Friday, March 23, 2012

සර්ලගෙ බඩුවක්

රෝහලේ සේවයේ යෙදෙන කොට අපට නිතර දකින්න හම්බ වෙන අවස්ථාවක් තමයි හුස්ම ගන්න අමාරු ලෙඩුන්. මෙයින් බහුතරයක් ඇදුම රෝගීන්. සුළු පිරිසක් වෙනත් හේතූන් නිසා හුස්ම ගන්න බැරුව එනවා. හුස්ම ගන්න අමාරුකම එක්කෝ පෙණහල්ලේ හෝ උරස් කුහරයේ ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් හුස්ම ගනීව ස්වයංක්‍රීයව සිදුවන මොළයේ පාලක මධ්‍යස්ථානයේ අවුලක්. ඔන්න ඔය දෙවනියට කියපු වර්ගයේ හුස්ම ගැනිමේ අපහසුකම් විෂ වර්ග නිසා ඇතිවෙනව. ඖෂධ නියම මාත්‍රා වලින් නොගැනීම්, කෘෂි රසායන සහ මද්‍යසාර මේකට අයත් වෙනවා. එහෙම හුස්ම ගන්න අමාරු වෙන රෝගියෙක්ට මුලින්ම කරන්නේ ඔක්සිජන් සපයන එක. ඒත් හරියන්නේ නැත්නම් ශ්වාස නාලය තුළට කටින් බටයක් (endotracheal tube) දාලා ඒකෙ කෙලවරට මැෂිමක් හයි කරනවා. මැෂිම නැති වෙලාවට කරන්නේ විශේෂිත බෑගයක් (ඇම්බු බෑග් - ambu Bag) පොම්පයක් විදියට භාවිත කිරීම. මේ වගේ රෝගීන් කොහොම හරි දැඩි සත්කාර ඒකකයට තුළු කරන්න ඕන. නමුත් අපේ රටේ තියෙන තත්වය අනුව සමහර විට දවසක් දෙකක් යනතුරුත් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගන්න බැරි වෙනවා. ඒ මුළු කාලයම රෝහලේ සේවකයන් ඇම්බු බෑගය මිරිකමින් රෝගියාට කෘත්‍රිම ශවසනය ලබාදෙනවා.


දවසක් බඩා සේවය කරන වාට්ටුවට මේ විදිය රෝගියෙක් අරන් ආවා රෑ දෙගොඩහරි ජාමේ. කණිෂ්ට වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කළාට පස්සේ බඩාට ඇමතුමක් ආවේ රෝගියාව බලන්න. මේ මිනිහා හොඳටම බීලා. හුස්මේ තියෙන ඇල්කොහොල් වලටත් අපි වෙරි වෙන ගානටම බීලා. හුස්ම ගැනීමේ රිද්මය සවුත්තු නිසා අර කලින් කිව්ව විදියට බටයක් බඩා විසින් දමනු ලැබුවා. "බට දැම්ම නම් අයි.සී.යූ. හොයපන්" කියන එක වෛද්‍යවරුන් අතර ආප්තෝපදේශයක්. ඉතින් බඩාත් පැය කීපයක් තිස්සේ දැඩි සත්කාර ඒකක හෙව්වත් වැඩේ හරිගියේ නෑ. මේ අතර රෝගියාගේ යාළුවෙක් ලඟ ඉඳන් ඇම්බු බෑගය මිකිකනවා. මිනිහත් බැලූ බැල්මට ලෙඩාට වගේම බමර පදම්. දැඩි සත්කාර ඒකක සෙවීම පැය කීපයකට කල් තියපු බඩා ආයෙත් කාමරේට ගියේ පැයක් දෙකක් වත් නිදා ගන්න. 


