Wednesday, August 15, 2012

ස්පෝර්ටි මදි

පසා කියල කියන්නේ බඩාලත් එක්ක උසස් පෙළ පන්ති වලට සහභාගී වෙච්ච කොලුවෙක්. කොළඹ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ පාසලකට තමයි පසා ගියේ. උසස් පෙළත් ඉහළින්ම සමත් වුණා. පසා එක විදියක අදහස් තියෙන එකෙක් බව අපි දන්නවා. ඒ නිසාම බඩාලා සෙට් එක කොළඹ වෛද්‍ය පීඨය තෝරා ගනිද්දී පසා තෝරා ගත්තේ පේරාදෙණිය. පසාට ඒ පැත්තේ ස්ත්‍රී සම්බන්ධයක් තිබුණා කියලත් කණින් කොණින් කියවුණා. ඔන්න කොහොම හරි පසා පේරාදෙණි ගියා! 

බඩාලාගේ සෙට් එකේ කොයි කොයි එකාත් ටෝකස් මරුවෝ කියල කියන්න ඕනේ නෑ නේ! පසා අපට දෙනවා පේරාදෙණියේ පුදුම හත, මල්පාර සහ කාළගුණය වගේ එව්ව ගැන ලොකු කතා. බඩා ඉතින් පසුපස භාගයෙනුත් මේවට හිනාවෙවී හිටියේ ඊට අවුරුද්දකට කලින් බඩා පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ (PGIS) රැකියාවක් කරල, පේරාදෙණිය ගැන හොඳටම දැනන් හිටපු නිසා. අපේ කාලයේ දී සරසවි ශිෂ්‍යයන්ට වාහන තිබුණේම නැති තරම්. තිබුණා නම් ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට විතරක්ම වගේ. පේරාදෙණියේදී මේ තත්ත්වය තවත් දරුණුයි!. ඉතින්, පොඩි කහපාට ස්පෝට්ස් කාර් එකක් තියෙන පසා කැපිලා පේන එක අහන්න දෙයක් නෙවෙයිනෙ! හැබැයි පසාත් පසාගේ තාත්තා වගේම කුණු ලෝබයා. (පසාගේ තාත්තගේ වැඩ වෙනම ලිපියකින්). කාර් එක බෝඩිමේ තියලා, බස් එකේ තමයි පසා යන්නෙ එන්නේ. 

උසස් පෙළ කරද්දී හීන්දෑරිව හිටපු පසා, තුන්වෙනි අවුරුද්ද වෙනකොට බඩදාලා මහත්වෙලා හෙම හිටියා. අඩි දහයක් ඇවිද්දත් මූ හති දානවා. මූ කාර් එකට නගින්නේ ගැරෙජ් එකේ වහලෙන් දාපු කඹයක එල්ලිල්ලා කියලයි පේරාදෙණියේ හිටපු අපේ යාළුවෝ නම් කිව්වේ. පසා තමන්ගේ කාර් එක විකුණන්න තීරණය කලේ ඔය අතරදී. එක එක ගැනුම් කාරයෝ ආවට පස්සේ ටිකක් නාකි පොරක් ඇවිල්ලා හොඳ ගාණකට වාහනේ ඉල්ලුවා. ඒත පසා ගේ ලෝබ කම නිසා ඒ ගාණට දෙන්න කැමති වෙලා නෑ. ටික දවසකට පස්සේ අපි පසා ගෙන් ඇහුව අර නාකි පොරට වාහනේ දුන්නේ නැත්තේ මොකද කියල. ධවල පර්වතයක් වගේ ඉන්න පසා කියනවා "ඌ මචං මේ වාහනේට ස්පෝර්ටි මදි වගේ නිසා මම දුන්නේ නෑ" කියල.

5 comments:

  1. පසා තමයි මරු මනුස්සයා !
    පේරාදෙනි විශ්ව විද්‍යාලය කිව්වොත් ආයේ කතා දෙකක් නෑ.. සුන්දර විශ්ව විද්යාලයක් !!!

    ReplyDelete
  2. පාසා ගේ වාහනේ ස්පෝටී කම පේන්නත් එක්ක ඕකා කාලයක් කාර් එක සිංහල චිත්තරපටියක ෂූටිං වලට දීල පයින් ගියා කියලත් මතකයි

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් තිබුණ ද?

      Delete
  3. "ඌ මචං මේ වාහනේට ස්පෝර්ටි මදි වගේ නිසා මම දුන්නේ නෑ"

    ලොල් ලොල් ලොල්

    මැක්සා!

    ReplyDelete