Wednesday, August 15, 2012

ස්පෝර්ටි මදි

පසා කියල කියන්නේ බඩාලත් එක්ක උසස් පෙළ පන්ති වලට සහභාගී වෙච්ච කොලුවෙක්. කොළඹ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ පාසලකට තමයි පසා ගියේ. උසස් පෙළත් ඉහළින්ම සමත් වුණා. පසා එක විදියක අදහස් තියෙන එකෙක් බව අපි දන්නවා. ඒ නිසාම බඩාලා සෙට් එක කොළඹ වෛද්‍ය පීඨය තෝරා ගනිද්දී පසා තෝරා ගත්තේ පේරාදෙණිය. පසාට ඒ පැත්තේ ස්ත්‍රී සම්බන්ධයක් තිබුණා කියලත් කණින් කොණින් කියවුණා. ඔන්න කොහොම හරි පසා පේරාදෙණි ගියා! 

බඩාලාගේ සෙට් එකේ කොයි කොයි එකාත් ටෝකස් මරුවෝ කියල කියන්න ඕනේ නෑ නේ! පසා අපට දෙනවා පේරාදෙණියේ පුදුම හත, මල්පාර සහ කාළගුණය වගේ එව්ව ගැන ලොකු කතා. බඩා ඉතින් පසුපස භාගයෙනුත් මේවට හිනාවෙවී හිටියේ ඊට අවුරුද්දකට කලින් බඩා පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ (PGIS) රැකියාවක් කරල, පේරාදෙණිය ගැන හොඳටම දැනන් හිටපු නිසා. අපේ කාලයේ දී සරසවි ශිෂ්‍යයන්ට වාහන තිබුණේම නැති තරම්. තිබුණා නම් ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට විතරක්ම වගේ. පේරාදෙණියේදී මේ තත්ත්වය තවත් දරුණුයි!. ඉතින්, පොඩි කහපාට ස්පෝට්ස් කාර් එකක් තියෙන පසා කැපිලා පේන එක අහන්න දෙයක් නෙවෙයිනෙ! හැබැයි පසාත් පසාගේ තාත්තා වගේම කුණු ලෝබයා. (පසාගේ තාත්තගේ වැඩ වෙනම ලිපියකින්). කාර් එක බෝඩිමේ තියලා, බස් එකේ තමයි පසා යන්නෙ එන්නේ. 

උසස් පෙළ කරද්දී හීන්දෑරිව හිටපු පසා, තුන්වෙනි අවුරුද්ද වෙනකොට බඩදාලා මහත්වෙලා හෙම හිටියා. අඩි දහයක් ඇවිද්දත් මූ හති දානවා. මූ කාර් එකට නගින්නේ ගැරෙජ් එකේ වහලෙන් දාපු කඹයක එල්ලිල්ලා කියලයි පේරාදෙණියේ හිටපු අපේ යාළුවෝ නම් කිව්වේ. පසා තමන්ගේ කාර් එක විකුණන්න තීරණය කලේ ඔය අතරදී. එක එක ගැනුම් කාරයෝ ආවට පස්සේ ටිකක් නාකි පොරක් ඇවිල්ලා හොඳ ගාණකට වාහනේ ඉල්ලුවා. ඒත පසා ගේ ලෝබ කම නිසා ඒ ගාණට දෙන්න කැමති වෙලා නෑ. ටික දවසකට පස්සේ අපි පසා ගෙන් ඇහුව අර නාකි පොරට වාහනේ දුන්නේ නැත්තේ මොකද කියල. ධවල පර්වතයක් වගේ ඉන්න පසා කියනවා "ඌ මචං මේ වාහනේට ස්පෝර්ටි මදි වගේ නිසා මම දුන්නේ නෑ" කියල.

Wednesday, August 8, 2012

ඔට්ටුව

 බඩා හිතන්නේ සසා ගැන කට්ටියට මතක ඇති කියල. මේකත් සසාගේ තවත් වික්‍රමයක්. සසා එක්ක නිතරම කියුම් කියාගන්න කෙනෙක් තමයි කොටියා. සසාගේ කොටු සිද්ධිය අතේ මාට්ටු වුණාට පස්සේ සසා නිතරම බලන්නේ කොටියට ගුලියක් අඹරන්න. මොකද කොටු සිද්ධියේදී කට හඬ වෙනස් කරලා ඇමතුම දුන්නේ කොටියනෙ. 

