Saturday, March 31, 2012

තමුසේ නෙවෙයි


උසස් පෙළ කරන කොට ටියුෂන් යන්න සිද්ධ වීම අද විතරක් නෙවෙයි, බඩා ගේ කාලයේත් සිදු වුණු දෙයක්. "පතිරූප දේස වාසෝච" කියල බුදුන් වහන්සේ මංගල කරුණක් විදියට වදාරල තියෙන යහපත් පදිංචිය නිසාද කොහෙද බඩාට ඒ කාලේ රටේ හිටපු ප්‍රසිද්ධතම ගුරුවරුන් ගාවට ටියුෂන් වලට යන්න හැකි වුණා. මේ ගුරුවරුන් අතරින් අවිවාදයෙන්ම දක්ෂතමයා තමයි මොහාන් ලාල් ග්‍රේරෝ මහතා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ කතා සිද්ධ වුණේ එතුමා මන්ත්‍රීවරයෙක් වෙන්න තුන් හිතකින්වත් නොහිතපු කාලයේ කියලයි බඩා හිතන්නේ.

ග්‍රේරෝ මහත්මාට ඉංජිනේරු පීඨයේ භාවිතා වෙච්ච නම වුනේ "මීයා" කියන එක. (අර චීස් කාපු මීයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ!) කල් යද්දී විශේෂණත් එකතු වෙලා මේක "කාණු මීයා" බවට පත් වෙලා තියෙනවා. ඒ දවස් වල රේල් වේ ඇවනියු එකේ ග්‍රේරෝ මහත්මයා විශාල පන්තියක් කලා. මේකට ඇවිත් හිටියා වල් කොල්ලො රංචුවක්. උන් කරන්නේ ගුරුතුමා කළු ලෑල්ලේ ගැටළුවක් විසඳන්න අනික් අතට හැරුණු ගමන් මියෝ කෑ ගහනවා වගේ "චීක්, චීක්" ගාන එක. මේ නිසා ඔහු ඉන්නේ කොයි වෙලෙත් මළ පැනීමේ සීමාවට ඇවිල්ලා. බඩා ඔය පන්තියේ හිටියේ පහළොස්වෙනි පේළියේ විතර. මේ පන්තියේ ඉස්
ම පේලියේ හිටියා ටිකක් කට වැඩි කෙල්ලෙක්. කට වැඩි නම් කමක් නෑ, මේකිට මහ පුදුම උනන්දුවක් තිබුණේ. ග්‍රේරෝ මහතා කළු ලෑල්ලේ ලිය්ද්දී බඩා කලේ කඩදහි කාක්කෙක් අර ගෑණු ළමයාගේ ඇඟට වැදෙන්න රපු එක. නමුත් නොහිතූ විදියට ඉලක්කය වැරදිලා, එහෙම නැත්නම් කාක්කා තැනීමේ දෝෂයක් නිසා, එල්ලය වැරදිලා කාක්කා නතර වුණේ ග්‍රේරෝ මහතාගේ ඔළුවටම ටොක්කක් ඇණගෙන.

ග්‍රේරෝ මහතා බොහොම පැහැපත් කෙනෙක්. නමුත් කේන්ති ගිය විට නහය වටේත්, කන් දෙකත් රතු වෙනවා. එදා නම් කන් දෙක බීට් අලයක පාටට කිට්ටුයි.

"කාක්කා ගහපු එකා නැගිටපිය!" එහෙම කීවේ ග්‍රේරෝ මහතා. බඩා ගල් ගිලලා වගේ ඉන්නවා.

"ඔය කොළ පාට කොටු කමිසේ ඇඳන් ඉන්න එකා නැගිට
ලා පොත් ටිකත් අරන් බහිනවා එළියට"

දැන් කරන්න දෙයක් නෑ. බඩා ඇඳන් ඉන්නේ කොළ කොටු තියෙන කමිසයක්. පොත් ටිකත් අරන් බඩා නැගිට්ටේ බඩු මාට්ටු බව තේරුණු නිසයි. එතකොටම උණේ නොහිතූ දෙයක්.

"උඹ නෙමෙයි මිනිහෝ, උඹට පස්සෙන් ඉන්න එකා!" බඩා හැරිලා බලද්දී මෙන්න මූත් කොළ කොටු කමිසයක් ඇඳගෙන! හැබැයි මූ නම් කාක්කෝ යැව්වේ නැති බව බඩාට ෂුවර්! කරන්න දෙයක් නැති නිසා මට පස්සෙන් හිටි එකා යන්න ගියා. 

