Thursday, July 16, 2020

ඩබල් එස් | SS


ඔන්න මේ කතාව වෙන්නේ අපේ පන්තියට පන්ති දෙකක් එහායින්. අට වෙනි වසරේ විතර වෙන්න ඕන. කතා නායකයා ට "ඩබල් එස්" කියමු. ඩබල් එස් කියන්නේ ගෙදර අම්බානකටයි තව ටිකකටයි තද විනයක් යටතේ හැදිලා, ඉස්කෝලේ පිස්සු කෙලලා ඒ පීඩනය පිට කර ගන්න බුවෙක්.
ඩබල් එස් මොකක් හරි එකකට පත කුණුහරුපයක් දෙසා බානවා. උගේ කරුමෙට මේක එහා පන්තියේ උගන්න උගන්න හිටපු ජිල් කොටාට ඇහෙනවා. ජිල් කොටා ඔය වගේ සීන් එකක් අහු වුණාම උඩ පැන පැන තලන ගුරු "තුමෙක්". ජිල් කොටා පවනට බඳු වේගයෙන් පන්තිය ඇතුලේ. ඒ මදිවට මිනිහ ඩබල් එස් ගේ කට හඬත් හොඳට දන්නවා. මොකද මූ ඒ තරම්ම පිස්සු කේස් එකක් නිසා.
ජිල් කොටා ඩබල් එස් ගාවට ඇවිත් "කවුදෝයි කුණුහරුප කියන්නේ?" කියල අත දිගෑරලා කණට ගැහුවා. අත කණේ වදිනකොටම වගේ, මුගේ ඇස් උඩ ගිහින් වෙවුලලා, බිම වැටිලා ගැහෙන්න ගත්ත. කටින් පෙණත් දානවා. ජිල් කොටාගේ ඇඟෙන් දාඩිය ගලන්නේ පාරේ තඩි ටැප් ලයින් එකක් කැඩුණ වගේ. අපිත් හොල්මන්ද පොල් කොල. ඒ මදිවට බය වෙලා. වලිප්පුව හැදුණු එකෙක් ජීවිතේ ඉස් ඉස්සෙල්ලම දැක්කේ එදා. "සික් රූම් ගෙනිහින් බලමු මූට මොකද වුනේ කියල" අපි කතා වුණා. අපි ඩබල් එසා ගාවට එන කොටත් ජිල් කොටා ආලෝකයේ ප්රවේගයෙන් මාරු වෙලා ගිහින්.
අපි ඩබල් එසාව උස්සගෙන සික් රූම් එකට ගෙනියන්න ගත්තා. මගක් දුර උස්සන් යද්දී මූ එක ඇහැක් ඇරලා අහනවා "අඩෝ, ජිල් කොටා ගියාද?" කියල. මූ උස්සගෙන ගිය කොල්ලො දෙන්න "තොගෙ අම්මට . . ." කියල ඌව එතනම බිම අතෑරලා ආවාලු.

Friday, December 1, 2017

හර්කියුලීස් ගෙ ජුන්ඩා

ඔන්න ආයේ ටික දවසකට පස්සේ බඩා කතාවක් අරන් ආවා. මේ කතාව බඩාට කිව්වේ අනුරාධපුරේ පැත්තේ ඉන්න විෂබීජයක්. අපේ විෂබීජය කතා කියන්න රුසියා. පාසල් ගියේ කීර්තිමත්, කතෝලික පාසලකට. ඔන්න ඉතින් අපේ විෂ බීජය උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ක්‍රීඩා උත්සවය ආවලු. විෂබීජයේ යාළුවෝ සෙට් එක අන්තිම අඩියේ එවුන් සෙට් එකක්. මේ අතර නියම ආතල් සපයන කොල්ලෙක් හිටියලු. ඌට පි "කොකා" කියමු.

ක්‍රීඩා උත්සවයේශී අර පහන දල්වන්න තියෙනවනේ. පහන පැත්තකින් හර්කියුලීස් යෝධයා කවපෙත්ත අරන් නැවිලා ඉන්න රූපය හදන්න තීරණය වුණාලු. මේක හදන්නේ තහඩු වලින්. ඊට පස්සේ ගෝල්ඩ් පේන්ට් එකක් ගාන්නයි ලැහැස්තිය. (ඔන්න ඔය පහළ පින්තූරේ ඉන්නේ හර්කියුලීස් ගොයියා).


ඔක්කොම තහඩු ටික ගෙනැල්ල කට්ටිය රූපේ හදල ඉවර කරල ගෙවල් වලට ගියාලු. . .

පහු වෙනිදා පියතුමා ප්‍රධාන අමුත්තා එක්ක ඇවිල්ල රූප නිරාවරණය කරණ කොට තමයි සංගෙඩිය දැක්කේ. හර්කියුලිස්ගේ ජුන්ඩා තියෙන තහඩු කෑල්ල මිසිං. පියතුමා මෙහෙන් පුපුරනව. ආරාධිත අමුත්තිය පොළොව පළාගෙන යන්න වගේ. වහාම සොයා බැලීමේ රහස් මෙහෙයුමක් දියත් වුණත් නැතිවෙච්ච තහඩු කෑල්ල කොහෙවත් නෑලු.

සතියකට පස්සේ කොකා ඉස්කෝලේ මේස ලාච්චුවෙන් එළියට අරන් හර්කියුලීස් ගේ ජුන්ඩා පෙන්නුවලු.

Sunday, October 23, 2016

පරංගි

පරංගි ගැන මේ කතාව මතක් වුනේ කතන්දරකාරයාගේ පෝස්ටුවක් දැකීමෙන්. පරංගි කියලා හඳුන්වන්නේ පෘතුගීසීන්ව. මේ වචනය හින්දියේ එන "ෆිරංගි" කියන වචනයෙන් බිඳී ආ එකක් බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර කතන්දරගේ පෝස්ටුවේ කොමෙන්ටු හැටියට ඇති.

පරංගි කියල හඳුවන හමේ රෝගයකුත් තියෙනවා. මේ රෝගය ස්පයිරොකීට් නම් බැක්ටීරියා වර්ගයෙන් හටගන්නේ. තද බද වූ සහ අපිරිසිඳු ප්‍රදේශ ස්ථාන වල තමයි මේ රෝගය බහුල. මේ රෝගයට දැන් කියන්නේ "yaws / pinta" කියල. වැඩිපුරම තියෙන්නේ අප්‍රිකානු රටවල සහ ඉන්දියාවේ. ලංකාවේත් 19 වෙනි ශතවර්ශය වෙන තෙක් තිබුණු බවට සාක්ෂි ඇතත් දැන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.




මේ කතාවේ වෙන්නේ 2000 ගණන් වල මුල. ඉංගිරිසි මහාචාර්යතුමෙක් (සමේ රෝග පිළිබඳව) ඇවිත් දේශනයක් කරනවා. මාතෘකාව ස්පයිරොකීට සමේ රෝගයන්. සමේ රෝග සහ ප්‍රතිකාර ගැන මහාචාර්යතුමා සිත් ගන්නා දේශනයක් කළා. අපේ මහාචාර්යවරුන්ගෙන් ඒ ගාණට ලස්සනට දේශනයක් කරන්න පුළුවන් කිහිප දෙනෙක්ට පමණයි.

"මේ සමේ රෝග දැනට ලෝකයේ පවතින්නේ අප්‍රිකානු සහ ආසියානු කලාප වල අපිරිසිඳු භාවය නිසා" බවට ප්‍රකාශයක් එතුමා විසින් නිකුත් කරනු ලැබුවා. බඩාගේ කණ්ඩායමේ හිටපු පොඩි විජේට මේ කතාව ඇල්ලුවේ නැති බව කියන්න ඕන. විජේ ඉතිහාසය ගැන සෑහෙන්න දන්න මනුස්සයෙක්. ප්‍රධාන ධාරාවේ ඉතිහාසය නැතුව විකල්ප ඉතිහාස මූලාශ්‍ර ගැනත් විජේ ගේ දැනුම අන්තිම ඉහළයි.

දේශනය අවසානයේ ප්‍රශ්න අහන වාරය උදා වුණා. පොඩි විජේ ප්‍රශ්නය යොමු කලා. "ඔබතුමා කියනවා මේ රෝගය තුරන් කරන්න බැරි ආසියානු සහ අප්‍රිකානු කලාප වල අපිරිසිඳු කම නිසා කියල. නමුත් මේ රෝගය අපේ කලාප වලට හඳුන්වා දුන්නේ ආක්‍රමණික්යන් වන ඔබේ මුතුන්මිත්තන් විසින්. ඔවුන් මේ රෝගය අරන් නො ආවා නම් මේ වෙනකොට ඔය රෝගය අපේ කලාපයේ නෑ".

මහාචාර්යතුමා අරින්නෙත් නෑ. "ඔබේ මූලාශ්‍ර මොනවද?"

පොඩි විජේ ආසම කෑල්ල මේක තමයි. "අවුරුදු 4000ක් පරණ ආයුර්වේද පොත් වල මේක සඳ
න් වෙන්නේ බටහිරින් එන වෙළෙදුන්ගේ රෝගයක් විදියට මිසක් දේශීය රෝගයක් විදියට නෙවෙයි. ඒ මදිවට මේ රෝගයට සිංහලෙන් කියන්නේ "පරංගි", ඒ කියන්නේ "පෘතුගීසියා / විදේශිකයා" කියල. ඒ නමෙනුත් මේක එන්නේ කොහෙන්ද කියන එක ගැන පැහැදිලියි"

මහාචාර්යතුමාගේ මූණ රතු වෙලා. "මට ඔබ කියන දේ පිළිගන්න බෑ". පොඩි විජේ කියනවා "පිළිගන්න කියන්නේ නෑ. ඒත් ඔය විදියටම තමයි ඔබේ මුතු
න් මිත්තෝ රතු ඉන්දියානුවන්ට සහ ඇබොරිජිනීලට වසූරිය සහ පැපොල ලබා දීලා ඒ ශිෂ්ටාචාර අවසන් කලේ. වාසනාවකට අපේ කලාපය වසූරිය තිබුණු කලාපයක් වුණේ"

මහාචාර්යතුමාට දාඩිය දාලා. ප්‍රශ්න අහන වෙලාව එතනින්ම අවසන් කරන්න මූලාසනාරූඪ ලාංකික මහාචාර්යතුමා පියවර ගත්තා. සුද්දාව පච කරපු එකට පොඩි විජේට අවවාද කරන්න තරම් අපේ ඇතැම් තුමාලා පරගැතිභාවයේ පතුලටම කිමිදිලා හිටි බවත් නොකියාම බෑ. 

(විජේ කිව්වේ ඇත්තද බොරුද කියල කියන්න නම් බඩා දන්නේ නෑ)

Friday, September 9, 2016

ගීත දහසය

ඉයන් ගේ ගුහාවේ ගීත 16 තරඟය දැන ගන්න ලැබුණේ දැන්. ඔන්න බඩාම් ආමාගේ ප්‍රියතම සින්දු 16. සින්දුවේ මාතෘකාවට කෙටුවම ගී රස විනිසේ මේ ගැන කරපු රස විනිසක් බලා ගන්න පුළුවන් වෙයි.

1. හදේ කොතැනක හෝ හිඳී ඔබ

හැමදාමත් මතකෙට ඇවිත් කරදර කරන ඒ අතීතයේ අපූරු මතකසටහන්, වදයක් වෙන වෙලාවල් නැතුවා නොවෙයි. ඒ වගේ හද දවන මතකයන් සමග ජීවත් වෙන විට, සිතට නැගෙන දේ හරියටම නැගුණ ගීතයක් මේක.




2. මේ ලොව යම් කිසිවකු
මේ ගීතය ගැන "කූඹියා" (දැන් ඔහු කොහේ ඉන්නවද දන්නේ නෑ) කිව්වේ, "මේක ඇහෙන කොට මට දුක හිතෙනවා, සතුටු ඉතෙනවා, බය හිතෙනවා සහ මහා පාළු හැඟීමක් එනවා" කියල්යි. මේ ගීතය අඳුන්වන්න වෙනත් කිසිම හැඳින්වීමක් අවශ්‍ය නෑ.





3. සිනිදු සුදු මුතු තලාවේ

ලංකා සිංදු වංශ කතාවේ මුදුන් මල්කඩ වගේ ගීතය තමයි මේ. සාගරික සිම්ෆනියක් කියලත් කියනවා. අපේ රටේ පළමුවෙනි "ක්ලැසික්" එක.

 





4. උදුම්බරා

ඇල්විටිගල මාස්ටර්ගේ සිනිදු සුදු මුතු තලාවට කේමදාස මාස්ටර්ගෙන් ලැබුණු උත්තරය වගේ. මූදුකරේ ගැහැනියකගේ කන්දුල, සින්හව, වියරුව සහ තනිකම මේ ගීතයෙන් පැහැදිලි කෙරෙනවා.



