Sunday, December 22, 2013

ගෝනි බිල්ලා

පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.

බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ලස්සනට, ව්‍යාකරණානුකූලව සිංහලෙනුත් කතා කරන්න අයට හැකියාව තිබුණා.

නමුත් කණිෂ්ඨ කණ්ඩායම් වල නම් මේ ලෝගුව ඇඳගත්තු කීප දෙනෙක් හිටියා. මේ සිද්ධිය වෙන්නේ අන්න ඒ අයගෙන් කෙනෙක් සම්බන්ධව. ඒ දවස් වල බඩා හිටියේ ළමා වාටුව පැත්තේ, අවසන් වසර සායනික පන්ති වල. කණිෂ්ඨ කණ්ඩායම් සඳහා වන පළමු සායනික පන්ති වලට යොමු කරවීමේ වැඩසටහනකට අදාලව ඒ සිසු-සිසුවියනුත් පැමිණ සිටියා. මේ අතර හිටියා ලෝගුව ඇඳගත්තු කෙනෙක්. ළමුන් සමග කතා කර "රැපෝ" (rapport) එක හදා ගැනීම ළමයකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙනවා. අපේ අදාල ලෝගුදාරී සිසුවියත් ළමයෙකුට ලං වුණා. මේ ශිෂ්‍යාව නිකාබ් ඇඳගෙන සිටියේ. අපිට ඒක ලොකු ප්‍රශනයක් නොවුනට ළමයා ට නම් ප්‍රශ්නයක් වෙලා! "බිල්ලෙක්! බිල්ලෙක්!" කිය කිය මහ සද්දෙට ළමයා අඬනවා. එකෙක් අඬන්න ගත්තම වාටුවම නළාව ගහන්න ගන්න එක ළමා වාට්ටු වල සිරිතක්. එදත් එහෙම වුණා! අන්තිමට ෆර්දාව ගලවලා රෝග විස්තර අහන්න අදාල සිසුවියට සිද්ධ වුණා.

දෙවැනි සිද්ධිය වෙන්නේ බඩා වෛද්‍යවරයෙක් විදියට සෙවය කරද්දී. තවත් කණිෂ්ඨ කණ්ඩායමක මේ විදියම වෛද්‍යවරියක් හිටියා. මේ අය ආවේ විභාගයක් සඳහා රෝගීන් පරීක්ෂා කර පුරුද්ද ලබා ගැනීමට. ඇය ඇන්දේත් නිකාබය. මේ වගේ වෙලාවට විභාග වලට ගන්න විදියෙ රෝගීන් අපි ලැයිස්තුගත කරලා තියෙනවා පිටින් එන වෛද්‍යවරුන්ගේ පහසුවට. මෙයින් එක් රෝගියෙක් පෙර කී වෛද්‍යවරියට ඔහුව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ. "ලෝගුව ඇඳගෙන මෙතෙන්ට සිය ගාණක් එනවා. දොස්තර කවුද, බිල්ලා කවුද කියල මම කොහොමද දන්නේ?" රෝග්යාගේ ප්‍රතිචාරය වුණේ ඒක.

මේ සිද්ධි වෙනකොට අදාල අංශවල මුස්ලිම් වෛද්‍යවරු සහ මහාචාර්යතුමලා පවා සිටියා. ඒත් අපේ සමහර අන්තර්ජාල වීරයෝ වගේ එතුමලා රෙදි උස්සන් කෑ ගැහුවේ නැහැ. "රෝගියාගේ අයිතිය පරම අයිතිය" නිසා මුහුණු වැසුම් පාවිච්චි නොකර සිටීම වඩා යෝග්‍ය බව ඔවුන් කලකට පෙර නිර්දේශ කරනු ලබුවා.

Sunday, December 8, 2013

දඩයමේ යනවද?

මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම පටන් ගත්තේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පන්තියක්.

