ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් පුරුදු වෙලා හිටියා. පිස්සු තද වෙන කාලෙට මාරේටත් මෙහෙම වෙන්න පුළුවන් වුණත් බඩා හිතන හැටියට තමන්ට ඉන්සයිට් නැති බවට පෙන්නමින් මාරේ කලේ තනිකරම මවා පෑමක්. මාරේ පඩිපෙළ බහිද්දී සාමාන්‍යයෙන් කොල්ලෝ අයින් වෙලා ඉඩ දෙනව. නැත්නම් මාරේ හැංගිලා ඉඳල ගහනව. හැබැයි ගහන්නේ ඇඟෙන් පොඩි කොල්ලන්ට විතරයි. මාරෙට කුණුහරුප දෙකක් කියල බැනපු බඩා එක්ක මාරේ පැටලෙන්න ආවේ නැත්තේ පැටලුණොත් අම්බානකට කන්න වෙන බව දන්න නිසාත්, නේවාසිකාගාර කමිටුවේ බඩාට තිබුණු බලවත් තනතුර නිසාත්.

පස්සේ කාලෙක මාරයා හරියට දරුණු වුණා. බඩාගේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ ශිෂ්‍යයෙක්ගේ ඔළුවට පොල්ලකින් ගහලා තිබුණෙත් ඔය කාලෙමයි. බ්ලොම් වාසීන් ඒ දවස් වල මාරේ ගැන හිටියේ මර බයෙන්. කොහොම හරි මාරේ කොටලා කොටලා කෙහෙල් ගහට කෙටුවේ අන්තිමේදී. හොරා වැඩිය උස මහත නැති කණාටු කොල්ලෙක්. මාරේ දවස්ක් හොරාට තඩි බෑවේ රෑ චමරියට යද්දී. හොරාගේ ඔළුවට පොලු පාරක් දුන්නත් ඒක වැදුණේ උරෙස්සට. පැන්න ගමන් මාරයාගෙන් පොල්ල උදුර ගනිපු හොරා, මාරයාට තඩි බාගෙන ගියේ නවත්තන්නේ නැතුව. තවත් හිටියොත් කිසිදා නොකෑ කෑමක් කන්න වෙන බව දැන ගන්න තරම් ඉන්සයිට් තිබුණු මාරේ බ්ලොම් එකෙන් එළියට පැනලා පාර දිගේ දුවන්න ගත්තා. හොරා ඒත් අත ඇරියෙ නෑ. පොල්ලෙන් තඩි බබා මාරේව බොරැල්ල හන්දිය වෙනකම්ම හොරා එළවගෙන ගියා.

මේක බලා හිටපු සුදු පුතා බඩා ගෙන අහනවා, "මචන් බඩා, දැන් කවුද බන් ඔතන පිස්සා?"

Friday, February 10, 2012

කිරියා


වෛද්‍ය විද්‍යාලෙන් පිට වෙලා හා හා පුරා කියලා සීමාවාසික පුහුණුවට බඩා ගියේ කොළඹ කිට්ටුව තිබුණු රෝහලකට. අපේ කණ්ඩායමේ ම හිටපු තවත් වෛද්‍යවරයෙක් ඇවිත් හිටියා. මුගේ නම කිරියා. කිරියා හොඳ කලා රසාස්වාදයක් තියෙන, උයන්න උපන් හපන් කම් දක්වපු චරිතයක්. ඒ වගෙම ආතල් දෙන්නත් කියාපු පොර. මඳ පමණට දාගත්තම, රමණීය විදියට ආතල් දීම කිරියාගේ පුරුද්දක්. කිරියාගේ විශ්ව විද්‍යාල කාලේ මිත්‍රයා "ගෙම්බා". මුන් දෙන්නගේ කාමරේ "කිරියා සහ ගෙම්බා" කියලත් ගහල තිබුනලු!

සීමාවාසික පුහුණුව කියන්නේ දවස පුරාම වැඩ තියෙන රස්සාවක්. මේ නිසා දවල් කෑම ගත්තෙත් වාට්ටුවේදීමයි. අපිට බත් අම්මා කෙනෙක් ඒ දවස් වල කෑම සපයීම කලා. කෑම වල තත්වය ගැන කිව්වොත්, බත් අම්මගෙ අම්මව නිතරම මතක් වෙනවා.

