Wednesday, July 25, 2012

Landminner


වෛද්‍ය පීඨයේ අවසන් වසරේ දී අපට සායනික ක්‍රියාකාරකම් උපරිමව තියෙන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇතුලත මහාචාර්ය ඒකක පහක (ශල්‍ය, කායික වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරි වේද සහ මානසික රෝග) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කාලය ඇතුලත අදාල ශිෂ්‍යයාට භාර වෙන රෝගීන් සියල්ලක්ගේම තොරතුරු එක් රැස් කරලා තියා ගන්න ඕන. මේක සෑහෙන්න අමාරු වැඩක් කියල ආයෙමත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ. ඉතින් ගොඩ දෙනෙක් කලේ "ෂේප් න්‍යායෙන්" මේ වැඩේ කරන එක. හැබැයි අහු වුණොත් නම් ඉතින් ජල බැණුම් තමයි. 

අපේ කණ්ඩායමේ කලා කාමී කොල්ලෙක් හිටියා. පිරිත් මණ්ඩප ගනන්න, වෙසක් කූඩු හදන්න, කැටයම් කපන්න වගේ දේවල් වලට මේකා හරිම සූරයා. ඒ වගේම තමයි දෙකක් දාගත්තම නියමෙට ආතල් සැපයීමත් සිද්ධ කරනවා. මේ සිද්ධිය වුනේ ළමා රෝග වාට්ටූ පැත්තේ. බඩා අර මුලින් කිවු විදියට රෝගීන් ගේ තොරතුරු තියාගෙන ඉන්න කියන්නේ හදිස්සියෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් සායනික පන්තියක් (clinical class / ward class) පවත්වන්න ඒක පහසුවක් නිසා. එක දවසක් ළමා රෝග වාටුවේ මහචාර්යතුමෙක් අපේ කලාකාමියාට කතා කරලා රෝගියෙක් පෙන්නලා, හෙට මේ රෝගියා සායනික පන්තියකට ගන්න නිසා, විස්තර හොයාගෙන ලෑස්ති වෙලා ඉන්න කියලා දන්වලා තියෙනවා. වෙනදට හරියටම එකොලහ මාර වෙද්දී පණින මිනිහා හවස් වෙනක්ම්ම මෙන්න වාට්ටුවේ! රතු ඉර ගහන්න කලින් දුවන් එනවා වගේ හරියටම උදේ අටට එන මිනිහා මෙන්න උදේ හතට වාට්ටුවේ! 

ඊළඟට එළඹුනේ සායනික පන්තිය. කලාකාමියගේ රෝගී විස්තරය (history) නියමයි. කොටින්ම මහාචාර්ය තුමාට පවා පුදුමයි. රෝගී විස්තරය ඉදිරිපත් කරන කොට රෝගියාගේ සමාජ තත්වය ගැනත් සඳහනක් කරනවා. Social history කියන්නේ ඒකට. සමාජ තත්වය කියද්දී මෙන්න කලාකාමියා ගොත ගහනවා. "His father is a . . . a . .  Landminner!" කියල කියාපි. කට්ටියටම බඩ අල්ලන් හිනා වුණාට වෙන්නේ මොකද කියන එක ගැන හරි තේරුමක් නැහැ. වුණේ මොකද්ද කියල හරියට තේරුණේ සූර පප්පට විතරයි, මොකද කලාකාමියාගේ පොත කෙලින්ම පෙණුනු නිසා. "Father - මැණික් පතල් හාරනවා" කියල ඒකේ ලියල තිබුණා!