දවසක් සසායි, කොටියයි කොටු පැනිල්ල ගැන වාදයක්. සසා නොදැන හිටියට කොටියත් කොටු ශිල්පයේ කෙළ පැමිනියෙක්. සසා නෝන්ඩි වේගෙන යද්දී එක පාරටම කියනවා "උඹ, උඹලයි බැචියෙක් එක්ක කාමරේක ඉඳන් එළියට ආවොත් මම බ්ලොම් එකේ ඉඳන් ෆැකල්ටියට හෙළුවෙන් දුවනවා" කියල. පොර වගේ මේ කතාව සසා කිව්වේ කොටියගේ වැඩ කණින් කොණින් බැචියන්ට ආරංචි වෙලා තිබුණු නිසා මේක සිද්ධ නොවෙන වැඩක් කියල හිතාගෙන. හැබැයි සසා දන්නේ නෑ කොටියා ලෝක අණ්ඩපාලයා බව. කොටියත් අභියෝගේ භාර ගත්තා. 

කොටියා අපේ බැචියක් වෙච්චි ටිකිරි ලියාට සිද්ධිය කියලා. ටිකිරි ලියා කොල්ලෙක් වගේ ඇඟ පත තියෙන, ක්‍රීඩා කරන එක විදියක චරිතයක්. ආ, මේ එක්කම ටිකිරි ලියාගේ වැඩකුත් කියල දාන්නම්. වකුගඩු රෝග වලදී වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මනින්න සහ ප්‍රෝටීන පිට වෙන ප්‍රමාණය මනින්න පැය 24ක් මුත්‍රා එකතු කරල කරන පරීක්ෂණයක් තියෙනවා (creatinine clearence & 24 hour urine protein excretion). ඔන්න ඔය ගැන අපට අපේ ගුරුතුමෙක් උගන්නනවා. ගුරුතුමා මුත්‍රා එකතු කරන්න ගන්න ගැලුම එහෙම අපිට පෙන්නුවා. මේ ගැලුමට තියෙන්නේ අඟල් 2-3 විතර පළල කටක්. ටිකිරි ලියා අහනවා "සර් දැන් ඔක්කොම පිරිමි අයට ඕකේ කට ඇතිද?" කියල. පන්තිය හිනා කනවා. වෘක්ක වේදය පිළිබඳ උගන්වන ගුරුතුමා හොල්මන්ද පොල්කොල. ඊලඟට ටිකිරි ලියා අහනවා "සර්, ගෑණු කට්ටියට ඔය ගැලුම එක්ක පුනීලෙකුත් දෙනවද?" කියල. අපි ආයෙත් බිම පෙරළෙමින් සිනා. ගුරුතුමා ආයෙත් හොල්මන්ද පොල් කොල. එහෙම කියලා මේ දෙන්නා හවස් යාමෙක වහල තිබුණු ටියුට් කාමරේක ඉඳන් සසාට පේන්න එළියට ඇවිල්ලා. දැන සසාට ඇප නෑ! 

සසා හෙළුවෙන් දිව්වද කියල නම් දන්නේ නෑ, ඒත් හෙළුවෙන් දුවපු "ශෝ මෑන්" කෙනෙක් ඇඟේ හැපිලා බය වෙච්ච පාරට ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙක්ට උණ ගැනිලා කියන ආරංචිය නම් අපට හම්බ වුණා.

Tuesday, August 7, 2012

බෞද්ධ පූසා

අපේ ගෙවල් බොහොමයක පුසෝ ඇති කරනවනෙ. බඩා මාමාත් තද "පූස් ලෝලියෙක්". කාලෙන් කාලෙට එක එක පූසෝ ගෙදර ඇති කරන්න බඩා මාමා උනන්දු වුණේ ඒ නිසා. 



ඔන්න ඔය පින්තූරේ ඉන් පූස් තඩියා තමයි අන්තිමට හිටියේ. බොහොම සංවර විදියට හැදුණ හුරතල් පූසෙක්. හැබැයි අකාලයේ මළා. බඩා මාමා පූස් ලෝලියෙක් හින්ද පූසෝ ගැන සංවාද වලට නිතර සහභාගී වෙනවා. අපේ ඇනාට පාසල් කාලයේ හිටපු පූසා ගැනයි මේ කතාව. 

