Sunday, January 12, 2014

Sperm bank

බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්‍රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ හැකියාව නැහැ. සමහර අයගේ ජානමය විකෘති බහුලයි. ඔය අතරින් දෙවැනි කණ්ඩායමට නළ දරුවන් (in vitro fertilization) ලබා ගැනීමට හැකියාව තියෙනවා. නළ දරුවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිකාර ක්‍රමය. නමුත් පළමු හා තුන්වන කණ්ඩායම් වලට ඒ අවස්ථාවත් නැහැ. මේ වගේ වෙලාවට කරන්න වෙන්නේ වෙන පිරිමියෙක්ගේ ශුක්‍රාණු පාවිච්චි කරලා (sperm donation) දරුවකු ලබා ගැනීම. 

1999 වගේ කාලේ මේ කියපු ක්‍රමය ලංකාවට ආගන්තුක එකක්. මොකද එහෙම කරන්න නම් ශුක්‍රාණු ගබඩා කර තියා ගන්නා ශුක්‍රාණු බැංකු ඇති වී තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගබඩා කරන්නේ ද්‍රව නයිට්‍රජන් ඇසුරේ. ඒ නිසා එවන් බැංකුවක් පවත්වා ගැනීම සෙල්ලමක් නෙවෙයි. ශුක්‍රාණු බැංකු පාවිච්චි වෙන තව අවස්ථාවක් තමයි ඊවිතය බේරා ගැනීම සඳහා ශුක්‍රාණු විනාශ විය හැකි ඖෂධ දෙන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක (පිළිකා සහ ඇතැම් වකුගඩු රෝග මේකට උදාහරණ ) ප්‍රතිකාරයට කලින් අනාගතය උදෙසා ගබඩා කර තැබීමට. ශුක්‍රාණු දායකයෙක් ගේ නම කොයි වෙලාවකවත් අනික් අයට හෙළි කරන්නේ නැහැ. උස, කෙස් සහ ඇස් වල පාට, සහ බුද්ධි ඵලය වගේ විස්තර ලබා දීමෙන් තෝරා ගැනීමකට ඉඩ ලැබෙනවා.

1999 වගේ කාලෙක එක්තරා නාරි හා ප්‍රසව වේදය පිලිබඳ වෛද්යතුමෙක් ශුක්‍රාණු බැංකුවක් පටන් ගන්න තීරණය කලා. දැන් මේකට දායකයොත් හොයා ගන්න ඕන. ඒ විද්‍යතුමා එවකට සායනික පුහුණුවට ආපු බඩා සහ කණ්ඩායමට ශුක්‍රාණු දායකයන් වෙන්න යෝජනා කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බුද්ධි ඵලය ඉහළයි කියල පිළිගන්නා නිසා දායකයන් හැටියට ඔවුන්ට තියෙන්න ඉල්ලුමත් බොහොම වැඩියි. ඒකට කණ්ඩායමෙන් ආවේ එක එක ප්‍රතිචාර.

සාමාන්යයෙන් ශුකාණු ලබා ගන්නේ ස්වයංවින්දනයේ යෙදීමෙන්. තැන්පත් කල ශුක්‍රාණු වලින් ගැබ් ගන්වීමක් කරන්නේ artificial insemination කියන ක්‍රමයෙන්. අපේ කණ්ඩායමේ හිටපු මුස්ලිම් සිසුවෙක් කියනවා "සර්, අපේ ආගමට අනුව ස්වයංවින්දනයේ යෙදීම තහනම්. මේක කරනවා නම් coitus interruptus ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියල. මේකා නොකියා ඉල්ලන්නේ ශුක්‍රාණු දෙන්න නම් බිරිඳකුත් හොයලම දෙන්න කියල! කොටියා කියන්නේ ඕක බැංකුවෙන් කරන්න ඕන නෑ මං ගාවට එව්වොත් ස්වභාවික ක්‍රමයටම (natural insemination) කරල දෙන්නම් කියල. සමනා කියන්නේ උගේ ගති ළමයට ගියොත් දායකයා හොයා ගන්න එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ, එතකොට මේ ගෑණු වන්දි ඉල්ලන් ඒවි කියල. ඒ ඔක්කොටම උඩින්, ශුක්‍රාණු බැංකු කරන වෛද්‍යතුමාට බඩා නම දැම්මා "ධාතුසේන" කියල. එදා ඉඳන් සහෝදර විශේෂඥ වෛද්‍යවරු පවා එතුමාට කතා කරනෙන "ධාතුසේන" කියලමයි.

ප.ලි.ලෝකේ අදක්ෂම
බැංකු හොරු ශුක්‍රාණු බැංකුවක් බිඳපු කතාවත් යන්තම් මතක් වෙනවා!

ප.ප.ලි. - දන්නෙම නැතුව කතා 50ක්ම ලියලා!

Friday, January 10, 2014

අතේ ද? කකුලෙ ද?

මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි මේ ලෙඩාගෙන් අදාල වෛද්‍යතුමා ඇහුවේ "වෘෂණ කෝෂය පැත්තට කැක්කුම යනවද?" කියල. ලෙඩත් "ඔවු" කියල පිළිතුරු දුන්නා. මේ ලෙඩා සිංහල ලෙඩෙක්.

Testis කියන්නේ වෘෂණ කෝෂය විදියට හිතේ තියා ගත්තු අපේ කොට ජීවිතයක් ඊලඟ ලෙඩාගෙන් රෝගී විස්තරය ගන්නවා. මේ ලෙඩාගේ ප්‍රශ්ණය වෘෂණ කෝෂයක් ඉදිමීම. හැබයි මේදා සැරේ ලෙඩා මුස්ලිම්. අපේ කොට ජීවිතේ අහනවා "දැන් ඉදිමිලා තියෙන්නේ කොයි පැත්තේ වෘෂණ කෝෂයද ?" කියල. සිංහල හරියට නොදන්නා මේ ලෙඩා හොල්මන්ද පොල්කොල. "අනේ නෝනා මාතියා ඒම එකක් ඉදිමිල නේ" ලෙඩා කියනවා. "එහෙනම් ඉදිමිලා තියෙන්නේ මොකද්ද?" මෙහෙම අහන්නේ අපේ කොට ජීවිතේ. "නෝනා, ඉදිමිලා තියෙන්නේ ඇටේ නේ" කියල. "ආ කොහේ ඇටේද? අතේද? කකුලෙද?" කියල අහන්නේ අපේ කොට ජීවිතේ! ලෙඩා කියනවා "අර දෙකක් තියෙන ඇටේ නෝනා" කියල. අහන් ඉන්න අපිට පට්ට හිනා!

ප.ලි. අස්ථි පඤ්ජරය හෙවත් ඇට සැකිල්ල කියන එකේ අකුරු මාරු වෙච්ච සංගෙඩිය පාඨක ජනයා දන්නවා ඇතැයි බඩා උපකල්පනය කරනවා.