Tuesday, July 24, 2012

මූදු හත්ත

බඩා ගේ උසස් පෙළ කාලයේ ඉඳලා මිත්‍රයෙක් තමයි ජොරා කියන්නේ. ජොරා ඉගෙන ගත්තේ බඩා ඉගෙන ගත්තු පාසලේ නොවුනට, අමතර පංති වලට ගියේ එකටමයි. කොහොම කොහොම හරි දෙන්නම වෛද්‍ය විද්‍යාලයටත් තේරුණා. ජොරා වැඩිය උස නැති, පැහැපත් හැඩ කොල්ලෙක්. ඒ වගේම තමයි පෙනුම ගැනත් බොහොම උනන්දුයි. ජොරාගේ කාමර සගයා වුණේ කොටියා. කොටියත් හැඩ කොල්ලෙක්, ඒත් කොටියගෙ තිබුණේ වෙනම ආතල්. ගාණට මූණ හෝදලා (ෆේස් වොෂ් එහෙම දාලා) පොන්ටින් කට් තියලා රැවුල කපලා, කලිසම් කමිස වල ක්‍රීස් එක ඇද නැතුව හිටින්න තිය අඳින පළඳින කෙනෙක් ජොරා කියන්නෙ.

කොහොමෙන් කොහොමෙන් හරි, කවුරුහරි කෙනෙක් ජොරාට මූදු හත්තක් ගෙනත් දීලා තියෙනවා. මූදු හත්ත වතුරේ දාලා තියලා ඒ වතුර බිව්වම පැහැපත් වෙනවා කියලයි කියල තියෙන්නේ. ඔන්න ජොරාත් හත්ත වතුරේ දාලා වතුර බොනවා. පළවෙනි දෙවෙනි දවස් වල කිසි අවුලක් නොවුනත්, තුන් වෙනි දවස වෙනකොට මූදු හත්ත කුණු වෙලා ගඳ ගහන්න අරගෙන. කොටියට හුස්ම ගන්නත් අමාරුයිලු. ඒත් ජොරා නෙවෙයි මේක විසි කරන්නේ. කොහොම හරි ටික දවසකින් අපට පේනවා ජොරා කුණුහරුපෙන් බැණ බැණ මූදු හත්ත වීසි කරනවා. ඇහුවම ඇයි කියල උත්තර දෙන්නේ නෑ. ආයෙත් සැරෙන් ඇහුවම කියන්නේ රස අන්තිමයි කියල. ඇත්ත සිද්ධිය දැනගත්තේ ටික දවසකට පස්සේ. ගඳ උහුලගන්න බැරිවෙච්ච කොටියා හෙමින්ම මූදු හත්ත තියෙන භාජනේට කොටි දිය පුරවලා!

Friday, July 20, 2012

හරක් දැක්කිල්ල

බොහෝ වැඩ, රෝගීන් ගේ කටයුතු සහ අධ්‍යයන කටයුතු කරන්න තිබුණු නිසාවෙන් බඩාට අළුත් කතා ලිවිල්ල ටිකකට මග හරුණා. ඒ ගැන බඩා මුලින්ම සහෘද පිරිසෙන් සමාව භජනය කර සිටිනවා.
බඩා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ නාරි සහ ප්‍රසව විද්‍යාව උගන්නන්න මහාචාර්යතුමෙක් හිටියා. උස, මහත, කළු, වලහෙක් වගේ මයිල් තියෙන, දරදඬු පෙනුමක් තමයි මේ මහැදුරුතුමාට තිබුණේ. ඒ වුණත්, ඉතාම කාරුණික, රෝගී සේවයට ලැදි, අති දක්ෂ ප්‍රසව හා නාරි වේදී වෛද්‍යතුමෙක් එතුමා තුල සිටියා. ඒ වගේම මෙතුමාගේ හැම වැඩක්ම ඉතාමත් වේගවත්. සොයිසා රෝහලේ පළමු තට්ටුවේ ඉඳන් දෙවනි තට්ටුවට විදුලි සෝපානය එන ටිකට මෙතුමා පඩි පෙළ නැගලා වාට්ටුවටත් එනවා! ඒ වගේම තමයි සැත්කම් කරන වේගය. අනික් වෛද්‍යවරු විහිළුවට වගේ කියන්නේ ලෙඩාට රිදෙන්නව තරම් ත් වෙලාවක් යන්නේ නෑ කියල. ඒ වගේම තමයි, ප්‍රශ්න අහන වේගයත්. ඒ  ප්‍රශ්න අහන වේගෙට උත්තර දෙන්න මෙලෝ මිනිහෙකුට බෑ. කොටින්ම ළමයා හදන එක ඇරෙන්න අනික් ඔක්කොටම මෙතුමාට තියෙන්නේ පුදුම හදිස්සියක් කියලයි හැම දෙනාම කිව්වේ.

