Saturday, March 31, 2012

ඉටිපන්දම


මෙකත් ටියුෂන් කතාවක්ම යි. හැබැයි මෙදා සැරේ චරිතය බඩා ගේ එකම සහෝදරයා. බඩා ගේ මල්ලී බඩාට වඩා උස, කැරළි කොණ්ඩේ තියෙන බඩා වගේ කළු නැති එකෙක්. ඒ වුණාට මූණේ මොකක් හෝ අවුලක් තියෙන නිසාදෝ, මලයගේ යාළුවෝ ඌට කිව්වේ "ලොරියා" කියල. තව සමහර එවුන් "බාප්පා" කියලත් කිව්වා. ඒ නිසාම බඩා සමහර විට "මහ ලොරියා" කියලත් "මහප්පා" කියලත් හැඳින්වුණා. බඩා ජීව විද්‍යාව කළාට බඩා තමයි පවුලේ වෙනස් සාමාජිකයා. බඩාගේ අම්මා, තාත්තා දෙන්නාම කලා උපාධිධාරීන්. මල්ලී ගියෙත් ඒ පාරෙමයි. ඉතින් වාණිජ අංශයෙන් මනුස්සයා උසස් පෙළට ඇතුළු වුණා. බඩා වගේම බඩාගේ මල්ලීගේත් කට අන්තිම නරක බව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ? වාණිජ අංශයෙන් වාණිජ්‍යය සහ ගිණුම්, සංඛ්‍යානය, තර්ක ශාස්ත්‍රය කියන ඒව තමයි මතක විදියට මලයා උසස් පෙළට කලේ. "ලොජික් මැජික් , ස්ටැට්ස් ඇලර්ජික්" කියල මිනිහා ඒ දවස් වල කිව්වේ. 

තර්ක ශාස්ත්‍රය උගන්නන බොහොම ප්‍රසිද්ධ ගුරුතුමෙක් ගාවට තමයි මලයා ටියුෂන් ගියේ. එතුමාගේ නම එම්. මික්ඩාඩ්. මේ කතාව සිද්ධ වෙන්නේ 1996 අග භාගයේ. මුළු රටම නියඟෙකට අහු වෙලා දවසට පැය 10-12 විදුලි කප්පාදුවක් ඒ කාලේ තිබුණු බව මතක ඇතිනෙ. ඉතින් ටියුෂන් පන්ති මේ කප්පාදුවෙන් සෑහෙන්න බැට කෑව. කොටින්ම, ඉටිපන්දම් ගහගෙන තමයි සමහර පන්ති වල වැඩ කලේ. ඔන්න ඔය විදියට විදුලිය කප්පාදු කරපු දවසක බඩාගේ මලයා තර්ක ශාස්ත්‍රය පන්තියට ගිහින්. සුපුරුදු පරිදි මික්ඩාඩ් මහත්මයා ළමයින්ට ඉටිපන්දම් බෙදල දුන්නේ මේසයේ ගහගෙන සටහන් ලියා ගන්න. හැබැයි මේ මොනවා කලත් කළු ලෑල්ල පේන්නේ නෑ. මේක බඩාගේ මල්ලීට ප්‍රශ්නයක් වුණා.

"සර්, බෝඩ් එක පේන්නේ නෑ, බෝඩ් එකෙත් ඉටිපන්දමක් ගහන්න" කියල අපේ මලයා කියල. "මෝඩ කතා කියන්න එපා ළමයෝ, ඉටිපන්දම් කොහොමද හරහට ගහන්නේ?" කියල මික්ඩාඩ් මහත්මයා කියල තියෙනව. කියන්න අමතක වුණා, මික්ඩාඩ් මහත්තයට පුර සඳ වගේ ඔප දමපු තට්ටයක් තියෙනවා. එතකොට බඩාගේ මලයා කියනවලු "එහෙනම් සර්, ඉටිපන්දම ඔලුව උඩ ගහගන්න" කියල. සර් හොල්මන්ද පොල් කොල! ඊට පස්සේ බඩාගේ මලයා ඒ පන්තියට ගියාද කියල නම් බඩා දන්නෙ නෑ.