බඩා ගේ කණ්ඩායමේ සිසුවියන් කිහිප දෙනෙක් හිටියා. එයින් බොහොමයක් දෙනා ශරීරයෙන් කුඩා, ඒත් කට සැර (බෝම්බ ගහන්නා වාගේ!) කෙල්ලෝ ටිකක්. මුල්ම සතියේදීම අපට සිද්ධ වුණා හයිඩ්‍රෝසීල් (hydrocele) එකක් එහෙම නැත්නම් වෘෂණ කෝෂයේ වතුර ගෙඩියක් ඇති රෝගියෙක් පරීක්ෂා කරන්න. විශේෂඥ වෛද්‍යතුමා රෝගියාගෙන් විස්තර අහන්නේ අපට ඒ ගැන විමසිල්ලෙන් අහගෙන ඉන්න කියලයි. කොහොම කොහොම හරි රෝග විස්තරය අවසන් වුනා. 

ඊලඟට එළඹෙන්නේ පරීක්ෂා කිරීම. ඒකත් පියවරෙන් පියවර එතුමා පැහැදිලි කරනවා. හදිසියේම රෝගියාගේ ශිෂ්ණයේ සුවවෙච්ච තුවාලයක් දැකපු වෛද්‍යතුමා කටහඬ බොහොම බාල කරලා අහනවා "සීයා, දඩයමේ ගියාද?" කියල. සීයත් ඔළුව වනනවා. බඩාට, කොටියට, කොණ්ඩයට එහෙම මේක ලේසියෙන්ම මීටරේට වැටුණට කෙල්ලන්ගෙන් බහුතරයකට එහෙම වුණේ නෑ. පන්තිය අවසානයේ එක කොට ජීවිත කෙල්ලෙක් අහනවා "බඩා, අර දඩයමේ යනවා කියන්නේ මොකද්ද?" කියල. බඩාත් ඉතින් පැහැදිලි කරලා දුන්නා විස්තර ඇතුවම.

ඊලඟ දවසේ අර කෙල්ල රෝගියෙක්ගෙන් විස්තර අහනවා, රෝගියාගේ ඇඳ ගාව ඉඳගෙන. කට සද්ද නිසා අහන ප්‍රශ්න අනික් අයටත් ඇහෙනවා. එක සැරේම අපට ඇහෙනවා "ආ, දඩයමේ යනවද?" කියල. ලෙඩා ඇඹරෙනවා, අපි බඩවල් අල්ලන් හිනා වෙනවා!

Saturday, November 23, 2013

Referral

වෛද්‍යවරුන් අතර තියෙන සිරිතක් තමයි තම විෂය පථයෙන් එහා ගිය ප්‍රශ්නයක් රෝගියෙකුට තියෙනකොට, ඒ ප්‍රශ්නය විසඳන්නට හැකි වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන එක. මේකට යොමුව නැත්නම් referral එකක් කියල කියනවා. උදාහරණයක් විදියට බඩා ප්‍රතිකාර කරන වකුගඩු රෝගියෙකුට කකුලේ සැරව ගෙඩියක් මතු වීමක් වුණොත් ඒ රෝගියාව ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. ඔන්න පහතින් තියෙන්නේ බඩා ඒ විදියට විශේෂඥ වාහිණික ශල්‍ය වෛද්‍යතුමෙකුට ලියාපු යොමුවක්. මේ යොමු තනිකරම රාජකාරි මට්ටමෙන් කෙරෙන ඒවා බව පැහැදිලි වෙන්න ඕන.