5. නීල අහසේ සැඳෑ වළා

කීර්ති පැස්කුවල්ගේ ආදර්ණීය ගීතයක්. හවස්යාමයක ඇහෙන කොට ප්‍රේමණීය සිතුවිලි වලින් හිත පුරවනවා


6. සරා සඳේ සිනා සේලේ

ජෝතිගේ අමරණීය ගීයක්. බොක්කටම වදින සින්දුවක්.



7. හිරු දැවී - සඳු ගිලී

අවසඳ නාට්‍යයේ සින්දුවක්. අමරදේව - නන්දා මාලිනී ගයපු අන්තිම යුග ගීතය. මේ ගීතය තුළ මුළු නාට්‍යයේම කථාන්තරය කැටි වෙලා තියෙනවා



8. පහන් කන්ද මුල අඳුරුයි

අනික් අය හිනස්සන මිනිස්සුන්ගේ හිත පාමුල තියෙන අඳුර දන්නේ ටික දෙනයි. හාත් පස එළිය පතුරුවන පහන් කඳ මුල තියෙන්නේ බියකරු අන්ධකාරයමයි.




9. කුණ්ඩුමනී

ෆ්‍රෙඩී - ප්‍රේමකීර්ති - විකටර් සංයෝගයෙන්, භූපාල් රාගයෙන් කෙරුණු ගින්දර වගේ සින්දුවක්



10. සුදු නෙළුම කෝ

මල් කෙල්ලකගේ ශෝකාන්තය. රත්න ශ්‍රී -  අමරදේව එකතුවක්


11. වර්ණ

කසුන් කල්හාර ඇතුළු පිරිසගේ මා කැමතිම ගීතය





12. රැඩිකල් ප්‍රේමයේ

ප්‍රේමයේ රැඩිකල් සංගීතමය වෙනස



13. සුළං කපොල්ලේ

අසම්මත ආදරයකට කෙරෙන ඇරයුමක් ගැන ලියවිච්ච බොක්කට වදින සින්දුවක්



14. ලබන්න බැරි සුව සහනය

මිල්ටන් ගේ බූට් සින්දුවක්.



15. මාගේ මතකේ ඔබේ රුව

අහන්න, නටන්න, මනෝ ගහන්න ඔන එකකට ඔට්ටු සින්දුවක්.



16. මීන නුවන් යුග

දුර ඈත රටක ප්‍රේමය වෙනුවෙන් වේරලියැද්දගෙන් ගීතයක්


ඔන්න බඩා මාමාගේ තේරීම්!

Thursday, May 12, 2016

සෙම අදින ඩොක්ට

සාමාන්‍යයෙන් රෝහලක් වගේ එකකදී සියළුම දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන වෙලාවල් අඩුයි. විවිධ ශ්‍රේණි අතර තියෙන හිත් නොහොඳකම් විටින් විට මතු වෙනවා. ලංකාව වගේ රෝහල් කාර්ය මණ්ඩලය අඩු රටවල් වල මේ තත්වය තවත් උග්‍රයි. බොහොම වෙලාවට මේ ගැටුම එන්නේ වැටුප් පරිමාණය එක්ක. යම් කිසි හේතුවකට වැටුප වැඩිනම් රජයේ සේවයේ ඉහළින් ඉන්නේ කියන මතවාදයක් හෝ සම්ප්‍රදායක් ඇති වෙලා තියෙනවා. මේ නිසා වැටුප් පරිමාණ අතිපිහිත වෙන ශ්‍රේණි අතර ගැටුම් බහුලයි.

මේ විදිය ගැටුම් බහුල තැනක් තමයි හෙදි පාලිකාවන් (nursing matron) සහ ශ්‍රේණි වෛද්‍යවරුන් අතර. සාමාන්‍යයෙන් හෙදි පාලිකාව කියන්නේ ඉහළම නිළයක්. වැටුප් සමහර වෛද්‍යවරුන්ටත් වඩා වැඩියි. හැබැයි, වෛද්‍යවරුන්ට ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන් නිසාත්, හෙද පාලිකාව ඉන්නේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි යටතේ නිසාත්, කාරණය එතරම් පැහැදිලි නෑ.

මේ විදියට තවත් ගැටුම් බහුල ශ්‍රේණි දෙකක් තමයි හෙදියන් සහ භෞත චිකිත්සකයන් (physiotherapist) අතර. භෞත චිකිත්සකයන් කියන්නෙ රෝගී සත්කාරයට අත්‍යවශ්‍ය සේවාවක්. අත පය වල මාංශපේශි වල සවිමත් භාවය පවත්වා ගැන්මේ සිට ශ්වසන පද්ධතිය පිරිසිඳුව තබා ගැන්මට අවශ්‍ය ව්‍යායාම කියාදීමත් ඔවුන් විසින් සිදු කෙරෙනවා. බඩා වැඩකරපු රෝහලක හිටියා භෞතචිකිත්ස්කයෙක්, තමන් "වෛද්‍ය" විදියට හඳුන්වා ගන්න. බඩාට ලැබුණ ආරංචි හැටියට හීනියට ලෙඩ්ඩු බැලිල්ලකුත් කරනවලු. මනුස්සයට මුදල් එහෙමත් යහමින් තියෙනවා වෙන්න ඕන. වෛද්‍යවරුන් මේ ගැන නොදැන හිටියට හෙදියන් මේ ගැන ගාණට දැනගෙන හිටියා. ඒ අය බලන් හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයෙන්.

ඔන්න එක දවසක් මේ මනුස්සයා වාට්ටුවට ඇවිත් පළවෙනි ලෙඩාට ෆිසියෝ පාර දීලා එහෙම දිගටම වැඩ කරන් යනවා. වාට්ටුවේ අන්තිම කෙළවරේ වගේ ලෙඩා ගාවට යනකොට රෝගියෙක් ඇවිත් අහනවා "අර දොස්තර මහත්තයාව හමබ වෙන්න පුළුවන් කොහේදිද?" කියල. රෝගියා මේ කතාව අහන්නෙත් නියම කටර් එකකින්. නර්ස් නෝනා වාට්ටුවටම ඇහෙන්න කියනවා "ආ ඒ බේත් දෙන ඩොක්ට නෙවීනේ, එයා සෙම අදින ඩොක්ට" කියල.

අපේ ෆිසියෝ මිත්‍රයා සද්ද නැතුව මාරු වෙනවා!

Saturday, March 12, 2016

චූං පාන්

බඩා මාමා ලඟදී දැක්කා මූණු පොතේ සමූහයක්, "චූං පාන් විරෝධීන්ගේ සංගමය" කියල. හැබැයි ඒ සමූහයෙන් දොස් නගලා තුබුණේ චූං පාන් වාහන ඉතා වේගයෙන් ගමන් කිරීම ගැන. නමුත් මේ සිද්ධි ඊට වඩා ටිකක් වෙනස්. අම්පහ පැත්තේ ඉන්න බඩා මාමාගේ යාළුවෙක්ගේ ගෙදර තියෙන්නේ පටු පාරක අන්තිම කොණේ. හිමිදිරි පාන්දරම එන චූං පාන් මල්ලී, ත්‍රී වීලරය නතර කරන් පාන් බෙදන්නේ මිත්‍රයාගේ ගේ ඉස්සරහ ඉඳන්. අපි මේ මිත්‍රයට චරිත් කියල කියමු. චරිත් මහ ඇඟ හොරා. දවල් වෙනකම් නිදියන්නයි හිත. ඒ මදිවට චූං පාන් මල්ලී අර චූං පාන් හෝන් එක, ඇම්ප්ලිෆයරයක් හරහා බෆල් දෙකකට හයි කරලා, මර උදෙන් ඇවිත් පාන් බෙදනවා. මළ පැනපු චරිත දවස් කීපයක්ම චූං පාන් මල්ලීට කියලා ඔය හෝන් එකේ සද්දේ අඩු කර ගන්න කියලා. හැබැයි නහයට අහන්නේ නැති චූං පාන් මල්ලී එක දවක් චරිත්ට කියනවා "මේ මහත්තයා, ලෙඩ දා ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල. චරිත්ගේ කටුව පැනලා තියෙන්නේ ඔතනදී. මොකුත් වෙනසක් නොපෙන්නපු චරිත් ගේ ඇතුලට ගිහින් තඩි බාල්දියකින් මොනවද චූං පාන් එකට ගැහුවා. මුළු පළාතම අසූචි ගඳින් පිරිලා ගියේ මොහොතින්. චූං පාන් මල්ලීට ගහලා මොකුත් කරන්න බැරි බව දන්න චරියා කලේ බිස්නස් නවත්තන්න චූං පාන් එකට ගූ ගහපු එක. අර චූං පාන් මල්ලී ආයේ ආත්මෙකට ඒ ත්‍රීවීල් එකෙන් කෑම විකුණන්න කියලද? චරියා ප්ලෑන් කරලම දවස් කීපයක් තිස්සේ බෑග් එකකට බොක එකතු කරලා, අන්තිමට බාල්දියකට දාලා, ඒකට මුත්‍රා සහ වතුර දාලා, දියාරු වෙන්න හදලා තමයි වැඩේ දුන්නේ. චූං පාන් මල්ලී ප්‍රදේශයෙන් එර්දි වුණා කියලයි ආරංචිය.

චූං පාන් එන්න කලින් වගේම, දැනුත් තියෙන වසංගතයක් තමයි අර ලොකු සද්දෙට දුවන මෝටර් බයිසිකල්. සයිලන්සරයේ මොකක් හෝ වෙනස්කමක් කළාම කන් බිහිරි වෙන තරම් ලොකු සද්දයක් එනවා. සද්දෙ දාන බයිසිකල් යන්නෙත් ඉගිල්ලිලා වගෙ. දෙහිවල පැත්තේ හිටපු බඩාගේ මිත්‍රයාගේ ගේ තියෙන්නේ පටු මගක. මේ පටුමග මැද හරියෙන් අංශක 120ක විතර වංගුවක් තියෙනවා. වේගයෙන් එන බයිසිකලයක වේගය තරමක් අඩු කරන් වංගුව ගන්න පුළුවන්. සාමාන්යෙන් 90 ගණන් වල මුල් කාලයේ මේ පාරවල් ඉතාම පාළුයි. ඔය පාරේ ඇරලා යන, සද්දේ දාන මෝටර් සයිකල් කරුවෙක් හිටියා. මේ වංගුවේ ඇතුළු දාරේ ගෙදර හිටියේ අවුරුදු 70 විතර සීයා කෙනෙක්. මේ මනුස්සයා නිතරම අපස්මාරය හැදෙන අවුරුදු 12ක විතර මන්ද මානසික දරුවෙක් බලා ගන්නවා. අර
මෝටර් සයිකලේ සද්දේ කොතරම්ද කියනව නම්, ඒකට මේ ළමයට අපස්මාර සන්නිය (හෙවත් ෆිට්) හැදෙනවා. මේ මහළු මනුස්සයා බයිසිකල්කරුගෙන් ඉල්ලලා තියෙනවා, දරුවාගේ තත්ත්වය නිසා වැඩිපුර ශබ්ද කරන්න එපාය කියලත්. බයිසිකල්කරු මේක කිව්වම සීයට තගක් දාලා මාරු වෙලා. සීයාත් එසේ මෙසේ එකෙක් නෙවෙයි. මෝටර් සයිකල් කාරයා යනකම් ඉඳලා වංගුවේ නොපෙනෙන පැත්තෙන් පාර හරහට ලොකු කොටයක් දාපු සීයා, වංගුවේ ඉස්සරහ පැත්තෙන් බලන් ඉන්නවා. වෙනත් බයිසිකල් කරුවන් ආවොත් ඔවුන්ට අනතුරු හඟවන්න. වෙනදා වගේම පියාඹගෙන ආපු අදාල පුද්ගලයා කොටයෙ හැපී කරණම් කීපයක් ගහලා, තාප්පෙකටත් උඩින් විසිවෙලා ගියාට පස්සේ සීයා හෙමින්ම කොටේ උස්සගෙන ගිහින් වෙන තැනකට දාලා. අත්, කකුල් කඩා ගත්තු බයිසිකල් කරුවා සෑහෙන කාලයක් දුක් වින්දලු.

Monday, December 28, 2015

පටයා

බ්‍රා ගැන කතාව නැගලා යන එකේ පරණ කතාවක් උඩට ඇද්දා!

බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද මේ ටියුෂන් ගුරුතුමී හරිම වසයි. පන්තියේ කට්ටිය ඔක්කොම හිටියේ මීයට පිම්බා වගේ සීරුවෙන්. හැබැයි පැය දෙකහමාරක් හිර කරන් හිටපු පීඩනය පන්තිය ඉවර වෙච්ච ගමන් එළියට දැම්මේ මොකක් හරි පිස්සුවක් කෙළලා. 

