Sunday, September 22, 2013

මාමා

වෛද්‍ය විද්‍යාලයේ  විභාග වලින් අසමත් වෙලා පහළ වසර වලට සිසුන් එක් වෙන එක ඒ තරම් දුර්ලභ දෙයක් නෙවෙයි. බඩා ගේ කණ්ඩායම නම් මේ අතින් කප් ගහපු කණ්ඩායමක්. පළමු වසර විභාගයෙන් 17ක් "බැච් මිස්" වෙලා තියපු වාර්තාව අද වෙන තුරුත් කඩලා නෑ. මෙහෙම ලොකු ගානක් බැච් මිස් වුණාට ඉහළ වසර වලින් බැච් මිස් වෙලා අපේ කණ්ඩායමට ආවේ බොහොම සීමිත ප්‍රමාණයක්. මෙන්න මේ සීමිත කණ්ඩායමෙන් එකෙක් තමයි "මාමා"

මාමා සද්ද බද්ද නැති, වැඩිය කතා නොකරන, බොහොම නිශ්ශබ්ද කෙනෙක්. දුප්පත් පවුලක ඉපදිලා, බොහොම අමාරුවෙන් උසස් පෙළ සමත් වෙලා මාමා වෛද්‍ය පීඨයට ආවේ. එතනදීත් මාමාට ආවේ අභියෝගම තමයි.

මාමා එක්ක නිතරම පැටලෙන මනුස්සයා තමයි රත්නයා. රත්නයා ගෙඩි පිටින් දකුණේ එකෙක්. කතා කරන්නේත් ඒ තාලෙටමයි. බඩාට රත්නයා සෙට් වුණේ විශ්වවිද්‍යාලයට ගිය පළවෙනි දවසෙමයි.

"උඹේ ගෙවල් කොහෙද බන්" කියල බඩා ඇහුවෙ රත්නයාගෙන්.
"මාතර", රත්නයා උත්තර දුන්නෙ කෙටියෙන්. බඩාගේ පියතුමා මාතර තිබුණු රුහුණු සරසවියේ මහැදුරෙක් විදියට සේවය කළ නිසා බඩාට මාතර පුරුදුයි.
"මාතර කොහෙද?" එහෙම ඇහුවේ බඩා.
"මාතර කිට්ටුව, අකුරැස්ස පාරේ" එහෙම කිව්වේ රත්නයා.
"අකුරැස්සෙද ගෙවල්?" එහෙම ඇහුවේ බඩා.
"නෑ, දෙණියායේ" රත්නයා කියාපි. දෙණියාය තියෙන්නේ මාතර ඉඳන් කිලෝමීටර 60ක් දුරින්! මුගේ කතාව මාතර වගේ!

රත්නයාට තියෙන්නේ අන්තිම ජරා කටක්. අපේ කාලේ දැන් වගේ වීඩියෝ ප්‍රක්ෂේපණ යන්ත්‍ර (Video projectors) තිබුණේ නෑ. ඒ නිසා ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් (OHP) එකකට ට්‍රාන්ස්පේරන්ට් කොළ දාලා තමයි දේශන වලදී රූප සටහන් ඉදිරිපත් වුණේ. එක්තරා මහාචාර්යතුමියක් අපිට දේශනයක් පවත්වනවා. හැබැයි මැඩම්ගේ රූප සටහන් අන්තිම කැතයි. මේක බලන් ඉන්න රත්නයා කියනවා "නොදෝකිං අර රූප. පොල් අතු ගොඩේ බල්ලො රීල වගේ" රත්නයා ඒක කිව්වේ බොහොම හෙමින්. ඒත් උගේ කරුමෙටම ඒ වෙලාවේ ශාලාවේ තිබුණේ අල්පෙනෙත්තක් බිම වැටුනත් ඇහෙන නිශ්ශබ්දතාවය!