වැඩට දක්ෂයා වගේම තමයි මෙතුමා කියුම් මරුවා. ඕනම වෛද්‍ය ශිෂ්‍යයෙක් එන්නේ මොකාටද කියලා මොහොතින් තේරෙන අතරම, අපි අවුරුදු ගාණක් තිස්සේ දැනගත්තු යහළුවන්ගේ චරිත ලක්ෂණ මෙතුමා ඇසිල්ලකින් හොයා ගෙන ඒ ගැන කියුම් කියනවා. දැන් නයි ඇරිල්ල පැත්තකින් තියලා කතාව කියන්නම්. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි කියුම් එකතුවක්.

ප්‍රසවවේදයේ දී ගර්භයක් පරීක්ෂා කරලා කළලයේ බර අනුමාන කරන්න අපිට උගන්වනවා. ඔය විදියට සති 28 ක කළලයක බර අනුමාන කරන්න බඩාට භාර වුණා.

"කිලෝ 1.9යි" බඩා කිව්වා (ඒක ඒ කාලෙට ගොඩක් වැඩි ගාණක්, අනික උත්තරේ දුන්නේ කඩ්ඩෙන්). බඩා දිහා කින්ඩියට බලාපු මහාචාර්යතුමා "තමුසේ හිතන්නේ මේකේ ඉන්නේ තමුසේ වගේ අලි පැටියෙක් කියලද?" අර බඩ දරු අම්මටත් බඩ අල්ලන් හිනා. ආ කියන්න බරි වුණා, බඩා ඒ කාලේ කිලෝ 104ක් බරයි!

අපේ කණ්ඩායමේ හිටපු හා හෝවක් නැති එකෙක් සමයි විකී. දවසක විකීට ප්‍රශ්නයක් යොමු වුණා. නිකනුත් කතා නොකරන විකී ඉතින් ගොත ගහනවා, මේක දකින මහදුරුතුමා කට හදලා කියනවා "තමුසෙලගෙන් උත්තරයක් ගන්න එක හරක් දක්කනව වගේ වැඩක්නෙ. අර බෝන් ලීය උඩ ඉඳන් "චක්, චක්" කිය කිය බිජ්ජට තට්ටු කරනවා වගේ දක්ක
න්න එපායැ" එහෙම කියන ගමන් කකුලෙන් හරකාගේ අර අහවල් අවයවට තට්ටු කරන හැටිත් මෙතුමා ලස්සනට පෙන්නනව. අපේ බඩවල් නෑ එව්ව දැකල. අපේ විතර නම් කමක් නෑ, අර බඩ දරු අම්මලටත් එහෙමයි.

තවත් දවසක අපේ හංස කොළුවට රෝගී විස්තරයක් (history) ඉදිරිපත් කරන්න සිද්ද වුණා. රෝගී කාන්තාවට යෝනි ස්‍රාවයක් තියෙන බව හංස කොළුවා කිව්වේ හර බර කරල බැරෑරුම් විදියට. ඔළුව කස කස හිටපු මහාචාර්ය තුමා "Is it offensive?"(ඒක ගඳ ගහන එකක්ද?), "Is it itchy?" (ඒක කසන එකක්ද?) කියල ඇහුවා. හංස කොලුවගේ උත්තරේ නෑ කියන එක. "ලියුකෝරියා නේ ඕයි" (leukorrheaයනු සාමාන්‍ය තත්වයක්). "තමුසේ හොඳයි ගෑණු බය කරන්න. පාස් අවුට් උණාම ක්ලිනික් එකක් දා ගන්නව "කන්සල්ටන්ට් ඩි සුදයාම" කියල". හංස කොලුවා හොල්මන්ද පොල් කොල!