සුද්දන්ට තෙල බෙදන්න ගිහින් අනා ගැනීම කල මහාචාර්යතුමා කට්ටියට මතක ඇති. එතුමාට හිටියා ගෝලයෝ දෙන්නෙක්. එක්කෙනෙක් ආන්ත්‍රික ශල්‍යකර්ම ගැනත්, අනෙකා ගුදමාර්ගය සහ අධෝ මුඛය සම්බන්ධ රෝග වලත් ශල්‍ය
විශේෂඥයින් හා පසුව මහාචාර්යවරුන් බවත් පත් වුණා. ආන්ත්‍රික රෝග ගැන උනන්දු වුණේ G. අනෙක් කෙනා D. මහාචාර්යතුමා හෙණම සීරියස් වුණාට ගෝලයෝ දෙන්නා නම් ජොලියට බර සොමි පොරවල් දෙකක්. එක දවසක් අධෝ මාර්ගයේ නිදන්ගත සැරව ගෙඩියක් තියෙන රෝගියෙක් වෛද්‍ය G ගාවට එනවා. තම මිත්‍රයා මේ පිලිබඳ උන්දු නිසා ඔහු මිත්‍රයාට මෙහෙම ලියනවා.

Dr. D,
Consultant Surgeon,
Ado machan D,
Here is a puk case for you. See and take over.
Thanks
G

හැබැයි මේ ලියමන නොසිතූ විදියට මහාචාර්යතුමා අතට පත් වෙනවා. දෙන්නම කන් ඈත් වෙන්නම අහගත්ත බවයි තතු දන්නෝ පවසන්නේ

Friday, November 22, 2013

ලොක්කා අවුල් නෑ

රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල ගොඩනැගිලි සංකීර්ණයක්. දහය වසරේ පන්ති තිබුණේ වෙනම ගොඩනැගිල්ලක. මේ ගොඩනැගිල්ලේ තට්ටු තුනට විද්‍යාගාර තුනක් තිබිල තියෙනවා. ඒත් 1992 වෙද්දී ඒවා එතනින් අයින් කරලා ඒ කාමර වලත් පන්ති. බඩා හිටපු 10 වසරේ පන්තියත් ඒ වගේ එකක්. විද්‍යාගාරයක් නිසා පන්ති කාමරය මහා විසාලයි. ඩෙස්ක්, පුටු, ගුරු මේස ඈ ආදිය  ඇති තරම් ඉඩ අරන් තිබ්බත් පන්තියේ තුනෙන් දෙකක ඉඩ. මේ දැවන්ත පන්තිය නිසා විභාග වලදී නම් කොපි කිරීම පහසු වුනේ නෑ.

කොච්චර සත්තු වගේ වුණත්, පන්තියේ කොල්ලෝ බුද්ධ රූපයක් පන්තියේ තියල මල් පහන් තියන්න අමතක කලේ නෑ. බෞද්ධයෝ එහෙම නම් අපි සෙකන්ඩ් වෙන්නේ මොටද කියන්නා වාගේ පන්තියේ හිටපු ක්‍රිස්තියානි සිසුන් සුරුවමක් ගෙනල්ල පන්තියේ එල්ලුවා. ඒ දවස් වල බඩාගේ පන්තියට කියන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එක කියල. මොකද මුස්ලිම් සිසුන් දහයක් විතර, ඒ කියන්නේ පන්තියෙන් 25% විතර හිටියා. ඒ අය පිළිම වඳින්නේ නැති නිසා උන් ටික නම් මොකුත් ගෙනත් එල්ලුවේ නෑ.

පන්තියේ තියෙන මේ දැවන්ත ඉඩ පාවිච්චි වෙන්නේ එක්කෝ ටැප් රගර්, එහෙම නැත්නම් වන් බවුන්ස් කියන සෙල්ලම් වලට. ටැප් රගර් කියන්නේ රගර් වගේම් ක්‍රීඩාවක්, හැබැයි කකුල් මාට්ටු (ටැකල්) දැමිලි කරනෙන නෑ. පන්දුව ගෙනියන කෙනාට පොඩි තට්ටුවක් දැම්මොත් පන්දුව අත අරින්න ඕන. තට්ටුව නොවැටෙන්න පාස් කරන එක තමයි සෙල්ලම. වන් බවුන්ස් කියන්නේ ක්‍රිකට්ම තමයි ඒත් පන්දුව පොළොවේ එක වරක් හෝ ඊට අඩුවෙන් වැදිල එද්දී ඇල්ලුවොත් දැවී යනවා. බිත්ති සහ වහළට මේක වාර දෙකක් වෙනවා. ලේසි වගේ පෙණුනට මේක ලේසි නෑ. පන්දු රකින්නෝ අතරින් හයියෙන් ගහන්න ඕන. එහෙම නැත්නම් ඩෙඩ් බැට් කරල කකුල් ලඟම වැටෙන්න සලස්වන්න ඕන.