රත්නයා එච්චර උස මහත එකෙක් නෙවෙයි. නමුත් රත්නයා එක්ක සෙට් වෙලා හිටපු කොටියා, බඩා, සමනා, ගිණිකූරා වගේ අය සෑහෙන්න ශක්තිමත් එහෙම නැත්නම් ක්‍රීඩාශීලී ශරීර තියෙන අය. මේ නිසා රත්නයාට පොඩි හිතේ දුකකුත් තිබුණා. ශරීර ශක්තිය වැඩි කරගන්න හවසට හවසට සමපෝෂ කන්න ගත්තේ ඒ හින්දමයි.

නේවාසිකාගාරයේ කට්ටිය රෙදි හෝදන එක කරන්නේ නාන කාමරයේ. හැබැයි මාමා කවදාවත් දවල්ට රෙදි හෝදන්නේ නෑ. රෙදි හෝදන්නේ මහ රෑට. රත්නයා මේකට දීපු පැහැදිලි කිරීම තමයි මාමා සරම කැහැපට ගැහුවම බාවා බිම ගෑවෙන නිසා එහෙම කරනවා කියන එක. කොහොම හරි, මේ දවසේ මාතෘකාව වුණේ මාමාගේ බාවා. රත්නයා මේ ගැන කුණු කතා ලෝකයක් කියනවා, මාමා නෙවෙයි කටක් හොල්ලනේ. හිනා වෙවී අහන් ඉන්නවා. හැබයි ඒක හදිස්සියේම සිදු වුණා! මොකද්ද? මාමා උත්තර දුන්නා! මාමා කට ඇරියම කොන්ක්‍රීට් කණුත් කැපෙනවා කියලා දැන ගත්තේ එදායි. "මට අරව මෙව්ව කිව්වට දන්නවද, ඔය රත්නයා හවසට හවසට සමපෝෂ කන්නේ බාවා ලොකු කර ගන්න" මාමා කිව්වේ ඇඟට පතට නොදැනී.

Friday, August 30, 2013

කවුද බ්‍රේක් ගහන්නේ?

වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර කියන්නේ බොහොම් දරුණුවට සායනික ක්‍රියාකාරකම් සිදුවන කාලයක්. මේ කාලයේදී අපේ දවසෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ මහාචාර්ය ඒකක වල (ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලින් කෙරෙන වාට්ටු). උදේ හතහමාරට වාට්ටුවට ආවාම, එයින් පිටවෙන්නේ හවස පහ විතර වෙද්දී. සමහර දාර රාත්‍රී කාලයේත් එන්න සිද්ධ වෙනවා. හැබැයි බඩා සහ මිතුරු කැල පිස්සු නටන්න මේ කාලයේත් වෙලාව හොයා ගත්තා.

සිකුරාදා දවසක රාත්‍රියේ මධුවිත සප්පායම් වෙන්න කට්ටිය තීරණය කලා. ස්ථානය වුණේ වැල්ලවත්තේ වෙරළ. බඩා, කොටියා, කලු සමනා, ගිණිකූරා, ඇන්තනීස්, නිගන්ටයා සහ අපේ කලාවට බර කොළුවා මේ ගමනට එක්කහු වුණා. ගමනට තිබුණේ කලු සමනගේ ප්‍රාදේශීය සභා පැජරෝව. කට්ටිය හවස හතට විතර සෙට් වුණා. වෙනදා නම් මෙහෙම පාටියක් රෑ එක දෙක වෙනකම් යනවා. ඒත් ඊලඟ දවසේ සායනික වැඩ වලට යන්න තියෙන නිසා රාත්‍රී දහයට පාටිය අවසන් වුණා. සමනට හොඳටම වැදිලා. කරටිය කඩා වැටෙන්න ඔන්න මෙන්න. අනික් එවුනුත් එහෙමයි. අඩුවෙන්ම වැදිලා හිටියේ හොරට බිවුව බඩාට. අනික් එවුන්ට වාහනය එළවන්න බැරි නිසා බඩාට වාහනය එළවන්න නියම වුණා. බඩාත් අර තඩි පැජරෝව හෙමින් හෙමින් එළවගෙන එනවා. සමනයි, තව කීප දෙනෙකුයි ගොරොද්දේ ඇද ඇද බුදි. හදිස්සියෙන්ම ටවුන් හෝල් එක ගාවදී නින්දෙන් ඇහැරුණු සමනා "මට දීපන් වීල් එක" කියාගෙන බඩාව නතර කලා. හැබයි තවමත් සමනට බමර පදම්, කණ සාක්කුවේ. ඒත් මොනව කරන්න ද, උගේ වාහනේ නෙ! බඩා හෙමින් සැරේ සුක්කානම සමනට දීල පස්සෙන් නැග ගත්තා.