ඇනා එක විදියක එකෙක් කියල දැන් කවුරුත් දන්නව ඇතිනේ. ඒකට ඇනාගේ පූසා! මස් මාළු කන්නේ නෑ. වට්ටක්කා ඇටයි, මුරුංගා පොතුයි තමයි මුගේ ජාතික ආහාරය. මස් මාළු කන්න ඕන පූසෙක් වට්ටක්කා ඇට කද්දී ඒකාගේ පෙණුම ගැන අටුවා ටීකා අවශ්‍ය නෑ නෙ. ඇනාගේ පූසා ගේ පෙනුම තිබුණේ බොහොම අසතුටුදායක මට්ටමක. මේ ගැන තැන් තැන් වලින් ඇහලා බැරිම තැන වෙට් (veterinary surgeon) කෙනෙක් ගාවට ඇනා ගියේ උත්තරයක් ගන්න. පූස් කෑම ටිකක් පූසාට දෙන්න වෙට් නියම කරල තියෙනවා.



පූසාට අවශ්‍ය විටමින් වර්ග එහෙම දෙන්න අවශ්‍ය නිසා ඇනා යූනියන් කෙමිස්ට් එකෙන් "විස්කස් (whiskas)" කියල අඳුන්වන පූස් කෑම ටින් එකක් රුපියල් 175කට අරන් තිබුණා. 1993 දී විතර රුපියල් 175ක් කියන්නේ මහ විශාල මුදලක්. විස්කස් වල තියෙන්නේ මාළු වලට විටමින් සහ වෙනත් පෝෂක දාලා හදපු කුට්ටි ගහපු තලපයක්. අවාසනාවක මහත කියන්නේඅ මස් මාළු නොකන ඇනාගේ පූසා "විස්කස්" උයල දුන්නට කන්නෙත් නෑලු! නප්පියට තද වෙච්ච ඇනාගේ තාත්තා ඇනාට බණිනවලු, "පූස කන්නෙ නැත්නම්, උඹම කාපිය, අපරාදේ සල්ලි" කියල!

Sunday, July 29, 2012

මරාගෙන කාපන්!


අපේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ හිටි සසා තුන්වෙනි වසරේ ඉදල ම පුද්ගලික "වෛද්‍ය" සේවයේ  (locum) නියුතු වෙච්ච කෙනෙක්. මේ විදියට පුද්ගලික වෛද්‍ය සේවයේ වැඩ කරන වෙලාවට සසා අපි කොතරම් කතා කලත්. දුරකථනය ගන්නේ නෑ. ගන්නේ අදාල පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය අයිති වෛද්‍යතුමා කතා කළොත් විතරයි. මේ දුරකථනය නිසා සසා ගේ හොඳ හොඳ වැඩ එළි වෙලා තියෙනවා. සසා කොහොමත් රස සාගරයක්. 

ඔන්න ඔය විදියට සසා දවසේ වැඩි වෙලාවක් සම්බන්ධ කර ගන්න බැරි එක අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. දවසට පැය හත අටක් සසා පොල් කඩනවා වෙන්න නම් බැහැ. (පුද්ගලික සේවයේ යෙදෙනවාට කියන්නේ පොල් කඩනවා කියල!). වෙන මොනවා හරි ජල්තරයකට සසා අර අඳින බව අපිට හොඳින්ම තේරුණා. ඒත් කොහොමද, මේකව අල්ල ගන්නම බෑනේ! අපිට මේකට ස්වර්ණමය අවස්ථාවක් උදා වුණා. 

සසාට අදාල මුදල් වගයක් දෙන්න බ්ලොම් නේවාසිකාගාරයට පැමිණි අර වෛද්‍යවරයා තමන්ගේ අත් බණුව (hand phone) දමා ගොස් තිබුණා. අපිට කතා කරපු අදාල වෛද්‍යතුමා තමන් දවස් දෙකකින් එන නිසා අත් බණුව කොටියා (අර මූදු හත්ත සම්බන්ධ කොටියා, චීටා නෙවෙයි!) භාරයේ තබා ගන්න යයි කියලා තිබුණා. (මේ දවස් වල කොටියත් පොල් කඩමින් හිටියේ). හදිස්සියෙම සසා කරන්නේ මොනවද කියල බලන්න හිතුණු අපි, සසාට අර වෛද්‍යතුමගේ අත් බණුවෙන් ඇමතුමක් ගත්තා. "ඇයි . . . අයියා . . . ?" සසා හති දම දමා කතා කරනවා. ඒ එක්කම කාන්තා කට හඬක් ඇහෙනවා "අනේ කොල්ලොහ්! . . . මාව මරාගෙන කාපන්!" කියල. කට්ටියට වැඩේ මීටර්! බඩ අල්ලන් හිනා, බිම පෙරළෙමින් සිනා! සසා පහුවෙනිදා බ්ලොම් එකට එනකොට සසාගේ කාමරේ දොරේ මේ සින්දුව ලියලා තියෙනවා.

