Thursday, July 16, 2020

ඩබල් එස් | SS


ඔන්න මේ කතාව වෙන්නේ අපේ පන්තියට පන්ති දෙකක් එහායින්. අට වෙනි වසරේ විතර වෙන්න ඕන. කතා නායකයා ට "ඩබල් එස්" කියමු. ඩබල් එස් කියන්නේ ගෙදර අම්බානකටයි තව ටිකකටයි තද විනයක් යටතේ හැදිලා, ඉස්කෝලේ පිස්සු කෙලලා ඒ පීඩනය පිට කර ගන්න බුවෙක්.
ඩබල් එස් මොකක් හරි එකකට පත කුණුහරුපයක් දෙසා බානවා. උගේ කරුමෙට මේක එහා පන්තියේ උගන්න උගන්න හිටපු ජිල් කොටාට ඇහෙනවා. ජිල් කොටා ඔය වගේ සීන් එකක් අහු වුණාම උඩ පැන පැන තලන ගුරු "තුමෙක්". ජිල් කොටා පවනට බඳු වේගයෙන් පන්තිය ඇතුලේ. ඒ මදිවට මිනිහ ඩබල් එස් ගේ කට හඬත් හොඳට දන්නවා. මොකද මූ ඒ තරම්ම පිස්සු කේස් එකක් නිසා.
ජිල් කොටා ඩබල් එස් ගාවට ඇවිත් "කවුදෝයි කුණුහරුප කියන්නේ?" කියල අත දිගෑරලා කණට ගැහුවා. අත කණේ වදිනකොටම වගේ, මුගේ ඇස් උඩ ගිහින් වෙවුලලා, බිම වැටිලා ගැහෙන්න ගත්ත. කටින් පෙණත් දානවා. ජිල් කොටාගේ ඇඟෙන් දාඩිය ගලන්නේ පාරේ තඩි ටැප් ලයින් එකක් කැඩුණ වගේ. අපිත් හොල්මන්ද පොල් කොල. ඒ මදිවට බය වෙලා. වලිප්පුව හැදුණු එකෙක් ජීවිතේ ඉස් ඉස්සෙල්ලම දැක්කේ එදා. "සික් රූම් ගෙනිහින් බලමු මූට මොකද වුනේ කියල" අපි කතා වුණා. අපි ඩබල් එසා ගාවට එන කොටත් ජිල් කොටා ආලෝකයේ ප්රවේගයෙන් මාරු වෙලා ගිහින්.
අපි ඩබල් එසාව උස්සගෙන සික් රූම් එකට ගෙනියන්න ගත්තා. මගක් දුර උස්සන් යද්දී මූ එක ඇහැක් ඇරලා අහනවා "අඩෝ, ජිල් කොටා ගියාද?" කියල. මූ උස්සගෙන ගිය කොල්ලො දෙන්න "තොගෙ අම්මට . . ." කියල ඌව එතනම බිම අතෑරලා ආවාලු.

Friday, December 1, 2017

හර්කියුලීස් ගෙ ජුන්ඩා

ඔන්න ආයේ ටික දවසකට පස්සේ බඩා කතාවක් අරන් ආවා. මේ කතාව බඩාට කිව්වේ අනුරාධපුරේ පැත්තේ ඉන්න විෂබීජයක්. අපේ විෂබීජය කතා කියන්න රුසියා. පාසල් ගියේ කීර්තිමත්, කතෝලික පාසලකට. ඔන්න ඉතින් අපේ විෂ බීජය උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ක්‍රීඩා උත්සවය ආවලු. විෂබීජයේ යාළුවෝ සෙට් එක අන්තිම අඩියේ එවුන් සෙට් එකක්. මේ අතර නියම ආතල් සපයන කොල්ලෙක් හිටියලු. ඌට පි "කොකා" කියමු.

ක්‍රීඩා උත්සවයේශී අර පහන දල්වන්න තියෙනවනේ. පහන පැත්තකින් හර්කියුලීස් යෝධයා කවපෙත්ත අරන් නැවිලා ඉන්න රූපය හදන්න තීරණය වුණාලු. මේක හදන්නේ තහඩු වලින්. ඊට පස්සේ ගෝල්ඩ් පේන්ට් එකක් ගාන්නයි ලැහැස්තිය. (ඔන්න ඔය පහළ පින්තූරේ ඉන්නේ හර්කියුලීස් ගොයියා).