සුක්කානම ගත්ත සමනට වැඩි දුරක් යන්න හම්බ වුණේ නෑ, ඉස්සරහින් ගිය සුඛොපභෝගී කාර් එකක පස්සේ සමනා ඇන්නා. වැරද්ද තනිකරම සමනා අතේ. ඒත් වෙරි මත පිටම "කවුද *ත්තෝ පාර මැද බ්‍රේක් ගහන්නේ?" කියාගෙන මූ බැස්සා. කාර් එකෙන් බැස්සේ අපට හුරු පුරුදු කෙනෙක්. මහාචාර්යවරයෙක් ඒ මදිවට අපි වැඩ කරන ඒකකයේ මහාචාර්ය කෙනෙක්. දැන් මළ හත් ඉලවුවයි. අපේ වෙරි හිඳිලා. සමහර එවුන්ගේ detrusor පේශිය (මූත්‍රාශ පේශිය) නිකම්ම ඇරුණද දන්නෙත් නෑ. දැන් හෙට වෙන්නේ අනිවාර්ය පන්ති තහනමක්. මොකද කන් පාත් වෙන්න බීලා. ඒ මදිවට මහාචාර්ය කෙනෙක්ට *ත්තා කියලත් බැනලා. වාහනයකුත් හප්පගෙන! ඒ මදිවට මහාචාර්යතුමාගේ BMW එකත් කුඩේ කුඩු. 

හෙට වෙන දේ ගැන හිත හිතා අපි නන්නත්තාර වෙලා, බිරන්තට්ටු වෙලා, හොල්මන්ද පොල්කොල වෙලා ඉන්න අතරේ, සමනා එබි එබී මහාචාර්යතුමාගේ වාහනය ඇතුළ බලනවා. අපිත් ඒ ගැන උනන්දු වුණේ එතකොටයි. වාහනේ ඇතුලේ ඉන්නවා ලස්සන කාන්තාවක්. ඒ මහාචාර්ය තුමාගේ බිරිඳ නොවෙන බව නම් අපිට විශ්වාසයි. "සර් කපු වලින් හදාපු මාර කොටුවක් නේද?" කියල සමනා ඇහුවේ එක පාටරම. ඒ පාරට තක්බීර්, නනත්තාර්, බිරන්තට්ස් වෙලා ගියේ මහාචාර්යතුමා. තොල් හරහා හරහට ඇගිල්ල තියලා "ස්...!" කියපු මහාචාර්යතුමා අර පොඩිවෙච්ච කාර් එකේම නැගලා යන්න ගියා. පහු වෙනිදා අපි වාට්ටුවට එන කොටත් අපි ලඟ මධ්‍යසාර ගඳයි. ඒත් ඉතින් මොකුත් ප්‍රශ්නයක් වුණේ නම් නෑ. "ඒකිගේ නම කපුකොටුව. well known ගෙම්බෙක්" සමනා පස්සේ දවසක අපිට කිව්වා.

Monday, July 29, 2013

අන්න බබෝ ඇතින්නියා

බඩා ඇතුළු කණ්ඩායම මගින් කළ අති සාර්ථක නම් තැබීමක් වුණු කොණ්ඩයා ගැන කියවන පිරිසට මතකයි කියල හිතනවා. කොණ්ඩයා යකඩ උස්සලා ඇඟ පුම්බ ගත්තට මොකද කලාවට බර, සින්දු කියන්න පුළුවන් බොහොම මෘදු මනුස්සයෙක්. ඒ කාලේ ඉඳලාම ළමයින්ට දැක්කුවේ පුදුම ලෙන්ගතු කමක්. මේ අපි ළමා වාට්ටුවේ වැඩ කරද්දී වුණු රස කතා කීපයක්.