පහු වෙනිදා උදේ වෝඩ් රවුන්ඩ් එක බඩා කරද්දී අර බටයක් දාගෙන බෑගය මිරිකන ලෙඩෙක් පේනතෙක් මානෙක වත් නෑ. ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී (ළග ඉන්න කෙනා උත්තර දෙයිනෙ!)  වාට්ටුවේ කොනක "ඉන්නවා" සදදයක් ඇහෙනව. බට දාපු එකා කතා කරන්නෙ කොහොමද බලන්න බඩා ඒ පැත්තට ගියා. රෝගියා බිම් පැදුරක ඉඳගෙන, බටේ ගලවන් අතේ තියාගෙන (සාමාන්‍යයෙන් මේ බටේ ගලවන්නේ විශෙෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ), ඇම්බු බෑගය මිරිකන්න දාපු එකා අල්ප දයන්න වගේ ගුලි වෙලා බිම බුදි. බඩා එනව දැක්කම අර රෝගියා කියනව "සර්, මේ බටේ මගේ කටේ දාල තිබුණ. මේක සර්ලගේ නිසා මම විසි නොකර තියා ගත්ත" කියල. ඔය පින්තූර දැක්කම පේනව ඇති නේද ඔය බටේ ගලවන එක කොච්චර අමාරුද කියල? ඔන්න අපේ රටේ ලෙඩ්ඩුන්ගේ හැටි!

Thursday, March 22, 2012

මව් ගුණ

පාසල් යන කාලේ බඩා ගේ කට හොඳ නැති බව ඔය කට්ටිය දන්නවනෙ. බඩා වගේම කට හොඳ නැති තවත් කීප දෙනෙක් හිටියා. ඉන් එක්කෙනෙක් තමා "තකී". තකී ජොලියට බර, ජීවිතේ ආතල් එකෙන්ම ගෙවන සොමිබර කොල්ලෙක්. තකී ගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච නිසාත්, ජීවිතේ බරක් නොදැනුණා වෙන්න පුළුවන්.

එක පැත්තකින් තකී එහෙම ඉන්දැද්දී සාමාන්‍ය පෙල පන්ති වල හිටපු විනය පාලක තමයි රත්නේ සර්. උස, මහත, මවිල් වැවිච්ච රත්නේ සර්ට හැමෝම බයයි. හැබැයි කාටවත් ගහනවා නම් බඩා දැකල නෑ. කොටින්ම රත්නෙ සර් අපිව බය කරන් හිටියේ පෙනුමිනුයි, කටිනුයි.

එකමත් එක දවසක, තකී, බඩා ගේ බයිට් එක බවට පත් වුණා. සාමාන්‍යයෙන් සොමියෙන් ඉන්න තකීට මළ පැනලා බඩා ගේ මව් පාර්ශවය සමග ලිංගික සම්බන්ධතාවයක විස්තරය දක්වන කුණුහරුපයක් මහා හඬින් බඩා වෙත එල්ල වුණා. අවාසනාවකට වගේ, මේ කතාව එහා පන්තියේ උගන්නපු රත්නේ සර්ට ඇහිලා. දැන් මිනිහ ඇවිත් අපේ පන්තිය ඇතුලේ. කොල්ලෝ මීයට පිම්බා වගේ. තව ටිකකින් තකියා අම්බානකට කන බවක් අපට පෙනී ගියා.

"කවුද ඒ කෑ ගැහුවේ? " රත්නේ සර් අහපි.

"මම". තකී උත්තර දුන්නේ බයෙන්.

"යකෝ, මව් ගුණ කියනව නම් අනික් පන්තියට ඇහෙන්නේ නැති වෙන්න හෙමින් කියාපිය" කියල තකීට ඔරවලා රත්නේ සර් හැරිල ගියා. අපි හොල්මන්ද පොල් කොල!

