Sunday, November 3, 2013

සුද්ද නිසා බේරුණා

මේ කතාව සිද්ධ වෙන්නේ 2001 අවුරුද්දේ. ඒ වෙනකොට අපි හතර වන වසර ශිෂ්‍යයෝ. මේ සිද්ධියට පාදක වෙන්නේ අපේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම, මහාචාර්ය සායනික ඒකක වල වැඩ කරපු කාලය. මහාචාර්ය ඒකක වල ප්‍රධානියා බොහෝ විට ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් බව ඔබ දන්නවා ඇති. මේ මහාචාර්ය තුමාත් එහෙමයි. උසස් පාසලකින් ඉගෙන ගත්තු, උසට සරිලන මහත තියෙන බොහොම තේජවන්ත මහාචාර්යතුමෙක්. තරුණ කාලයේදී වෙඩි උණ්ඩ වගේ වේගයෙන් පන්දු යවන්න පුළුවන් වූ බවටත් ප්‍රසිද්ධයි. ඒ වගේම තමන්ගේ විෂයයේ ලෝක පූජිත මහචාර්යතුමෙක්. මේ නිසාම දේශීය සිසුන් විතරක් නෙවෙයි, කෙටි කාලීන අධ්‍යාපන පැවරුම් (clinical appointments) සඳහා විදේශීය සිසුන් පවා මහාචාර්යතුමා ගාවට එනවා. බොහෝ මහැදුරන් වගේම මෙතුමාටත් ඉතාම තදින් කේන්ති යන කෙනෙක්. ඒ වගෙම තමන් ඉතා කැපවීමෙන් වැඩ කරන නිසා සියළු  දෙනාගෙන්ම ඒ ආකාරයේ වැඩ කිරීමකුත් එතුමා බලාපොරොත්තු වුණා.

මහාචාර්ය ඒකකයක සාමාන්‍යයෙන් සිසුන් 25ක පමණ කණ්ඩායමක් ඉන්නවා. මේ අතරට සුද්දෝ පස් දෙනෙකුත් ඉන්නවා. වෝඩ් රවුන්ඩ් කරද්දී මහැදුරු තුමා පිටිපස්සෙන් මහ සෙනගක්  එනවා. කලින් කතාවකත් කියලා තියෙන විදියට අපි රෝගීන්ගේ රෝග ඉතිහාසය, ඔවුන් පරීක්ෂා කිරීම සහ වෙනත් අදාල කරුණු සටහන් කරගෙන වෝඩ් රවුන්ඩ් එකට ලෑස්තියෙන් ඉන්න ඕන. කොහොමෙන් කොහොමෙන් හරි, මේ විදියට ලෑස්ති නොවූ කෙනෙක්ව මහැදුරුතුමා අතටම අල්ලා ගත්තා. එහෙම කරගත්තම නිකම් ඉන්නේ නෑ, මිනිත්තු පහළොවක් විතර ලුණු ඇඹුල් ඇතුව අහගන්නත් සිද්ධ වුණා. තමන් කරපු වැඩේ හරි බව අපට පෙන්නනත් එක්ක මහැදුරුතුමා සුද්දන්ගෙන් අහනවා "What will your Professor do if you've done something like this?" (මෙහෙම වැඩ නොකරන කෙනෙක් අහු වුණොත්, ඔයගොල්ලන්ගේ මහාචාර්
තුමා කරන්නේ මොනවද?) කියල. 

කිණ්ඩි හිනාවක් මූණට දාගත්තු සුද්දා කියාපි "He will utilize that quarter an hour to teach rather than wasting on scolding (ඔය බණින්න නාස්ති කල පැය කාලෙත් ඔහු අපට උගන්නාවි)  කියල. අපේ මහැදුරුතුමාට මළ පැණගෙන එන කොට නහයේ කොණ රෝස පාට වෙලා කන් දෙකත් රෝස පාට වෙනවා. එදා තිබුණු පැහැය වඩා කිට්ටු බීට් අලයකට කිව්වොත් වඩා නිවැරදියි. ඔළුව්ට උඩින් දුම් විසිවෙන්න ඔන්න මෙන්න ගානට තද වෙලා. කවදාවත් සිසුන් එක්ක ඉංග්‍රීසියෙන් ඇරෙන්න වෙන භාෂාවකින් කතා නොකරන මහැදුරුතුමා අපේ යාළුවා දිහාවට හැරිලා කියනවලු "මතක තියා ගණින්, උඹ සුද්ද නිසා බේරුණා කියල"

6 comments:

  1. සුද්දා නිසා බේරුනා. නැත්තම් ඉතිං සුද්දට වැද්දා වෙනකම් බැනුම් අහන්න තිබුනා. හි... හි...
    :-) :-)

    ReplyDelete
  2. හි හි ඇත්ත කියලා තියෙන්නේ

    ReplyDelete
  3. "මතක තියා ගණින්, උඹ සුද්ද නිසා බේරුණා කියල" මහාචාර්ය තුමත් මතක හිටින පාඩමක් ඉගෙන ගන්න ඇති ...

    ReplyDelete
  4. පට්ටම කතාව බඩා. මම මේක මගේ වයිෆ්ටත් කිව්වා මේ දැන්. ඒ දවස්වල ප්‍රොෆෙසර් කිංස්ලි ඩි සිල්වා ජයවර්ධනපුර වැඩ කරනකොට තමයි අපේ දරුවේ දෙන්නම අවුරුදු 10ක පරතරයක් තියලා හම්බවුනේ. උදේට වෝඩ් රවුන්ඩ්ස් ඇවිත් මෙඩිකෝස්ලට බණිනවලු පලු යන්න. ප්‍රොෆෙසර්ටත් සිංහල වලට වඩා ඉංග්‍රීසි ෂුවර් නිසා සිංහලෙන් කතාව හරිම රූඩ් වගේ ඇහෙන්නේ. අපිට ඉතාම ප්‍රසන්නව ඉවසීමෙන් කතා කරත්, සිංහලෙන් ගණුදෙනු කරන රෝගීන්ට තමුසේ අයිසේ කියලා තමයි කතාකරන්නේ.

    ReplyDelete
  5. සුද්දා තමයි දවසකටවත් මිනිහ

    ReplyDelete
  6. මහාචාර්ය වෙලත් ඔහොමතමා. ඔය ගොබ්බ ගති අත ඇරෙන්නේ නෑ. සුදු හමට එක විදිහකටයි, කලු හමට තව විදිහකටයි සලකන එක

    ReplyDelete