රෝහලේ සේවයේ යෙදෙන කොට අපට නිතර දකින්න හම්බ වෙන අවස්ථාවක් තමයි හුස්ම ගන්න අමාරු ලෙඩුන්. මෙයින් බහුතරයක් ඇදුම රෝගීන්. සුළු පිරිසක් වෙනත් හේතූන් නිසා හුස්ම ගන්න බැරුව එනවා. හුස්ම ගන්න අමාරුකම එක්කෝ පෙණහල්ලේ හෝ උරස් කුහරයේ ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් හුස්ම ගනීව ස්වයංක්‍රීයව සිදුවන මොළයේ පාලක මධ්‍යස්ථානයේ අවුලක්. ඔන්න ඔය දෙවනියට කියපු වර්ගයේ හුස්ම ගැනිමේ අපහසුකම් විෂ වර්ග නිසා ඇතිවෙනව. ඖෂධ නියම මාත්‍රා වලින් නොගැනීම්, කෘෂි රසායන සහ මද්‍යසාර මේකට අයත් වෙනවා. එහෙම හුස්ම ගන්න අමාරු වෙන රෝගියෙක්ට මුලින්ම කරන්නේ ඔක්සිජන් සපයන එක. ඒත් හරියන්නේ නැත්නම් ශ්වාස නාලය තුළට කටින් බටයක් (endotracheal tube) දාලා ඒකෙ කෙලවරට මැෂිමක් හයි කරනවා. මැෂිම නැති වෙලාවට කරන්නේ විශේෂිත බෑගයක් (ඇම්බු බෑග් - ambu Bag) පොම්පයක් විදියට භාවිත කිරීම. මේ වගේ රෝගීන් කොහොම හරි දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන්න ඕන. නමුත් අපේ රටේ තියෙන තත්වය අනුව සමහර විට දවසක් දෙකක් යනතුරුත් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගන්න බැරි වෙනවා. ඒ මුළු කාලයම රෝහලේ සේවකයන් ඇම්බු බෑගය මිරිකමින් රෝගියාට කෘත්‍රිම ශවසනය ලබාදෙනවා.
දවසක් බඩා සේවය කරන වාට්ටුවට මේ විදිය රෝගියෙක් අරන් ආවා රෑ දෙගොඩහරි ජාමේ. කණිෂ්ට වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කළාට පස්සේ බඩාට ඇමතුමක් ආවේ රෝගියාව බලන්න. මේ මිනිහා හොඳටම බීලා. හුස්මේ තියෙන ඇල්කොහොල් වලටත් අපි වෙරි වෙන ගානටම බීලා. හුස්ම ගැනීමේ රිද්මය සවුත්තු නිසා අර කලින් කිව්ව විදියට බටයක් බඩා විසින් දමනු ලැබුවා. "බට දැම්ම නම් අයි.සී.යූ. හොයපන්" කියන එක වෛද්‍යවරුන් අතර ආප්තෝපදේශයක්. ඉතින් බඩාත් පැය කීපයක් තිස්සේ දැඩි සත්කාර ඒකක හෙව්වත් වැඩේ හරිගියේ නෑ. මේ අතර රෝගියාගේ යාළුවෙක් ලඟ ඉඳන් ඇම්බු බෑගය මිකිකනවා. මිනිහත් බැලූ බැල්මට ලෙඩාට වගේම බමර පදම්. දැඩි සත්කාර ඒකක සෙවීම පැය කීපයකට කල් තියපු බඩා ආයෙත් කාමරේට ගියේ පැයක් දෙකක් වත් නිදා ගන්න.
පහු වෙනිදා උදේ වෝඩ් රවුන්ඩ් එක බඩා කරද්දී අර බටයක් දාගෙන බෑගය මිරිකන ලෙඩෙක් පේනතෙක් මානෙක වත් නෑ. ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී (ළග ඉන්න කෙනා උත්තර දෙයිනෙ!) වාට්ටුවේ කොනක "ඉන්නවා" සදදයක් ඇහෙනව. බට දාපු එකා කතා කරන්නෙ කොහොමද බලන්න බඩා ඒ පැත්තට ගියා. රෝගියා බිම් පැදුරක ඉඳගෙන, බටේ ගලවන් අතේ තියාගෙන (සාමාන්‍යයෙන් මේ බටේ ගලවන්නේ විශෙෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ), ඇම්බු බෑගය මිරිකන්න දාපු එකා අල්ප දයන්න වගේ ගුලි වෙලා බිම බුදි. බඩා එනව දැක්කම අර රෝගියා කියනව "සර්, මේ බටේ මගේ කටේ දාල තිබුණ. මේක සර්ලගේ නිසා මම විසි නොකර තියා ගත්ත" කියල. ඔය පින්තූර දැක්කම පේනව ඇති නේද ඔය බටේ ගලවන එක කොච්චර අමාරුද කියල? ඔන්න අපේ රටේ ලෙඩ්ඩුන්ගේ හැටි!