සාමාන්‍යයෙන් සැත්කමකට කලින් රෝගියෙක්ව පැය හයක් විතර නිරාහාරව තබනවා. වතුර බොන්න දෙන්නෙත් නැහැ. එහෙම කරන්නේ සිහි නැති කරන ඖෂධ වමනයත් ඇති කරවන නිසා අමාශයේ හිස්ව තබා ගැනීම වැදගත්. ඔය විදියට සැත්කමකට මුහුණ දෙන්න හිටපු අවුරුදු හයක විතර පොඩි එකෙක් වාට්ටුවේ හිටියා. හැබැයි මේ පොඩි එකා බත් කන්නේ නෑ. කන්නේ පාන්, රස්ක්ස්, සීරියල් වගේ ජාති විතරයි. බත් කවා ගන්න බැරුව පොඩි එකාගේ අම්මා හිටියේ සෑහෙන්න මුසුප්පුවෙන්. කොහොම හරි දන් කොල්ලා පැය හතක් විතර බඩගින්නේ . කොණ්ඩයා රෝගියා ගැන විස්තර දරුවාගේ මවගෙන් ලබා ගත්තට පස්සේ, බත් නොකන විත්තිය දැන ගත්හ ගමන්, "පුතා බත් හරි රහයිනෙ" කියල කිව්වලු. මේ වෙද්දිම එහා පැත්තේ ඇඳේ දරුවට එයාගේ අම්මා බත් කවනවා. අපෙ මේ කොලුවා අම්මා එහා මෙහා වෙනකම් ඉඳලා එහ පැත්තේ ළමයගේ අම්මගෙන් ඉල්ලගෙන මෙන්න හොඳට බත් කනවා! සැත්කම පමා වෙලා කොණ්ඩයා ජ්‍යෙෂ්ට වෛද්‍යතුමන්ලගෙන් බලු බැණුම් අහපු එක වෙනම දෙයක්, හැබැයි එදා ඉදන් කොල්ලා බත් කන්නේ පොර කකා!

ළමා රෝහලේ 01 වාට්ටුව පිටිපස්සේ ලොකු කළු ගල් ගොඩක් ඒ දවස් වල දාලා තිබුණා. එක ඇඳක ළමයෙක් අඬනවා, අම්මටවත් නළව ගන්න බෑ. කොණ්ඩයාට ලස්සන කටහඬක් හා ගායන හැකියාවක් තියෙනවා. "කෝ දෙන්න, මම කවියක් කියන්නම්" කියල ළමයා නැලවිල්ල කොණ්ඩයා බාර ගත්තා. එතකොට අපිට පේන්වා අර ගල් ගොඩ උඩට නැගපු අතිශය තරබාරු කාන්තාවක් රෙදි වනනවා. කොණ්ඩයා මෙන්න මෙහෙම නැලවිලි ගීතයක් කියනව අර කාන්තාව දිහාවට අත දික්කරගෙන.

"අන්න බබෝ ඇතින්නියා
ගල් ගොඩ උඩ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පැන පැන රෙදි වනන්නියා"

ළමයා නැලවුණාද කියල නම් බඩාට මතක නැහැ. ඒත් වටේ හිටපු අම්මලා ගේ බඩවල් නෑ හිනා වෙලාම.

Saturday, July 27, 2013

ඡන්දේ

1990 ගණන් වල මැද හරියේ උසස් පෙළ පන්ති වල තිබුන තවත් ලස්සන වැඩක් තමයි පෝස්ටර් ගැහිල්ල. තමන්ගේ ප්‍රතිවාදියෙකුට මඩ සහිත අපහාසාත්මක පෝස්ටරයක් ගහලා විනෝද වීම ඒ දවස් වල බහුලව වෙච්ච වැඩක්. දැන් වගේ මූණු පොතෙන්, අරහෙන් මෙහෙන් කෙනෙක්ගේ ඡායාරූප හොයා ගන්න බැරි කාලෙක මේ පෝස්ටර් වැදුනේ කාගේ හරි ඇල්බම් එකකින් පින්තූරයක් හොරකම් කර ගත්තාම. එහෙම නැත්නම් කියනෙන කවුද කියලා ඇඟවෙන විදියට ලස්සනට වචනයෙන් කියවෙන්න ඕනේ. කවදත් ඔය වගේ වැඩ වලට බඩා එක පයින්. 

