Wednesday, August 15, 2012

ස්පෝර්ටි මදි

පසා කියල කියන්නේ බඩාලත් එක්ක උසස් පෙළ පන්ති වලට සහභාගී වෙච්ච කොලුවෙක්. කොළඹ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ පාසලකට තමයි පසා ගියේ. උසස් පෙළත් ඉහළින්ම සමත් වුණා. පසා එක විදියක අදහස් තියෙන එකෙක් බව අපි දන්නවා. ඒ නිසාම බඩාලා සෙට් එක කොළඹ වෛද්‍ය පීඨය තෝරා ගනිද්දී පසා තෝරා ගත්තේ පේරාදෙණිය. පසාට ඒ පැත්තේ ස්ත්‍රී සම්බන්ධයක් තිබුණා කියලත් කණින් කොණින් කියවුණා. ඔන්න කොහොම හරි පසා පේරාදෙණි ගියා! 

බඩාලාගේ සෙට් එකේ කොයි කොයි එකාත් ටෝකස් මරුවෝ කියල කියන්න ඕනේ නෑ නේ! පසා අපට දෙනවා පේරාදෙණියේ පුදුම හත, මල්පාර සහ කාළගුණය වගේ එව්ව ගැන ලොකු කතා. බඩා ඉතින් පසුපස භාගයෙනුත් මේවට හිනාවෙවී හිටියේ ඊට අවුරුද්දකට කලින් බඩා පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ (PGIS) රැකියාවක් කරල, පේරාදෙණිය ගැන හොඳටම දැනන් හිටපු නිසා. අපේ කාලයේ දී සරසවි ශිෂ්‍යයන්ට වාහන තිබුණේම නැති තරම්. තිබුණා නම් ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට විතරක්ම වගේ. පේරාදෙණියේදී මේ තත්ත්වය තවත් දරුණුයි!. ඉතින්, පොඩි කහපාට ස්පෝට්ස් කාර් එකක් තියෙන පසා කැපිලා පේන එක අහන්න දෙයක් නෙවෙයිනෙ! හැබැයි පසාත් පසාගේ තාත්තා වගේම කුණු ලෝබයා. (පසාගේ තාත්තගේ වැඩ වෙනම ලිපියකින්). කාර් එක බෝඩිමේ තියලා, බස් එකේ තමයි පසා යන්නෙ එන්නේ. 

උසස් පෙළ කරද්දී හීන්දෑරිව හිටපු පසා, තුන්වෙනි අවුරුද්ද වෙනකොට බඩදාලා මහත්වෙලා හෙම හිටියා. අඩි දහයක් ඇවිද්දත් මූ හති දානවා. මූ කාර් එකට නගින්නේ ගැරෙජ් එකේ වහලෙන් දාපු කඹයක එල්ලිල්ලා කියලයි පේරාදෙණියේ හිටපු අපේ යාළුවෝ නම් කිව්වේ. පසා තමන්ගේ කාර් එක විකුණන්න තීරණය කලේ ඔය අතරදී. එක එක ගැනුම් කාරයෝ ආවට පස්සේ ටිකක් නාකි පොරක් ඇවිල්ලා හොඳ ගාණකට වාහනේ ඉල්ලුවා. ඒත පසා ගේ ලෝබ කම නිසා ඒ ගාණට දෙන්න කැමති වෙලා නෑ. ටික දවසකට පස්සේ අපි පසා ගෙන් ඇහුව අර නාකි පොරට වාහනේ දුන්නේ නැත්තේ මොකද කියල. ධවල පර්වතයක් වගේ ඉන්න පසා කියනවා "ඌ මචං මේ වාහනේට ස්පෝර්ටි මදි වගේ නිසා මම දුන්නේ නෑ" කියල.

Wednesday, August 8, 2012

ඔට්ටුව

 බඩා හිතන්නේ සසා ගැන කට්ටියට මතක ඇති කියල. මේකත් සසාගේ තවත් වික්‍රමයක්. සසා එක්ක නිතරම කියුම් කියාගන්න කෙනෙක් තමයි කොටියා. සසාගේ කොටු සිද්ධිය අතේ මාට්ටු වුණාට පස්සේ සසා නිතරම බලන්නේ කොටියට ගුලියක් අඹරන්න. මොකද කොටු සිද්ධියේදී කට හඬ වෙනස් කරලා ඇමතුම දුන්නේ කොටියනෙ. 

දවසක් සසායි, කොටියයි කොටු පැනිල්ල ගැන වාදයක්. සසා නොදැන හිටියට කොටියත් කොටු ශිල්පයේ කෙළ පැමිනියෙක්. සසා නෝන්ඩි වේගෙන යද්දී එක පාරටම කියනවා "උඹ, උඹලයි බැචියෙක් එක්ක කාමරේක ඉඳන් එළියට ආවොත් මම බ්ලොම් එකේ ඉඳන් ෆැකල්ටියට හෙළුවෙන් දුවනවා" කියල. පොර වගේ මේ කතාව සසා කිව්වේ කොටියගේ වැඩ කණින් කොණින් බැචියන්ට ආරංචි වෙලා තිබුණු නිසා මේක සිද්ධ නොවෙන වැඩක් කියල හිතාගෙන. හැබැයි සසා දන්නේ නෑ කොටියා ලෝක අණ්ඩපාලයා බව. කොටියත් අභියෝගේ භාර ගත්තා. 