තමුසේ නෙවෙයි


උසස් පෙළ කරන කොට ටියුෂන් යන්න සිද්ධ වීම අද විතරක් නෙවෙයි, බඩා ගේ කාලයේත් සිදු වුණු දෙයක්. "පතිරූප දේස වාසෝච" කියල බුදුන් වහන්සේ මංගල කරුණක් විදියට වදාරල තියෙන යහපත් පදිංචිය නිසාද කොහෙද බඩාට ඒ කාලේ රටේ හිටපු ප්‍රසිද්ධතම ගුරුවරුන් ගාවට ටියුෂන් වලට යන්න හැකි වුණා. මේ ගුරුවරුන් අතරින් අවිවාදයෙන්ම දක්ෂතමයා තමයි මොහාන් ලාල් ග්‍රේරෝ මහතා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ කතා සිද්ධ වුණේ එතුමා මන්ත්‍රීවරයෙක් වෙන්න තුන් හිතකින්වත් නොහිතපු කාලයේ කියලයි බඩා හිතන්නේ.

ග්‍රේරෝ මහත්මාට ඉංජිනේරු පීඨයේ භාවිතා වෙච්ච නම වුනේ "මීයා" කියන එක. (අර චීස් කාපු මීයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ!) කල් යද්දී විශේෂණත් එකතු වෙලා මේක "කාණු මීයා" බවට පත් වෙලා තියෙනවා. ඒ දවස් වල රේල් වේ ඇවනියු එකේ ග්‍රේරෝ මහත්මයා විශාල පන්තියක් කලා. මේකට ඇවිත් හිටියා වල් කොල්ලො රංචුවක්. උන් කරන්නේ ගුරුතුමා කළු ලෑල්ලේ ගැටළුවක් විසඳන්න අනික් අතට හැරුණු ගමන් මියෝ කෑ ගහනවා වගේ "චීක්, චීක්" ගාන එක. මේ නිසා ඔහු ඉන්නේ කොයි වෙලෙත් මළ පැනීමේ සීමාවට ඇවිල්ලා. බඩා ඔය පන්තියේ හිටියේ පහළොස්වෙනි පේළියේ විතර. මේ පන්තියේ ඉස්
ම පේලියේ හිටියා ටිකක් කට වැඩි කෙල්ලෙක්. කට වැඩි නම් කමක් නෑ, මේකිට මහ පුදුම උනන්දුවක් තිබුණේ. ග්‍රේරෝ මහතා කළු ලෑල්ලේ ලිය්ද්දී බඩා කලේ කඩදහි කාක්කෙක් අර ගෑණු ළමයාගේ ඇඟට වැදෙන්න රපු එක. නමුත් නොහිතූ විදියට ඉලක්කය වැරදිලා, එහෙම නැත්නම් කාක්කා තැනීමේ දෝෂයක් නිසා, එල්ලය වැරදිලා කාක්කා නතර වුණේ ග්‍රේරෝ මහතාගේ ඔළුවටම ටොක්කක් ඇණගෙන.

ග්‍රේරෝ මහතා බොහොම පැහැපත් කෙනෙක්. නමුත් කේන්ති ගිය විට නහය වටේත්, කන් දෙකත් රතු වෙනවා. එදා නම් කන් දෙක බීට් අලයක පාටට කිට්ටුයි.

"කාක්කා ගහපු එකා නැගිටපිය!" එහෙම කීවේ ග්‍රේරෝ මහතා. බඩා ගල් ගිලලා වගේ ඉන්නවා.