අපේ කණ්ඩායමේ නොවුණත් තවත් කොළුවෙක් හිටියා ඩැනා කියල. ඩැනා ගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වුණාම කෝපාවිෂ්ට වෙච්ච මහැදුරුතුමා බණිනනවා "තමුසෙට වැඩ බැරි පාඩම් කරන්නෙ නැති නිසා. අර බ්ලොම් එකේ හතරවෙනි තට්ටුවට වෙලා, පාරේ යන ගෑණුන්ගේ පු
වල් බල බලා, "හොහ්! හොහ්!" ගගා ඉන්නව ඇරෙන්න තමුසෙට වෙන වැඩක් නෑනේ. දැන්වත් හැදෙන්න බලනවා!"

මහාචාර්යතුමා ඩැනාගේ කාමරේ හැංගිලා හිටියද කියලත් සැක හිතෙනවා!

මෙතුමාගේ කතා බොහොමයි. තවත් කියුම් ටිකකටත් ඉඩ තියා ගන්න එපායැ!

Saturday, May 5, 2012

වෙසක් කූඩුව


මේක ඉතින් වෙසක් කාලෙනේ. අද කට්ටිය එච්චර වෙසක් කූඩු අදන්න උනන්දු නැති වුණාට අපි පාසල් කාලේ වෙසක් කුඩු හැදුවේ තරඟෙට වගේ. හදල ඉවර වෙලා ඒ ගැන පොර ටෝක් දෙන්නත් අමතක කලේ නම් නෑ! කූඩු හදන කොට අමාරුම ඒවා තමයි පැටව් කූඩු හදන එක. ඒ දවස් වල පැටව් හතරේ කූඩුවක් හදන එක අපිට මහ කජ්ජක් උණේ නම් නෑ. සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලෙත් ඔන්න ඉතින් වෙසක් උදා වුණා. පොර ටෝක් දෙන්න අවශ්‍ය නිසා බඩාත් කලින්ම කූඩු හදන්න පටන් ගත්ත. බඩා හැදුවේ පැටවු හයක් සහිත නෙළුම් මලක්. නෙලුම් මල හදන එක අමාරු බව වෙසක් කූඩු හදාපු අය දන්නව ඇති. නොදන්න අය ඉන්නව නම්; නෙළුම් මලට දිග බට පතුරු කපන්න ඕන. ඒ වගෙම හැඩය ලස්සනට ගන්න නම් හැම බට පතුරක්ම එකම තරමට එන්න ඕන. නැත්නම් නෙළුමේ බඩ වගේ පිම්බෙන කොටස එකම තැනකින් නැතුව තැන් තැන් වලින් පිම්බෙනවා. කොහොම හරි වෙසක් දවසට කලින් කූඩුව ඉවර කරපු බඩා ඒ ගැන පන්තියේදි ලොකු පොර ටෝක් එකක් දුන්න. පන්තියේ උණුත් කතාව ඇත්තද බලන්න බඩා ගේ ගෙදර එන්න ලෑස්තිය. 