ටික දවසක් යද්දී බඩයි, නාරමායි (මගේ රූම් මේටා) දැකපු දෙයක් තමයි අපේ බත් එකට වඩා කිරියගෙ බත් එක වෙනස් කියල. ඒකෙ තව පොඩි පාර්සලයකුත් තියෙනව. මේ මොකද්ද කියල බලනකම් අපිට ඉවසුමක් නෑ. කොහොමෙන් කොහොමෙන් හරි කිරියා රෝගියෙක්ව මහ රෝහලට මාරු කරන්න යද්දී, අපි ප්‍රශ්නෙට උත්තර හොයා ගත්තා.

හොඳට ඔතලා, පාර්සල් කරලා ගෙනත් දෙන්නේ තඩි බුලත් විටක්! පහු දවස්ක අපි කාමරේට යද්දී මෙන්න මූ සරමක් කැහැපට ගහගෙන ජනේලේ අයිනට වෙලා හරකා තණකොල හපනවා වගේ බුලත් හපනවා.

Wednesday, February 8, 2012

සුචරිතවාදී මහැදුරු

වෛද්‍ය විද්‍යාලය කියන්නේ අනික් පීඨ වලට වඩා තරමක් අමුතු තැනක්. මෙතන දී අතිශය බුද්ධිමතුන් (nerds) දකින්නට පුළුවන් වෙන තැනක්. නමුත් මේ නර්ඩ්ස්ලා අතර හොඳට බොන, කන, ජීවිතේ විඳින කොටසකුත් හිටියා. වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරය හඳුන්වන්නේ බ්ලොම්ෆොන්ටේන් කියල. එහෙම නගරයක් දකුණු අප්‍රිකාවේ තියෙන බවත්, ඒකේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තියෙන බවත් බඩා දන්නවා. ඒ වුණාට මොන එහෙකට ඒ නේවාසිකාගාරෙට ඒ නම දැම්මද කියල බඩා දන්නේ නෑ. මේ කතාව සිද්ධ වුණේ බඩා පළමු වසරේ ඉන්දැද්දී.

ඉස්සර දවස් වල ටැබූ කියල බ්ලොග් කාරයෙක් හිටියා ඔය අයට මතක ඇති. ටැබූ එක ලිපියක් "වෛද්‍යවරුන් සිය සරසවි ජීවිත තුල ලිංගික අත්දැකීම් ලබන්නේ සුළු වශයෙනි" කියල කියපු දේකට මම උපහාසෙන් හිනා වුණා මතක ඇති. ඔන්න ඒ උපහාසයට හේතු වුණේ මේ කතාවේ කියන්න යන කාරණා. බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාරය තියෙන්නේ කේරි විදුහල කිට්ටුවෙන්. කේරි විදුහලට ළමයින් ඇරලන්න එන්න මව්වරුන් සමහර විට වෛද්‍ය ශිෂ්‍යයන් එක්ක මිත්‍ර වෙනවා. මේ මිත්‍ර කම බොහෝ දුරට කෙළවර වෙන්නේ බ්ලොම්ෆොන්ටේන් එකේ කාමරයකට දෙදෙනාම යන එකෙන්. සමහරවිට ගණිකාවන් හෝ වෙනත් කාන්තාවන් ද මේ විදියට අරන් ගිය අවස්ථා නැතුවා නෙවෙයි.

හැබැයි මේ නිදහසට තිත තිබ්බේ එක්තරා සුප්‍රසිද්ධ මහාචාර්යතුමෙක්. එතුමා 1990 ගනන් වල මුල රූපවාහිනියේ ජනප්‍රිය චරිතයක්. අතිශය සුචරිතවාදී හින්ද ද එහෙම නැත්නම් කොල්ලන් ගන්න ආතල් එකට ඉරිසියාවේද කොහෙ ද අපේ මහචාර්යතුමා මේ වැඩේට විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නෙවෙයි, නේවාසිකාගායටේ උප ශාලාධිපති එක්ක කාමරෙන් කාමරේ බල බල "රවුන්ඩ්" එකක් හිටන් යන්න අමතක කලේ නෑ.