මේ පන්තියට බඩා එක්ක තවත් චරිත කීපයක් සහභාගි වුණා. අපේ සුපුරුදු ඇනා ඉන් කෙනෙක්. මීට අමතරව ක්‍රිෂා, අර්ධෙ, චීටා (ඔව්, ඔව්, මේකේ කොමෙන්ට් කරන චීට තමයි) එහෙමත් සහභාගි වුණා. ඒ අතර ජනාධිපති විද්‍යාලෙන් ආපු පොරක් හිටියා. මිනිහා කරන්නේ අවස්ථාව බලල "වාක්‍යයක්" කියන එක. අවස්ථාවේ හැටියට කියන එක කරමල් කැඩෙන්නම කියන නිසා පොරට අපි කිව්වේ "වාක්‍යනාදන්" කියල. හැබැයි මේ අතර හිටපු "චරිතෙ" තමයි ගමා. ගමා කියන්නේ පිස්සු ආකරයක්, ෆන් උල්පතක්. ගමා එක්ක පැය බාගයක් ගෙව්වොත්, දවසකට ඇති වෙන ආතල් එකක් ගන්න පුළුවන්. 

සුපුරුදු විදියට පන්තිය ඇරිලා ගෙදර එන්න කෝට්ටේ හන්දියට එන්න අපි ලෑස්ති වුණා. ලඟ ගෙදරක වලක වනලා තිබුණ කාන්තා තිසර පටක් ගමා හොරෙන්ම උස්සනවා දැක්කේ බඩා විතරයි. ඒ මදිවට හෙමින්ම අර තිසර පටේ ඇනා ගේ පාසල් බාගය ඇතුලට ඔබන්නත් ගමා සමත් වුණා. මොකුත් නොවුනා වගේ අපි ගෙදර ගියා. ගෙදර ගියාම අපි පාසල් බෑගය අස් කරන්නේ කලාතුරකින්. මොකද අපි ඒ තරමටම උනන්දු ශිෂ්‍යයින් නිසා! දැන් පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරයෙක් වුණත් ඇනාත් ඒ කාලේ ඔය විදියමයි. පහු වෙනිදා ඇනා උදේම ආපන ශාලාවට ආවේ කෑම කන්න. ඇනායි, ගමායි ඉන්නේ එක ලඟ ගෙවල් දෙකක. ඒ හින්ද දෙන්නම එන්නෙත් එකට. දෙන්න ගජ මිත්‍රයෝ. ඒ හින්දා ගමා පුටු දෙකක් අල්ලන් ඉන්දැද්දී අත හෝදන් එන්න ඇනා ගියේ ගමාට බෑගය බාර දීල. ආයෙත් තමන්ගේ පුටුවට එන ඇනා ගෙන් ගමා රසායන විද්‍යා පොත ඉල්ලුවේ පන්තියේ නින්ද ගිය නිසා සටහන ලියා ගන්න බැරි වුණා කියල. ඇනා බෑගය ඇරිය ගමන් තිබ්බ කළු පාට රෙදි ගුලිය ඇදල ගත්තු ගමා, "මෙන්න යකෝ ඇනා වැල් රොබරි දාලා" කියල තිසර පටේ උඩ වීසි කරාපි! ඇනාගේ අවාසනාවට තිසර පටේ උඩගිහින් විදුලි පංකාවේ දැවටුණා. ඒ විදුලි පංකාව කොහොමත් කැරකෙන්නේ හිමින්. ඒ හින්ද ඒකේ එල්ලිලා තියෙන්නේ මොකද්ද කියල හැමෝටම පේනවා. ඒ මදිවට ගුරු මණ්ඩලය කෑම ගන්නෙත් ආපන ශාලාවේ වෙනම කොටසක. ඒ අයටත් මේ සංගෙඩිය නියමෙට පේනවා. සමහර ගුරුතුමීන් අතින් කටවල් වහගෙන හිනාවෙනවා. ඇනාට "තන පටයා" කියල කාඩ් එකක් වැටුනේ එදා ඉඳන්. පස්සේ තන හැලිලා නිකම්ම "පටයා" වුණා.

Tuesday, December 22, 2015

ඩොක්ට මර්වින් | Doctor Mervyn

බඩා පොඩි කාලේ ගියේ ගෙවල් ලඟ දහම් පාසලට. පොඩි කාලේ කිව්වට ධර්මාචාර්ය විභාගය වෙනකම්ම ඉගෙන ගත්තා. බඩාගේ ප්‍රාථමික අධ්‍යාපනය වගෙම, ද්විතීයික අධ්‍යාපනය සිදු වුනෙත් පිරිමි පාසල් වලනෙ. ඉතින් ශිෂ්‍යාවන් එක්ක කටයුතු කරන්න ලැබුණ සීමිත අවස්ථා වලින් එකක් තමයි දහම් පාසල. පොඩි පන්ති වලදී වෙන වෙනම ඉඳ ගත්තට, දහයේ පන්තියට එනකොට අපි ඔක්කොම ඉඳගන්නේ ගැහැණු පිරිමි බේදයක් නැතුව. අන්තිමට පන්සලේ ලොකු හාමුදුරුවෝ "ගින්දරයි, පුළුනුයි එක ලඟ තියන්න හොඳ නෑ" කියමින් පන්තියේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් දෙපසට වෙන් කළා. අපේ පන්තියේ හිටපු ඉන්දිකයා ඔය ගින්දර කතාවට කිව්වේ "ලොක්කගේ දෙකේ පුළුන් තමයි ගිණි ගන්නේ" කියල. කෙසේ හෝ කාන්තාවන්ට ගරු සරු ඇතුව සලකන්න බඩා පුරුදු වුණේ දහම් පාසලෙන් කීවොත් නිවැරදියි. 

අපේ පන්තියට පහළ පන්තියේ තරමක කටකාර සහ හැඩ කාර කෙල්ලක් හිටියා. එයාට අපි ලක්මිණි කියමු. අපි දන්න තරමට ඇගේ පියා වෛද්‍යවරයෙක්. අපේ දහම් පාසල් භක්ති ගීත කණ්ඩායමේ පුහුණු කිරීම් කරන්න දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච, බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වෙච්ච "පබ්ලික් අයියා" පැමිණියා. පබ්ලික් ට තියෙන්නේ කැත කටක්. බඩා පබ්ලික් එක්ක සෙට් වුණේ පටිගත කරපු භක්ති ගීත හුවමාරු කල නිසා. පබ්ලික් අයියා ලක්මිණි එක්ක පොඩි "ජිගි ජිගියක්" තියෙන බව බඩා ගේ මීටරේට වැටිලයි තිබුනේ. පබ්ලික් අයියා දවසක් කියනවා "මල්ලි, ලක්මිණිගේ තාත්තා හම්බවෙන්න යමුද?, පොර අපිට ෆ්ලූට් එකක් දෙනවලු" කියල. බඩාත් එකඟ වුණා. කළුබෝවිල රෝහලට බඩා එක්ක පබ්ලික් ගියා. අදාල වාට්ටුවට ගිහින් පබ්ලික් අහනවා "මිසී, ඩොක්ට මර්වින් කොහෙද ඉන්නේ?" කියල. මූණට කිණ්ඩි හිනාවක් දාගත්තු නර්ස් නෝනා අත දික් කරලා පෙන්නන ගමන් කියනවා "ඔය එන්නේ, ට්‍රොලී තල්ලු කර ගෙන" කියල.

ලක්මිණී එක්ක පබ්ලික් තිබ්බ ජිගි ජිගිය එතනින්ම ඉවරයි.

Sunday, December 20, 2015

එපිසියෝටොමි (Episiotomy)

බඩා මාමා වෛද්‍ය විද්‍යාවේ අකමැතිම කොටස් තමයි නාරි හා ප්‍රසව වේදය (gynecology and obstetrics) සහ ළමා රෝග (pediatrics) කියන කොටස් දෙක. වෛද්‍ය පීඨයේදී මේ විෂයයන් දෙක ඉගෙන ගත්තෙ ආඳා මාළු ඉරටෙන් කනවා වගේ අපුලකින්. ඊටත් වඩා අපුල දනවන කාරණය වුණේ සායනික පුහුණුව. ළමා රෝග වලට බඩා අකමැති වුණේ දරුවන් ගැන නොදැනීම. දරුවන් ඉන්න නිසා දැන් නම් ඊට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් නාරි හා ප්‍රසව වේදයට අකමැති වුණේ දකින දේවල් නිසා කාන්තාවන් එපා වේය යන බයක් තිබුණ නිසා.

නාරි හා ප්‍රසව වේදය කියන්නේ කාන්තා රෝග සහ දරු උපත ගැන හැදෑරීම. දරු උපතක් එක්කෝ උපත් මාර්ගය හරහා සාමාන්‍ය විදියට සිදු වෙන්න පුළුවන්. නැත්නම් යම් යම් උපකරණ වලින් උදවු කිරීමකින් සිදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිසේරියානු සැත්කමකින් කෘතිමව සිද්ධ වෙන්නත් පුළුවන්.

සාමාන්‍ය දරු උපතකදී දරුවාගේ හිස එළියට එන කොටස (crowning) තමයි වැදගත්ම වෙන්නේ. මෙහිදී දරුවාගේ හිස එක්වරම උපත් මාර්ගයෙන් එළියට පැනීමෙන්, උපත් මාර්ගය ඉරී යාමක් සිදු වෙන්න පුළුවන්. එය වළක්වන්න යෝනි මාර්ගයේ එක් පසෙකින් කැපුමක් දමනවා. මේකට කියන්නේ එපිසියෝටොමි (Episiotomy) කියලයි. දරුවා බිහි වූ පසු වෛද්‍යවරයා / වෛද්‍ය ශිෂ්‍යයන් විසින් මේ කැපුම මැසීම සිදු කරනවා.

මෙන්න මේ මැසීම එපාම කරපු වැඩ වලින් එකක්. ලේ සහ ස්‍රාවයන් සහිත අහවල් එකට මූණ ලං කරගෙන කරන්න ඕන මේ වැඩේ බඩාට නම් එපාම කරපු වැඩක්. ඒ වගේම බඩාගේ අත් ඉතාම විශාලයි. ප්‍රමාණය 8 අත් වැසුම් අවශ්‍යයි. අත්වැසුම් හොයන්න යන වෙලාවේ බඩා සාමන්‍යයෙන් ඉන්නේ හෙදි සොහොයුරියගේ හත්මුතු පරම්පරාවම මතක් කර කර. නමුත් කරුමයකට වගේ මේ මැසීම තිතට, නූලටම කරන්න දක්ෂයා වුණේ බඩා. ඉතින් අහන්න දෙයක් නෑ නේ, මුළු වාට්ටුවේම එපිසියෝටොමි මහන්න වුණේ බඩාට. අර අපි කලින් කියපු මහැදුරුතුමා එහෙම බඩා දැක්ක ගමන් "ඔය එපිසියෝටොමි මහන එකාට ඕක මහන්න කියනවා" කියල කිණ්ඩි හිනාවක් දාලා යනවා.

ඔන්න එක කාන්තාවක් එනවා හතර වෙනි ළමයා බිහි කරන්න. ප්‍රසව වේදනාවට අනික් කාන්තාවන් කරන්නේ කෙඳිරි ගාන එක වුණත් මේ කාන්තාව විශේෂයි. මිනිහට බණිනවා පතුරු යන්න. "අනේ මහත්තයෝ, බලන්න මේ විල්මොන් මට කල හදිය, අනෙ අම්මෝ ඉවසන්න බැරියෝ!". තව ටි
කින් "විල්මනෝ, බල්ලෝ, උඹ මට මේ කළ දේට තොට හෙණ ගහනවා, අපෙ අප්පෝ!" තවත් ටිකින් "විල්මනෝ, වල් පරයෝ, තෝව නම් මම ආයේ ඇඳට ගන්නේ නැතෝ!"

කොහොම හරි දරුවා බිහිවුණා, කිසි අවුලක් නෑ. දැන් එපිසියෝටොමිය මහන වෙලාව. බඩා මහනවා, ඔළුවට උඩින් කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනෙනවා. බලනකොට අර වලහෙක් වගේ මවිල් තියෙන මහැදුරුතුමා. "මේ, කොල්ලෝ, ඕක සම්පූර්ණයෙන්ම මහල දාපං, ආයේ විල්මොන්ට මේ මනුස්සයාට කරදර කරන්න බැරි වෙන්න" ඇහැක් ගහගෙන මහැදුරුතුමා යනවා. "අනේ සර්, මම බැන්නට විල්මොන් හොඳ එකා. ඌටත් ටිකක් ඉඩ තියන්න" අර කාන්තාව බඩාට කියනවා!