අපේ පන්තියේ හිටි ප්‍රගියා තමයි සුර්වම එල්ලුවේ. මූ හෙනම දේව භක්තිකයා. හැබැයි වන් බවුන්ස් උණක් මූට තිබුණේ. ප්‍රගියා එවපු පන්දුවකට බඩා වැරෙන් පාරක් එල්ල කලාම ඒක ගිහින් සුරුවමේ වැදුනේ හෙණ ගහන්නා වගේ. වෙච්ච දේට බඩාට හොඳටම අවුල්. සුරුවම ගාවට දුවගෙන ගිය ප්‍රගියා දණ ගහගෙන යාච්ඥා කරන්න ගත්තා. වැඩේ කෙළ වුනා කියලයි කට්ටියම හිතුවේ. විනාඩියකින් විතරනැගිටපු ප්‍රගියා, "අඩෝ බඩා, මොනවද බලන් ඉන්නේ, බැට් කරපං. මම සමාව ගත්තා, ලොක්කගේ අවුලක් නෑ මචන්!

ඔන්න ප්‍රගියගේ දේව භක්තිය සහ වන් බවුන්ස් උන්මාදය!

Wednesday, November 20, 2013

පෙට්ටිය කැඩුණොත් . . .


හැම පාසලකම කලා සංගමයක් තියෙනවා. රාජකීය විද්‍යාලයේත් ඒ වගේමයි. මේ සංගමය 1990 ගණන වල මැද හරියේදී තිබුණේ බොහොම උසස් මට්ටමක බව බෝහෝ දෙනාගේ මතය වුණා. සිංහල සාහිත්‍ය දිනය සහ කලා උළෙල කියන උත්සව දෙක තමයි සිසුන්ගේ දක්ෂතා එළි දක්වන්න තියෙන අවස්ථා. ඒ නිසාම මේ උත්සව ජයට පැවත්වුනා. ඒ වගේම පාසලේ නම නිසාම බොහෝ ආධාර උපකාර ලැබුණු නිසා කලා උළෙල ගත්තේ මංගල සිරියක්. මේ කළා උළෙලට වෙනත් පාසල් වලටත් අංග ඉදිරිපත් කරන්න ලැබෙනවා. උත්සවය වර්ණවත් වෙන්නේ බාලිකා පාසල් වල අංග වලින්.

ඔය විදියට තියපු කලා උළෙලක ප්‍රධාන ආරාධිතයා වුනේ සුප්‍රකට, ගීත ලියන, සිංහල පිළිබඳ මහාචාර්යතුමෙක්. ඒ දවස් වල නම් එතුමා ජ්‍යේෂ්ට කථිකාචාර්ය කෙනෙක් වෙන්න ඕන. අවිවාහකව සිටි මෙතුමා කාන්තාවන් දැලේ දමා ගැනීමට ප්‍රකට පුද්ගලයෙක්.

ප්‍රකට බාලිකා පාසලකින් අංගයක් ඉදිරිපත් වුණේ මේ අතර. රතු හැට්ටකාරී නාට්‍යයේ "දීකිරි දීකිරි" ගීතය තමයි ඉදිරිපත් වුණේ. එක්කෝ ෂෝ එකට, එහෙම නැත්නම් ඒ ළමයාගේ හැටිද මන්දා මේ කෙල්ල පුදුම නැටවීමක් නටවන්නේ. අනුලා බුලත්සිංහල මහත්මිය ඒ නැටවිල්ල දැක්ක නම් කලන්තේ දානවා! අංගය තවත් රසවත් කිරීමටද කොහෙද, අර කෙල්ල වේදිකාවෙන් බැහැලා අපේ මහාචාර්යතුමා ඉදිරියෙත් රඟනවා.