පාසැලේ සහ ටියුෂන් පන්ති වල හොඳ නමක් දිනාගෙන හිටපු තක්කාලි බමුණට පෝස්ටරයක් ගහන්න බඩා තීරණය කලේ ඔය අතරෙදී. 1995 කියන කාලේ පරිගණක තිබුණේ බොහොම අඩුවෙන්. බඩාට නම් පරිගණකයක් තිබුණ වගේ කොරල් ඩ්‍රෝ 4 කියන උපාංගයත් ඒ දවස් වල තිබුණා. මේ නිසා පත්තරේ ගිය කාටූනයක් වෙනස් කරලා පෝස්ටරයට ඇතුළු කරලා බොහොම ලස්සනට මුද්‍රිතවම වැඩේ සිද්ධ කලා. ඒ දවස් වල මහ මැතිවරණයක් තිබුණ වගේ මතකයි. ඒ නිසාම මැතිවරණ පොරොන්දු පත්‍රිකාවක් විදියටයි පෝස්ටරය් නිමැවුණේ. මේ පෝස්ටරය එළි දැක්වුණේ ග්‍රේරෝ ගුරුතුමාගේ පන්තියේදී. බමුණත් ඒ පන්තියට එන බව කියන්න ඕන නෑ නේ! කොහොමෙන් කොහොමෙන් හරි බමුණට ඇඬෙන්නම පෝස්ටරය නැගලා ගියා. 

පෝස්ටරයේ විහිළු හුවමාරු වෙන අතර වාක්‍යනාදන් අහනවා "සර් ඡන්දෙ ඉල්ලන්නේ නැත්ද?" කියල. වාක්‍යනාදන් කවදත් දෙන්නේ කරමල් කැඩෙන වාක්‍යම බව මතක ඇතිනේ. ඔන්න ඉතින් ගේරෝ ගුරුතුමා පටන් ගන්නවා චූර්ණිකාව. 
"අපෝ කවදාවත්ම නෑ! මොකද දන්නවද? ළමයි මම ඡන්දේ ඉල්ලුවොත් මට මේ රස්සාව දාල මන්ත්‍රී පඩියක් විතරක් ගන්න වෙනවා". 
කොල්ලෝ "සූ!" ගානවා. 
"ළමයි, මට මගේ බෙන්ස් එක විකුණලා මයිනර් එකක් ගන්න වෙනවා. මොකද මම ආදර්ශමත් නායකයෙක් වෙන්න ඕනෙනේ?" සූව තවත් වැඩියි! 
"ඒ වගෙම මට දැන් ඉන්න ගෙයින් අයින් වෙලා මන්ත්‍රී නිවාසෙක අඩු පහසුකම් යටතේ ඉන්න වෙනවා". සූව තවත් දරුණුයි. 
"එහෙම කළොත් ළමයි මට මායියගෙන් ජල ගුටි තමා". 

මීට කලින් වතාවක කිං කොං කියලා බඩාව චාටර් කරපු එක බඩා මතක තියාගෙන හිටියේ ගලේ කොටපු අකුරක් වගේ. අර අන්තිම ප්‍රකාශය එක්කම පොළීත් එක්ක දෙන්න නියම අවස්ථාවක් බව වැටහෙන්න බඩාට ගියේ තත්පරයෙන් දහයෙන් පංගුවයි. 
"සර්, දැනුයි කියල වෙනසක් නෑ නේද?" කියල බඩා ඇහුවෙ පන්තිය මීයට පිම්බ වගේ නිශ්ශබ්ද වෙනකම් ඉදල. කොල්ලෝ කෙල්ලෝ බඩවල් අල්ල ගෙන හිනා. ග්‍රේරෝ ගුරුතුමා අත උස්සගෙනම ඊලඟ ගණන හදන්න පටන් ගත්තා!