"තොටිල්ලෙ කොටු වැටෙන් එහා
තව තව කොටු ගොඩක් ඇතේ
තොටිලි කොටුව පනින සසා
ඒ හැම කොටු පණිනු ඇතේ"

Wednesday, July 25, 2012

Landminner


වෛද්‍ය පීඨයේ අවසන් වසරේ දී අපට සායනික ක්‍රියාකාරකම් උපරිමව තියෙන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇතුලත මහාචාර්ය ඒකක පහක (ශල්‍ය, කායික වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරි වේද සහ මානසික රෝග) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කාලය ඇතුලත අදාල ශිෂ්‍යයාට භාර වෙන රෝගීන් සියල්ලක්ගේම තොරතුරු එක් රැස් කරලා තියා ගන්න ඕන. මේක සෑහෙන්න අමාරු වැඩක් කියල ආයෙමත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ. ඉතින් ගොඩ දෙනෙක් කලේ "ෂේප් න්‍යායෙන්" මේ වැඩේ කරන එක. හැබැයි අහු වුණොත් නම් ඉතින් ජල බැණුම් තමයි. 

අපේ කණ්ඩායමේ කලා කාමී කොල්ලෙක් හිටියා. පිරිත් මණ්ඩප ගනන්න, වෙසක් කූඩු හදන්න, කැටයම් කපන්න වගේ දේවල් වලට මේකා හරිම සූරයා. ඒ වගේම තමයි දෙකක් දාගත්තම නියමෙට ආතල් සැපයීමත් සිද්ධ කරනවා. මේ සිද්ධිය වුනේ ළමා රෝග වාට්ටූ පැත්තේ. බඩා අර මුලින් කිවු විදියට රෝගීන් ගේ තොරතුරු තියාගෙන ඉන්න කියන්නේ හදිස්සියෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් සායනික පන්තියක් (clinical class / ward class) පවත්වන්න ඒක පහසුවක් නිසා. එක දවසක් ළමා රෝග වාටුවේ මහචාර්යතුමෙක් අපේ කලාකාමියාට කතා කරලා රෝගියෙක් පෙන්නලා, හෙට මේ රෝගියා සායනික පන්තියකට ගන්න නිසා, විස්තර හොයාගෙන ලෑස්ති වෙලා ඉන්න කියලා දන්වලා තියෙනවා. වෙනදට හරියටම එකොලහ මාර වෙද්දී පණින මිනිහා හවස් වෙනක්ම්ම මෙන්න වාට්ටුවේ! රතු ඉර ගහන්න කලින් දුවන් එනවා වගේ හරියටම උදේ අටට එන මිනිහා මෙන්න උදේ හතට වාට්ටුවේ! 

ඊළඟට එළඹුනේ සායනික පන්තිය. කලාකාමියගේ රෝගී විස්තරය (history) නියමයි. කොටින්ම මහාචාර්ය තුමාට පවා පුදුමයි. රෝගී විස්තරය ඉදිරිපත් කරන කොට රෝගියාගේ සමාජ තත්වය ගැනත් සඳහනක් කරනවා. Social history කියන්නේ ඒකට. සමාජ තත්වය කියද්දී මෙන්න කලාකාමියා ගොත ගහනවා. "His father is a . . . a . .  Landminner!" කියල කියාපි. කට්ටියටම බඩ අල්ලන් හිනා වුණාට වෙන්නේ මොකද කියන එක ගැන හරි තේරුමක් නැහැ. වුණේ මොකද්ද කියල හරියට තේරුණේ සූර පප්පට විතරයි, මොකද කලාකාමියාගේ පොත කෙලින්ම පෙණුනු නිසා. "Father - මැණික් පතල් හාරනවා" කියල ඒකේ ලියල තිබුණා!