කොටියා අපේ බැචියක් වෙච්චි ටිකිරි ලියාට සිද්ධිය කියලා. ටිකිරි ලියා කොල්ලෙක් වගේ ඇඟ පත තියෙන, ක්‍රීඩා කරන එක විදියක චරිතයක්. ආ, මේ එක්කම ටිකිරි ලියාගේ වැඩකුත් කියල දාන්නම්. වකුගඩු රෝග වලදී වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මනින්න සහ ප්‍රෝටීන පිට වෙන ප්‍රමාණය මනින්න පැය 24ක් මුත්‍රා එකතු කරල කරන පරීක්ෂණයක් තියෙනවා (creatinine clearence & 24 hour urine protein excretion). ඔන්න ඔය ගැන අපට අපේ ගුරුතුමෙක් උගන්නනවා. ගුරුතුමා මුත්‍රා එකතු කරන්න ගන්න ගැලුම එහෙම අපිට පෙන්නුවා. මේ ගැලුමට තියෙන්නේ අඟල් 2-3 විතර පළල කටක්. ටිකිරි ලියා අහනවා "සර් දැන් ඔක්කොම පිරිමි අයට ඕකේ කට ඇතිද?" කියල. පන්තිය හිනා කනවා. වෘක්ක වේදය පිළිබඳ උගන්වන ගුරුතුමා හොල්මන්ද පොල්කොල. ඊලඟට ටිකිරි ලියා අහනවා "සර්, ගෑණු කට්ටියට ඔය ගැලුම එක්ක පුනීලෙකුත් දෙනවද?" කියල. අපි ආයෙත් බිම පෙරළෙමින් සිනා. ගුරුතුමා ආයෙත් හොල්මන්ද පොල් කොල. එහෙම කියලා මේ දෙන්නා හවස් යාමෙක වහල තිබුණු ටියුට් කාමරේක ඉඳන් සසාට පේන්න එළියට ඇවිල්ලා. දැන සසාට ඇප නෑ! 

සසා හෙළුවෙන් දිව්වද කියල නම් දන්නේ නෑ, ඒත් හෙළුවෙන් දුවපු "ශෝ මෑන්" කෙනෙක් ඇඟේ හැපිලා බය වෙච්ච පාරට ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙක්ට උණ ගැනිලා කියන ආරංචිය නම් අපට හම්බ වුණා.

Tuesday, August 7, 2012

බෞද්ධ පූසා

අපේ ගෙවල් බොහොමයක පුසෝ ඇති කරනවනෙ. බඩා මාමාත් තද "පූස් ලෝලියෙක්". කාලෙන් කාලෙට එක එක පූසෝ ගෙදර ඇති කරන්න බඩා මාමා උනන්දු වුණේ ඒ නිසා. 



ඔන්න ඔය පින්තූරේ ඉන් පූස් තඩියා තමයි අන්තිමට හිටියේ. බොහොම සංවර විදියට හැදුණ හුරතල් පූසෙක්. හැබැයි අකාලයේ මළා. බඩා මාමා පූස් ලෝලියෙක් හින්ද පූසෝ ගැන සංවාද වලට නිතර සහභාගී වෙනවා. අපේ ඇනාට පාසල් කාලයේ හිටපු පූසා ගැනයි මේ කතාව. 

ඇනා එක විදියක එකෙක් කියල දැන් කවුරුත් දන්නව ඇතිනේ. ඒකට ඇනාගේ පූසා! මස් මාළු කන්නේ නෑ. වට්ටක්කා ඇටයි, මුරුංගා පොතුයි තමයි මුගේ ජාතික ආහාරය. මස් මාළු කන්න ඕන පූසෙක් වට්ටක්කා ඇට කද්දී ඒකාගේ පෙණුම ගැන අටුවා ටීකා අවශ්‍ය නෑ නෙ. ඇනාගේ පූසා ගේ පෙනුම තිබුණේ බොහොම අසතුටුදායක මට්ටමක. මේ ගැන තැන් තැන් වලින් ඇහලා බැරිම තැන වෙට් (veterinary surgeon) කෙනෙක් ගාවට ඇනා ගියේ උත්තරයක් ගන්න. පූස් කෑම ටිකක් පූසාට දෙන්න වෙට් නියම කරල තියෙනවා.



පූසාට අවශ්‍ය විටමින් වර්ග එහෙම දෙන්න අවශ්‍ය නිසා ඇනා යූනියන් කෙමිස්ට් එකෙන් "විස්කස් (whiskas)" කියල අඳුන්වන පූස් කෑම ටින් එකක් රුපියල් 175කට අරන් තිබුණා. 1993 දී විතර රුපියල් 175ක් කියන්නේ මහ විශාල මුදලක්. විස්කස් වල තියෙන්නේ මාළු වලට විටමින් සහ වෙනත් පෝෂක දාලා හදපු කුට්ටි ගහපු තලපයක්. අවාසනාවක මහත කියන්නේඅ මස් මාළු නොකන ඇනාගේ පූසා "විස්කස්" උයල දුන්නට කන්නෙත් නෑලු! නප්පියට තද වෙච්ච ඇනාගේ තාත්තා ඇනාට බණිනවලු, "පූස කන්නෙ නැත්නම්, උඹම කාපිය, අපරාදේ සල්ලි" කියල!