එපිසියෝටොමි මහනකොට වෙන තවත් එපාම කරපු වැඩක් තමයි නූල හමට ඇලවෙන එක (රුධිරය සහ වෙනත් ස්‍රාවයන් නිසා). එහෙම ඇළුණාම අතින් ගන්න බෑ. මොකද කැච් (catch) එක (ලොකු ට්වීසරයක් වගේ) සහ නීඩල් හෝල්ඩර් (needle holder) එක (ඉඳිකටුව අල්ලා ගන්නා අඬුව අත් දෙකේ නිසා. එක්කෝ නූල අල්ලන්න වෙන්නේ කැච් එකෙන්, නැත්නම්  නීඩල් හෝල්ඩරෙන්. ප්‍රශ්නේ වෙන්නේ මෙහෙම අල්ලන කොට හමෙන් කෑල්ලක් අහුවුණොත් රෝගියා යන්නේ හඳට, ඒ නිසා නූලේ කොණට තට්ටු කරලා හොල්ලලා තමයි අල්ල ගන්න ඕන. ඒ අතර කුටු කුටු ගගා බඩා බැණ බැණ ඉන්නේ. "දොස්තර මහත්තයා හොඳට මහනවා කියල අනික් අම්මල මට කිව්ව". ලෙඩා මට බටර් ගානවා. බඩා මේ විදියට නූල අල්ල ගන්න ද
ලන දැඟලිල්ල දැකපු කොටියා කියනවා "ඕක දිවෙන් ගණින් බං" කියල. බඩා හිටියේ මළ අතට අරන්. "උඹ නම් ඉතින් නීඩල් එකත් දිවෙන් අල්ලලා ගැටේකුත් ගහයිනෙ" කියල මහ හයියෙන් කිව්වා. මේක බලන් හිටපු ලවණයා මට උදවු කරන හෙදියට කියනවා "ඕකට අපි කියන්නේ දිව්දාස් කියලනේ". අර දරුවා ප්‍රසූත කරපු අම්මටයි, නර්ස් නෝනටයි හිටු කියල හිනා!

Sunday, September 27, 2015

අයියා

ලංකාවට ගොඩ බැස්සට පස්සේ ඔන්න නමෝ විත්තියෙන්ම එකක් ලියන්න හිතුවා. ටික කලක් නොලිවුවාම, හිතට අදහස් ගලාගෙන එන එක අඩු වෙනවා. හැබැයි පහු ගිය දවසක දීප්ති අයියාහ් (අයියා නොවේ) ගැන කෙරුණු කතා බහක් නිසා කතාවක් මතක් වුණා.

අනූවේ දශකයේ අග භාගයේ ආපු අළුත් මෝස්තරයක් තමයි පෙම්වතාව "අයියා" වශයෙන් හඳුන්වලා දීම. ඒ දවස් වල කෙල්ලෙක් "මම එන්නේ අයියා එක්ක" කිව්වොත් අපි දන්නවා ඒකට ට්‍රයි කරලා වැඩක් නැති විත්තිය. අයියා විසින් පොර යන පදය විස්ථාපනය කරලයි ඒකාලේ තිබුණේ. 

බඩා වෛද්‍ය පීඨයට ගිය කාලයේ එහි හිටපු සුප්‍රසිද්ධ මහාචාර්ය තුමෙක් ගැනයි මේ කතාව. කථනයට ඉතාම චතුර මෙතුමා ලියන වෛද්‍ය හමුව ප්‍රශ්න - උත්තර පිටුව ඉතා ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම කියන්න ඕන දෙය හුරතල් නොකර කරටිය කැඩෙන්නම කියල දාන නිසා. 

වෛද්‍ය පීඨයට යන හැම සිසුවෙකුටම අදාල ආචාර්ය වරයෙක් / වරියක් ඉන්නවා ප්‍රශ්න තිබේ නම් සාකච්ඡා කර ගන්න. බඩාට අහුවුණේ කණිෂ්ඨ කථිකාචාර්යවරියක්. බඩාගේ මිත්‍ර කපල් එකකට (අයියා - නංගී) අහුවුනේ අර මහාචාර්යතුමා. පළමු දවසෙම බඩා බඩාගේ ආචාර්යතුමිය හමු වෙන්න යනකොට මෙන්න එයා මහැදුරුතුමා එක්ක කයියක්. (එතුමියගේ ගුරුවරයෙක්ලු). අපේ අදාල කපල් එක හෙමින් ඇවිත් ඔවුන්ව අඳුන්වලා දෙනවා. නම් ගම් අහගත්තු මහාචාර්යතුමා කෙල්ලගෙන් එකපාරටම අහපි "මෙයා තමුන්ගේ කවුද?" කියල. "ආ සර්, ඒ මගේ අයියා" කියල අපේ බැචිය කිව්ව.

පොර දිහා හොඳට බලලා මහාචාර්යතුමා කෙල්ලගෙන් අහනවා "එක බඩවැල කඩාගෙන ආපු අයියද, පඳුරු අස්සේ ලගින අයියද?" කියල. අරුන් දෙන්නට ඇප නෑ. උන්ගේ කරුමෙටම බඩා හිටියේ මේ ඔක්කොම බලාගෙන . එදා ඉඳන් උන්ට කියන්නේ "පඳුරා / පඳුරී" කියල. 

Tuesday, April 14, 2015

දිව, මුද්දර හා අපස්මාරය


මාතලන් කාලෙකට කලින් දිව ගැන සහ දිවාකර ගැන ලියල තියෙන කතවක් නිසා කතා කීපයක්ම මතක් වුණා. බඩාගේ කණ්ඩායමේ හිටියා හොඳ ජැන්ඩි කොල්ලෙක්. මූ නර්තනයට අති දක්ෂයෙක්. හැබැයි කෙල්ලෙක් දැක්කම ඇඹලයා වගේ කදේ දා ගන්නේ. ඒ වෙලාවට අනික් කොල්ලන්ට කිණ්ඩි දාන එක තමයි මේකගේ කැතම පුරුද්ද. මොන එක ඉවසන් හිටියත් අර අන්තිම එක ඉවසන් ඉන්න අමාරුනේ. කෙල්ලෝ ගොඩක් මැද නිසා වෙනදාට වගේ හොඳට කට දිග ඇරලා කියන්නත් බැහැනේ!

බඩාලට මහපොළ ශිෂ්‍යාධාර ගන්න යන්න තිබුනේ තුන්මුල්ලේ ප්‍රධාන විශ්වවිද්‍යාල සංකීර්ණයට. එතන තිබුණු ලංකා බැංකු ශාඛාවෙන් තමයි අපි සල්ලි අර ගත්තේ. මහපොළ ගන්න කොට මුද්දරයක් එහෙම ගහන්න ඕන. ඒකට අර "පරිම
න්දකය" ද මොකද්ද කියන එක තිබුණා. හැබැයි ඒවා වේළිලා හැමෝම දිවේ ගාලා තමයි මුද්දර ඇලෙව්වේ. ඔන්න අපේ ප්‍රධාන නළුවා (අපි ලේසියට බට්ටා කියමු.), පැණි හලාගෙන, කයි දීගෙන ඉන්නවා. බඩාත් පෝළිමේ ඉන්න ගමන් සුදු පුතයි, පාප ලාලුයි එක්ක ක්‍රිකට් තරඟයක් ගැන කතා කරනවා. බට්ටාට ක්‍රිකට් දිරවන්නේම නෑ. කෙල්ලෝ ගොඩේ ඉන්න නිසා සිංහයා වෙච්ච බට්ටා බඩා දිහාවට හැරිලා කට හරහට ඇඟිල්ලක් තියල "ෂ්!!" කියල කිව්වේ කටේ සද්දේ වැඩි නිසා. හරහට ඇඟිල්ල තියන්න ඕනේ කොහෙද කියන එක ගැන කියන්න බඩාගේ කටට ආවත් අවස්ථාව නොවෙන නිසා "බට්ටෝ උඹට වැඩක් නැත්ද?" කියල ඇහුව. "නෑනේ, ඇයි උඹ මට  මොනව හරි වැඩක් දෙන්නද?" මූ මගෙන් අහනවා. "ඔයින් ජංගියක් තම්බගෙන බීල අපට අපේ කතාවක් කරගෙන ඉන්න දීපන්" කියන්න කටට ආවත් බඩා කිව්වේ වෙන එකක්. "මේ බට්ටෝ, වැඩක් නැත්නම් ඔය ක්ලාර්ක් ගාවට වෙලා දිව එළියට දාගෙන හිටපන්. එතකොට උඹේ පැනි වල ගගා බැච් එකටම බැරියැ මුද්දර අලවන්න" කියල. දෙපැත්ත කැපෙන කතාවක් බඩා කියයි කියල හිතන් කන් දෙකේ ඇඟිලි ගහගන්න ලෑස්ති වෙච්ච බඩාගේ බැචියෝ ටික බඩවල් අල්ලගෙන හිනා. බට්ටා එතනින් යන්න ගියේ බඩාට ඔරොව ඔරොවා.

දිවාකර කියන්නේ කාටද කියල මාතලන් කියලා තිබුණා. හැබයි දිවාකර කියන නම බුදු හාමුදුරුවන්ටත් යොදන නිසා වෙන නමක් දාමු කියල යෝජනා කලේ ජොරා. දේව් දාස් අළුත් චිත්‍රපටිය ආවේ ඔය කාලෙම තමයි. දිවාකරලා දෙන්නම චිත්‍රපටියේ දේව්දාස් වගේම කරටි කැඩෙන්නම ගහනවා. ඒ අනුව අපේ කණ්ඩායමේ හිටිය දිවාකරලා දෙන්නාට කිව්වේ "දිව් දාස්" කියලා. පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් බඩු හොරකම් කරන එකෙක් හිටියා. ඒකාට කිව්වේ "සුද්දෝදන" කියල. කොහේ හරි වත්තක් දැක්කොත් හොර කුරුම්බා කඩන කොල්ලෙක් අපේ ගමේ හිටියා. ඌට කිව්වේ "වතු සුද්ද" කියල. නිතරම යතුරු හිලෙන් නිදන කාමර බලන එවුන්ට කියන්නේ "හිල්මන්" කියල. කොළඹ විශ්ව විද්‍යාලයේ කපල් ආතල් ගන්නා කොරිඩෝ හොරෙන් බලන්න මෙහෙම තැන් තියෙනවා. ඒ කොරිඩෝවට කියන්නේ "හිල්මන් කොරිඩෝව" කියලා.

ටිකිරි ලියා කියන්නේ නියම රෙකෝඩ් තියපු කෙල්ලෙක්. මේ සිද්ධිය වෙනකොට අපට ඉගැන්වෙමින් තිබුණේ ස්නායු විද්‍යාව පාඩම. අපස්මාරය ඇති වෙන කොට දත-කට පූට්ටු වෙන එක ගැන එහෙම පාඩමේ කියලා දෙනවා. හිතට තැති ගැන්මක් හෝ කලබලයක් ඇති වුණොත් ඖෂධ ගන්නා කෙනෙක්ට උණත් අපස්මාරය ඇතිවෙන්න පුළුවන් බව අදාල විශේෂඥ වෛද්‍යතුමිය පැහැදිලි කරලා දුන්නා. නිවෙන පත්තු වෙන එළි නිසාත් ඒක වෙන්න පුළුවන් බව එතුමිය පැහැදිලි කලා. ටිකිරි ලියා බය වෙලා වගේ බලන් ඉන්නවා.

"මොකද බන් තක්බීර් වෙලා?" බඩා පාඩමෙන් පස්සේ ටිකිරි ලියාගෙන් ඇහුව. "අඩේ, තොලක් දාන වෙලාවට එහෙම කොල්ලට එපිලෙප්සි හැදුණොත් කට ඉවරනේ බං?" ටිකිරි ලියාගේ ප්‍රශ්නය මේකයි එහෙනම්! "ඔය වෙලාවට කලබල ගතිය එහෙමත් වැඩියිනෙ" මේ කෙල්ලටත් හිතෙන ඒවා.
"ටිකිරි ලියා උඹ දන්නවද, ෆිල්ම් හෝල් එකකදී කොල්ලගේ අහවල් එක ඔහොම තියන් ඉන්න කොට කෙල්ලට එපිලෙප්සි හැදුණ කතාව". 
"අම්මට සිරි, එහෙනම් ෆිල්ම් හෝල් වලට යන්න නරකයි" ටිකිරි ලියා කලබලෙන් කියනවා!

Sunday, April 12, 2015

දොස්තර විහිළු (18+)

මේකත් චීන නොවුනට විහිළු කතාවක්ම තමයි. මේ දෙකටම වෛද්‍යවරු ඇතුළත් වෙනවා.

ඔන්න අවුරුදු 75ක මිනිහෙකුට දරු සම්පතක් ලබා ගන්න හිතෙනවා. මිනිහා යනවා පවුලේ වෛද්‍යවරයා ලඟට. වෛද්‍යතුමා කතාව අහලා දරු උපතකට තරම් සරුභාවයක් මේ මනුස්සයට තියෙනවද බලන්න ශුක්‍රාණු පරීක්ෂාවක් නියම කළා. "මේකට ශුක්‍රාණු සාම්පලයක් අරගෙන පැය 1/2 ඇතුළත මෙහෙට ඇවිත් භාරදෙන්න". උපදෙස උනේ එහෙමයි. පොඩි කුප්පියකුත් ඒ එක්කම හම්බ වෙනවා.