ඒත් වෛද්‍ය ශිෂ්‍යයෝ කියන්නෙත් ලේසි පාසු බඩු නෙවෙයි. මහාචාර්යතුමා ගේට්ටුවෙන් ඇතුලු වෙනකොටම ඔත්තු බලන්න එකෙක් තියල තියනවා. ඔත්තුකාරයා කරන්නේ මහාචාර්ය තුමා ඇතුල් වෙච්ච ගමන්ම ශාලා තුනටම ඇහෙන්න මහ හයියෙන් "කාක්, කාක්" ගාන එක. එතකොට කට්ටිය අදාල කාන්තාවන්ව හොරෙන්ම ශාලාවේ පසු පස දොරෙන් පිට කරල දානවා. 

ඔන්න අපේ ජ්‍යෙෂ්ඨ මිත්‍රයකුත් මේ විදියට කාන්තාවක් එක්ක කාමරේක් වැඩ. හදිස්සියෙම "කාක්" නාදය ඇහුණත් උපරිම අවස්ථාවේ හිටපු අපේ මිත්‍රයා නවත්තන්නේම නැතුව වඩේ කරගෙන ගිහින්. වැඩේ නවත්තන කොට මහාචාර්යතුමා ශාලාවට ඇතුල් වෙලත් ඉවරයි. දැන් කෙල්ලව පන්නන එක බොරු. කරන්න දෙයක් නතුව හිටපු අපේ මිත්‍රයට පහළ වුණේ ගණ දෙවි නුවන. මේ කාමරේ අයිති කාටද කියල කවුරුහරි ඇහුවොත් මේ නම කියන්න කියල, අපේ මිත්‍රයා කාන්තාවට මහාචාර්යතුමාගේ මුල් නම කියාපි. එහෙම කියල ජනේලෙකින් සර්කස් පාරක් දාලා අනික් කාමරේට මාරු වෙච්ච අපේ මිත්‍රයා (මේ හතර වෙනි තට්ටුවේ!) එහා කාමරේ දොර ඇරගෙන මීයා වගේ බලා ඉන්නවා. මහාචාර්යතුමා ශාලාධිපති එක්ක ඇවිත් අපේ මිත්‍රයගේ කාමරේ දොරට ගහනවා. මහාචාර්යතුමා හිතපු විදියටම කාමරේ හිටියේ කාන්තාවක්. "මේ කාමරේ කාගෙ ද?" කියල අහපු මහාචාර්යතුමාට අහන්න ලැබුනේ කමුන්ගෙම නම! ඒත් වෙන කවුරුවත් ඒකෙ ඉන්නව ද බලන්න මහාචාර්යතුමා ඇතුලට ගිය ගමන් එක පාරටම අල්ලපු කාමරෙන් එළියට පැන්න අපේ මිත්‍රයා කලේ අතේ තිබුණු එහා කාමරේ ඉබ්බා දාලා අර කාමරේ දොර වහන එක. දැන් මහාචාර්යතුමා අර කාන්තාව එක්ක කාමරේ ඇතුලේ! "මෙන්න ප්‍රොෆෙසර් . . . . ගෑණියෙක් එක්ක කාමරේක ඉන්නවෝ" කියල ශාලාව දෙවනත් වෙන්න අපේ මිත්‍රයා කෑ ගහන්න ගත්තේ ඊට පස්සේ. මුළු බ්ලොම් එකේම කොල්ලෝ ශාලාවට පිරෙනකල්ම අපේ මිත්‍රය කෑගැහුවලු!

ඊට පස්සේ නම් මහාචාර්යතුමා රවුන්ඩ් කරන්න එහෙ ආවේ නම් නෑ!