Wednesday, March 21, 2012

අද නෙවෙයි හෙට

බඩාගේ අධ්‍යයන කණ්ඩායමේ හිටියා කෙට්ටු, මිටි කොල්ලෙක්. සයිස් එක පොඩි වුණාට මූට තිබ්බේ ලොකු ලොකු දේවල්. නැව් ටෝක් දෙන්න රුසියා. ඒ වගෙම තමයි මේකා අර නර්ඩ් (nerd) කියල ඉංග්‍රීසියෙන් කියන ජාතියේ අති විශිෂ්ට බුද්ධිමතෙක්. පොරට අපි කිව්වේ පාප ලාල් කියලයි. කොලඹ වෛද්‍ය පීඨයේ වසර පහමාරට විභාග 100ක් විතර තියෙනවා. නමුත් මේ කිසිම විභාගයකය පාප ලාල් හෙවත් පාපයා සති දෙකකට වඩා පාඩම් කරන්නේ නෑ. ඉතිරි කාලේ ගත වෙන්නේ ක්‍රිකට් තරඟ නරඹමින්, කැරම් ගහමින් සහ බිලියර්ඩ් ගහමින්. ඒ වගේම පාපයාට පුදුමාකාර මතක ශක්තියක් තිබුණ. බලන ඕනම ක්‍රිකට් තරඟයක පන්දුවෙන් පන්දුව වෙච්ච දේ පොතක් දිග අරින්නා වගේ පාපයාට කියන්න පුළුවන්. ඉතින් මෙහෙම මතකයක් තියෙන නිසාත් වඩිපුර පාඩම් නොකරන නිසාත්, මැරීගෙන පාඩම් කරන් ආයට පාපයා කාමරයට එන එක මහ වදයක්. ඒ නිසාම පාප මිත්‍රයෙක් බව හැඟෙන්න කාඩ් එක පාප ලාල් බවට පත් වුණා. මගේ රූමා, නිගන්ටයා මින් කෙනෙක්. නිගන්ටයා කියන්නේ දවල් රූ පාඩම් කරන කෙනෙක්. නමුත් පාපයා බඩා එක්ක නිතර සෙට් වෙන්නට ඒම නිගන්ටයාට ප්‍රශ්නයක් වුණා. දවසක් නිගන්ටයා බඩාට කතා කරල කියනවා, බඩෝ, මම කියන එක දොරේ ලියපන් කියල. (බඩා පෝස්ටර් ඇඳීමට දක්ෂ නිසා ඔය වගේ වැඩ නිතරම ලැබෙනවා). දොරේ ලියපු එක දැකපු පාපයා, මාසයක් විතර කාමරේ පැත්තේ ආවේ නෑ.

"පාප ලාල් අද නෙවෙයි හෙට" කියල දොරේ ලියල තිබුණ.

Saturday, February 18, 2012

කවුද පිස්සා?

වෛද්‍ය පීඨය කියන්නේ බොහොම දරුණු විදියට අධ්‍යාපනය ගැන වෙහෙසෙන තැනක්. ඒ නිසාම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සමහර දෙනෙක් මේ මානසික ආතතය දරා ගන්න බැරි වෙලා මානසික රෝගීන් බවට පත් වෙනවා. මෙයින් බහුතර දෙනෙක් සුවය ලැබුවත්, හොඳ කරන්න බැරි ගානටම ලෙඩ වෙන කිහිප දෙනෙකුත් ඉන්නවා. මාරේ අයියත් අන්න ඒ විදිය කෙනෙක්. අවුරුදු ගාණක් භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙලෙන මාරේ අයියා දර්ශීය මානසික රෝගියෙක්.

වෛද්‍යවරු විදියට කිසිම රෝගියෙක් පිස්සෙක් කියල අපි හඳුන්වන්නේ නෑ. ඒත් ඉතින් සමහර වෙලාවට වචනෙ යොදන්න වෙනවනේ. බ්ලොම් නේවාසිකාගාරේදී මාරෙට කිව්වේ පිස්සු මාරේ කියලයි. මාරේ පිස්සා වුණාට අමු වලත්තයා. මොකුත් කර ගන්න බැරිතරම් දුප්පත් පවුලකින් ආවට මූ අතේ තියෙන සත පහ වියදම් කලෙත් ගණිකාවො පස්සේ යන්න. භින්නෝන්මාදයට දෙන බෙහෙත් වලින් ලිංගික බෙලහීනතාවය ඇති වෙන එක ප්‍රකට කාරණයක්. ලිංගික බෙලහීනතාව ආවම අර කලින් කී වැඩේ බැරි නිසා මාරේ කලේ බෙහෙත් නොබී ඉන්න එක. එතකොට ඉතින් ලෙඩේට වෙන දේ ගැන කියන්න ඕනේ නෑ නෙ? අනික මේ රෝගීන්ට විවිධ දේවල් මැවිල පේනවා සහ දැනෙනවා. ඒකට හැලුසිනේශන් (hallucination) කියල කියනවා. "අඩෝ උඹ ඊයේ මගේ පුක මිරිකුවේ ඇයි?" ඔන්න මාරේ ගේ දර්ශීය
hallucination එකක්.