(අපිට මුලින් දීපු පොරොන්දුව කඩ කරමින් පස්සෙ කාලෙක ග්‍රේරෝ මහත්මයා දේශපාලනයට ආවා)

Thursday, July 25, 2013

නම් තැබීම

ලංකාවේ විශ්වවිද්‍යාල කියන්නේ උප සංස්කෘතියක්. මේ උප සංස්කෘතිය ඇතුලේ සමාජයීය, පුද්ගලික සහ භාෂාමය වෙනස්කම් පවා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට, සහ එකම විශ්වවිද්‍යාලයේ පීඨ අතර පවා මේ වෙනස්කම් තියෙනවා. පළමු වසරට සිසුන් ඇතුලත් උණාම ලබා දෙන "කාඩ්" එක එහෙම නැත්නම් අන්වර්ථ නාමය ඒ වගේ එකක්. පේරාදෙණියේදී නම් පළමුවෙනි වසරේදීම මේ නම් ලබා දෙනවා. පෙනුම, කතා විලාසය, නම, ගම වගේ දේවල් පදනම් කරගෙනයි මේ නම් වටෙන්නේ. බඩාගේ සමාන්තර වෛද්‍ය පීඨ කණ්ඩායමේ මේ විදියට තෙලා, පරතරයා, බ්‍රහ්මදත්ත, චව්වා, ටිකිරා වගේ නම් තියෙන අය හිටියා. ඒ අතරම රයි පාල, බයි පාස්, කයි පාල, කොයි පාටියා වගේ නමුත් තිබුණ!

හැබැයි කොළඹ වෛද්‍ය පීඨයේ කාඩ් වදින්නේ කාලයත් එක්ක. දැනටමත් කොටියා, ජොරා, මීයා, බල්ලා, පාප ලාල් ගැන එහෙම දැනටමත් දන්නව ඇති. පුදුමෙ කියන්නේ ඇනාට කාඩ් එකක් වැදුනේ නැති එක. අනික් අතට ඇනා කිවුවම ආයේ කාඩ් මොකටද කියලත් හිතෙනව.

ඔන්න අපේ කණ්ඩායමේ හිටියා එකම නම තියෙන සෙට් පහක් විතර. සෙට් තුනක් කෙල්ලෝ. සෙට් දෙකක් කොල්ලෝ. මේ එක සෙට් එකකට සමන් කියල අපි කියමු. එක සමනෙක් හිටියා හරිම ක්‍රීඩාශීලී, හැබැයි කට්ට කළු. හොඳ කොණ්ඩයක් එහෙම තිබුණා. අනික් සමනා බර උස්සලා මස්පිඩු පුම්බ ගත්තු තට්ටයෙක්. ඌත් කළුයි හැබැයි අනිකා තරම් නෑ. මුලටම අපි මේ අයව අඳින්නුවේ කලු සමන්, සුදු සමන් කියල. මේකට කලු සමනා විරෝධය දැක්කුවේ සුදු සමනගේ සුදු, දත් ටිකයි සුදු ඉංගිරියාවයි විතරක් ය කියල. ඒ හින්ද කලු සමන් සහ ලා කලු සමන් කියමුය කියල යෝජනා වුණත්, ඒක කටට හරි නෑ. එහෙම නම් තට්ට සමන් සහ කලු සමන් කියමුය ඒයල යෝජනා කලේ පාප ලාල්. ඒ වුණාට මිනිස්සුන්ගේ අඩුපාඩු නම් වලට යොදන්න හොඳ නැති බව තමයි බහුතර මතය වුණේ. ඒ නිසා කලුම කලු සමන්ට අපි නමක් දැම්මා "සුද්දා" කියල. තට්ටය තියෙන අනික් එකාට නම දැම්මා "කොණ්ඩයා" කියල.

අපේ සින්දු කියන මිත්‍රයාට කාඩ් වෙලා තිබුණේ "කොකයි" කියල. කොකයි (cocci) කියන්නේ වටකුරු හැඩය ගන්නා බැක්ටීරියාවන්ට. එක දවසක් පටකවේද පන්තියක් අස්සෙදී අණ්වීක්ෂයෙන් පේන්නේ මොනවද ඇහුවම මූ කියාපි "පරණ කොකයි වගයක් බං" කියල.