ඔක්කොම තහඩු ටික ගෙනැල්ල කට්ටිය රූපේ හදල ඉවර කරල ගෙවල් වලට ගියාලු. . .

පහු වෙනිදා පියතුමා ප්‍රධාන අමුත්තා එක්ක ඇවිල්ල රූප නිරාවරණය කරණ කොට තමයි සංගෙඩිය දැක්කේ. හර්කියුලිස්ගේ ජුන්ඩා තියෙන තහඩු කෑල්ල මිසිං. පියතුමා මෙහෙන් පුපුරනව. ආරාධිත අමුත්තිය පොළොව පළාගෙන යන්න වගේ. වහාම සොයා බැලීමේ රහස් මෙහෙයුමක් දියත් වුණත් නැතිවෙච්ච තහඩු කෑල්ල කොහෙවත් නෑලු.

සතියකට පස්සේ කොකා ඉස්කෝලේ මේස ලාච්චුවෙන් එළියට අරන් හර්කියුලීස් ගේ ජුන්ඩා පෙන්නුවලු.

Sunday, October 23, 2016

පරංගි

පරංගි ගැන මේ කතාව මතක් වුනේ කතන්දරකාරයාගේ පෝස්ටුවක් දැකීමෙන්. පරංගි කියලා හඳුන්වන්නේ පෘතුගීසීන්ව. මේ වචනය හින්දියේ එන "ෆිරංගි" කියන වචනයෙන් බිඳී ආ එකක් බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර කතන්දරගේ පෝස්ටුවේ කොමෙන්ටු හැටියට ඇති.

පරංගි කියල හඳුවන හමේ රෝගයකුත් තියෙනවා. මේ රෝගය ස්පයිරොකීට් නම් බැක්ටීරියා වර්ගයෙන් හටගන්නේ. තද බද වූ සහ අපිරිසිඳු ප්‍රදේශ ස්ථාන වල තමයි මේ රෝගය බහුල. මේ රෝගයට දැන් කියන්නේ "yaws / pinta" කියල. වැඩිපුරම තියෙන්නේ අප්‍රිකානු රටවල සහ ඉන්දියාවේ. ලංකාවේත් 19 වෙනි ශතවර්ශය වෙන තෙක් තිබුණු බවට සාක්ෂි ඇතත් දැන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.




මේ කතාවේ වෙන්නේ 2000 ගණන් වල මුල. ඉංගිරිසි මහාචාර්යතුමෙක් (සමේ රෝග පිළිබඳව) ඇවිත් දේශනයක් කරනවා. මාතෘකාව ස්පයිරොකීට සමේ රෝගයන්. සමේ රෝග සහ ප්‍රතිකාර ගැන මහාචාර්යතුමා සිත් ගන්නා දේශනයක් කළා. අපේ මහාචාර්යවරුන්ගෙන් ඒ ගාණට ලස්සනට දේශනයක් කරන්න පුළුවන් කිහිප දෙනෙක්ට පමණයි.

"මේ සමේ රෝග දැනට ලෝකයේ පවතින්නේ අප්‍රිකානු සහ ආසියානු කලාප වල අපිරිසිඳු භාවය නිසා" බවට ප්‍රකාශයක් එතුමා විසින් නිකුත් කරනු ලැබුවා. බඩාගේ කණ්ඩායමේ හිටපු පොඩි විජේට මේ කතාව ඇල්ලුවේ නැති බව කියන්න ඕන. විජේ ඉතිහාසය ගැන සෑහෙන්න දන්න මනුස්සයෙක්. ප්‍රධාන ධාරාවේ ඉතිහාසය නැතුව විකල්ප ඉතිහාස මූලාශ්‍ර ගැනත් විජේ ගේ දැනුම අන්තිම ඉහළයි.

දේශනය අවසානයේ ප්‍රශ්න අහන වාරය උදා වුණා. පොඩි විජේ ප්‍රශ්නය යොමු කලා. "ඔබතුමා කියනවා මේ රෝගය තුරන් කරන්න බැරි ආසියානු සහ අප්‍රිකානු කලාප වල අපිරිසිඳු කම නිසා කියල. නමුත් මේ රෝගය අපේ කලාප වලට හඳුන්වා දුන්නේ ආක්‍රමණික්යන් වන ඔබේ මුතුන්මිත්තන් විසින්. ඔවුන් මේ රෝගය අරන් නො ආවා නම් මේ වෙනකොට ඔය රෝගය අපේ කලාපයේ නෑ".