පහුවදා මනුස්සයා එනවා හිස් බැල්මෙන්. "මොකද්ද ලොකු උන්නැහේ උනේ?" වෛද්‍යවරයා අහනවා. "වැඩේ හරි ගියේ
නෑ නේ" කියල හිස් කුප්පිය දෙනවා. "මම වම් අතින් බැලුවා, හරි ගියේ නෑ. දකුණු අතිනුත් බැලුවා, ම්හු! ඒත් නෑ. ඊලඟට නෝනට කතා කලා. නෝනත් වම් අතින්, දකුණු අතෙන්, අත් දෙකෙන්ම උත්සාහ කළත් බැරි වුණා.  ඊලඟට කටිනුත් බැලුවා, ඒත් නෑ. ඊලඟට කතා කලා එහා ගෙදර රතු නංගීට. රතු නංගීත් අර විදියටම වම් අතෙන්, දකුණු අතෙන්, අත් දෙකෙන්, කටෙන් බැලුවා, ඒත් හරි ගියේ නෑ. කොටින්ම දණිස් දෙක අතර තියල තද කරලත් බැලුව, ඒත් බැරි වුණා"
දැන් වෛද්‍යතුමා හොල්මන්ද පොල් කොල වෙලා. "ඈ, එහා ගෙදර කෙනාත් උදවුවට ගත්තද?" වෛද්‍ය තුමා ඇහුවා.

"එහෙනං!, මේ කාළකන්නි කුප්පිය ඇර ගන්න බැරි වුණානේ"

ඔය විදියටම තවක් නාකි මනුස්සයෙක් ඇවිත් වෛද්‍යතුමාට කියනවා, "මගේ අවුරුදු 25 නෝනට බබෙක් හම්බ වෙන්න ඉන්නවනේ! මේ දැන් දැනගත්තේ!". මිනිහට වයස 90ක් විතර ඇති. වෛද්‍යතුමා රැල් බුරුල් ඇරලා කතාව පටන් ගන්නවා. "ඔන්න දඩයක්කාරයෙක් දඩයමේ යන්න ලේස්ති වෙනවා. අම්තක වෙලා තුවක්කුව වෙනුවට ගන්නේ කුඩේ. කැලේදී ව්‍යාඝ්‍රයෙක් ගොරවාගෙන මිනිහ ඉස්සරහට එනවා. කුඩේ උරුක් කරලා වෙඩි තියනවා. එක සැරේම ව්‍යාඝ්‍රයා මැරිලා වැටෙනවා"
"ඒක වෙන්න බෑනේ, කුඩෙන් කොහොමද වෙඩි තියන්නේ?" නාකි මිනිහා අහනවා.
"එහෙනම් වෙන්න ඇත්තේ මොකක්ද?" වෛද්‍යතුමා අහනවා.
"වෙන කවුරු හරි වෙඩි තියලා තියෙනවා" මනුස්සයා කියනවා.
"අන්න හරි, මම කියන්නෙත් ඒකම තමයි" වෛද්‍යතුමා කියන්නේ ඇහැක් ගහන ගමන්.

Saturday, April 11, 2015

චීන වධ (18+)

රාජ් බුවා චීන කතාවක් ලියල තියෙන නිසා බඩාටත් චීන කතාවක් ලියන්න හිතුනා. හැබැයි මේක නම් 18+ එකක් තමයි. මේ කතා කියවෙන්නේ බඩා මාමගේ "ළමා" කතා පිටියේදී තමයි. කතාව බඩා අහලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්, සිංහලට පරිවර්තනය කරලා දන්නම්.

ඔන්න එක සංචාරකයෙක් චීනේ ගමනක් යන අතරේ නියමිත කෝච්චිය මග හැරෙනවා. චීන භාෂාවට අකාරාදි තුනක් විතර තියෙන නිසාත්, එක අකාරාදියක අකුරු 1000ක් විතර තියෙන නිසාත්, අපේ සංචාරකයට නවතින්න තැනක් වත් හොයා ගන්න බැහැ. කොටින්ම කඩදාසි විකුණන තැනයි, මසාජ් පාලර් එකයිත් දෙකම එක වගේ. ඔහේ කැරකැවිකැවී ඉන්න සංචාරකයාට හදිස්සියෙම මනුස්සයෙක් කතා කරනවා. 

"එන්න මහත්තයා, නවතින්න තැනක්ද හොයන්නේ?". සංචාරකයාට හරිම පුදුමයි. තම්න්ගේ භාෂාව දන්න කෙනෙක් ඉන්නවා! මේ මනුස්සයා තට්ටු තුනේ පොඩි ගෙදරකට එක්කන් යනවා. 
"මේ ගෙදර උඩ තට්ටුව තමා මහත්තයට. කෑම දෙන්නම්, යුආන් 500යි ගාස්තුව. කැමතිද?". මේ ඇමෙරිකානු සංචාරකයාට යුආන් 500ක් කියන්නේ කජු ඇට වගේ සුළු ගණනක්. ඒ නිසා එක පයින් කැමති වෙනවා. ඇමෙරිකන් සංචාරකයා අහනවා "අනික් තට්ටු වල ඉන්නෙත් නවාතැන් ගන්න අයද?" කියල. "අපෝ නැහැ. පහළම තට්ටුවේ මමයි, නෝනයි. පළවෙනි තට්ටුවේ මගේ දුව" මනුස්සයා කිව්වා. ඒ එක්කම මතක් කරනවා "මගේ දුව දිහා වැරදි විදියට බලලා තිබුණොත් නම් මම අති බිහිසුණු චීන වධ තුනක් ඔය මහත්තයට කරනවා" කියල. 

අපේ සංචාරකයත් තුන්වෙනි තට්ටුවේ නවාතැන් ගත්තා. ඒත් දුව ගැන කියපු කතාව නිසා දුව දකිනකම් මිනිහට නිවනක් නෑ. කොහොම කොහොම හරි කෑම එක අරගෙන නවාතැන්පොළ අයිති කාරයාගේ දුව උඩුමහළට එනවා. හෙණම ඉටි කිරිස් චීන කෑල්ලක්. මේකට මොකුත් නොකළොත් තමන්ගේ ඇමෙරිකන් අභිමානයට කැළලක් කියල හිතන සංචාරයකා කෙල්ලව ටෝක් කරල වැඩේට සෙට් කර ගන්නවා. වැඩේ ඉතින් නැගල යනව. බඩා ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ.

රෑ 2ට විතර හුස්ම ගන්න අමාරු කමකින් අපේ සංචාරකයා ඇහැරෙනවා. ඇස් ඇරල බලනකොට සීලිමේ ගහල තියෙනවා "චීන වධ අංක 1: පපුව මත කිලෝ 40ක ගලක්" කියල. "මේකත් වධයක්ද?" කියල හිතපු සංචාරකයා ගල උස්සලා දෙවෙනි තට්ටුවෙන් පහළට දාලා "බායි, බායි!" කියනවා. එතකොට ගලේ අනික් පැත්තේ ලියල තියෙනවා පේනවා "චීන වධ අංක 2: ගල ලණුවකින් දකුණු වෘෂණ කෝෂයට ගැට ගසා ඇත". මළ කෙළියයි, තව ටිකකින් සෙට් එකම ගලත් එක්ක පාරේ නවතිනවා. පහළ බැලුවම තියෙන්නේ පඳුරු ගොඩක්. අතක් පයක් කැඩුණත් අරක බේරගන්න එක ඊට වටිනවා කියල හි
න සංචාරකයා තීරණය කරනව ගලත් එක්කම ජනේලෙන් එළියට පණින්න. එළියට පැනලා පහළට යනකොට බිත්තියේ තියෙන තව කතාවක් පේනවා. "චීන වධ අංක 3: වම් වෘෂණය ලණුවකින් ඇඳට ගැටගසා ඇත" කියල.

එහෙනං, බායි, බායි!

Saturday, March 28, 2015

යුරිනල්


ඕනෙම පොදු ස්ථානයක තියෙන වැසිකිළියක සාමාන්‍යයෙන් මුත්‍රා කරන්න පෝච්චි තියෙනවා. මේවට කියන්නේ "යුරිනල්ස්" කියල. හැබැයි බඩා පාසල් යන කාලේ මේ යුරිනල් තිබුණේ ඉහළ පන්තියේ හෝටල් වල වගේ සුවිශේෂී ස්ථාන වල විතරයි. බොහෝ තැන් වල තිබුණේ පිඟන් ගඩොල් ඇල්ලු බිතියක් සහ පහළින් කාණුවක්. මුත්‍රා කරන්න වුවමනා වුණාම කෙළින්ම අල්ලන්නේ පිඟන් ගඩොල් බිත්තියට. වැඩේ බොහොම සරල වුණාට මුත්‍රා ගඳ තමා ඉවසන්න අමාරු.

බඩා වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලේ ආහාර ගත්තේ රෝහලේ ආපනශාලාවෙන්. ඒකේ සෞඛ්‍යාරක්ෂිත බව නම් ඉස්තරම්. ඉස්තරම් බව කොහොමද කියනව නම්, මැස්සෝ යන්නේ මල නොතලා රොන් අරගෙන. ඔතනින් කෑම ගත්තු බඩාට හිසරදය කෑම අරුචිය සහ ඇඟට පණ නැති ගතිය වගේ සතියක් විතර තිබුණා. බඩා හිතුවේ වයිරස් උණක් කියලා. නමුත් වෛද්‍ය පීඨයේ තියෙන අර පිඟන් ගඩොල් අල්ලපු කැසිකිළියට මුත්‍රා කරද්දී බඩා දැක්කා තමගේම මුත්‍රා වල වෙනසක්. පිඟන් ගඩොල් අතරට දාන "ග්‍රවුට්" එක බඩා මුත්‍රා කරද්දී කහපාට වෙනවා. අන්තිමට බලද්දී ටයිපොයිඩ් හැදිලා, ඒක අක්මාවටත් බලපාලා, ඒ හින්දා මුත්‍රා විතරක් නෙවෙයි, ඇසුත් කහපාට වෙලා. සති දෙකක් ගේමක් නැතුව ඉස්පිරිතාලේ තැපලා තමයි බඩා සුවය ලැබුවේ.

වෛද්‍ය පීඨයේ විතරක් නෙවෙයි, රාජකීය විද්‍යාලයේත් තිබුණේ මේ විදිය කැසිකිලි. හැබැයි බඩා 10 වසර ඉන්න කොට, එක වැසිකිලියක ඔය කියන යුරිනල්ස් ඇල්ලුවා. මේ කොටස බොහොම පිරිසිඳුයි. අතිශය පිරිසිඳු ලෙස ඉන්න සෙට් එක ගියේ මේ කැසිකිළියට විතරයි. බඩා නම් ඉතින් ඕන එකකට යනවා. දවසක් මේ අති සුපිරිසිඳු සෙට් එක මූණ නරක් කරගෙන පිඟන් ගඩොල් බිත්තියට අල්ලනවා. ඇයි කියල ඇහුවම කියන්නේ නෑ. සිද්ධිය තේරුණේ ගිහින් බැලුවම. මොකෙක් හරි මහා අසමජ්ජාතියෙක් කැසිකිළියේ යුරිනල් එක වැසිකිළියක් කරගෙන, අඩි එකහමාරක විතර රීබට් එකක් දීලා ගිහින්!

මේ "පොෂ්" කැසිකිලියට යන්නේ නැති තව එකෙක් තමයි ගොට්ටා. ගොට්ටා හෙණම ලමා පෙනුමක් තියෙන එකෙක්. මුගේ ළමා පෙනුම කොච්චරද කියනව නම්, මූ කැම්පස් ගිය අළුත යාළුවෝ එක්ක "ගෙම්බෙක්" අල්ලන්න ගිහින් තියෙනවා, ගෙඹි පොට් එකකට. පොඩි ළමයි මේකට අරන් අපට හිරේ යන්න බෑ කියල මූව එළියට දාලා අනික් එවුන්ව ඇතුලට අරගෙනලු!

පොෂ් කැසිකිළියට ගොට්ටා නොයන හේතුව අපි දැනගත්තේ උත්සවයකට ගලධාරී හෝටලයට ගිය දවසකදීයි. එදා මූ ලස්සනට යුරිනල් තියෙන කැසිකිලියට ගිහින් එනවා. ගොට්ටා ළමා පෙනුම වගේම හරිම මිටියි. උඩින් අල්ලපු යුරිනල් එකට මූට මුත්‍රා කරන්න බෑ! ගලධාරී එකේ ළමයින්ට මුත්‍රා කරන්න වෙනම පහළින් අල්ලපු යුරිනල් එකක් තියෙන නිසා මෙන්න මූ වීරයා වගේ එකට අල්ලනවා! උත්සවය පැත්තක තියෙද්දී බඩාටයි, යාළුවෝ සෙට් එකටයි පණ යන්න හිනා!