"ඔය කොළ පාට කොටු කමිසේ ඇඳන් ඉන්න එකා නැගිට
ලා පොත් ටිකත් අරන් බහිනවා එළියට"

දැන් කරන්න දෙයක් නෑ. බඩා ඇඳන් ඉන්නේ කොළ කොටු තියෙන කමිසයක්. පොත් ටිකත් අරන් බඩා නැගිට්ටේ බඩු මාට්ටු බව තේරුණු නිසයි. එතකොටම උණේ නොහිතූ දෙයක්.

"උඹ නෙමෙයි මිනිහෝ, උඹට පස්සෙන් ඉන්න එකා!" බඩා හැරිලා බලද්දී මෙන්න මූත් කොළ කොටු කමිසයක් ඇඳගෙන! හැබැයි මූ නම් කාක්කෝ යැව්වේ නැති බව බඩාට ෂුවර්! කරන්න දෙයක් නැති නිසා මට පස්සෙන් හිටි එකා යන්න ගියා. 

ටික දවසකට පස්සේ ග්‍රේරෝ මහතා බඩාට කෙළින්ම කතා කරල, කණ්ඩායම් පන්තියට එන්න කිව්වේ, "තමුසේ මෙතන හිටියොත් මට අනික් කොල්ලො ටිකත් හදා ගන්න බැරි වෙනවා" කියාගෙනම.
ඒ වගේම අර එළවපු එකා වැඩ මුකුත්ම නොකරන එකෙක්ලු. අපේ භෞතික විද්‍යා ගුරුතුමා මේකව එළවන්න වෙලාවක් හොය හොය ඉඳල තියෙන්නේ.

Friday, March 23, 2012

සර්ලගෙ බඩුවක්

රෝහලේ සේවයේ යෙදෙන කොට අපට නිතර දකින්න හම්බ වෙන අවස්ථාවක් තමයි හුස්ම ගන්න අමාරු ලෙඩුන්. මෙයින් බහුතරයක් ඇදුම රෝගීන්. සුළු පිරිසක් වෙනත් හේතූන් නිසා හුස්ම ගන්න බැරුව එනවා. හුස්ම ගන්න අමාරුකම එක්කෝ පෙණහල්ලේ හෝ උරස් කුහරයේ ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් හුස්ම ගනීව ස්වයංක්‍රීයව සිදුවන මොළයේ පාලක මධ්‍යස්ථානයේ අවුලක්. ඔන්න ඔය දෙවනියට කියපු වර්ගයේ හුස්ම ගැනිමේ අපහසුකම් විෂ වර්ග නිසා ඇතිවෙනව. ඖෂධ නියම මාත්‍රා වලින් නොගැනීම්, කෘෂි රසායන සහ මද්‍යසාර මේකට අයත් වෙනවා. එහෙම හුස්ම ගන්න අමාරු වෙන රෝගියෙක්ට මුලින්ම කරන්නේ ඔක්සිජන් සපයන එක. ඒත් හරියන්නේ නැත්නම් ශ්වාස නාලය තුළට කටින් බටයක් (endotracheal tube) දාලා ඒකෙ කෙලවරට මැෂිමක් හයි කරනවා. මැෂිම නැති වෙලාවට කරන්නේ විශේෂිත බෑගයක් (ඇම්බු බෑග් - ambu Bag) පොම්පයක් විදියට භාවිත කිරීම. මේ වගේ රෝගීන් කොහොම හරි දැඩි සත්කාර ඒකකයට තුළු කරන්න ඕන. නමුත් අපේ රටේ තියෙන තත්වය අනුව සමහර විට දවසක් දෙකක් යනතුරුත් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගන්න බැරි වෙනවා. ඒ මුළු කාලයම රෝහලේ සේවකයන් ඇම්බු බෑගය මිරිකමින් රෝගියාට කෘත්‍රිම ශවසනය ලබාදෙනවා.