මහාචාර්යතුමා අරින්නෙත් නෑ. "ඔබේ මූලාශ්‍ර මොනවද?"

පොඩි විජේ ආසම කෑල්ල මේක තමයි. "අවුරුදු 4000ක් පරණ ආයුර්වේද පොත් වල මේක සඳ
න් වෙන්නේ බටහිරින් එන වෙළෙදුන්ගේ රෝගයක් විදියට මිසක් දේශීය රෝගයක් විදියට නෙවෙයි. ඒ මදිවට මේ රෝගයට සිංහලෙන් කියන්නේ "පරංගි", ඒ කියන්නේ "පෘතුගීසියා / විදේශිකයා" කියල. ඒ නමෙනුත් මේක එන්නේ කොහෙන්ද කියන එක ගැන පැහැදිලියි"

මහාචාර්යතුමාගේ මූණ රතු වෙලා. "මට ඔබ කියන දේ පිළිගන්න බෑ". පොඩි විජේ කියනවා "පිළිගන්න කියන්නේ නෑ. ඒත් ඔය විදියටම තමයි ඔබේ මුතු
න් මිත්තෝ රතු ඉන්දියානුවන්ට සහ ඇබොරිජිනීලට වසූරිය සහ පැපොල ලබා දීලා ඒ ශිෂ්ටාචාර අවසන් කලේ. වාසනාවකට අපේ කලාපය වසූරිය තිබුණු කලාපයක් වුණේ"

මහාචාර්යතුමාට දාඩිය දාලා. ප්‍රශ්න අහන වෙලාව එතනින්ම අවසන් කරන්න මූලාසනාරූඪ ලාංකික මහාචාර්යතුමා පියවර ගත්තා. සුද්දාව පච කරපු එකට පොඩි විජේට අවවාද කරන්න තරම් අපේ ඇතැම් තුමාලා පරගැතිභාවයේ පතුලටම කිමිදිලා හිටි බවත් නොකියාම බෑ. 

(විජේ කිව්වේ ඇත්තද බොරුද කියල කියන්න නම් බඩා දන්නේ නෑ)

Friday, September 9, 2016

ගීත දහසය

ඉයන් ගේ ගුහාවේ ගීත 16 තරඟය දැන ගන්න ලැබුණේ දැන්. ඔන්න බඩාම් ආමාගේ ප්‍රියතම සින්දු 16. සින්දුවේ මාතෘකාවට කෙටුවම ගී රස විනිසේ මේ ගැන කරපු රස විනිසක් බලා ගන්න පුළුවන් වෙයි.

1. හදේ කොතැනක හෝ හිඳී ඔබ

හැමදාමත් මතකෙට ඇවිත් කරදර කරන ඒ අතීතයේ අපූරු මතකසටහන්, වදයක් වෙන වෙලාවල් නැතුවා නොවෙයි. ඒ වගේ හද දවන මතකයන් සමග ජීවත් වෙන විට, සිතට නැගෙන දේ හරියටම නැගුණ ගීතයක් මේක.




2. මේ ලොව යම් කිසිවකු
මේ ගීතය ගැන "කූඹියා" (දැන් ඔහු කොහේ ඉන්නවද දන්නේ නෑ) කිව්වේ, "මේක ඇහෙන කොට මට දුක හිතෙනවා, සතුටු ඉතෙනවා, බය හිතෙනවා සහ මහා පාළු හැඟීමක් එනවා" කියල්යි. මේ ගීතය අඳුන්වන්න වෙනත් කිසිම හැඳින්වීමක් අවශ්‍ය නෑ.





3. සිනිදු සුදු මුතු තලාවේ

ලංකා සිංදු වංශ කතාවේ මුදුන් මල්කඩ වගේ ගීතය තමයි මේ. සාගරික සිම්ෆනියක් කියලත් කියනවා. අපේ රටේ පළමුවෙනි "ක්ලැසික්" එක.

 





4. උදුම්බරා

ඇල්විටිගල මාස්ටර්ගේ සිනිදු සුදු මුතු තලාවට කේමදාස මාස්ටර්ගෙන් ලැබුණු උත්තරය වගේ. මූදුකරේ ගැහැනියකගේ කන්දුල, සින්හව, වියරුව සහ තනිකම මේ ගීතයෙන් පැහැදිලි කෙරෙනවා.