Sunday, March 15, 2015

සින්නරාසා

බඩාගේ විශේෂඥතාවය තියෙන්නේ වකුගඩු රෝග වලට ප්‍රතිකාර කිරීම කියල දන්නවනේ. ඒ වගේම අවුරුදු 30ක යුද්ධයක ප්‍රතිඵල රෝහලේදී දැක්ක කෙනෙක් තමයි බඩා. සොල්දාදුවන්ට වගේම, කොටි සාමාජිකයන්ටත්, (ඇතැම් විට ජිහාඩ් කාරයින්ටත්), බඩා ප්‍රතිකාර කර තිබෙනවා. මේ එවන් එක් කතාවක්. දේශපාලනය තුළ මියැදී ගිය තරුණයෙක්ගේ කතාවක්.

ඔහුට අපි කියමු සින්නරාසා කියල. ගම මාන්කුලම. වයස අවුරුදු 28යි. බඩා හමුවට එන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා. ඒ වෙනකොට ඔහු නඩු නැතිව අවුරුද්දක් සිරගත කර තබාගෙන ඉඳලා තිබෙනවා. සින්නරාසා පරීක්ෂා කරන කොට පෙනී ගිය දෙයක් තමයි සිරුරේ තිබූ ශ්‍රැප්නල් (shrapnel) තුවාල. ඔහු කීවේ හමුදාව ෂෙල් ගහන කොට තුවාල වූ බවයි. අවශ්‍ය පරීක්ෂණ කර, රුධිර කාන්දුකරන (Dialysis) ප්‍රතිකාරය කිහිපවිටක්ම කළ පසු ඔහු ඉතා හොඳ තත්වයට හැරුණා. ඒ වගේම මා සමග හොඳින්ම කුළුපග වුණා. "මම මිත්‍ර වුණු පළමු සිංහලයා ඔබ" සින්නරාසා කීවේ එහෙමයි. "නමුත් මගෙන් බෙදුම්වාදීන්ට සමාවක් නැහැ. ඒ ගැන මතක තියාගෙන මාව ආශ්‍රය කරන්න" එහෙම කිව්වේ මම. සින්නරාසාගේ සිරුරේ තිබූ තුවාල අනුව ඔහු වසර 10ක් පමණ තිස්සේ විවිධ පිපුරුම් 10කට පමණ ගොදුරු වෙලා තිබුණු බව බඩාට වෛද්‍ය විද්‍යාත්මක දැනුම නිසා තේරුම් ගියා.

"සින්න රාසා, බොරු කියන්න එපා. අවුරුදු කීයක් කොටින් වෙනුවෙන් සටන් කළාද?" බඩා දවසක් ඇහුවේ ගහෙන් ගෙඩි එනවා වගේ. "මට බොරු කියන්න හදන්න එපා, මොකද ඔය තුවාල වල කතාව ලියවෙලා තියෙනවා"

තව දුරටත් බොරු කිරීමෙන් වැඩක් නොවෙන බව දැනගත් සින්නරාසා ඔහු කොටි හමුදාවේ ජ්‍යේෂ්ඨ අණ දෙන්නෙක් බව හෙළි කලා. 

"ඒකෙන් කමක් නෑ. සින්නරාසා මොකෙක් වුණත්, දැන් රෝගියෙක්, ඒ නිසා බය වෙන්න එපා"

මගේ ඉල්ලිම පිට ඔහුගේ මාංචු ඉවත් කලේ, පළා ගියහොත් රුධිර කාන්දුකරණය නොමැතිව ඔහුට සතියකට වඩා ජීවත් විය නොහැකි බව පෙන්වා දීමෙන් පසුව. සින්නරාසාත් එය දැන සිටියා. "පැනල ගියොත් මම මැරෙනවා. එ නිසා පැනලා යන්නේ නෑ"

බඩා සින්නරාසාගේ පවුලේ අය සමග සාකච්ඡා කලේ ඔහුට වකුගඩුවක් පිරිනැමීමට කෙනෙක් ඉදිරිපත් වෙනවාදැයි දැන ගැනීමට. මාන්කුලම් වලින් පැමිණි පොඩි පහේ හමුදාවක් මා හමුවට පැමිණියේ ඔවුන් නෑදෑයන් බව සැළ කරමින්. ඒ අතර සිංහල හොඳින් කතා කළ හැකි දෙමළ නළුවකුද සිටියා!

බඩාගේ විස්තරය අසා සිට සින්න රාසාගේ මව වකුගඩුව පිරිනැමීමට ඉදිරිපත් වුණා. අවශ්‍ය රුධිර සාම්පල එදාම ලබා ගත්තේ මාන්කුලම් සිට යාමට ඒමට අපහසු නිසා. නමුත් සින්නරාසාට වකුගඩුවක් බද්ධ කරන්නට පෙර කළ යුතු බොහෝ දේ තිබුණා.

පළමුව ඔහු සිටියේ සිර මැදිරියක, රෝග වාහකයින් මැද්දේ. වකුගඩුවක් බද්ධ කළ අයෙකුගේ ප්‍රතිශක්තිය ලබා දෙන ඖෂධ නිසා බොහෝ අඩපණ වී රෝගයන්ට ගොදුරු වීමේ සම්භාවීතාවය බොහෝ වැඩියි. ඒ නිසා සින්නරාසා හිරෙන් නිදහස් කර ගැනීම අවශ්‍ය බව මම පෙන්වා දුන්නා. ඉන් පසුව මගේ මහාචාර්යතුමා හරහා, බන්ධනාගාර කොමසාරිස්ට, සහ ආරක්ෂක ලේකම්ට සින්නරාසාට වකුගඩුවක් බද්ධ කිරීම අවශ්‍ය බව දන්වන ලිපි දෙකක් සකස් කර දුන්නා. "ඔබ ගිහින් ආරක්ෂක ලේකම් හමුවී මේ ලියුම පෙන්වන්න. එතකොට ඔහු මොනවා හරි කරාවි. සින්නරාසාව හිරෙන් නිදහස් කර ගැනීම මගේ විෂය පථයේ තිබෙන එකක් නෙවෙයි. පුළුවන්නම් ඔබේ මන්ත්‍රී එක්ක යන්න. ජනාධිපති හම්බ වුනත් මට කමක් නැහැ" බඩා පැහැදිලි කරලා දුන්නා. "සමහරවිට, ආරක්ෂක අමාත්‍යංශයෙන් මේ දේ උත්සවයක් තියලා එහෙම කරන්නත් පුළුවන් දේශපාලන වාසියක් ගන්න. නමුත් සින්නරාසා නිදහස් කරගන්න නම් මේ විදියට කරන්න වෙයි" මම පැහැදිලි කරලා දුන්නා.

ඔවුන් ආරක්ෂක ලේකම් හමුවේ යයි බඩා බලාපොරොත්තු වුණා. නමුත් සිදුවුණේ නොසිතූ දෙයක්.

අදාල ලිපි දෙකත් රැගෙන රාජ්‍ය නොවන සංවිධානයක් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැශනල් වෙත ගොස් සින්නරාසා ගේ දඬුවම ඉවත් කර ගන්නා ලෙස කවරෙක් හෝ උපදෙස් දී තිබුණා. ඒ අනුව රෝහල විසින් ඔහුගේ රුධිර කාන්දුකරණය නොකඩවා කළයුතු බවට නියෝගයක් ලැබුණා.

මුළු තත්වයම දෙබරයට ගල් ගැසුවා වගේ වුණේ මින් පස්සේ. අපේ රෝගීන්ගෙන් බහුතරය රුධිර කාන්දුකරණය කරන්නේ මුදල් ගෙවමින්. ඔවුන්ට නොලැබෙන අයිතිවාසිකම් සිරකරුවකුට ලැබීම ගැන තදින් කිපුණ ඔවුන් විසින් අදාල රාජ්‍ය නොවන ආයතන ඔවුන්ගේ පෙත්සම් ඉවත් කර නොගන්නේ නම් සම අයිතිවාසිකම් ඉල්ලා නඩුමගට බහින බවට ලිපියක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඇම්නෙස්ටි ඉන්ටර්නැශනලයට ඔවුන් ඉතිහාසය ලද දරුණුම පරාජය ලබමින් නිහඬ වීමට සිදුවුණා. රුධිර කාන්දුකරණය ලබා දීමේ අනු පිළිවෙල (priority) පිළිබඳව අනෙකුත් පාර්ශව අත ගැසීම තමන් නොරුස්සන බවත්, තව දුරටත් බලපෑම් සිදු කළහොත් අදාල සේවාවෙන් ඉවත් වන බවටත්, අදාල විශේෂඥ වෛද්‍යවරුන් අවසාන නිවේදනයත් ලබා දුන්න.

මේ සිද්ධි සියල්ලම සිද්ධ වුණේ සති දෙකක් ඇතුලත. සින්නරාසාට තව දුරටත් අදාල ප්‍රතිකර්මය ලබා දිය හැකිවන්නේ පොරොත්තු ලේඛණයකට අනුව පමණක් බව ඔහුට සහ නෑදෑයන්ට දන්වා සිටින්නට සිදු වුණා. රෝගීන් සංඛ්‍යාව අනුව එවන් අවස්ථා ලැබෙන්නේ සති හතරකට වරක්. නමුත් රුධිර කාන්දුකරණය සතියට දෙවරක් වත් කළ යුතු ප්‍රතිකර්මයක්. මේ තීරණයෙන් දවස් 13කට පසු සින්නරාසා මොළයේ සිදුවූ රුධිර වහනයකින් මිය ගියා.

පොඩි මිනිසුන්ගේ ප්‍රශ්න දේශපාලනීකරණය කළ විට, එය විසඳා ගත නොහැකි අවුල් ජාලාවක් වන බවට මේ එක අනුවේදනීය උදාහරණයක්. මේ නූගත් ගැමියන්ට, තම මහන්තත්ත කම පෙරදැරි කරගෙන ඇම්නෙස්ටිය වෙත යන්නට කී පුද්ගලයාව බඩා කලක් සෙවූවත් හම්බ වුණේ නැහැ. සින්නරාසාගේ ලේ තැවරී ඇත්තේ අන්න ඒ දෑතේ බව බඩා අදත් විශ්වාස කරනවා.

Saturday, March 14, 2015

ගුරුවරු (?ගුරුහොරු)

දැන් වගේ නෙවෙයි 1990 ගණන්වල ළමයින් හැදුනේ දැඩි ගුරු භක්තියකින්ය කියල මතයක් තියෙනව. ඒක තරමක් දුරට හරි. ගුරුවරු වැරදි කරන කොට අපි බොහෝ වෙලාවට කට වහගෙන හිටියා. නමුත් මතක හිටින වැඩ කීපෙකුත් ඒ අතරම සිද්ධ වුණා. බඩා කරපු වැඩ වගෙම අනෙක් අය කරපු වැඩ ත් තියෙනවා.

මාමා කියන්නේ අපේ රසායන විද්‍යා ගුරුතුමා. රාජකීය විද්‍යාලයේ එක විෂයයක් දෙකට බෙදාගෙන ගුරුවරුන් දෙදෙනෙක් උගන්නනවා. මාමා කියන්නේ අමු කම්මැලියෙක්. 7.30 පීරියඩ් එකට එන්නේ 7.45ට. එන කොට එන්නේ කලිසම දෙපැත්තෙන් උස්ස උස්ස. ඇවිල්ලා ගුරු පුටුව ගසලා වාඩි වෙලා කොලර් එකයි කමිස අත් නැමිච්ච ඒවයි හරිද බලනවා. ඊට පස්සේ හුණු කූර දෙකට කඩලා එක කෑල්ලක් උඩ දදා අල්ලනවා. පළවෙනි පාඩමේදී පොර කියනවා "ළමයි මේ පාඩම සම්පත් රසායනය යයතේ විස්තර ඇතුව කරනවා. දැනට පොත කියව ගන්නකෝ ඈ" කියල මාරු වෙනවා. අපේ කරුමෙට අනික් රසායන විද්‍යා ගුරුවරයත් ඊට නොදෙවෙනි අයිස් කඳක්. නිදි කිර කිර ඉන්න නිසා කියන්නේ "බස්සා" කියල. නමේ කෑල්ලත් ඒකට සම්බන්ධයි. බස්සා සම්පත් රසායනය කරද්දී කියනවා "මාමා සර් මේක විස්තර ඇතුව මුල් පාඩමේ කළානේ, එහෙනම් පොත කියව ගන්න". එහෙම කියල මිනිහ මාරු. අපේ රසායන විද්‍යාවට අබ සරණ බව ආයෙත් කියන්න ඕනිද? අපි යන්තම් ගොඩ ගියේ මාමා විශ්‍රාම ගිහින් ශ්‍රී වික්‍රම රාජසිංහ උගන්නන්න ආවම තමයි.