Thursday, February 2, 2012

නීතිඥ මහත්තයගෙ බල්ලා

බඩා ගේ හාමිනේ ගේ අම්මා, (නැන්දම්මා) පදිංචි වෙලා හිටියේ මහරගම පැත්තේ ගේක. ගෙයි උඩ තට්ටුව කුළියට අරගෙන තමයි එයා හිටියේ. මේ උඩ තට්ටුවේ ඉඳන් එහා පැත්ත බැලුවම පේන්නේ හොඳ සරු සාරෙට හදපු ලොකු ගෙයක්. පදිංචි වෙලා හිටියේ නීතිඥ මහත්තයෙක් වගේ තමයි බඩාට මතක. මේ ගෙදර හිටියා පත දඩෝරි බල්ලෙක්. නම රෝයි. ඇල්සේෂන් සහ මැස්ටිෆ් කියන බල්ලන්ගේ දෙමුහුමක් වෙන්න ඇති කියලා බඩා හිතිවේ මේකා වහු පැටියෙක් විතර විසාල නිසා. නීතිඥ මහත්තයගේ නෝනා එහෙම මේ බල්ලට කතා කරන්නේ ඉංග්‍රීසියෙන්! Roy come, Roy sit, Roy go to the cage වගේ විධාන ඔක්කොම බල්ලට දෙන්නේ ඉංග්‍රීසියෙන්. ඌත් සුද්දගේ බල්ලෙක්ද නිසාද මන්දා ඌටත් මේව හොඳට තේරෙනවා.

ඔන්න දවසක් නීතිඥ මහත්තයගේ අක්කා මේ ගෙදර ආවා. කාලෙකින් ආපු අක්කට සලකනවා වෙනුවට අපේ නීතිඥ නෝන මහත්තුරු ඩබල අක්කව ගෙදර දාල කොහෙද ගිහින්. අපි අර කලින් කියපු රෝයි නම් දඩෝරියා නීතිඥ මහත්තයාගේ වත්තේ තාප්පේ උඩින් පැනලා, අපේ නැනදම්මගේ වත්තට ඇවිත්, පාර දිගේ දුවනවා. ඊට පස්සේ අපට පේනවා නයිටියක් ඇඳගෙන ඊට උඩින් හවුස් කෝට් එකක් දාගත්තු නීතිඥ මහත්තයාගේ අක්කා පස්සෙන් දුවගෙන එනවා. "මෙහෙ වර කාලකණිනි වල් බල්ල. මෙහෙ වර කූඩුවට, මම තොගේ මාළු කෑල්ලක් කන්ව, හපෝයි මේ වනචරය" ඔන්න නීතිඥ මහත්තයගේ අක්කගේ වචන සැට් එක. මේ වචන උපන්තේකට අහල නැති දඩෝරියා හොල්මන්ද පොල් කොළ වෙලා තවත් වටේ දුවනවා.

කොහොම කොහොම හරි බල්ලව අල්ල ගත්තු අපේ කතා නායිකාව ඊලඟට බල්ලට දම්වැටෙන් තඩි බබා අරගෙන එනව පේනව. "අපොයි තෝ වගේ පාහරයෙක්, තෝ මාව පාර පුරා ඩිවෙව්ව නේද, අවලම් බල්ලා" ඔන්න ඒ පාර වචන සැට් එක. ආයෙත් පාරක් බල්ලගෙ මූණ හොල්මන්ද පොල් කොළ!

Sunday, January 8, 2012

පෙරහැර

අද කාලේ වගේ නෙවෙයි අපි පොඩි කාලේ ගමේ පන්සලේ පෙරහැර කියන්නේ ගමට ලොකු අංගයක්. ලොකු ස්වාමීන් වහන්සේලා එක් එක්කෙනා එක්ක තරහා උණාම අළුතින් පන්සල් හදාගන්න නිසාම, හතු පිපෙන්නා වාගේ පන්සල් බිහි වෙලා නොතිබිච්චි යුගයක් තමයි ඒක. මේ අනූව දශකයේ මැද භාගය. බඩා සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලේ. දහම් පාසලේ අවසාන වසර විභාගයටත් ඒ එක්කම බඩා ඉගෙන ගත්තා.

පන්සලේ පෙරහැර කියන්නේ ලොකු උත්සවයක්. ඒ නිසා මේ වැඩේට දායකයෝ බොහෝ දෙනෙක් සහභාගී වෙනවා. කෙහෙ වලු පටලා ගැනීම් පව නැත්තේම නෙවෙයි. මේ විදියට සති කීපයක ඇවෑමෙන් අපි පෙරහැර සංවිධානය කර ගත්තා. පෙරහැරේ අනිවාර්ය අංගයක් තමයි "මහ බඹා" නැටීම. සාමාන්‍යනෙන් මේකට ඉදිරි පත් වෙන්නේ පළ පුරුදු නැට්ටුවෙක්. අපිත් එහෙම නැට්ටුවෙක් හොයාගෙන මිනිහව මහ බඹා කලා. මිනිහට අපි කිව්වෙ ගුණේරිස් මාමා කියලා.