5. නීල අහසේ සැඳෑ වළා

කීර්ති පැස්කුවල්ගේ ආදර්ණීය ගීතයක්. හවස්යාමයක ඇහෙන කොට ප්‍රේමණීය සිතුවිලි වලින් හිත පුරවනවා


6. සරා සඳේ සිනා සේලේ

ජෝතිගේ අමරණීය ගීයක්. බොක්කටම වදින සින්දුවක්.



7. හිරු දැවී - සඳු ගිලී

අවසඳ නාට්‍යයේ සින්දුවක්. අමරදේව - නන්දා මාලිනී ගයපු අන්තිම යුග ගීතය. මේ ගීතය තුළ මුළු නාට්‍යයේම කථාන්තරය කැටි වෙලා තියෙනවා



8. පහන් කන්ද මුල අඳුරුයි

අනික් අය හිනස්සන මිනිස්සුන්ගේ හිත පාමුල තියෙන අඳුර දන්නේ ටික දෙනයි. හාත් පස එළිය පතුරුවන පහන් කඳ මුල තියෙන්නේ බියකරු අන්ධකාරයමයි.




9. කුණ්ඩුමනී

ෆ්‍රෙඩී - ප්‍රේමකීර්ති - විකටර් සංයෝගයෙන්, භූපාල් රාගයෙන් කෙරුණු ගින්දර වගේ සින්දුවක්



10. සුදු නෙළුම කෝ

මල් කෙල්ලකගේ ශෝකාන්තය. රත්න ශ්‍රී -  අමරදේව එකතුවක්


11. වර්ණ

කසුන් කල්හාර ඇතුළු පිරිසගේ මා කැමතිම ගීතය





12. රැඩිකල් ප්‍රේමයේ

ප්‍රේමයේ රැඩිකල් සංගීතමය වෙනස



13. සුළං කපොල්ලේ

අසම්මත ආදරයකට කෙරෙන ඇරයුමක් ගැන ලියවිච්ච බොක්කට වදින සින්දුවක්



14. ලබන්න බැරි සුව සහනය

මිල්ටන් ගේ බූට් සින්දුවක්.



15. මාගේ මතකේ ඔබේ රුව

අහන්න, නටන්න, මනෝ ගහන්න ඔන එකකට ඔට්ටු සින්දුවක්.



16. මීන නුවන් යුග

දුර ඈත රටක ප්‍රේමය වෙනුවෙන් වේරලියැද්දගෙන් ගීතයක්


ඔන්න බඩා මාමාගේ තේරීම්!

Thursday, May 12, 2016

සෙම අදින ඩොක්ට

සාමාන්‍යයෙන් රෝහලක් වගේ එකකදී සියළුම දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන වෙලාවල් අඩුයි. විවිධ ශ්‍රේණි අතර තියෙන හිත් නොහොඳකම් විටින් විට මතු වෙනවා. ලංකාව වගේ රෝහල් කාර්ය මණ්ඩලය අඩු රටවල් වල මේ තත්වය තවත් උග්‍රයි. බොහොම වෙලාවට මේ ගැටුම එන්නේ වැටුප් පරිමාණය එක්ක. යම් කිසි හේතුවකට වැටුප වැඩිනම් රජයේ සේවයේ ඉහළින් ඉන්නේ කියන මතවාදයක් හෝ සම්ප්‍රදායක් ඇති වෙලා තියෙනවා. මේ නිසා වැටුප් පරිමාණ අතිපිහිත වෙන ශ්‍රේණි අතර ගැටුම් බහුලයි.

මේ විදිය ගැටුම් බහුල තැනක් තමයි හෙදි පාලිකාවන් (nursing matron) සහ ශ්‍රේණි වෛද්‍යවරුන් අතර. සාමාන්‍යයෙන් හෙදි පාලිකාව කියන්නේ ඉහළම නිළයක්. වැටුප් සමහර වෛද්‍යවරුන්ටත් වඩා වැඩියි. හැබැයි, වෛද්‍යවරුන්ට ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන් නිසාත්, හෙද පාලිකාව ඉන්නේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි යටතේ නිසාත්, කාරණය එතරම් පැහැදිලි නෑ.