දවසක් බඩා සේවය කරන වාට්ටුවට මේ විදිය රෝගියෙක් අරන් ආවා රෑ දෙගොඩහරි ජාමේ. කණිෂ්ට වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කළාට පස්සේ බඩාට ඇමතුමක් ආවේ රෝගියාව බලන්න. මේ මිනිහා හොඳටම බීලා. හුස්මේ තියෙන ඇල්කොහොල් වලටත් අපි වෙරි වෙන ගානටම බීලා. හුස්ම ගැනීමේ රිද්මය සවුත්තු නිසා අර කලින් කිව්ව විදියට බටයක් බඩා විසින් දමනු ලැබුවා. "බට දැම්ම නම් අයි.සී.යූ. හොයපන්" කියන එක වෛද්‍යවරුන් අතර ආප්තෝපදේශයක්. ඉතින් බඩාත් පැය කීපයක් තිස්සේ දැඩි සත්කාර ඒකක හෙව්වත් වැඩේ හරිගියේ නෑ. මේ අතර රෝගියාගේ යාළුවෙක් ලඟ ඉඳන් ඇම්බු බෑගය මිකිකනවා. මිනිහත් බැලූ බැල්මට ලෙඩාට වගේම බමර පදම්. දැඩි සත්කාර ඒකක සෙවීම පැය කීපයකට කල් තියපු බඩා ආයෙත් කාමරේට ගියේ පැයක් දෙකක් වත් නිදා ගන්න. 


පහු වෙනිදා උදේ වෝඩ් රවුන්ඩ් එක බඩා කරද්දී අර බටයක් දාගෙන බෑගය මිරිකන ලෙඩෙක් පේනතෙක් මානෙක වත් නෑ. ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී (ළග ඉන්න කෙනා උත්තර දෙයිනෙ!)  වාට්ටුවේ කොනක "ඉන්නවා" සදදයක් ඇහෙනව. බට දාපු එකා කතා කරන්නෙ කොහොමද බලන්න බඩා ඒ පැත්තට ගියා. රෝගියා බිම් පැදුරක ඉඳගෙන, බටේ ගලවන් අතේ තියාගෙන (සාමාන්‍යයෙන් මේ බටේ ගලවන්නේ විශෙෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ), ඇම්බු බෑගය මිරිකන්න දාපු එකා අල්ප දයන්න වගේ ගුලි වෙලා බිම බුදි. බඩා එනව දැක්කම අර රෝගියා කියනව "සර්, මේ බටේ මගේ කටේ දාල තිබුණ. මේක සර්ලගේ නිසා මම විසි නොකර තියා ගත්ත" කියල. ඔය පින්තූර දැක්කම පේනව ඇති නේද ඔය බටේ ගලවන එක කොච්චර අමාරුද කියල? ඔන්න අපේ රටේ ලෙඩ්ඩුන්ගේ හැටි!

Thursday, March 22, 2012

මව් ගුණ

පාසල් යන කාලේ බඩා ගේ කට හොඳ නැති බව ඔය කට්ටිය දන්නවනෙ. බඩා වගේම කට හොඳ නැති තවත් කීප දෙනෙක් හිටියා. ඉන් එක්කෙනෙක් තමා "තකී". තකී ජොලියට බර, ජීවිතේ ආතල් එකෙන්ම ගෙවන සොමිබර කොල්ලෙක්. තකී ගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච නිසාත්, ජීවිතේ බරක් නොදැනුණා වෙන්න පුළුවන්.

එක පැත්තකින් තකී එහෙම ඉන්දැද්දී සාමාන්‍ය පෙල පන්ති වල හිටපු විනය පාලක තමයි රත්නේ සර්. උස, මහත, මවිල් වැවිච්ච රත්නේ සර්ට හැමෝම බයයි. හැබැයි කාටවත් ගහනවා නම් බඩා දැකල නෑ. කොටින්ම රත්නෙ සර් අපිව බය කරන් හිටියේ පෙනුමිනුයි, කටිනුයි.