"අත මගෙ වෙවුලයි - දෙපා රුදාවයි
රෑ වෙන්නට පෙර - නිවසට යන්නයි
පනමේ කිරි ගෙන - පිහිටක් වන්නයි"

කියල ගීතය යනවා. ඊලඟ පදය වෙන්නේ "මුට්ටිය බිඳුණොත් ඔක්කොම ඉවරයි" කියන එක. මේ නැටුම බලන් හිටි බඩා සහ මිතුරන් කීප දෙනෙක් මූණට මූණ බලා ගත්තා. අර අන්තිම පදයට එනකොටම කට්ටිය මහ හඬින් එකාවන්ව කියාපි "පෙට්ටිය කැඩුණොත් - ඔක්කොම ඉවරයි" කියල.

කෙල්ලට උන්හිටි තැන් අමතක වෙච්චි! මහාචාර්යතුමා පස්ස බල බලා කියපු එවුන් හොයනවා. විදුහල්පතිගේ මූණට අබ දැම්මොත් එව්ව පුපුරන්නේ ග්‍රෙනේඩ් වගේ. සිංහල ගුරුතුමා පැලෙන්න ඔන්න මෙන්න. හැබැයි බලන්න ආපු බහුතරයකට බඩ අල්ලන් හිනා!

Wednesday, November 6, 2013

බෝඩ් ගහගන්න

මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා.

දවසක් අපේ මහාචාර්යතුමා කඩිසර ගමනින් රෝහලේ කොරිඩෝවක් දිගේ යද්දී ටිකක් උස මහත මිනිහෙක්ගේ ඇඟේ හැපෙනවා. ටිකක් රිදුණ නිසාත්, කල්පනා කරමින් ගිය සිතිවිලි දාමය බිඳී යාම නිසාත් මහාචාර්යතුමා යක්ෂාවේශ වෙනවා.
"ඔහේ මොකඩ්ක ඇඟේ හැපෙන්නේ?" මහාචාර්යතුමා අහනවා. උඩ බලාගෙන ගියේ මහාචාර්යතුමා වුණාට අර මනුස්සයා යටහත් පහත්ව කියනවා "සමාවෙන්න මහත්මයා" කියල.
"තමුසේ දන්නවද, මම තමයි මහාචාර්ය ....... එහෙම ඇඟේ හැපෙන්න බෑ" මහාචාර්යතුමා ගුගුරනවා.
ආයෙත් පොඩ්ඩක් නැමිලා එහෙම අර මනුස්සයා කියනවා "සමාවෙන්න සර්, මම දන්නේ නෑ නෙ. ඊලඟ දවසේ ඔබතුමා නම ගහල බෝඩ් එකක් පිටේ එල්ලන් යන්න. මම එතකොට අයින් වෙලා යන්නම්" කියල. මහාචාර්යතුමා ගෙම්බෙක් වගේ පිම්බෙනවා, හොරෙන් බලා ඉන්න අපේ බඩවල් කොර වෙනවා හිනා වෙලා!