මාමගේ කෙරුවාව එසේ වුවත්, කාර් තිබුණු ගුරුවරු කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි මාමා. දරා ගන්න බැරි තැන මොකෙක් හරි එකෙක් මාමාගේ කාර් එකේ හුලං ඇරලා, ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. වෙලාවට හුළං ඇරපු දවසේ බඩා පාසල් ආවේ නෑ. නැත්නම් ඉතින් මොකා ඇරියත් මාට්ටු වෙන්නේ බඩා තමයි. කතාවේ හැටියට එසේ මෙසේ එකෙක් නෙවෙයිලු! පන්තියේ අග්‍ර ශිෂ්‍යයෙක්ලු!

මාමා, බස්සා වගේ කම්මැලි නැති, ඒත් උගන්නන කොට මෙලො හ
ත්තිලව්වක් තේරෙන්නේ නැති, ගුරුවරුත් හිටියා. ආසියාවේ රිදී සීනුව එහෙම ගුරුතුමියක්. උගන්නන්න බෑ වගේම තමා පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් බැනුම් සාගරයයි. ආලෝකය පාඩම කරද්දී අවතල දර්පණයක නාභි දුර හොයන්න සම්පාත ක්‍රමය පාවිච්චි කරනවා. මේකේදී සම්පාත කරන්න තියෙන්නේ අල්පෙනෙත්තක්. කරුමෙට පෙත්තට හම්බ වෙච්ච අවතල දර්පනයේ නාභිදුර හෙන ලොකුයි. අල්පෙනෙත්ත පේන්නේ නැති තැන මල පැනපු පෙත්තා එස්ලෝන් බටයක් අරන් ඇවිත් සම්පාත කරනවා. මේක දැකපු රිදී සීනුව යක්ෂාවේශ වෙනවා. "ඔය මොකද්ද සම්පාත කරන්නේ, ඔයිට හොඳයි තමුසෙගේ ඔළු ගෙඩිය සම්පාත කර ගන්නවා". පෙත්තා ඩිම් වෙලා, හොල්මන්ද පොල් කොල වෙලා. පස්සේ පෙත්තා අපට ගණන් හදලා පෙන්නුවා එස්ලෝන් බටේ ප්‍රතිබිම්බය ගන්න නිරවද්‍යතාවය අර පොඩි නාභි දුර තියෙන එකේ අල්පෙනෙත්තෙන් ගන්න එකටත් වඩා නිවැරදියි කියල. රිදී සීනුවට ඕව අහගන්න වුවමනාවක් නෑ.

රිදී සීනුවේ වැඩ ඉවසන්න බැරුව හිටපු එකෙක් තමා එහා පන්තියේ තිලකයා. තිලකයා දවසක් රිදී සීනුවට පල් කැහි පාරක් දාලා, වැඩේ නතර වුණේ විදුහල්පති ගාව. අඟහරුවාදා එසෙම්බ්ලියේදී විදුහල්පති චූර්ණිකාව පටන් ගන්නවා. "ළමයි, ගුරුවරු දෙමාපියන් වගේ. මහන්සි වෙලා උගන්නනවා. එහෙම උගන්නන සමහර ගුරුවරුන්ට සමහර ළමයි සලකන්නේ කොහොමද? පල් කැහි පාරකින්" එහෙම කියන කොටම තිලකයාගේ පන්තිය හිටි පේළියෙන් ආවා පල් කැහි පාරක් ආයෙත්! කැහි පාර එනකොට බඩා හිටියේ ගුරුතුමියක් එක්ක කදයක් දාගෙන. (බඩාගේ ආගිය කතා වලට සහ ඕප මල්ලට ගුරුතුමියන් බොහොම කැමතියි.)  කැස්ස එකා බඩා දැක්කා. කරුමෙටම බඩා ඉඳගෙන හිටියෙත් ඒ කිට්ටුවමයි. බඩාට තිබුණු "කීර්තිය" නිසා 10.00ට විදුහල්පති කාමරයේ නතර වෙන්න සිද්ධ වුණා.

පිනාගේ හිතේ කැස්සේ බඩා කියලමයි. හොඳට බණින්න දීලා එහෙම ඇරලා බඩා කිව්වා "සර්, අර අහවල් මැඩම්ට කතා කලා නම් ඇත්ත නැත්ත දැන ගන්න තිබුණා" විදුහල්පති අදාල ගුරුතුමිය ගෙන්නාගෙන බැලුවම වැඩේ ඇත්ත. කහින වෙලාවේ බඩා ඉඳලා තියෙන්නේ ගුරුතුමිය එක්ක කතා කර කර. ඒ මදිවට බඩාගේ ඕප මල්ලට අදාල ගුරුතුමිය එක්කහු වීම ගැ
ගුරු කාමරයේත් කතා ඇතිවෙලා! විදුහල්පතිගේ තටු දැන් ඇකිලිලා. හැබයි කැහැපු එකා බඩා දැක්ක බව ගුරුතුමිය අතින් කරුමෙට වගේ කියැවුණා. දැන් පිනා අහන්නේ "කැස්සේ කවුද?" කියල. විනාඩි 15 විතර තර්ජන, ගර්ජන ව්ලට යොමු වුණාට පස්සේ බඩාට මළ අතට ආවා. "මේ සර්, කැහැපු එකා හොයා ගන්න බැරි නම් ඕන කුදයක් ගහගන්නවා. මම කැස්සේ නෑ නේ? තව අවුරුද්දක් කැහැපු එකා ඇහුවත් මම කියන්නේ නෑ. පුලුවන් මගුලක් කරලා බලනවා" බඩා කෙළින්ම විදුහල්පතිගේ ඇඟට ගොඩ වුණේ විදුහල්පති කෑගහපු තරන් සද්දෙටමයි. මෙතන මහා විනාසයක් වෙන බව තේරිච්ච නිසා අර ගුරුතුමිය බඩාව එතනින් ඇදගෙන එක්කන් ගියා. නැත්නම් සමහරවිට විදුහල්පති තුමා අම්බානකට කන්නත්, බඩාගේ පාසල් ජීවිතය එතනින් කෙළවර වෙන්නත් ඉඩ තිබුණා. ගුරු මණ්ඩලය එක්කහු වෙලා පස්සේ වැඩේ ෂේප් කලා. බඩා විදුහල්පතිගේ ප්‍රියතම ශිෂ්‍යයෙක් වුණේ ඔයින් පස්සේ. ප්‍රියතම ශිෂ්‍යයෙක් වෙන්න හේතුව නම් වැරද්දට කතා කිරීම කියලා නම් බඩා හිතන්නේ නෑ! බඩාගේ අධ්‍යාපන දක්ෂතා සහ බඩාගේ පියා ඒ කාලයේ පීඨාධිපති කෙනෙක් වීම තමයි ඕකට බලපාන්න ඇත්තේ. අපි නොදන්න ප්‍රින්සිපල් ලා!

Saturday, February 21, 2015

ක්‍රිකට් . . .

එංගලන්තේ පුහුණුවකට ගිහින් ඉන්න බඩා කටුක ශීත ඍතුවක් එහෙම සාර්ථකව ගෙවා දමමින් ඉන්නේ. හිම වැටුනේ දවස් තුනයි. හැබැයි සෙන්ටිග්‍රේඩ් -10 ගිහිපු එක දවසකවත් හිම පොදක් නම් වැටුණේ නැහැ. පට්ට සීතලේ සුද්දන්ගේ ලුණු මිරිස් නැති පිටි ගුලි ගිල ගිල ඉන්න දුක යන්නත් එක බ්ලොග ලියන්න ගන්න ඕනය කියල බඩාට හිතුණා.

මේ සිද්ධිය වෙන්නේ 1997 දී, බඩා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ ඇලුත. බඩාගේ කණ්ඩායමට නවක වදය නොදෙන බවට ජ්‍යේෂ්ඨ උත්තමයන් කලින්ම තීරණය කරලා තිනුණ නිසා මේ දවස් වල වෙනවා වගේ දේවල් වෙයි කියල බයක් තිබුණේ නෑ. අළුත් කණ්ඩායමක් ආවම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කණ්ඩායම් වල නායකයෝ ඇවිත් කතා කරලා ක්‍රීඩා වලට උනන්දු කණිෂ්ඨයින්ව අඳුනා ගන්නවා. ඔය විදියට ක්‍රිකට කණ්ඩායමේ නායක උත්ට්මය කතා කල නිසා බඩාත් ක්‍රිකට් පුහුණුවීම් වලට ගියා. කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් නොහිටි නිසා යම් තැනක් තියෙයි කියල හිතාගෙන මේ තීරණය ගත්තා මිසක, බඩා දරුණු විදියට ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් සෙල්ලම් කරලා නෑ. නමුත් පන්දුව ඉතාම තදින් දඟ කවනවා කියල නම් ප්‍රසිද්ධියක් තිබුණා.

ක්‍රිකට් පුහුණුවීම් වලට ගිය පළමු දවසේ තමයි දැන ගත්තේ නවක වදය තවමත් ඉවර නැති බව. කණ්ඩායමේ නායක උත්තමයා ගෝරනාඩු කරනවා "තොපි ක්‍රිකට් ගහන්න එන්නේ ෆිසිකල් ෆිට්නස් හොඳ හින්දන්නෙ, මෙතන එක්සයිස් කළාම මැරිල වැටෙන එවුන් ඉන්නව නම් ක්‍රිකට් නොගහ පලයවු, මොකද අපිට තොපේ මළ කඳන් උස්සන් යන්න බෑ මැච් අතරේ". කොහොම හරි ෆිසිකල් රැගින් පාරක් ගානට හම්බ වුණා. බඩා හොරට රැග් වෙන නිසා බැනුම් ඇහුවේ ගෝණි ගාණට.

රැග්වීම් අවසානයේ නායක උත්තමයා කියනවා "අපිට ඊලඟ ප්‍රැක්ටිස් දවසට පාටියක් දීපියවු" කියල. "මුගේ අම්මට, රැග් කරල පාටිත් ඉල්ලනව" කියල හිත යටින් බැන බැන බඩා ඇතුලු නවකයින් ගෙදර ආවේ. කඩෙන් කිරි ටොපි පැකට් එකක් ගත්තේ ඊලඟ දවසේ ගෙනියන්න.

ඔන්න කොහොමෙන් හරි ඊලඟ දවස ආවා. අපි ගෙනා කැවිලි හෙම කකා ජ්‍යේෂ්ට උත්ත්මයෝ ෆන් එකක් ගන්නවා. මුන් ඔක්කොම කිරි ටොපි කාලා බඩාට කෑල්ලක්වත් හම්බ වුණේ නෑ. රැග් වෙන්න වීම ගැන බඩා හිටියේ තරහෙන්. දෙන්නම් ජම්බු වලින් තමයි හිටියේ. ඔන්න එක පාරම කණ්ඩායම් නායකයා අහනවා "මල්ලි, කිරි ටොපි රහයිනේ, කවුද බන් මේවා හැදුවේ?" කියල. පොටක් පෑදෙන බව තේරුම් ගන්න බඩාට ගියේ තත්පරයෙන් බාගයයි. "ඕවා හැදුවේ මම" කියල බඩා තඩි බොරුවක් අත අරිනවා. "මාරයිනේ බන්, කොහොමද හදන්නේ ?" බඩාත් ඉතින් කොහ්මෙන් කොහොමෙන් හරි ගැට ගහලා කිරි ටොපි හදන විදිය කියල දුන්න. දැන් ගේම දෙන්න බඩාගේ වාරය. කිරි ටොපි වල කජු කෑලිත් එහෙම තියෙනවනේ. "මම කිරි ටොපි හදද්දී වහලේ හූනෙක් හිටියා, පොඩ්ඩක් එළියට ගිහින් එද්දී ඌ නෑ. හැබැයි හූණා වැටුණා කියල මම හිතන්නේ නෑ" කියල. ඒ අස්සේ ගිණි කූරා කියනවා "හූණත් ඉතින් හැපෙන්නේ කජු වගේ නේ" කියල.

විනාඩි පහක් යන්න කලින් මෙන්න ජ්‍යේෂ්ඨ උත්තමයෝ ටික පැවිලියන් එක අස්සේ වමනේ දානවා "ඕක්! ඕක්!" ගගා. මම ගිණි කූරගෙන ඇහුව "උඹට අප්පිරිය නැත්ද?" කියල. "ආ ඕක වැඩිපුර ප්‍රෝටීන් නේ බන්! මට ප්‍රෝටීන් ටිකක් අපතේ යන්නේ නෑ" කියල ගිණි කූරා කියල දැම්මේ ඇඟට පතට නොදැනී.

Wednesday, August 13, 2014

කාර් ගැන කතා නොවේ!

වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා.