Tuesday, July 24, 2012

මූදු හත්ත

බඩා ගේ උසස් පෙළ කාලයේ ඉඳලා මිත්‍රයෙක් තමයි ජොරා කියන්නේ. ජොරා ඉගෙන ගත්තේ බඩා ඉගෙන ගත්තු පාසලේ නොවුනට, අමතර පංති වලට ගියේ එකටමයි. කොහොම කොහොම හරි දෙන්නම වෛද්‍ය විද්‍යාලයටත් තේරුණා. ජොරා වැඩිය උස නැති, පැහැපත් හැඩ කොල්ලෙක්. ඒ වගේම තමයි පෙනුම ගැනත් බොහොම උනන්දුයි. ජොරාගේ කාමර සගයා වුණේ කොටියා. කොටියත් හැඩ කොල්ලෙක්, ඒත් කොටියගෙ තිබුණේ වෙනම ආතල්. ගාණට මූණ හෝදලා (ෆේස් වොෂ් එහෙම දාලා) පොන්ටින් කට් තියලා රැවුල කපලා, කලිසම් කමිස වල ක්‍රීස් එක ඇද නැතුව හිටින්න තිය අඳින පළඳින කෙනෙක් ජොරා කියන්නෙ.

කොහොමෙන් කොහොමෙන් හරි, කවුරුහරි කෙනෙක් ජොරාට මූදු හත්තක් ගෙනත් දීලා තියෙනවා. මූදු හත්ත වතුරේ දාලා තියලා ඒ වතුර බිව්වම පැහැපත් වෙනවා කියලයි කියල තියෙන්නේ. ඔන්න ජොරාත් හත්ත වතුරේ දාලා වතුර බොනවා. පළවෙනි දෙවෙනි දවස් වල කිසි අවුලක් නොවුනත්, තුන් වෙනි දවස වෙනකොට මූදු හත්ත කුණු වෙලා ගඳ ගහන්න අරගෙන. කොටියට හුස්ම ගන්නත් අමාරුයිලු. ඒත් ජොරා නෙවෙයි මේක විසි කරන්නේ. කොහොම හරි ටික දවසකින් අපට පේනවා ජොරා කුණුහරුපෙන් බැණ බැණ මූදු හත්ත වීසි කරනවා. ඇහුවම ඇයි කියල උත්තර දෙන්නේ නෑ. ආයෙත් සැරෙන් ඇහුවම කියන්නේ රස අන්තිමයි කියල. ඇත්ත සිද්ධිය දැනගත්තේ ටික දවසකට පස්සේ. ගඳ උහුලගන්න බැරිවෙච්ච කොටියා හෙමින්ම මූදු හත්ත තියෙන භාජනේට කොටි දිය පුරවලා!

Friday, July 20, 2012

හරක් දැක්කිල්ල

බොහෝ වැඩ, රෝගීන් ගේ කටයුතු සහ අධ්‍යයන කටයුතු කරන්න තිබුණු නිසාවෙන් බඩාට අළුත් කතා ලිවිල්ල ටිකකට මග හරුණා. ඒ ගැන බඩා මුලින්ම සහෘද පිරිසෙන් සමාව භජනය කර සිටිනවා.
බඩා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ නාරි සහ ප්‍රසව විද්‍යාව උගන්නන්න මහාචාර්යතුමෙක් හිටියා. උස, මහත, කළු, වලහෙක් වගේ මයිල් තියෙන, දරදඬු පෙනුමක් තමයි මේ මහැදුරුතුමාට තිබුණේ. ඒ වුණත්, ඉතාම කාරුණික, රෝගී සේවයට ලැදි, අති දක්ෂ ප්‍රසව හා නාරි වේදී වෛද්‍යතුමෙක් එතුමා තුල සිටියා. ඒ වගේම මෙතුමාගේ හැම වැඩක්ම ඉතාමත් වේගවත්. සොයිසා රෝහලේ පළමු තට්ටුවේ ඉඳන් දෙවනි තට්ටුවට විදුලි සෝපානය එන ටිකට මෙතුමා පඩි පෙළ නැගලා වාට්ටුවටත් එනවා! ඒ වගේම තමයි සැත්කම් කරන වේගය. අනික් වෛද්‍යවරු විහිළුවට වගේ කියන්නේ ලෙඩාට රිදෙන්නව තරම් ත් වෙලාවක් යන්නේ නෑ කියල. ඒ වගේම තමයි, ප්‍රශ්න අහන වේගයත්. ඒ  ප්‍රශ්න අහන වේගෙට උත්තර දෙන්න මෙලෝ මිනිහෙකුට බෑ. කොටින්ම ළමයා හදන එක ඇරෙන්න අනික් ඔක්කොටම මෙතුමාට තියෙන්නේ පුදුම හදිස්සියක් කියලයි හැම දෙනාම කිව්වේ.

