Sunday, September 22, 2013

මාමා

වෛද්‍ය විද්‍යාලයේ  විභාග වලින් අසමත් වෙලා පහළ වසර වලට සිසුන් එක් වෙන එක ඒ තරම් දුර්ලභ දෙයක් නෙවෙයි. බඩා ගේ කණ්ඩායම නම් මේ අතින් කප් ගහපු කණ්ඩායමක්. පළමු වසර විභාගයෙන් 17ක් "බැච් මිස්" වෙලා තියපු වාර්තාව අද වෙන තුරුත් කඩලා නෑ. මෙහෙම ලොකු ගානක් බැච් මිස් වුණාට ඉහළ වසර වලින් බැච් මිස් වෙලා අපේ කණ්ඩායමට ආවේ බොහොම සීමිත ප්‍රමාණයක්. මෙන්න මේ සීමිත කණ්ඩායමෙන් එකෙක් තමයි "මාමා"

මාමා සද්ද බද්ද නැති, වැඩිය කතා නොකරන, බොහොම නිශ්ශබ්ද කෙනෙක්. දුප්පත් පවුලක ඉපදිලා, බොහොම අමාරුවෙන් උසස් පෙළ සමත් වෙලා මාමා වෛද්‍ය පීඨයට ආවේ. එතනදීත් මාමාට ආවේ අභියෝගම තමයි.

මාමා එක්ක නිතරම පැටලෙන මනුස්සයා තමයි රත්නයා. රත්නයා ගෙඩි පිටින් දකුණේ එකෙක්. කතා කරන්නේත් ඒ තාලෙටමයි. බඩාට රත්නයා සෙට් වුණේ විශ්වවිද්‍යාලයට ගිය පළවෙනි දවසෙමයි.

"උඹේ ගෙවල් කොහෙද බන්" කියල බඩා ඇහුවෙ රත්නයාගෙන්.
"මාතර", රත්නයා උත්තර දුන්නෙ කෙටියෙන්. බඩාගේ පියතුමා මාතර තිබුණු රුහුණු සරසවියේ මහැදුරෙක් විදියට සේවය කළ නිසා බඩාට මාතර පුරුදුයි.
"මාතර කොහෙද?" එහෙම ඇහුවේ බඩා.
"මාතර කිට්ටුව, අකුරැස්ස පාරේ" එහෙම කිව්වේ රත්නයා.
"අකුරැස්සෙද ගෙවල්?" එහෙම ඇහුවේ බඩා.
"නෑ, දෙණියායේ" රත්නයා කියාපි. දෙණියාය තියෙන්නේ මාතර ඉඳන් කිලෝමීටර 60ක් දුරින්! මුගේ කතාව මාතර වගේ!

රත්නයාට තියෙන්නේ අන්තිම ජරා කටක්. අපේ කාලේ දැන් වගේ වීඩියෝ ප්‍රක්ෂේපණ යන්ත්‍ර (Video projectors) තිබුණේ නෑ. ඒ නිසා ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් (OHP) එකකට ට්‍රාන්ස්පේරන්ට් කොළ දාලා තමයි දේශන වලදී රූප සටහන් ඉදිරිපත් වුණේ. එක්තරා මහාචාර්යතුමියක් අපිට දේශනයක් පවත්වනවා. හැබැයි මැඩම්ගේ රූප සටහන් අන්තිම කැතයි. මේක බලන් ඉන්න රත්නයා කියනවා "නොදෝකිං අර රූප. පොල් අතු ගොඩේ බල්ලො රීල වගේ" රත්නයා ඒක කිව්වේ බොහොම හෙමින්. ඒත් උගේ කරුමෙටම ඒ වෙලාවේ ශාලාවේ තිබුණේ අල්පෙනෙත්තක් බිම වැටුනත් ඇහෙන නිශ්ශබ්දතාවය!

රත්නයා එච්චර උස මහත එකෙක් නෙවෙයි. නමුත් රත්නයා එක්ක සෙට් වෙලා හිටපු කොටියා, බඩා, සමනා, ගිණිකූරා වගේ අය සෑහෙන්න ශක්තිමත් එහෙම නැත්නම් ක්‍රීඩාශීලී ශරීර තියෙන අය. මේ නිසා රත්නයාට පොඩි හිතේ දුකකුත් තිබුණා. ශරීර ශක්තිය වැඩි කරගන්න හවසට හවසට සමපෝෂ කන්න ගත්තේ ඒ හින්දමයි.

නේවාසිකාගාරයේ කට්ටිය රෙදි හෝදන එක කරන්නේ නාන කාමරයේ. හැබැයි මාමා කවදාවත් දවල්ට රෙදි හෝදන්නේ නෑ. රෙදි හෝදන්නේ මහ රෑට. රත්නයා මේකට දීපු පැහැදිලි කිරීම තමයි මාමා සරම කැහැපට ගැහුවම බාවා බිම ගෑවෙන නිසා එහෙම කරනවා කියන එක. කොහොම හරි, මේ දවසේ මාතෘකාව වුණේ මාමාගේ බාවා. රත්නයා මේ ගැන කුණු කතා ලෝකයක් කියනවා, මාමා නෙවෙයි කටක් හොල්ලනේ. හිනා වෙවී අහන් ඉන්නවා. හැබයි ඒක හදිස්සියේම සිදු වුණා! මොකද්ද? මාමා උත්තර දුන්නා! මාමා කට ඇරියම කොන්ක්‍රීට් කණුත් කැපෙනවා කියලා දැන ගත්තේ එදායි. "මට අරව මෙව්ව කිව්වට දන්නවද, ඔය රත්නයා හවසට හවසට සමපෝෂ කන්නේ බාවා ලොකු කර ගන්න" මාමා කිව්වේ ඇඟට පතට නොදැනී.

2 comments:

  1. හුටා දැන් ඉතින් ආසාවට සමපෝෂ ට්කක් කාලත් ඉවරයි

    ReplyDelete