හදිස්සියෙන්ම මෙතෙන්ට පහත් වුණේ ඇනා. (අර තන පටයේ සිද්ධියට, ඉබෝලා සිද්ධියට සම්බන්ධ ඇනා). "ඕව මොකද්ද, මම හදල තියෙනව පැටවු දස ලක්ෂෙක කූඩුවක්!" එහෙම කිව්වේ ඇනා. අපිට මේක විශ්වාස නෑ. ඇයි හත් දෙයියනේ පැටවු සීයක් කිව්ව නම් හිතන්න පුළුවන්, ඒත් ලක්ෂයක්? ඒ නිසා බඩාගේ කූඩුව බලන එක පැත්තක තියල ඇනාගේ කූඩුව බලන්න ඔක්කොම තීරණය කලා. වෙසක් දවසේ ඔන්න අපි ඇනාගේ ගෙදර ගියා. කූඩුවක් තියා බකට් එකක්වත් පත්තු කරල නෑ. අපි ඇහුව කෝ කූඩුව කියල. ඇනා කියාපි මඩුවේ කියල. එහෙම කියපු ඇනා, අපිව තරමක් ලොකු මඩුවකට එක්ක ගිහින් විදුලි බුබුළු දල්වලා පැටවු දසලක්ෂෙ කූඩුව පෙන්නුවා. ඇනාගේ පරණ සරමක් වහලේ එල්ලලා ඒකට බල්බ් එකක දාලා! අපිට බඩ අල්ලන් හිනා!

Tuesday, May 1, 2012

චීටා සහ ගෙම්බා


බඩා මාමගේ කතන්දර පිටුවට නිතරම යන එන කෙනෙක් නෙ චීටා කියන්නේ. චීටා මුල්වෙච්ච කතා කීපෙකුත් තියෙනව. බඩා සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න ගියේ පන්නිපිටිය පැත්තේ තියෙන පොඩි පන්තියකට. චීට ආවෙත් ඕකටමයි. බස් රථයෙන් බැහැලා ටික දුරක් පයින් ගිහින් තමයි මේ පන්තියට යන්න තිබුණේ. පන්තියට යන පාර අතර මග රඹුටන් ගහක් එහෙමත් තිබුණ. කොල්ලො රෑන රඹුටන් හැදෙන කාලෙට එන්නේ වටින් පිටින් අහුල ගත්තු පොලු කෑලිත් අතේ අරන්. 

අපේ කතාව සිද්ධ වෙන දවසෙත් අපි ඔය විදියට පොලු කෑලි ටිකකුත් අරගෙන ආවේ රඹුටන් කාලම පන්තියට යන්න හිතාගෙන. කොහොම උණත් කලින් දවසේ බලාපු වේදිකා නාට්‍යයක් ගැන බඩා පොර ටෝකක් දීගෙන ආවේ ඒ නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟ පාන ගමන්. නට්‍යයේ නම අමතක උණත් "ගම්බිරතේ දෑතෙ කොන්ස්තන්-තීනු පුරේ  කොන්ස්තන්-තීනු පුරේ, පුර වර්ධන කරන අග - නිරිඳා මෙමං" කියන සින්දුව නම් තිබුණේ ඒකෙ. ඔය සින්දුවේ තාලයටම බඩා අතේ තුබුණු කෝටුව කඩුවක් විදියට පෙන්න පෙන්න හිටියේ. හදිස්සියෙන්ම චීටා කියාපි "මොනවද බං ඔහොමද කඩු හොලවන්නේ?" කියල. හරි විදියට කරල පෙන්නන්න කියල බඩා චීටට අභියෝගයක් කලා. චීට බිම වැටිල තිබුණු කෝටුවක් අරගෙන හෙලිකොප්ටරේ බමන පෙත්ත වගේ මහ හයියෙන් කරකව කරකව පන්තිය දිහාවටම ගියා. බඩාට එච්චර හයියෙන් කරකවන්න බැරි බව දන්න නිසා බඩා පොර ටෝක් දීම නවත්තලා හෙමින්ම පන්තියට ඇදුණා. චීට ඔළුව වටේ කරකවමින් ආපු කෝටුව පන්තියේ මුල්ලක බිත්තියට හේත්තු කරල තිබ්බා. දැන් අපි පාඩමට සූදානම්. 