වැඩට දක්ෂයා වගේම තමයි මෙතුමා කියුම් මරුවා. ඕනම වෛද්‍ය ශිෂ්‍යයෙක් එන්නේ මොකාටද කියලා මොහොතින් තේරෙන අතරම, අපි අවුරුදු ගාණක් තිස්සේ දැනගත්තු යහළුවන්ගේ චරිත ලක්ෂණ මෙතුමා ඇසිල්ලකින් හොයා ගෙන ඒ ගැන කියුම් කියනවා. දැන් නයි ඇරිල්ල පැත්තකින් තියලා කතාව කියන්නම්. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි කියුම් එකතුවක්.

ප්‍රසවවේදයේ දී ගර්භයක් පරීක්ෂා කරලා කළලයේ බර අනුමාන කරන්න අපිට උගන්වනවා. ඔය විදියට සති 28 ක කළලයක බර අනුමාන කරන්න බඩාට භාර වුණා.

"කිලෝ 1.9යි" බඩා කිව්වා (ඒක ඒ කාලෙට ගොඩක් වැඩි ගාණක්, අනික උත්තරේ දුන්නේ කඩ්ඩෙන්). බඩා දිහා කින්ඩියට බලාපු මහාචාර්යතුමා "තමුසේ හිතන්නේ මේකේ ඉන්නේ තමුසේ වගේ අලි පැටියෙක් කියලද?" අර බඩ දරු අම්මටත් බඩ අල්ලන් හිනා. ආ කියන්න බරි වුණා, බඩා ඒ කාලේ කිලෝ 104ක් බරයි!

අපේ කණ්ඩායමේ හිටපු හා හෝවක් නැති එකෙක් සමයි විකී. දවසක විකීට ප්‍රශ්නයක් යොමු වුණා. නිකනුත් කතා නොකරන විකී ඉතින් ගොත ගහනවා, මේක දකින මහදුරුතුමා කට හදලා කියනවා "තමුසෙලගෙන් උත්තරයක් ගන්න එක හරක් දක්කනව වගේ වැඩක්නෙ. අර බෝන් ලීය උඩ ඉඳන් "චක්, චක්" කිය කිය බිජ්ජට තට්ටු කරනවා වගේ දක්ක
න්න එපායැ" එහෙම කියන ගමන් කකුලෙන් හරකාගේ අර අහවල් අවයවට තට්ටු කරන හැටිත් මෙතුමා ලස්සනට පෙන්නනව. අපේ බඩවල් නෑ එව්ව දැකල. අපේ විතර නම් කමක් නෑ, අර බඩ දරු අම්මලටත් එහෙමයි.

තවත් දවසක අපේ හංස කොළුවට රෝගී විස්තරයක් (history) ඉදිරිපත් කරන්න සිද්ද වුණා. රෝගී කාන්තාවට යෝනි ස්‍රාවයක් තියෙන බව හංස කොළුවා කිව්වේ හර බර කරල බැරෑරුම් විදියට. ඔළුව කස කස හිටපු මහාචාර්ය තුමා "Is it offensive?"(ඒක ගඳ ගහන එකක්ද?), "Is it itchy?" (ඒක කසන එකක්ද?) කියල ඇහුවා. හංස කොලුවගේ උත්තරේ නෑ කියන එක. "ලියුකෝරියා නේ ඕයි" (leukorrheaයනු සාමාන්‍ය තත්වයක්). "තමුසේ හොඳයි ගෑණු බය කරන්න. පාස් අවුට් උණාම ක්ලිනික් එකක් දා ගන්නව "කන්සල්ටන්ට් ඩි සුදයාම" කියල". හංස කොලුවා හොල්මන්ද පොල් කොල!

අපේ කණ්ඩායමේ නොවුණත් තවත් කොළුවෙක් හිටියා ඩැනා කියල. ඩැනා ගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වුණාම කෝපාවිෂ්ට වෙච්ච මහැදුරුතුමා බණිනනවා "තමුසෙට වැඩ බැරි පාඩම් කරන්නෙ නැති නිසා. අර බ්ලොම් එකේ හතරවෙනි තට්ටුවට වෙලා, පාරේ යන ගෑණුන්ගේ පු
වල් බල බලා, "හොහ්! හොහ්!" ගගා ඉන්නව ඇරෙන්න තමුසෙට වෙන වැඩක් නෑනේ. දැන්වත් හැදෙන්න බලනවා!"

මහාචාර්යතුමා ඩැනාගේ කාමරේ හැංගිලා හිටියද කියලත් සැක හිතෙනවා!

මෙතුමාගේ කතා බොහොමයි. තවත් කියුම් ටිකකටත් ඉඩ තියා ගන්න එපායැ!