පළමුවෙන්ම කෙරෙන්නේ නිරීක්ෂණය (inspection). උදාහරණයක් ලෙස කීවොත් රෝගියෙකුගේ පපුවේ යම් කොටසක් අඩුවෙන් චලනය වීම පෙණහැල්ලේ එම කොටසේ රෝගයක් අති බවට සාක්ශි සපයනවා. දෙවව කරන්නේ අල්ලා බැලීම (palpation). මතු පිට සමේ සහ සමට එතරම් නොගැඹුරුව පිහිටන අවයව (උදා. හෘදය වස්තුව, අක්මාව සහ ප්ලිහාව) ගැන යම් තොරතුරු දැන ගන්නට පුළුවන්. තෙවනුව එන්නේ තට්ටු කර බැලීම (percussion). මෙහිදී වෛද්‍යවරයා තමන්ගේ ඇඟිලි විහිහිදවූ අත රෝගියාගේ උරස හෝ උදරය මත තබා එහි මැද ඇඟිල්ලට අනෙක් අතෙ ඇඟිල්ලකින් තට්ටු කිරීම සිදු කරනවා. එයින් නැගෙන ශබ්දයෙන් යම් යම් කාරණා දැන ගන්න පුළුවන්. අවසනයේ කරන්නේ වෙද නළාවෙන් පරීක්ෂා කිරීම (auscultation).

සාමාන්‍යෙන් මේ මූලධර්ම යෙදෙන්නේ රෝගියකු පරීක්ෂාවට වුණත්, මේ විදියට කාර් පරීක්ෂා කරන බැචෙකුත් බඩාගේ විශ්ව විද්‍යාල සමයේ සිටියා! මුලින්ම මේ බැචා ගැන කියනවා නම්, මනුස්සයා බොහොම සිහින් සිරුරක් තියෙන මිටි පුද්ගලයෙක්. මෙයට සමාන නමක් තියෙන උස මහත බිත්තරයාගෙන් වෙන් කරලා අඳුනා ගන්න කොල්ලට කිව්වේ "ඇට්‍රොපියා" කියල. "Atropy" කියල ලතින් භාෂාවෙන් කියන්නේ යම් ඉන්ද්‍රියක් හෝ පටකයන් හායනය වීම එහෙම නැත්න කුඩාවීමට. ඒ නිසා අපේ මිතුරාට "හායනයා" හෙවත් "ඇට්‍රොපියා" යන්නයි භාවිතා වුණේ.

ඇට්‍රොපියාට තිබුණේ පරණ 11 ශ්‍රී ලාන්සර් කාර් එකක්. සතිය පුරා නේවාසිකාගාරයේ ඉන්න ඇට්‍රොපියා, සති අන්තයේ ගෙදර යන්නේ කාර් එකෙන්. සෙනසුරාදා දවල්ට. ඇට්‍රොපියාගේ කාර් පරීක්ෂාව අපට සතියකට සැරයක් බලන්න හම්බ වෙන්නේ එහෙමයි.

ඇට්‍රොපියා මුලින්ම කරන්නේ කාර් එක වටේ රවුම් තුනක් යන එක (inspection). ඊට පස්සේ කාර් එකේ බොඩිය අත ගගා තව රවුමක් යනවා (palpation). ඊට පස්සේ රෝද හතරට අතින් ගහල බලනවා (percussion), ඊට පස්සේ එන්ජිම පණ ගන්වලා මිනිත්තුවක් පමණ කන්දීගෙන ඉන්නවා (auscultation). හැම සති අන්තයකම ක්‍රියාව ඔය විදියයි.

මේ වගේම නොවුණත් කාර් එකට පණ හා සමාන ලෙස ආදරය කරන මහාචාර්යතුමෙක් පෙරාදෙණිය සරසවියේ හිටියා. මේ මහාචාර්යතුමා සති අන්තයේ පැය හතරක් වාහනය හෝදලා, වැකුම් ක්ලීන් කරලා, කාපට් හෝදලා ඇතුලට පත්තර එහෙම දානවා. ඊට පස්සේ කාර් එක ගෙනත් පේරාදෙණිය සරසවියේ රථ නැවතුමේ නවත්තලා තියෙනවා. වහින දවසට මහාචාර්යතුමා වාහනෙන් යන්නේ නෑ! යනෙන ත්‍රී වීලරයෙන්! වැස්ස නැති දාට හෙමින් සැරේ වාහනය ලඟට එන මහාචාර්ය තුමා, මුලින්ම වාහනය වටේ වටයක් යනවා. ඊටපස්සේ ඩිකිය ඇරලා සෙරෙප්පු දෙකක් එළියට ගන්නවා. ඉස්සරහ සීට් එකට ගිහින් ඉඳ ගන්නවා, ඒත් කකුල් දෙක එළියේ හිටින්න. සපත්තු ගලවල්ල කකුල් අතුලට ගන්න මහාචර්යතුමා සෙරෙප්පු පැලඳ ගන්නවා. ගලවපු සපත්තු දෙක සෙරෙප්පු දාපු කවරෙට දාලා ඇතුලෙන් තියා ගන්නවා!

කාර් ගැන ගොන් පාට් ලියපු සරසවි ආචාර්යවරුත් නැතුවා නොවේයි. තමන්ගේ කෙටිකතාවක සරසවි ඇදුරන්ගේ ජීවිත විසංයෝජනය කරන ශිෂ්‍ය මුරකරුවෙක් ගැත කතාවක් තියෙනවා. අදාල මහාචාර්යතුමාට එක වගේ කාර් දෙකක් තිය්නවාලු. විසංයෝජකයා කරනෙන ඒවායේ කීටැග් මාරු කිරීම. විසංයෝජකයාගේ ගෘහ භාණ්ඩ විසංයෝජනය නිසා තුවාල වෙන පීඨාධිපතිව රෝහලට ගෙනියන්න බැරි වෙනවා මොකද කාර් දෙකම පණ ගැන්වෙන්නේ නැති නිසා. හැබැයි අමරකීර්ති උන්නැහේට අමතක වෙන්න ඇති වැරදි යතුරෙන් වැරදි කාර් එකේ දොර ඇරෙන්නේත් නැති විත්තිය! ඒවගෙම "unlock" බොත්තම තද කළාම අදාල කාර් රථයේ විදුලි පහන් දැල්වී නිවෙන බව. හැබයි අමරකීර්ති මහත්තයාගේ ගෝලයන්ට නම්, 1992 කාලය ගැන කියන චිත්‍රපටියක වන ජයන්ත චන්ද්‍රසිරිගේ සමණල සංධවනියේ මෝටර් සයිකලයක ඉංගිරිසි අකුරු නොම්මර තියෙන එක නම් මහම ලොකු දොසක්!

Thursday, July 24, 2014

ටෙඩි බෙයා

බඩා මාමාගේ දෛනික වඩ එක්ක බ්ලොගක් ලියන එක අමාරු වැඩක්. ඒත් පුළුවන් වෙලාවට පුළුවන් විදියට කතා අරන් එනවා. මේ කතාව පාසල් සමයේ ටියුෂන් පන්තියක වෙච්ච කතාවක්.

බඩා මාමා ගිය ටියුෂන් පන්තියක හිටියා හුරු බුහුටි හෙණ පොෂ් කෙල්ලෙක්. කතා කරන වචන වලින් 20% ඉංග්‍රීසි. මේ කෙල්ලගේ හුරුබුහුටි භාවය නිසාම කිව්වේ "ටෙඩි බෙයා" කියල. ටෙඩි බෙයාට ට්‍රයි කරපු කොල්ලෝ බොහොම හිටියත් ටෙඩී නෙමෙයි ඒ එකෙක්වත් තඹේකට මායිම් කලේ. සැපයුම අඩු නිසා ඉල්ලුම ඉහළ යාමෙන් ටෙඩීට පන්තියේ තිබුණේ දැවන්ත ඉල්ලුමක්.

එක දවසක් ටෙඩී පන්තියට එනවා පේන්වා වයසක පොරක් එක්ක. පන්තියට මීටර් 200ක් විතර තියලා, අර පොරව නවත්තලා ටෙඩී තනියම පන්තියට යනවා. ඒ වෙනකොට පන්තියට එන බඩාට මේක පහසුවෙන්ම දර්ශනය වෙනවා. සුදු පාට ජාතික බැනියමයි සරමයි ඇඳපු තැන්පත් පාට මනු
ස්සයෙක්. මනුස්සයාගේ ඩයල් මීටර් කරගත්තු බඩා ටෙඩී පන්තියට යනකම් ඉඳලා අර පොර එක්ක කතාවකට සෙට් වුණා. මුලින්ම නිකම් ආගිය තොරතුරු අහලා කතාව පන් ගෙන ටික දුරක් යනකොට දැනගත්තා පොර චිත්‍ර ශිල්පියෙක් කියල. හැබයි බඩා ටෙඩී ගැන වචනයක්වත් ඇහුවේ නෑ. අර අමාරුවෙන් චිත්‍ර පාඩමේ කරපු දේවල මතක් කරන් පොරට ටෝක දාගෙන ඉන්න කොට අර කඩ ඉම් උත්තරය පිට වුණා. මේ මනුස්සයා ටෙඩී ගේ තාත්තා! ටෙඩී ඉන්න විදියට අපි හිතුවේ තාත්තා සුද්දෙක් වෙන්න ඕනය කියල. හැබයි මෙන්න ඇත්ත තත්වය! පොෂ් ඉංග්‍රීසි කතා කරන, නෙස්කැෆේ බොන, ෆැබ් එකෙන් කන (ලමයි, මේ අවුරුදු 20කට කලින්, අද ෆැබ් කියන්නේ නිකම්ම නිකම් කඩයක් වුණාට අපේ කාලේ තත්වය වෙනස්), ටිෂූ වලින් මූණ පිහින ටෙඩි බෙයාගේ තාත්තා රෙදි අඳින පොරක්. දෙන්නම් ජම්බු කියල බඩා ටෙඩී ගේ නම වෙනස් කලා. "රෙදි බෙයා".

නමේ තේරුම් කොල්ලන්ට මීටර් වුණේ බඩා ආයෙත් ටෙඩී ගේ තාත්තාව කොල්ලන්ට පෙන්නුවාමයි. අද වෙනතුරුත් ටෙඩි / රෙදි බෙයා බඩා මාමාගේ මූණ බලන්නේ නෑ!

Friday, April 18, 2014

Blue Label



පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා. මහනුවර කච්චේරියේ අදාල කාරණය ඉටු කරගන්නා තුරු ඉඳගෙන හිටපු බඩා මාමාට එහා පැත්තේ උඩු රැවුලක් තියෙන, ජටාවක් බැඳපු කෙට්ටු මිනිහෙක් ඉන්නවා. දැනුණු කම්මැලි කම නිසාම අර මනුස්සයා එක්ක පොඩි කතාවක් දාන්න බඩා හිතුවා.

බ.මා.: "කොහොමද ලොකු උන්නැහේ අවුරුදු?"
මි.: "අපිට අවුරුදු නෑ, අවුරුදු තියෙන්නේ රජගෙදර උත්තමයන්ට විතරනේ"
බ.මා.: "ඒ කිව්වේ?"
මි.: "දැන් බලන්න මහත්තයෝ අවුරුද්දට වැඩිම පෝලිම තියෙන්නේ කොහෙද? උකස් බඩු කඩ ලඟ. ළමයින්ට ඇඳුම් කාල්ලක් ගන්නෙ උකස් කරල"
බ.මා.:"ඉතින් එච්චර අමාරුද? ළමයි තුන් දෙනෙක්ට රුපියල් 2500ක් දෙනකොට ඇඳුම් ගන්න පුළුවන්නේ?"
මි.: "ඒ ගානත් අපිට නෑ මහත්තයෝ"

මිනිහා හෙන විරෝධාකල්ප බුවෙක් කිය්ල තේරුම් ගිය නිසා බඩා මාමා ෆුල් ටොස් එකක් දාල දුන්නා.

බ.මා.: "ඒ වුණාට ලොකු උන්නැහේ රාජ කුමාරයා නං උපන්දිනේට හෙන බෝතල් පාටියක් දාලලු නේද? බ්ලූ ලේබල්ම තමයිලු ගෙනත් තියෙන්නේ!"

(බ්ලූ ලේබල් කියන්නේ මිළ අධික විස්කි වර්ගයක්. බෝතලයක් රුපියල් 40,000 විතර වෙනවා). බඩා මාමා එක්ක කතා කරන මිනිහා හෙන බෙබේ පෙනුමක් තියෙන බවත් කියන්න ඕන.

මි.: "අම්මප මහත්තයෝ. බෝතලයක් 75ක් විතර වෙනව. මෙච්චර බොන අපිවත් බීල නෑනේ ඔය කියන ජාති"

ඊලඟට අහන්න ගිය දේ ගිලගෙන බඩා මාමා එතනින් මාරු වුණා.