ගුරුතුමිය සත්ත්ව විද්‍යාව උගන්නනවා. අපි අහන් ඉන්නවා. හදිස්සියෙන ගුරුතුමිය සහ කෙල්ලන් කීප දෙනෙක් "ඊයා . . . !" කියල මහ හයියෙන් කෑ ගහගෙන එහෙ මෙහෙ දුවන්න ගත්ත. කලබලේ මොකද්ද කියල බලන කොට තඩි ගස් ගෙම්බෙක් ගුරුතුමියගේ මේසය උඩට පැනලා! පන්තියට එද්දී පන්තියේ ගෙම්බෙක් නොහිටි බවට (චීටා ඇරෙන්න, චීටට ගෙම්බා කියල කාඩ් එකකුත් තිබුණා) අපිට හොඳටම මතකයි. එහෙනම් ගෙම්බා ආවේ කොහොමද? අනික මේ ගෙම්බා හරිම ආතල් එකෙක්. සාමාන්‍යයෙන් ගස් ගෙම්බෙකුට පිම්මක් වරදින්නේ නෑ. ඒත් මූ පණින දිහාවේ නෙවෙයි යන්නේ. බිත්තියට පැන්නම වදින්නේ ජනේලේ! බිත්තියට අඩි කීපයක් මෙහා තියල "දොක්!" ගාල බිම වැටෙනව. කොහොම හරි ගෙඹි ආතල් එක පැය භාගයක් විතර පුරා අපි ගත්ත. 

අපිට වැඩේ මීටර් උණේ ටිකක් වෙලා ගියාම. ගෙම්බා හිටියේ කොතනද? අපිට තේරුණ විදියට ගෙම්බා හිටියේ චීටා අහුල ගත්තු කෝටුවේ. යමයා වගේ චීටා ඒක ඔලුව වටේ කරකවද්දි අර අසරණ ගෙම්බා පරාණ බයට කෝටුවම අල්ලන් ඉන්න ඇති. ගෙම්බටත් අපිට වගේම අභ්‍යන්තර කණක් තියෙනවා. ඒකේ අර්ධ චක්‍රාකාර නාල නැති වුණාට සමබරතාවය ගැන ක්‍රියාකරන කොටසක් ඌටත් තියෙනවා. යමයා වගේ චීටා කෝටුව කරකවද්දී ගෙම්බට කැරකිල්ල හැදිලා. අපිටත් කැරකිල්ල හැදුණම අඩිය තියන තැනට නෙමෙයි වෙන තැන් වලට යනවා වගේ තමයි ගෙම්බටත්. ඌ ජනේලෙට පැන්නම ගිහින් නතර උණේ ගුරුතුමියගේ මේසේ උඩ!

Saturday, March 31, 2012

ඉටිපන්දම


මෙකත් ටියුෂන් කතාවක්ම යි. හැබැයි මෙදා සැරේ චරිතය බඩා ගේ එකම සහෝදරයා. බඩා ගේ මල්ලී බඩාට වඩා උස, කැරළි කොණ්ඩේ තියෙන බඩා වගේ කළු නැති එකෙක්. ඒ වුණාට මූණේ මොකක් හෝ අවුලක් තියෙන නිසාදෝ, මලයගේ යාළුවෝ ඌට කිව්වේ "ලොරියා" කියල. තව සමහර එවුන් "බාප්පා" කියලත් කිව්වා. ඒ නිසාම බඩා සමහර විට "මහ ලොරියා" කියලත් "මහප්පා" කියලත් හැඳින්වුණා. බඩා ජීව විද්‍යාව කළාට බඩා තමයි පවුලේ වෙනස් සාමාජිකයා. බඩාගේ අම්මා, තාත්තා දෙන්නාම කලා උපාධිධාරීන්. මල්ලී ගියෙත් ඒ පාරෙමයි. ඉතින් වාණිජ අංශයෙන් මනුස්සයා උසස් පෙළට ඇතුළු වුණා. බඩා වගේම බඩාගේ මල්ලීගේත් කට අන්තිම නරක බව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ? වාණිජ අංශයෙන් වාණිජ්‍යය සහ ගිණුම්, සංඛ්‍යානය, තර්ක ශාස්ත්‍රය කියන ඒව තමයි මතක විදියට මලයා උසස් පෙළට කලේ. "ලොජික් මැජික් , ස්ටැට්ස් ඇලර්ජික්" කියල මිනිහා ඒ දවස් වල කිව්වේ. 