භින්නෝන්මාදය තියෙන ලෙඩෙක්ට තමන් ලෙඩෙක් කියල දැනෙන්නේ නෑ. තමුන් කරන දේ බරපතල කම දන්නෙනෙත් නෑ (අපි ඒකට ඉ
න්සයිට් (insight) කියල කියනවා). ඒ නිසා මේ වගේ රෝගියෙක් ගෙන් වෙන අනතුරක් වුණත් ඉවසා ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් පුරුදු වෙලා හිටියා. පිස්සු තද වෙන කාලෙට මාරේටත් මෙහෙම වෙන්න පුළුවන් වුණත් බඩා හිතන හැටියට තමන්ට ඉන්සයිට් නැති බවට පෙන්නමින් මාරේ කලේ තනිකරම මවා පෑමක්. මාරේ පඩිපෙළ බහිද්දී සාමාන්‍යයෙන් කොල්ලෝ අයින් වෙලා ඉඩ දෙනව. නැත්නම් මාරේ හැංගිලා ඉඳල ගහනව. හැබැයි ගහන්නේ ඇඟෙන් පොඩි කොල්ලන්ට විතරයි. මාරෙට කුණුහරුප දෙකක් කියල බැනපු බඩා එක්ක මාරේ පැටලෙන්න ආවේ නැත්තේ පැටලුණොත් අම්බානකට කන්න වෙන බව දන්න නිසාත්, නේවාසිකාගාර කමිටුවේ බඩාට තිබුණු බලවත් තනතුර නිසාත්.

පස්සේ කාලෙක මාරයා හරියට දරුණු වුණා. බඩාගේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ ශිෂ්‍යයෙක්ගේ ඔළුවට පොල්ලකින් ගහලා තිබුණෙත් ඔය කාලෙමයි. බ්ලොම් වාසීන් ඒ දවස් වල මාරේ ගැන හිටියේ මර බයෙන්. කොහොම හරි මාරේ කොටලා කොටලා කෙහෙල් ගහට කෙටුවේ අන්තිමේදී. හොරා වැඩිය උස මහත නැති කණාටු කොල්ලෙක්. මාරේ දවස්ක් හොරාට තඩි බෑවේ රෑ චමරියට යද්දී. හොරාගේ ඔළුවට පොලු පාරක් දුන්නත් ඒක වැදුණේ උරෙස්සට. පැන්න ගමන් මාරයාගෙන් පොල්ල උදුර ගනිපු හොරා, මාරයාට තඩි බාගෙන ගියේ නවත්තන්නේ නැතුව. තවත් හිටියොත් කිසිදා නොකෑ කෑමක් කන්න වෙන බව දැන ගන්න තරම් ඉන්සයිට් තිබුණු මාරේ බ්ලොම් එකෙන් එළියට පැනලා පාර දිගේ දුවන්න ගත්තා. හොරා ඒත් අත ඇරියෙ නෑ. පොල්ලෙන් තඩි බබා මාරේව බොරැල්ල හන්දිය වෙනකම්ම හොරා එළවගෙන ගියා.

මේක බලා හිටපු සුදු පුතා බඩා ගෙන අහනවා, "මචන් බඩා, දැන් කවුද බන් ඔතන පිස්සා?"