තව නම් කීපයක්ම තිබුණත් අදාල අයගේ හරි නම් සහ විස්තර නොකියා ඒ නම්වල උපහාසය අරගන්න බෑ. ඒ නිසා දැනට නවතිනවා.


ප.ලි.: කෙල්ලො එක්කම කදේ දාගෙන ඉන්න කොල්ලෙකුත් අපේ කණ්ඩායමේ හිටියා. ඒ වගේ එවුන්ට සාමාන්‍යයෙන් කියන නම "ජංගියා". හැබැයි මේකා එසේ මෙසේ ජංගියෙක් නෙවෙයි රාජ සයිස් එකෙක්. 12 වෙනි සියවසේ ලෝකේ ලොකුම අධිරාජ්‍යය බිහි කලේ ජෙංගිස් ඛාන් රජතුමා. ජංගියන් අතර අධිරාජයා කියල අඳුන්වන්න අපේ බැචාට අපි දැම්මා නමක්, "ජංගිස් කාන්" කියල.

Wednesday, July 24, 2013

වැලා

දරු සම්පත් එහෙම ලබලා පියෙක් වුණ නිසා බඩා මාමා පහු ගිය මාස 10ක් විතර කාලයකට බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න හම්බ වුණේ නෑ. හදිස්සියෙම මෙහෙම බ්ලොගක් ලිව්වාය කියලා මතක් වෙච්ච නිසා ආයෙත් ආවා. වැඩිය කතා නැතුව කතාවකටම බහිමු.

බඩා වෛද්‍ය පීඨයට ආපු අළුතම (ඒ කියන්නේ 1998 දී - යකෝ මම නාකියි!) වෙච්ච සිද්ධියක් තමයි මේක. අපේ කතා නායකයා මොරටුව පැත්තෙන් ආපු, කලු, කෙට්ටු, පොඩි කොල්ලෙක්. කොල්ලා පොඩි වුණාට ශරීරයේ බරේ කිලෝග්‍රෑමයකට සාපේක්ෂව වැඩියෙන්ම බොන්නෙත් අපේ මිත්‍රයම තමයි. 

වෛද්‍ය පීඨයේ පළමු වසරේදී අපිට නේවාසිකාගාර නෑ. පුද්ගලික නේවාසිකාගාර වල මුදල් ගෙවාගෙන තමයි ඉන්නේ. මෙන්න මේ වගේ තැනකට ගායන හැකියාව තිබුණු මිත්‍රයෙකුත්, චිත්‍ර අඳින මිතරයෙකුත්, උයන්න දක්ෂ මිත්‍රයෙකුත් එක්ක අපේ කතා නායකයා සෙට් වුණා. අපේ සින්දු කියන මිත්‍රයාත් නියම බඩුවක්. කුළු හරකෙක් වගේ ඇඟ පත හයිය, සෑහෙන උස මහත, හැබයි හරිම අහිංසක කොල්ලෙක්. උදේ පාන්දරම මූ දත් මදින්නේ නැතුවම "මල් පිබිදී ගෙනැ එන්නේ - මඳ මඳ හිමිදිරි යාමේ" වගේ සින්දු කියනවා. සින්දු නම් ලස්සනට කියනවා, ඒත් අර කටේ කුණු කෙළ ගඳට පිබිදුණු මලුත් පර වෙනව කියලයි රට්ටු කිව්වේ. මල් පිබිදීගෙන එන්නේ කියද්දී අපේ චිත්‍ර මිත්‍රයාට ලෝකය කොළ පාටට පේන්න ගන්නවා කියලයි කියන්නෙත්. 

කොහොම හරි මේ පුද්ගලික නෙවාසිකාගාරයට ගිහින් සතියක් ඇතුලත අපේ කතා නායකයාට කාඩ් එකක් වැදුනා. කාඩ් එක "වැලා". මේ කාඩ් එක ඇහෙද්දී එක එක අය එක එක කතා කියනවා. සමහරු පත්තර ගැන කියනවා. සමහරු පලතුරු ගැන කියනවා. සමහරු කාන්තාවන් සහ ඔවුන්ගේ අඟපසඟ ගැන කියනවා. පෙබරවාරි 14 වෙනිදා වෙච්ච වැලන්ටයින් සිද්ධියක් ගැන සමහරු කියනවා. කතා ලෝකයයි. ඒත් නමට හේතුව දැනගත්තේ ටිකක් පහුවෙලා. අපේ මිත්‍රයා වැසිකිළිය ඇතුලේ රෙදි වැලක් බැඳලා!