මේ විදියට තවත් ගැටුම් බහුල ශ්‍රේණි දෙකක් තමයි හෙදියන් සහ භෞත චිකිත්සකයන් (physiotherapist) අතර. භෞත චිකිත්සකයන් කියන්නෙ රෝගී සත්කාරයට අත්‍යවශ්‍ය සේවාවක්. අත පය වල මාංශපේශි වල සවිමත් භාවය පවත්වා ගැන්මේ සිට ශ්වසන පද්ධතිය පිරිසිඳුව තබා ගැන්මට අවශ්‍ය ව්‍යායාම කියාදීමත් ඔවුන් විසින් සිදු කෙරෙනවා. බඩා වැඩකරපු රෝහලක හිටියා භෞතචිකිත්ස්කයෙක්, තමන් "වෛද්‍ය" විදියට හඳුන්වා ගන්න. බඩාට ලැබුණ ආරංචි හැටියට හීනියට ලෙඩ්ඩු බැලිල්ලකුත් කරනවලු. මනුස්සයට මුදල් එහෙමත් යහමින් තියෙනවා වෙන්න ඕන. වෛද්‍යවරුන් මේ ගැන නොදැන හිටියට හෙදියන් මේ ගැන ගාණට දැනගෙන හිටියා. ඒ අය බලන් හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයෙන්.

ඔන්න එක දවසක් මේ මනුස්සයා වාට්ටුවට ඇවිත් පළවෙනි ලෙඩාට ෆිසියෝ පාර දීලා එහෙම දිගටම වැඩ කරන් යනවා. වාට්ටුවේ අන්තිම කෙළවරේ වගේ ලෙඩා ගාවට යනකොට රෝගියෙක් ඇවිත් අහනවා "අර දොස්තර මහත්තයාව හමබ වෙන්න පුළුවන් කොහේදිද?" කියල. රෝගියා මේ කතාව අහන්නෙත් නියම කටර් එකකින්. නර්ස් නෝනා වාට්ටුවටම ඇහෙන්න කියනවා "ආ ඒ බේත් දෙන ඩොක්ට නෙවීනේ, එයා සෙම අදින ඩොක්ට" කියල.

අපේ ෆිසියෝ මිත්‍රයා සද්ද නැතුව මාරු වෙනවා!

Saturday, March 12, 2016

චූං පාන්

බඩා මාමා ලඟදී දැක්කා මූණු පොතේ සමූහයක්, "චූං පාන් විරෝධීන්ගේ සංගමය" කියල. හැබැයි ඒ සමූහයෙන් දොස් නගලා තුබුණේ චූං පාන් වාහන ඉතා වේගයෙන් ගමන් කිරීම ගැන. නමුත් මේ සිද්ධි ඊට වඩා ටිකක් වෙනස්. අම්පහ පැත්තේ ඉන්න බඩා මාමාගේ යාළුවෙක්ගේ ගෙදර තියෙන්නේ පටු පාරක අන්තිම කොණේ. හිමිදිරි පාන්දරම එන චූං පාන් මල්ලී, ත්‍රී වීලරය නතර කරන් පාන් බෙදන්නේ මිත්‍රයාගේ ගේ ඉස්සරහ ඉඳන්. අපි මේ මිත්‍රයට චරිත් කියල කියමු. චරිත් මහ ඇඟ හොරා. දවල් වෙනකම් නිදියන්නයි හිත. ඒ මදිවට චූං පාන් මල්ලී අර චූං පාන් හෝන් එක, ඇම්ප්ලිෆයරයක් හරහා බෆල් දෙකකට හයි කරලා, මර උදෙන් ඇවිත් පාන් බෙදනවා. මළ පැනපු චරිත දවස් කීපයක්ම චූං පාන් මල්ලීට කියලා ඔය හෝන් එකේ සද්දේ අඩු කර ගන්න කියලා. හැබැයි නහයට අහන්නේ නැති චූං පාන් මල්ලී එක දවක් චරිත්ට කියනවා "මේ මහත්තයා, ලෙඩ දා ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල. චරිත්ගේ කටුව පැනලා තියෙන්නේ ඔතනදී. මොකුත් වෙනසක් නොපෙන්නපු චරිත් ගේ ඇතුලට ගිහින් තඩි බාල්දියකින් මොනවද චූං පාන් එකට ගැහුවා. මුළු පළාතම අසූචි ගඳින් පිරිලා ගියේ මොහොතින්. චූං පාන් මල්ලීට ගහලා මොකුත් කරන්න බැරි බව දන්න චරියා කලේ බිස්නස් නවත්තන්න චූං පාන් එකට ගූ ගහපු එක. අර චූං පාන් මල්ලී ආයේ ආත්මෙකට ඒ ත්‍රීවීල් එකෙන් කෑම විකුණන්න කියලද? චරියා ප්ලෑන් කරලම දවස් කීපයක් තිස්සේ බෑග් එකකට බොක එකතු කරලා, අන්තිමට බාල්දියකට දාලා, ඒකට මුත්‍රා සහ වතුර දාලා, දියාරු වෙන්න හදලා තමයි වැඩේ දුන්නේ. චූං පාන් මල්ලී ප්‍රදේශයෙන් එර්දි වුණා කියලයි ආරංචිය.