Friday, February 10, 2012

කිරියා


වෛද්‍ය විද්‍යාලෙන් පිට වෙලා හා හා පුරා කියලා සීමාවාසික පුහුණුවට බඩා ගියේ කොළඹ කිට්ටුව තිබුණු රෝහලකට. අපේ කණ්ඩායමේ ම හිටපු තවත් වෛද්‍යවරයෙක් ඇවිත් හිටියා. මුගේ නම කිරියා. කිරියා හොඳ කලා රසාස්වාදයක් තියෙන, උයන්න උපන් හපන් කම් දක්වපු චරිතයක්. ඒ වගෙම ආතල් දෙන්නත් කියාපු පොර. මඳ පමණට දාගත්තම, රමණීය විදියට ආතල් දීම කිරියාගේ පුරුද්දක්. කිරියාගේ විශ්ව විද්‍යාල කාලේ මිත්‍රයා "ගෙම්බා". මුන් දෙන්නගේ කාමරේ "කිරියා සහ ගෙම්බා" කියලත් ගහල තිබුනලු!

සීමාවාසික පුහුණුව කියන්නේ දවස පුරාම වැඩ තියෙන රස්සාවක්. මේ නිසා දවල් කෑම ගත්තෙත් වාට්ටුවේදීමයි. අපිට බත් අම්මා කෙනෙක් ඒ දවස් වල කෑම සපයීම කලා. කෑම වල තත්වය ගැන කිව්වොත්, බත් අම්මගෙ අම්මව නිතරම මතක් වෙනවා.

ටික දවසක් යද්දී බඩයි, නාරමායි (මගේ රූම් මේටා) දැකපු දෙයක් තමයි අපේ බත් එකට වඩා කිරියගෙ බත් එක වෙනස් කියල. ඒකෙ තව පොඩි පාර්සලයකුත් තියෙනව. මේ මොකද්ද කියල බලනකම් අපිට ඉවසුමක් නෑ. කොහොමෙන් කොහොමෙන් හරි කිරියා රෝගියෙක්ව මහ රෝහලට මාරු කරන්න යද්දී, අපි ප්‍රශ්නෙට උත්තර හොයා ගත්තා.

හොඳට ඔතලා, පාර්සල් කරලා ගෙනත් දෙන්නේ තඩි බුලත් විටක්! පහු දවස්ක අපි කාමරේට යද්දී මෙන්න මූ සරමක් කැහැපට ගහගෙන ජනේලේ අයිනට වෙලා හරකා තණකොල හපනවා වගේ බුලත් හපනවා.

Wednesday, February 8, 2012

සුචරිතවාදී මහැදුරු

වෛද්‍ය විද්‍යාලය කියන්නේ අනික් පීඨ වලට වඩා තරමක් අමුතු තැනක්. මෙතන දී අතිශය බුද්ධිමතුන් (nerds) දකින්නට පුළුවන් වෙන තැනක්. නමුත් මේ නර්ඩ්ස්ලා අතර හොඳට බොන, කන, ජීවිතේ විඳින කොටසකුත් හිටියා. වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරය හඳුන්වන්නේ බ්ලොම්ෆොන්ටේන් කියල. එහෙම නගරයක් දකුණු අප්‍රිකාවේ තියෙන බවත්, ඒකේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තියෙන බවත් බඩා දන්නවා. ඒ වුණාට මොන එහෙකට ඒ නේවාසිකාගාරෙට ඒ නම දැම්මද කියල බඩා දන්නේ නෑ. මේ කතාව සිද්ධ වුණේ බඩා පළමු වසරේ ඉන්දැද්දී.

ඉස්සර දවස් වල ටැබූ කියල බ්ලොග් කාරයෙක් හිටියා ඔය අයට මතක ඇති. ටැබූ එක ලිපියක් "වෛද්‍යවරුන් සිය සරසවි ජීවිත තුල ලිංගික අත්දැකීම් ලබන්නේ සුළු වශයෙනි" කියල කියපු දේකට මම උපහාසෙන් හිනා වුණා මතක ඇති. ඔන්න ඒ උපහාසයට හේතු වුණේ මේ කතාවේ කියන්න යන කාරණා. බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාරය තියෙන්නේ කේරි විදුහල කිට්ටුවෙන්. කේරි විදුහලට ළමයින් ඇරලන්න එන්න මව්වරුන් සමහර විට වෛද්‍ය ශිෂ්‍යයන් එක්ක මිත්‍ර වෙනවා. මේ මිත්‍ර කම බොහෝ දුරට කෙළවර වෙන්නේ බ්ලොම්ෆොන්ටේන් එකේ කාමරයකට දෙදෙනාම යන එකෙන්. සමහරවිට ගණිකාවන් හෝ වෙනත් කාන්තාවන් ද මේ විදියට අරන් ගිය අවස්ථා නැතුවා නෙවෙයි.