Thursday, October 18, 2012

මගුල් ගෙදර ජරමරය (18+)

බඩා වැඩ කරන රෝහලේම වැඩකරන වෛද්‍යතුමෙක් තමයි පියා. පියා කියන්නේ සුරතලේට කියන නම. හැබැයි වයස 35 පැන්නුවත් පියා කට ඇරියොත් කියන්නෙ කුණුහරුප. ඒ වුණත් ඉඳල හිටල නියම සිද්ධි වලට පියා පැටලෙනවා. උදේ දහයට විතර තේ එකක් බොන්න 520 කැන්ටිම වෙත යන්න ආපු බඩාට පියා ප්ලග් වුණා. මේ ගමන යැවෙන්නේ හදිසි අනතුරු අංශය මැදින්. එතෙන්ට මහ සෙනගක් විත්, ලස්සන ලස්සන ඇඳුම් ඇඳගෙන, මගුල් ගෙදරක් වගේ. 

ඒ අතරේ ඉන්නවා හොඳ පදමට ගුටි කාපු අවුරුදු 14ක විතර මෝඩ පහේ කොල්ලෙක්. කතාවේ හැටියට මේ කොල්ලා කට රියොත් කට කැඩුණු කතාවක්ම කියන එකෙක්. ඉතින් බඩායි, පියායි, දෙන්න පොඩ්ඩක් ඕපදූප ටික හාරලා බැලුවා. කොල්ල නම් අම්බානකටයි, තව ටිකකටයි ගුටි කාලා. බලද්දී මේ කොල්ලගේ අක්කගේ මගුල් ගෙදර අද! ඔක්කොම වැඩ ඉවර වෙලා මගුල් ගෙදරින් ජෝඩුව පිට වෙන්න හදද්දී කොල්ලගේ අක්කයි, අම්මයි බදාගෙන අඬනවලු (සාමාන්‍ය මගුල් ගෙදරක වගේ). කොල්ල මේක දැකල කියනවලු, "අම්මටත් *කයි, අක්කටත් *කයි" කියල. (තරුව වෙනුවට අකුරක් දාගන්න!). 

මෙහෙව් දවසකත් මූට කට පියන් ඉන්න බැරිද කියල කේන්ති ගත්තු මනාලයාගේ කට්ටිය කොල්ලට හොඳටම නෙලලා. බඩාත්, පියාත් කොල්ලට කතා කලාම උත්තර හම්බවුනේ අමුතු අඬකින්. කට ඇරලා බලුවම, කොල්ලට තියෙන්නේ පැළුණු තල්ලක්. (cleft palate) "අම්මටත් දුකයි, අක්කටත් දුකයි" කියන එක තමයි අර විදියට ඇහිල තියෙන්නේ.

Cleft Palate කියන රෝගී තත්වය කුඩා කාලයේදීම ශල්‍යකර්මයක් මගින් හරි ගස්සන්න ඕන. නැත්නම් කිරි ඉස්මොල්ලේ යාම ඉඳන් කථන දුර්වලතා වෙනකම් බෝහෝ ප්‍රශ්න ති වෙනවා. බොහෝ වෙලාවට පැළුණු තොලක් (Cleft Lip) එක්ක පිහිටියාම කැතට පේන නිසා ශල්‍යකර්මයට යොමු වීම වැඩියි. නමුත් තල්ලේ පමණක් ප්‍රශ්නය තියෙද්දී ඒක මග ඇරෙන්න පුළුවන්. 

ප.ලි. මේකටම සමාන වෙච්ච "සනීප නෑ ඩෝ" කතාව සහ ගොළු කොල්ලා ආච්චිගේ මුද්ද නැතිවීම ගැන කියන කතාව අහලා ඇති බවට උපකල්පනය කරනවා.