එකමත් එක දවසක, තකී, බඩා ගේ බයිට් එක බවට පත් වුණා. සාමාන්‍යයෙන් සොමියෙන් ඉන්න තකීට මළ පැනලා බඩා ගේ මව් පාර්ශවය සමග ලිංගික සම්බන්ධතාවයක විස්තරය දක්වන කුණුහරුපයක් මහා හඬින් බඩා වෙත එල්ල වුණා. අවාසනාවකට වගේ, මේ කතාව එහා පන්තියේ උගන්නපු රත්නේ සර්ට ඇහිලා. දැන් මිනිහ ඇවිත් අපේ පන්තිය ඇතුලේ. කොල්ලෝ මීයට පිම්බා වගේ. තව ටිකකින් තකියා අම්බානකට කන බවක් අපට පෙනී ගියා.

"කවුද ඒ කෑ ගැහුවේ? " රත්නේ සර් අහපි.

"මම". තකී උත්තර දුන්නේ බයෙන්.

"යකෝ, මව් ගුණ කියනව නම් අනික් පන්තියට ඇහෙන්නේ නැති වෙන්න හෙමින් කියාපිය" කියල තකීට ඔරවලා රත්නේ සර් හැරිල ගියා. අපි හොල්මන්ද පොල් කොල!

Wednesday, March 21, 2012

අද නෙවෙයි හෙට

බඩාගේ අධ්‍යයන කණ්ඩායමේ හිටියා කෙට්ටු, මිටි කොල්ලෙක්. සයිස් එක පොඩි වුණාට මූට තිබ්බේ ලොකු ලොකු දේවල්. නැව් ටෝක් දෙන්න රුසියා. ඒ වගෙම තමයි මේකා අර නර්ඩ් (nerd) කියල ඉංග්‍රීසියෙන් කියන ජාතියේ අති විශිෂ්ට බුද්ධිමතෙක්. පොරට අපි කිව්වේ පාප ලාල් කියලයි. කොලඹ වෛද්‍ය පීඨයේ වසර පහමාරට විභාග 100ක් විතර තියෙනවා. නමුත් මේ කිසිම විභාගයකය පාප ලාල් හෙවත් පාපයා සති දෙකකට වඩා පාඩම් කරන්නේ නෑ. ඉතිරි කාලේ ගත වෙන්නේ ක්‍රිකට් තරඟ නරඹමින්, කැරම් ගහමින් සහ බිලියර්ඩ් ගහමින්. ඒ වගේම පාපයාට පුදුමාකාර මතක ශක්තියක් තිබුණ. බලන ඕනම ක්‍රිකට් තරඟයක පන්දුවෙන් පන්දුව වෙච්ච දේ පොතක් දිග අරින්නා වගේ පාපයාට කියන්න පුළුවන්. ඉතින් මෙහෙම මතකයක් තියෙන නිසාත් වඩිපුර පාඩම් නොකරන නිසාත්, මැරීගෙන පාඩම් කරන් ආයට පාපයා කාමරයට එන එක මහ වදයක්. ඒ නිසාම පාප මිත්‍රයෙක් බව හැඟෙන්න කාඩ් එක පාප ලාල් බවට පත් වුණා. මගේ රූමා, නිගන්ටයා මින් කෙනෙක්. නිගන්ටයා කියන්නේ දවල් රූ පාඩම් කරන කෙනෙක්. නමුත් පාපයා බඩා එක්ක නිතර සෙට් වෙන්නට ඒම නිගන්ටයාට ප්‍රශ්නයක් වුණා. දවසක් නිගන්ටයා බඩාට කතා කරල කියනවා, බඩෝ, මම කියන එක දොරේ ලියපන් කියල. (බඩා පෝස්ටර් ඇඳීමට දක්ෂ නිසා ඔය වගේ වැඩ නිතරම ලැබෙනවා). දොරේ ලියපු එක දැකපු පාපයා, මාසයක් විතර කාමරේ පැත්තේ ආවේ නෑ.

"පාප ලාල් අද නෙවෙයි හෙට" කියල දොරේ ලියල තිබුණ.