හැබැයි මේ නිදහසට තිත තිබ්බේ එක්තරා සුප්‍රසිද්ධ මහාචාර්යතුමෙක්. එතුමා 1990 ගනන් වල මුල රූපවාහිනියේ ජනප්‍රිය චරිතයක්. අතිශය සුචරිතවාදී හින්ද ද එහෙම නැත්නම් කොල්ලන් ගන්න ආතල් එකට ඉරිසියාවේද කොහෙ ද අපේ මහචාර්යතුමා මේ වැඩේට විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නෙවෙයි, නේවාසිකාගායටේ උප ශාලාධිපති එක්ක කාමරෙන් කාමරේ බල බල "රවුන්ඩ්" එකක් හිටන් යන්න අමතක කලේ නෑ.

ඒත් වෛද්‍ය ශිෂ්‍යයෝ කියන්නෙත් ලේසි පාසු බඩු නෙවෙයි. මහාචාර්යතුමා ගේට්ටුවෙන් ඇතුලු වෙනකොටම ඔත්තු බලන්න එකෙක් තියල තියනවා. ඔත්තුකාරයා කරන්නේ මහාචාර්ය තුමා ඇතුල් වෙච්ච ගමන්ම ශාලා තුනටම ඇහෙන්න මහ හයියෙන් "කාක්, කාක්" ගාන එක. එතකොට කට්ටිය අදාල කාන්තාවන්ව හොරෙන්ම ශාලාවේ පසු පස දොරෙන් පිට කරල දානවා. 

ඔන්න අපේ ජ්‍යෙෂ්ඨ මිත්‍රයකුත් මේ විදියට කාන්තාවක් එක්ක කාමරේක් වැඩ. හදිස්සියෙම "කාක්" නාදය ඇහුණත් උපරිම අවස්ථාවේ හිටපු අපේ මිත්‍රයා නවත්තන්නේම නැතුව වඩේ කරගෙන ගිහින්. වැඩේ නවත්තන කොට මහාචාර්යතුමා ශාලාවට ඇතුල් වෙලත් ඉවරයි. දැන් කෙල්ලව පන්නන එක බොරු. කරන්න දෙයක් නතුව හිටපු අපේ මිත්‍රයට පහළ වුණේ ගණ දෙවි නුවන. මේ කාමරේ අයිති කාටද කියල කවුරුහරි ඇහුවොත් මේ නම කියන්න කියල, අපේ මිත්‍රයා කාන්තාවට මහාචාර්යතුමාගේ මුල් නම කියාපි. එහෙම කියල ජනේලෙකින් සර්කස් පාරක් දාලා අනික් කාමරේට මාරු වෙච්ච අපේ මිත්‍රයා (මේ හතර වෙනි තට්ටුවේ!) එහා කාමරේ දොර ඇරගෙන මීයා වගේ බලා ඉන්නවා. මහාචාර්යතුමා ශාලාධිපති එක්ක ඇවිත් අපේ මිත්‍රයගේ කාමරේ දොරට ගහනවා. මහාචාර්යතුමා හිතපු විදියටම කාමරේ හිටියේ කාන්තාවක්. "මේ කාමරේ කාගෙ ද?" කියල අහපු මහාචාර්යතුමාට අහන්න ලැබුනේ කමුන්ගෙම නම! ඒත් වෙන කවුරුවත් ඒකෙ ඉන්නව ද බලන්න මහාචාර්යතුමා ඇතුලට ගිය ගමන් එක පාරටම අල්ලපු කාමරෙන් එළියට පැන්න අපේ මිත්‍රයා කලේ අතේ තිබුණු එහා කාමරේ ඉබ්බා දාලා අර කාමරේ දොර වහන එක. දැන් මහාචාර්යතුමා අර කාන්තාව එක්ක කාමරේ ඇතුලේ! "මෙන්න ප්‍රොෆෙසර් . . . . ගෑණියෙක් එක්ක කාමරේක ඉන්නවෝ" කියල ශාලාව දෙවනත් වෙන්න අපේ මිත්‍රයා කෑ ගහන්න ගත්තේ ඊට පස්සේ. මුළු බ්ලොම් එකේම කොල්ලෝ ශාලාවට පිරෙනකල්ම අපේ මිත්‍රය කෑගැහුවලු!