තර්ක ශාස්ත්‍රය උගන්නන බොහොම ප්‍රසිද්ධ ගුරුතුමෙක් ගාවට තමයි මලයා ටියුෂන් ගියේ. එතුමාගේ නම එම්. මික්ඩාඩ්. මේ කතාව සිද්ධ වෙන්නේ 1996 අග භාගයේ. මුළු රටම නියඟෙකට අහු වෙලා දවසට පැය 10-12 විදුලි කප්පාදුවක් ඒ කාලේ තිබුණු බව මතක ඇතිනෙ. ඉතින් ටියුෂන් පන්ති මේ කප්පාදුවෙන් සෑහෙන්න බැට කෑව. කොටින්ම, ඉටිපන්දම් ගහගෙන තමයි සමහර පන්ති වල වැඩ කලේ. ඔන්න ඔය විදියට විදුලිය කප්පාදු කරපු දවසක බඩාගේ මලයා තර්ක ශාස්ත්‍රය පන්තියට ගිහින්. සුපුරුදු පරිදි මික්ඩාඩ් මහත්මයා ළමයින්ට ඉටිපන්දම් බෙදල දුන්නේ මේසයේ ගහගෙන සටහන් ලියා ගන්න. හැබැයි මේ මොනවා කලත් කළු ලෑල්ල පේන්නේ නෑ. මේක බඩාගේ මල්ලීට ප්‍රශ්නයක් වුණා.

"සර්, බෝඩ් එක පේන්නේ නෑ, බෝඩ් එකෙත් ඉටිපන්දමක් ගහන්න" කියල අපේ මලයා කියල. "මෝඩ කතා කියන්න එපා ළමයෝ, ඉටිපන්දම් කොහොමද හරහට ගහන්නේ?" කියල මික්ඩාඩ් මහත්මයා කියල තියෙනව. කියන්න අමතක වුණා, මික්ඩාඩ් මහත්තයට පුර සඳ වගේ ඔප දමපු තට්ටයක් තියෙනවා. එතකොට බඩාගේ මලයා කියනවලු "එහෙනම් සර්, ඉටිපන්දම ඔලුව උඩ ගහගන්න" කියල. සර් හොල්මන්ද පොල් කොල! ඊට පස්සේ බඩාගේ මලයා ඒ පන්තියට ගියාද කියල නම් බඩා දන්නෙ නෑ.

තමුසේ නෙවෙයි


උසස් පෙළ කරන කොට ටියුෂන් යන්න සිද්ධ වීම අද විතරක් නෙවෙයි, බඩා ගේ කාලයේත් සිදු වුණු දෙයක්. "පතිරූප දේස වාසෝච" කියල බුදුන් වහන්සේ මංගල කරුණක් විදියට වදාරල තියෙන යහපත් පදිංචිය නිසාද කොහෙද බඩාට ඒ කාලේ රටේ හිටපු ප්‍රසිද්ධතම ගුරුවරුන් ගාවට ටියුෂන් වලට යන්න හැකි වුණා. මේ ගුරුවරුන් අතරින් අවිවාදයෙන්ම දක්ෂතමයා තමයි මොහාන් ලාල් ග්‍රේරෝ මහතා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ කතා සිද්ධ වුණේ එතුමා මන්ත්‍රීවරයෙක් වෙන්න තුන් හිතකින්වත් නොහිතපු කාලයේ කියලයි බඩා හිතන්නේ.