චූං පාන් එන්න කලින් වගේම, දැනුත් තියෙන වසංගතයක් තමයි අර ලොකු සද්දෙට දුවන මෝටර් බයිසිකල්. සයිලන්සරයේ මොකක් හෝ වෙනස්කමක් කළාම කන් බිහිරි වෙන තරම් ලොකු සද්දයක් එනවා. සද්දෙ දාන බයිසිකල් යන්නෙත් ඉගිල්ලිලා වගෙ. දෙහිවල පැත්තේ හිටපු බඩාගේ මිත්‍රයාගේ ගේ තියෙන්නේ පටු මගක. මේ පටුමග මැද හරියෙන් අංශක 120ක විතර වංගුවක් තියෙනවා. වේගයෙන් එන බයිසිකලයක වේගය තරමක් අඩු කරන් වංගුව ගන්න පුළුවන්. සාමාන්යෙන් 90 ගණන් වල මුල් කාලයේ මේ පාරවල් ඉතාම පාළුයි. ඔය පාරේ ඇරලා යන, සද්දේ දාන මෝටර් සයිකල් කරුවෙක් හිටියා. මේ වංගුවේ ඇතුළු දාරේ ගෙදර හිටියේ අවුරුදු 70 විතර සීයා කෙනෙක්. මේ මනුස්සයා නිතරම අපස්මාරය හැදෙන අවුරුදු 12ක විතර මන්ද මානසික දරුවෙක් බලා ගන්නවා. අර
මෝටර් සයිකලේ සද්දේ කොතරම්ද කියනව නම්, ඒකට මේ ළමයට අපස්මාර සන්නිය (හෙවත් ෆිට්) හැදෙනවා. මේ මහළු මනුස්සයා බයිසිකල්කරුගෙන් ඉල්ලලා තියෙනවා, දරුවාගේ තත්ත්වය නිසා වැඩිපුර ශබ්ද කරන්න එපාය කියලත්. බයිසිකල්කරු මේක කිව්වම සීයට තගක් දාලා මාරු වෙලා. සීයාත් එසේ මෙසේ එකෙක් නෙවෙයි. මෝටර් සයිකල් කාරයා යනකම් ඉඳලා වංගුවේ නොපෙනෙන පැත්තෙන් පාර හරහට ලොකු කොටයක් දාපු සීයා, වංගුවේ ඉස්සරහ පැත්තෙන් බලන් ඉන්නවා. වෙනත් බයිසිකල් කරුවන් ආවොත් ඔවුන්ට අනතුරු හඟවන්න. වෙනදා වගේම පියාඹගෙන ආපු අදාල පුද්ගලයා කොටයෙ හැපී කරණම් කීපයක් ගහලා, තාප්පෙකටත් උඩින් විසිවෙලා ගියාට පස්සේ සීයා හෙමින්ම කොටේ උස්සගෙන ගිහින් වෙන තැනකට දාලා. අත්, කකුල් කඩා ගත්තු බයිසිකල් කරුවා සෑහෙන කාලයක් දුක් වින්දලු.

Monday, December 28, 2015

පටයා

බ්‍රා ගැන කතාව නැගලා යන එකේ පරණ කතාවක් උඩට ඇද්දා!

බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද මේ ටියුෂන් ගුරුතුමී හරිම වසයි. පන්තියේ කට්ටිය ඔක්කොම හිටියේ මීයට පිම්බා වගේ සීරුවෙන්. හැබැයි පැය දෙකහමාරක් හිර කරන් හිටපු පීඩනය පන්තිය ඉවර වෙච්ච ගමන් එළියට දැම්මේ මොකක් හරි පිස්සුවක් කෙළලා. 

මේ පන්තියට බඩා එක්ක තවත් චරිත කීපයක් සහභාගි වුණා. අපේ සුපුරුදු ඇනා ඉන් කෙනෙක්. මීට අමතරව ක්‍රිෂා, අර්ධෙ, චීටා (ඔව්, ඔව්, මේකේ කොමෙන්ට් කරන චීට තමයි) එහෙමත් සහභාගි වුණා. ඒ අතර ජනාධිපති විද්‍යාලෙන් ආපු පොරක් හිටියා. මිනිහා කරන්නේ අවස්ථාව බලල "වාක්‍යයක්" කියන එක. අවස්ථාවේ හැටියට කියන එක කරමල් කැඩෙන්නම කියන නිසා පොරට අපි කිව්වේ "වාක්‍යනාදන්" කියල. හැබැයි මේ අතර හිටපු "චරිතෙ" තමයි ගමා. ගමා කියන්නේ පිස්සු ආකරයක්, ෆන් උල්පතක්. ගමා එක්ක පැය බාගයක් ගෙව්වොත්, දවසකට ඇති වෙන ආතල් එකක් ගන්න පුළුවන්. 

සුපුරුදු විදියට පන්තිය ඇරිලා ගෙදර එන්න කෝට්ටේ හන්දියට එන්න අපි ලෑස්ති වුණා. ලඟ ගෙදරක වලක වනලා තිබුණ කාන්තා තිසර පටක් ගමා හොරෙන්ම උස්සනවා දැක්කේ බඩා විතරයි. ඒ මදිවට හෙමින්ම අර තිසර පටේ ඇනා ගේ පාසල් බාගය ඇතුලට ඔබන්නත් ගමා සමත් වුණා. මොකුත් නොවුනා වගේ අපි ගෙදර ගියා. ගෙදර ගියාම අපි පාසල් බෑගය අස් කරන්නේ කලාතුරකින්. මොකද අපි ඒ තරමටම උනන්දු ශිෂ්‍යයින් නිසා! දැන් පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරයෙක් වුණත් ඇනාත් ඒ කාලේ ඔය විදියමයි. පහු වෙනිදා ඇනා උදේම ආපන ශාලාවට ආවේ කෑම කන්න. ඇනායි, ගමායි ඉන්නේ එක ලඟ ගෙවල් දෙකක. ඒ හින්ද දෙන්නම එන්නෙත් එකට. දෙන්න ගජ මිත්‍රයෝ. ඒ හින්දා ගමා පුටු දෙකක් අල්ලන් ඉන්දැද්දී අත හෝදන් එන්න ඇනා ගියේ ගමාට බෑගය බාර දීල. ආයෙත් තමන්ගේ පුටුවට එන ඇනා ගෙන් ගමා රසායන විද්‍යා පොත ඉල්ලුවේ පන්තියේ නින්ද ගිය නිසා සටහන ලියා ගන්න බැරි වුණා කියල. ඇනා බෑගය ඇරිය ගමන් තිබ්බ කළු පාට රෙදි ගුලිය ඇදල ගත්තු ගමා, "මෙන්න යකෝ ඇනා වැල් රොබරි දාලා" කියල තිසර පටේ උඩ වීසි කරාපි! ඇනාගේ අවාසනාවට තිසර පටේ උඩගිහින් විදුලි පංකාවේ දැවටුණා. ඒ විදුලි පංකාව කොහොමත් කැරකෙන්නේ හිමින්. ඒ හින්ද ඒකේ එල්ලිලා තියෙන්නේ මොකද්ද කියල හැමෝටම පේනවා. ඒ මදිවට ගුරු මණ්ඩලය කෑම ගන්නෙත් ආපන ශාලාවේ වෙනම කොටසක. ඒ අයටත් මේ සංගෙඩිය නියමෙට පේනවා. සමහර ගුරුතුමීන් අතින් කටවල් වහගෙන හිනාවෙනවා. ඇනාට "තන පටයා" කියල කාඩ් එකක් වැටුනේ එදා ඉඳන්. පස්සේ තන හැලිලා නිකම්ම "පටයා" වුණා.