ටික දවසකට පස්සේ ග්‍රේරෝ මහතා බඩාට කෙළින්ම කතා කරල, කණ්ඩායම් පන්තියට එන්න කිව්වේ, "තමුසේ මෙතන හිටියොත් මට අනික් කොල්ලො ටිකත් හදා ගන්න බැරි වෙනවා" කියාගෙනම.
ඒ වගේම අර එළවපු එකා වැඩ මුකුත්ම නොකරන එකෙක්ලු. අපේ භෞතික විද්‍යා ගුරුතුමා මේකව එළවන්න වෙලාවක් හොය හොය ඉඳල තියෙන්නේ.

9 comments:

  1. ග්‍රේරො සර්ගෙ පන්තියෙ නිදාගෙන පොඩි වාර්තාවක් තිබ්බ වතාවක්. දැම්මම ඩ්‍රාෆ්ට් කරගන්න ඕනෙ ඒ කතාව

    ReplyDelete
  2. බඩා බ්‍රයිටා නිසා ඕන දෙයක් කරන්න ලයිසන් තිබුනා කියලනේ මේ කියන්නේ...පුහ්..

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද?
      මෙඩ්ඩෝ බ්‍රයිටෝ කට පාඩමට විතරයි. පිසික්ස් අරහං. චෝච් බැටරියක් දාගන්න දන්නේ නෑ.

      Delete
    2. මේක සිද්ධ වුණේ බඩා පන්තියට ගිය මුල් කාලෙම. ඒ නිසා ග්‍රේරෝ මහත්මයා බඩා ගැන දැනන් හිටියේ නෑ කියන එක වෙන්න පුළුවන්. ඒත් අනිත් අතට, ගණන් හදාපු පොත වරක් දෙවරක් බැලුවම, එතුමා වගේ පළපුරුදු ගුරුවරයෙකුට දක්ෂ ශිෂ්‍යයන් අඳුනා ගැනීම ඒ හැටි ප්‍රශ්නයකුත් නොවෙන්නත් ඇති. අනික් අතට, එහෙම ශිෂ්‍යෙක් නැති කර ගන්නත් අකමැති වෙන්නත් ඇති.

      Delete
    3. @ කතනදර

      //මොන පිස්සුද? මෙඩ්ඩෝ බ්‍රයිටෝ කට පාඩමට විතරයි. පිසික්ස් අරහං. චෝච් බැටරියක් දාගන්න දන්නේ නෑ.

      ටිපිකල් ඉංජා මෙන්ටැලිටි. බඩා උසස් පෙළ කරපු අවුරුද්දේ භෞතික විද්‍යාවට වැඩිම ලකුණු ගත්තු 5 දෙනාගෙන් හතර දෙනෙක් ජීව විද්‍යා ශිෂ්‍යයන්. බොහෝ දෙනෙක්ට භෞතික විද්‍යාව බෑ තමයි, ඒත් පුළුවන් අය, බීට්ස් මැත්ස් ස්ටුඩන්ට්ස් හෑන්ඩ්ස් ඩවුන්.

      Delete
  3. ඉස්කෝලේ කලු ලෑල්ලේ ඉටිපංදමක් අතුල්ලලා ගුටිකෑවා පංතියම එකපාරක්..

    ReplyDelete
  4. ලොකු ඈයින්ගෙන් භෞතික විද්‍යාවනං ඉගෙනගත්තෙම නෑ.මට මගේ වාසනාවට දක්ෂ වගේම ළමයින්ට බොහොම උනන්දුවෙන් උගන්නන ගුරුවරු ටිකක් හම්බ උනා.එක්කෙනෙක්නං දැං ටිකක් ප්‍රසිද්ධයි.ඒත් ඒ දවස්වල බොහොම පොඩි මනුස්සයෙක්.ඒ වගේම මම ටියුෂන් පන්තිවල කාගේවත් අවධානයට ලක් නොවූ ශිෂ්‍යයෙක්

    ReplyDelete
  5. අනේ අනේ දැන දැනම අහිංසකයෙක්ව එලියට යවලා නේද? :)))

    ReplyDelete
  6. මම ගියේ ග්‍රේරු සර්ගේ ගෝලයාගේ පන්තියට..
    ආනන්ද කලුආරච්චි...

    ReplyDelete