දැන් ඔන්න පෙරහැර පටන් ගත්තා. ඉස්සරහින්ම හේවිසි ගහගෙන, තේවාව ගහගෙන යනවා. ඊළඟට මල් කරත්ත, මල් බයිසිකල්, මහබඹා, නැටුම් කණ්ඩායම් සහ අන්තිමට ධාතු කරඬුව අලියා පිටේ. මේ පෙරහැර කිලෝමීටර 5ක් විතර දුරක් ගමන් කරනවා. මුලින්ම තේවාවෙන් පටන් ගත්තත්, දිගටම තේවාව ගහන්නම බැරි නිසා නළා කාරයා පටන් ගන්නවා බුදු ගුණ ගීයක් ගහන්න. "ඔබෙ රාගී මන කැලඹේ දෝ . . . " එතකොට බෙර කරයො "ඩක, ඩක, ඩක, ඩක" ගාල තාලය සපට්යනවා. බුදු ගුණ ගීත දෙකක් විතර ගැහුවට පස්සේ අමුතුම තාලයක් අපට ඇහෙන්න ගන්නව. ටිකක් කණ දාල බැලුවම නළා කාරයා ගහන්නේ "සුදු මල් පොකුරක් අතින් දරා මා . . " කියල සින්දුවක්. පොඩි හාමුදුරුවන්ගේ මූණට අබ දැම්මොත් පුපුරන ගාණට. ඒත පිය ගුණ ගීතයක් නේද කියල හිත සනසගෙන උන්නාන්සේ පෙරහැරේ වැඩියා.

තව ටිකක් වෙලා යද්දී හේවිසි තාලය හොඳටම වෙනස් වෙනව. "පර පාර පාර පපර පාර පාර පාර පා. . ." ගගා අමුතුම එකක් ඇහෙනවා. සින්දුව අහල බැලුවම,

"අද පඩි හින්දා සොමියට හිත ගිය හන්දා
යාළුවො කැන්දා තරඟෙට බිවුවද මන්දා
නුපුරුදු හන්දා වමනෙට ආවද මන්දා
බොන්නට බැරිනම් මොකකට බිවුවද මන්දා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගණින්කො විමලා
අනේ උඹෙ ඩාලිං සයිම කට් වෙලා"

සාමාන්‍යයෙන් මහ බඹා නටන්නේ එක තැන කැරකි කැරකි. මහ බඹාත් අමුතුම නැටිල්ලක් මේ අස්සේ නටන්නේ. ඉස්සරහට පස්සට නැවි නැවි, උඩ පැණ, පැණ මහ බඹා නටනවා. අබ පුපුර පුපුර හිටපු පොඩි හාමුදුරුවන්ගේ මූණට යක්ෂාගමනය වුණේ ඔය සින්දුව ඇහුණම. අත පුරවලා නළා කාරයාගේ කණ රත් වෙන්න පාරක් පොඩි හාමුදුරුවෝ දුන්න. "ෂොරි, ඔඳේ, ෂමා වෙන්ට ඕන  ෂාමී", නළා කාරයා වැනි වැනි කියනවා. මූ නද වෙන්න බීලා!

හාමුදුරුවෝ නළා කාරයාගේ කම්මුල අත ගාද්දීම මෙන්න මහ බඹාට අපි නටන්න දාපු එකා දුවගෙන එනවා. "හාමුදුරුවනේ කවුද අර මහ බඹාට නටන එකා?" ගුණේරිස් මාමා අහපි. මහ බඹා ගාවට යද්දී, සංගීතය නැවතුණත් මූ අර නැටුම දිගටම නටනවා. සැකිල්ල උස්සලා බලද්දී මෙන්න තවත් බමර පදම් වෙච්ච එකෙක් මහ බඹා ඇතුලේ! නියම මහ බඹා සැකිල්ල පැත්තකින් තියලා වැසිකිලි ගිය ටිකට මේ බමර පදම් දාපු එකා ඒකට රිංගලා පෙරහැරේ නට නට ගිහින්. පෙරහැර නම් අන්තිමට බඩා සහ මිතුරන්ට අමු සොමියක්ම තමයි වුණේ.