ග්‍රේරෝ මහත්මාට ඉංජිනේරු පීඨයේ භාවිතා වෙච්ච නම වුනේ "මීයා" කියන එක. (අර චීස් කාපු මීයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ!) කල් යද්දී විශේෂණත් එකතු වෙලා මේක "කාණු මීයා" බවට පත් වෙලා තියෙනවා. ඒ දවස් වල රේල් වේ ඇවනියු එකේ ග්‍රේරෝ මහත්මයා විශාල පන්තියක් කලා. මේකට ඇවිත් හිටියා වල් කොල්ලො රංචුවක්. උන් කරන්නේ ගුරුතුමා කළු ලෑල්ලේ ගැටළුවක් විසඳන්න අනික් අතට හැරුණු ගමන් මියෝ කෑ ගහනවා වගේ "චීක්, චීක්" ගාන එක. මේ නිසා ඔහු ඉන්නේ කොයි වෙලෙත් මළ පැනීමේ සීමාවට ඇවිල්ලා. බඩා ඔය පන්තියේ හිටියේ පහළොස්වෙනි පේළියේ විතර. මේ පන්තියේ ඉස්
ම පේලියේ හිටියා ටිකක් කට වැඩි කෙල්ලෙක්. කට වැඩි නම් කමක් නෑ, මේකිට මහ පුදුම උනන්දුවක් තිබුණේ. ග්‍රේරෝ මහතා කළු ලෑල්ලේ ලිය්ද්දී බඩා කලේ කඩදහි කාක්කෙක් අර ගෑණු ළමයාගේ ඇඟට වැදෙන්න රපු එක. නමුත් නොහිතූ විදියට ඉලක්කය වැරදිලා, එහෙම නැත්නම් කාක්කා තැනීමේ දෝෂයක් නිසා, එල්ලය වැරදිලා කාක්කා නතර වුණේ ග්‍රේරෝ මහතාගේ ඔළුවටම ටොක්කක් ඇණගෙන.

ග්‍රේරෝ මහතා බොහොම පැහැපත් කෙනෙක්. නමුත් කේන්ති ගිය විට නහය වටේත්, කන් දෙකත් රතු වෙනවා. එදා නම් කන් දෙක බීට් අලයක පාටට කිට්ටුයි.

"කාක්කා ගහපු එකා නැගිටපිය!" එහෙම කීවේ ග්‍රේරෝ මහතා. බඩා ගල් ගිලලා වගේ ඉන්නවා.

"ඔය කොළ පාට කොටු කමිසේ ඇඳන් ඉන්න එකා නැගිට
ලා පොත් ටිකත් අරන් බහිනවා එළියට"

දැන් කරන්න දෙයක් නෑ. බඩා ඇඳන් ඉන්නේ කොළ කොටු තියෙන කමිසයක්. පොත් ටිකත් අරන් බඩා නැගිට්ටේ බඩු මාට්ටු බව තේරුණු නිසයි. එතකොටම උණේ නොහිතූ දෙයක්.

"උඹ නෙමෙයි මිනිහෝ, උඹට පස්සෙන් ඉන්න එකා!" බඩා හැරිලා බලද්දී මෙන්න මූත් කොළ කොටු කමිසයක් ඇඳගෙන! හැබැයි මූ නම් කාක්කෝ යැව්වේ නැති බව බඩාට ෂුවර්! කරන්න දෙයක් නැති නිසා මට පස්සෙන් හිටි එකා යන්න ගියා. 

ටික දවසකට පස්සේ ග්‍රේරෝ මහතා බඩාට කෙළින්ම කතා කරල, කණ්ඩායම් පන්තියට එන්න කිව්වේ, "තමුසේ මෙතන හිටියොත් මට අනික් කොල්ලො ටිකත් හදා ගන්න බැරි වෙනවා" කියාගෙනම.
ඒ වගේම අර එළවපු එකා වැඩ මුකුත්ම නොකරන එකෙක්ලු. අපේ භෞතික විද්‍යා ගුරුතුමා මේකව එළවන්න වෙලාවක් හොය හොය ඉඳල තියෙන්නේ.