ඊට පස්සේ නම් මහාචාර්යතුමා රවුන්ඩ් කරන්න එහෙ ආවේ නම් නෑ!

Thursday, February 2, 2012

නීතිඥ මහත්තයගෙ බල්ලා

බඩා ගේ හාමිනේ ගේ අම්මා, (නැන්දම්මා) පදිංචි වෙලා හිටියේ මහරගම පැත්තේ ගේක. ගෙයි උඩ තට්ටුව කුළියට අරගෙන තමයි එයා හිටියේ. මේ උඩ තට්ටුවේ ඉඳන් එහා පැත්ත බැලුවම පේන්නේ හොඳ සරු සාරෙට හදපු ලොකු ගෙයක්. පදිංචි වෙලා හිටියේ නීතිඥ මහත්තයෙක් වගේ තමයි බඩාට මතක. මේ ගෙදර හිටියා පත දඩෝරි බල්ලෙක්. නම රෝයි. ඇල්සේෂන් සහ මැස්ටිෆ් කියන බල්ලන්ගේ දෙමුහුමක් වෙන්න ඇති කියලා බඩා හිතිවේ මේකා වහු පැටියෙක් විතර විසාල නිසා. නීතිඥ මහත්තයගේ නෝනා එහෙම මේ බල්ලට කතා කරන්නේ ඉංග්‍රීසියෙන්! Roy come, Roy sit, Roy go to the cage වගේ විධාන ඔක්කොම බල්ලට දෙන්නේ ඉංග්‍රීසියෙන්. ඌත් සුද්දගේ බල්ලෙක්ද නිසාද මන්දා ඌටත් මේව හොඳට තේරෙනවා.

ඔන්න දවසක් නීතිඥ මහත්තයගේ අක්කා මේ ගෙදර ආවා. කාලෙකින් ආපු අක්කට සලකනවා වෙනුවට අපේ නීතිඥ නෝන මහත්තුරු ඩබල අක්කව ගෙදර දාල කොහෙද ගිහින්. අපි අර කලින් කියපු රෝයි නම් දඩෝරියා නීතිඥ මහත්තයාගේ වත්තේ තාප්පේ උඩින් පැනලා, අපේ නැනදම්මගේ වත්තට ඇවිත්, පාර දිගේ දුවනවා. ඊට පස්සේ අපට පේනවා නයිටියක් ඇඳගෙන ඊට උඩින් හවුස් කෝට් එකක් දාගත්තු නීතිඥ මහත්තයාගේ අක්කා පස්සෙන් දුවගෙන එනවා. "මෙහෙ වර කාලකණිනි වල් බල්ල. මෙහෙ වර කූඩුවට, මම තොගේ මාළු කෑල්ලක් කන්ව, හපෝයි මේ වනචරය" ඔන්න නීතිඥ මහත්තයගේ අක්කගේ වචන සැට් එක. මේ වචන උපන්තේකට අහල නැති දඩෝරියා හොල්මන්ද පොල් කොළ වෙලා තවත් වටේ දුවනවා.

කොහොම කොහොම හරි බල්ලව අල්ල ගත්තු අපේ කතා නායිකාව ඊලඟට බල්ලට දම්වැටෙන් තඩි බබා අරගෙන එනව පේනව. "අපොයි තෝ වගේ පාහරයෙක්, තෝ මාව පාර පුරා ඩිවෙව්ව නේද, අවලම් බල්ලා" ඔන්න ඒ පාර වචන සැට් එක. ආයෙත් පාරක් බල්ලගෙ මූණ හොල්මන්ද පොල් කොළ!