Sunday, November 3, 2013

සුද්ද නිසා බේරුණා

මේ කතාව සිද්ධ වෙන්නේ 2001 අවුරුද්දේ. ඒ වෙනකොට අපි හතර වන වසර ශිෂ්‍යයෝ. මේ සිද්ධියට පාදක වෙන්නේ අපේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම, මහාචාර්ය සායනික ඒකක වල වැඩ කරපු කාලය. මහාචාර්ය ඒකක වල ප්‍රධානියා බොහෝ විට ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් බව ඔබ දන්නවා ඇති. මේ මහාචාර්ය තුමාත් එහෙමයි. උසස් පාසලකින් ඉගෙන ගත්තු, උසට සරිලන මහත තියෙන බොහොම තේජවන්ත මහාචාර්යතුමෙක්. තරුණ කාලයේදී වෙඩි උණ්ඩ වගේ වේගයෙන් පන්දු යවන්න පුළුවන් වූ බවටත් ප්‍රසිද්ධයි. ඒ වගේම තමන්ගේ විෂයයේ ලෝක පූජිත මහචාර්යතුමෙක්. මේ නිසාම දේශීය සිසුන් විතරක් නෙවෙයි, කෙටි කාලීන අධ්‍යාපන පැවරුම් (clinical appointments) සඳහා විදේශීය සිසුන් පවා මහාචාර්යතුමා ගාවට එනවා. බොහෝ මහැදුරන් වගේම මෙතුමාටත් ඉතාම තදින් කේන්ති යන කෙනෙක්. ඒ වගෙම තමන් ඉතා කැපවීමෙන් වැඩ කරන නිසා සියළු  දෙනාගෙන්ම ඒ ආකාරයේ වැඩ කිරීමකුත් එතුමා බලාපොරොත්තු වුණා.

මහාචාර්ය ඒකකයක සාමාන්‍යයෙන් සිසුන් 25ක පමණ කණ්ඩායමක් ඉන්නවා. මේ අතරට සුද්දෝ පස් දෙනෙකුත් ඉන්නවා. වෝඩ් රවුන්ඩ් කරද්දී මහැදුරු තුමා පිටිපස්සෙන් මහ සෙනගක්  එනවා. කලින් කතාවකත් කියලා තියෙන විදියට අපි රෝගීන්ගේ රෝග ඉතිහාසය, ඔවුන් පරීක්ෂා කිරීම සහ වෙනත් අදාල කරුණු සටහන් කරගෙන වෝඩ් රවුන්ඩ් එකට ලෑස්තියෙන් ඉන්න ඕන. කොහොමෙන් කොහොමෙන් හරි, මේ විදියට ලෑස්ති නොවූ කෙනෙක්ව මහැදුරුතුමා අතටම අල්ලා ගත්තා. එහෙම කරගත්තම නිකම් ඉන්නේ නෑ, මිනිත්තු පහළොවක් විතර ලුණු ඇඹුල් ඇතුව අහගන්නත් සිද්ධ වුණා. තමන් කරපු වැඩේ හරි බව අපට පෙන්නනත් එක්ක මහැදුරුතුමා සුද්දන්ගෙන් අහනවා "What will your Professor do if you've done something like this?" (මෙහෙම වැඩ නොකරන කෙනෙක් අහු වුණොත්, ඔයගොල්ලන්ගේ මහාචාර්
තුමා කරන්නේ මොනවද?) කියල. 

කිණ්ඩි හිනාවක් මූණට දාගත්තු සුද්දා කියාපි "He will utilize that quarter an hour to teach rather than wasting on scolding (ඔය බණින්න නාස්ති කල පැය කාලෙත් ඔහු අපට උගන්නාවි)  කියල. අපේ මහැදුරුතුමාට මළ පැණගෙන එන කොට නහයේ කොණ රෝස පාට වෙලා කන් දෙකත් රෝස පාට වෙනවා. එදා තිබුණු පැහැය වඩා කිට්ටු බීට් අලයකට කිව්වොත් වඩා නිවැරදියි. ඔළුව්ට උඩින් දුම් විසිවෙන්න ඔන්න මෙන්න ගානට තද වෙලා. කවදාවත් සිසුන් එක්ක ඉංග්‍රීසියෙන් ඇරෙන්න වෙන භාෂාවකින් කතා නොකරන මහැදුරුතුමා අපේ යාළුවා දිහාවට හැරිලා කියනවලු "මතක තියා ගණින්, උඹ සුද්ද නිසා බේරුණා කියල"