Thursday, July 16, 2020

ඩබල් එස් | SS


ඔන්න මේ කතාව වෙන්නේ අපේ පන්තියට පන්ති දෙකක් එහායින්. අට වෙනි වසරේ විතර වෙන්න ඕන. කතා නායකයා ට "ඩබල් එස්" කියමු. ඩබල් එස් කියන්නේ ගෙදර අම්බානකටයි තව ටිකකටයි තද විනයක් යටතේ හැදිලා, ඉස්කෝලේ පිස්සු කෙලලා ඒ පීඩනය පිට කර ගන්න බුවෙක්.
ඩබල් එස් මොකක් හරි එකකට පත කුණුහරුපයක් දෙසා බානවා. උගේ කරුමෙට මේක එහා පන්තියේ උගන්න උගන්න හිටපු ජිල් කොටාට ඇහෙනවා. ජිල් කොටා ඔය වගේ සීන් එකක් අහු වුණාම උඩ පැන පැන තලන ගුරු "තුමෙක්". ජිල් කොටා පවනට බඳු වේගයෙන් පන්තිය ඇතුලේ. ඒ මදිවට මිනිහ ඩබල් එස් ගේ කට හඬත් හොඳට දන්නවා. මොකද මූ ඒ තරම්ම පිස්සු කේස් එකක් නිසා.
ජිල් කොටා ඩබල් එස් ගාවට ඇවිත් "කවුදෝයි කුණුහරුප කියන්නේ?" කියල අත දිගෑරලා කණට ගැහුවා. අත කණේ වදිනකොටම වගේ, මුගේ ඇස් උඩ ගිහින් වෙවුලලා, බිම වැටිලා ගැහෙන්න ගත්ත. කටින් පෙණත් දානවා. ජිල් කොටාගේ ඇඟෙන් දාඩිය ගලන්නේ පාරේ තඩි ටැප් ලයින් එකක් කැඩුණ වගේ. අපිත් හොල්මන්ද පොල් කොල. ඒ මදිවට බය වෙලා. වලිප්පුව හැදුණු එකෙක් ජීවිතේ ඉස් ඉස්සෙල්ලම දැක්කේ එදා. "සික් රූම් ගෙනිහින් බලමු මූට මොකද වුනේ කියල" අපි කතා වුණා. අපි ඩබල් එසා ගාවට එන කොටත් ජිල් කොටා ආලෝකයේ ප්රවේගයෙන් මාරු වෙලා ගිහින්.
අපි ඩබල් එසාව උස්සගෙන සික් රූම් එකට ගෙනියන්න ගත්තා. මගක් දුර උස්සන් යද්දී මූ එක ඇහැක් ඇරලා අහනවා "අඩෝ, ජිල් කොටා ගියාද?" කියල. මූ උස්සගෙන ගිය කොල්ලො දෙන්න "තොගෙ අම්මට . . ." කියල ඌව එතනම බිම අතෑරලා ආවාලු.

4 comments:

  1. SS එකක් ගහල අරන් තියාගන්න වටිනා කොල්ලෙක්.. :)

    ReplyDelete
  2. කාලෙකට පස්සේ... ��

    ReplyDelete
  3. Please add blog posts more frequently

    ReplyDelete